ආදිල් නැතිව ගෙදර පාළුවට ගියේ ය. ඔහු නික්ම ගොස් හෝරාවක් දෙකක් ඉක්ම යන විට ම ඒ පාළුව මූසල නිස්සාර බවක් ව හාත්පස පැතිරී යමින් තිබිණ. වෙනදාටත් ඔහු උදයේ ගෙදරින් නික්ම යයි. නමුත් එතකොට දිවා භෝජනය වෙනුවෙන් යළිත් පැමිණෙන බවට බලාපොරොත්තුව ඉතිරි වී තියේ. හෝරා ගෙවෙන්නේ අලුතෙන් ඔහු පිළිගැනීම වෙනුවෙනි. එතකොට අලුත් උද්‍යෝගයක් ද සතුටක් ද හිතේ ලියලයි. නමුත් අද එහෙම නැත. ඔහු දිවා ආහාරය වෙනුවෙන් එන්නේ නැත. ඉතින් ඒ ගැන කුමට වෙහෙසී වද වෙනවා ද? ඉස්සර, ආදිල් අපේ ගෙදර නො සිටි කාලයේ සේ ම මානෙල් විසින් උයා තබනු ලබන දෙයක් ගිල දැමිය හැක. ඕනේ නම් කන්නට පිළිවන. බැරි නම් නොකා ඉන්නටත් පිළිවන. එතකොට මානෙල් හවසට තේ සමග කන්නට පැණි රස දෙයක් හෝ සාදනු ඇත.
“සකී බබා බත් කෑවෙත් නෑ බඩ පිරෙන්න”
කියා ඇය සංකා බර චෝදනාවක් ද නගනු ඇත.
“සකී බබා…”
මා යහනේ වැතිර අලස කල්පනාවෙහි නිමග්න ව සිටියදී කාමරයට ඇවිත් තිබුණේ මානෙල් ය.
“මොනාද සකී බබා අද දවල්ට උයන්නෙ…”
පසු ගිය දින වල මේ වෙලාව වන විට මුළුතැන්ගෙට ගිහින් මා ඇගෙන් විමසූ පැනය, අද ඇය මගේ කාමරයට ම විත් විමසා තිබේ.
“ඔය මොනාහරි හදල ගන්න මානෙල් අම්ම. ආච්ච කන දෙයක් බලල”
මම උදාසීන ලෙස මිමිණුවෙමි. මානෙල් ගේ තොල් කොනක ලා හසරැල්ලක් නැගිණ. ඒ ගැන විමසන්නට තබා, මම එ් දුටු බවක් හඟවන්නටවත් නො ගියෙමි.
දවස් මේ තරම් දිග දැයි සිතුණ තරමි. වෙනදා ට දවසේ වැඩ ටික කරගන්නට පැය විසි හතර ප්‍රමාණවත් වන්නේ ද නැත. මා ඒ දවස ගෙවාගත්තේ ඉතා අසීරුවෙන් මගේ සේ ම ආච්චා ගේ ද යහනේ වැතිරී නිදන්නට උත්සාහ කරමිනි.
ආදිල් දෙතුන් වරක් දුරකතන ඇමතුම් දුන්නේ ය. නමුත් විවාහ උත්සවය අතරේ නිසා ඒ කතාබහ කලබලකාරී වූයේ ය.
“වැඩත් එක්ක කෝල් කරන්න ඕන්නෑ ඉතිං. රෑ වෙලා කතා කරන්නකො”
මම මළානික ලෙස කීවෙමි.
“පාළුද…”
“නෑ ඉතිං…”
“හෝම් කමින් එක ඉවරවුණ ගමන් එහෙමම මං එනව”
“ඒ ඉතිං තව දවස් දෙකකින්නෙ” යි නො කියා මම “හ්ම්” කීවෙමි.
හැන්දෑව වඩාත් පාළු වූයේ ය. වේලාසන ම රාත්‍රියට පාන් පෙත්තක් කා ආච්චා ගේ බෙහෙත් දී මම නිදන්නට කාමරයට ගියෙමි. මානෙල් නිදන්නේ ආච්චා ගේ කාමරයේ ම නිසා ඒ ගැන මට බියක් නැත. මගේ රාත්‍රී ඇඳුමක් වෙනුවට මා ඇන්දේ ආදිල් ගේ සුදු හා ලා නිල් ඉරි වැටුණ කපු කමිසයයි. එය මට කෙතරම් දිගු වූයේ ද යත් කෙටි පිජාමා කලිසම පවා මුලුමනින් වැසී තිබිණ. කණ්ණාඩි මේසයෙහි කැඩපතින් මදෙස බලා හිඳිනා ගමන්, මගේ ස්වරූපය මට ම සිනහ නැංවී ය. ඒ කමිසය ‘ඔහු සුවඳ’ ය. කොණ්ඩා දෙකක් ගොතා ටෙඩියෙකු ගේ කනෙන් අල්වා එල්ලාගෙන සිටින මා, විවාහ වන වයස ද ඉක්මවමින් සිටින තරුණියක ලෙස නොව මට පෙනුණේ කුඩා දැරියක ලෙස ය. ඒ දැරිය තනි වී හිඳී. ඇගේ අම්මා තාත්තා නැත. ඇයට ඉන්නේ ආච්චා පමණකි. ඇගේ හදවත ආදරය ඉල්ලා සිටී. කාලයක් ම ඇය අනාදරය මත හුදෙකලාවක ඉකිලමින් සිටින්නී ය. දැන් ඇයට දෝරෙ ගලා යන ආදරයක් උවමනා වී තියේ. ආදිල් කියන්නේ ඒ බව තේරුම් ගත හැකි තැනැත්තෙක් ද?
මම ඔහු ගේ ජංගම දුරකතනය අංකනය කළෙමි. එහා ඉම හැඬවෙමින් තිබිණ. දැන් දැන් ඔහු ගේ හඬ මතු වේවියි මම බලා සිටියෙමි. නමුත් දුරකතනය හැඬවී නිසල වූවා පමණකි. දුරකතනය කොහේ හෝ තිබෙනවා ඇත. ඔහු සිය ඥාති සමූහයා සමග සතුටු සමීචියේ ආගිය කතා කියවමින් සිටිනවා ඇත. රෑ වී කතා කරන්නම් කීවාට ඔහු ට මා අමතක වෙන්නට ඇත. කාලයකින් හමු වූ ඥාති පිරිස් ඉදිරියේ මොහොතකට මා අමතක වී යන්නට ඇත.
මගේ උගුර රිදෙන්නට ගති. කැඩපතින් දුටු මගේ දෙතොල් හැඬුම්බර දැරියකගේ සෙයින් බෙරි වී තිබිණ. ටෙඩියාව තුරුලට ගනිමින් මම ඇඳට වැටුණෙමි. ඉකි ගගහා හඬන්නට දුකක් හිතට දැනුණේ ය. ගොරතර වනයක අතරමං වූවා වන් භයානක හුදෙකලාවක් මා අසරණ කළේ ය. යහන කොනක ගුලි වී ගෙන මම නිසල ව සිටියෙමි.
ඒ විදිහට හෝරාවක් පමණ ගෙවී යන්නට ඇත. මා හිටියේ නින්දත් නො නින්දත් අතරේ ය. මට යන්තම් රියක හඬක් ඇසිණ. මා ඇඳෙන් පැන්නා මෙනි. පහළට දිව විත් දොර විවර කරනා කල ඒ ආදිල් ගේ මෝටර් රථය බව මම හොඳට ම දැන සිටියෙමි.
“දොර අරින සද්දයක් ඇහුන නිසා මං බැලුවෙ. ආදිල් මහත්තයනෙ”
ආලින්දයට කරපෙවූ මානෙල් එසේ කියා යළිත් කාමරයට ගියා ය. මගේ දෙතොල් වෙව්ලමින් තිබිණ. රුධිර සංසරණය උණුහුම් වෙමින් තිබිණ. ඒ කොහොම නිමේශයක් ද? කිසි සේත් ම බලාපොරොත්තු නොවූ සතුටකි. බලාපොරොත්තු පොදි බැඳගෙන බලා හිඳි කෙනෙකු නො පැමිණි මොහොතක දී දැනිය හැකි වේදනාව ද, නො එතැයි සිතා සිටි වෙලාවක බලාපොරොත්තු නොවූ ලෙස අනපේක්ෂිතව පැමිණීමේදී ඇති විය හැකි ප්‍රහර්ශය ද එක ම තීව්‍රතාවයක පවතී.
“ඔයා… හෝම් කමින් එකෙන් පස්සෙනෙ එනව කිව්වෙ…”
ඒ සියල් හැඟුමන් සිත හරහා විදුලියක් ව සංසරණය වීමෙන් පසු මම මිදුලට බහිමින් මිමිණුවෙමි. ආදිල් මා ඉදිරියෙහි සිටියේ වෙහෙසකර බවකින් බැව් වහා මට හැඳිනිය හැකි විය. ඔහු හැඳ උන් සුදු කමිසය තැන් තැන් වලින් පිටතට පැන තිබිණ. උදේ එය පිළිවෙළට කලිසමට යට කොට තිබෙන්නට ඇත. කමිස අත් වැලමිට සන්ධිය තෙක් ඉහළට ඇද තිබිණ. උදේ ඒවා ලස්සනට දිගට දමා කෆ්ලින්ක් ගසා හිඳිනට ඇත. කමිසයේ ඉහළ බොත්තම් කිහිපය විවර කොට දමා ය. ටයි පටිය ද කෝට් එක ද රියෙහි ඉදිරි අසුන මත විය. වැනි වැනී ඔහු වඩාත් මවෙතට සමීප වූයේ ය. ඒ මුහුණේ අහිංසක ම සිනහවක් ඇඳී තිබිණ.
“ඒ වුණාට වෙඩින් එක ඉවරවුණ ගමන් ආව”
ඔහු එය කීවේ පොඩි දරුවෙකු සේ ය. මට තවත් මා පාලනය කරගෙන ඉන්නට හැකි වූයේ නැත. එහෙම ඉන්නට ඕන වුණේත් නැත. වහා ඔහු වෙතට එළඹ මම දෑතින් ආදිල් බදා වැළඳගතිමි. ඔහු ගේ දෑත් මා වටා ගියේ ය. එහෙම අප වැළඳගෙන ම අපි දෙපසට පැද්දෙමින් මඳ වෙලාවක් සිටියෙමු. ආදිල් ගේ නිකට මගේ හිස මත රැඳී තියෙන්නට ඇත.
“තව දවස් දෙකක් හිටියනං මට පිස්සු හැදෙයි… කොහොමද ඔයා නැතුව ඉන්නෙ…”
මගේ ගැහැනු හදවත සිතිවිලි සමුදායකින් පිරී පැවතිණ. නමුත් ඒ එකක්වත් පෙරපර ගලපා කියාගන්නට මට හැකි වූවා නොවේ. ඔහු පැමිණි එක හොඳ ය. නො කියා නො දන්වා ම හෝ ආ එක හොඳ ය. නො එසේ වී නම් හෙට වන විට මා උමතු වන්නට තිබූ බැවිනි.
“එනව කියල කිව්වෙ නෑනෙ ඉතිං…”
“කිව්වනං ඔයා එන්නෙපා කියයි කියල හිතුණ. මහන්සි නිසා දැන් ඩ්‍රයිව් කරන්නැතුව හෙට උදේ එන්න කියයි හරි කියල හිතුණ”
“අනේ මගෙ මැණික් කැටේ”
ආදරේ නම් එහෙම විය යුතු ය. වැවක් බැමි පුපුරා පිටාර ගලනවා සේ, සයුර සුනාමියක් ව ගොඩ ගලනවා සේ, අහස අනෝරාවක් ව කඩා හැලෙනවා සේ දෝරෙ ගැලිය යුතු ය. පිටාර ගැලිය යුතු ය. වාං දැමිය යුතු ය. දරා ගත නො හැකි තරමට දැනිය යුතු ය.
“වොශ් දාගන්න. මං ඉස්සල්ලම තේ එකක් හදල දීල ටක් ගාල කන්න දෙයක් ලෑස්ති කරන්නං”
“බඩගිනියි. මග නතර වුන්නෑ ඒ වෙලාවෙත් ඇවිත් ඉක්මන්ට ඔයාව බලන්න ඕන කියල හිතුණ නිසා. මේ… ඔය මගෙ ශර්ට් එක නේද…”
ඔහු ඒ දුටුවේ අප බරාඳයෙන් ගෙට ගොඩවෙත්දී ය.
“ඒකවත් නොතිබුණානං මං මැරෙයි”
මම පොඩි දැරියක සේ ඔහු ගේ අතක එල්ලුණෙමි. උරහිස වටා අතක් දමා ලං කොටගෙන ආදිල් මගේ හිස සිපගත්තේ ය.
“ආච්චා…”
මම ආලින්දයේ සිට ම කතා කරමින් ආච්චා ගේ කාමරයට ගියෙමි.
“ආදිල් අදම ඇවිත් ආච්ච”
“මානෙල් මට කිව්ව”
ආච්චා ලස්සන සිනහවකින් කීවා ය.
“ඒ ළමය කාලද දන්නෑ”
“කාල නෑ. මං නූඩ්ල්ස් ටිකක් හදල ගන්නං. ඊට කලින් තේ එකක් දෙනව..ආච්චටත් තේ හදන්නද…”
“බොමුකො එහෙනං උගුරක්”
මා තේ හදාගෙන එන විට ආච්චා ආදිල් සමග කතා කරමින් ආලින්දයෙහි සිටියා ය. ඔහු දිය නා නැවුම් වී සිටියේ ය. ආදිල් ගේ ඇස් මත වූ බැල්ම අතිශය ආදරණීය ය. එය ළා බාල නොමේරූ ප්‍රේමවන්තයෙකු ගේ බැල්මක් නොවේ. පරිණත පුරුෂයෙකුගේ හතර මායිම් පුළුල් ප්‍රේමයක දිග පළල එහි ලියැවී තිබිණ.
“කොණ්ඩෙ හරියට පිහිදලත් නෑ ඔයා”
ඒ තෙත් කොණ්ඩය දුටු විට මට එහෙම නො කියා බැරි විය. ආච්චා හයියෙන් සිනහ වූවා ය.
“අම්ම කෙනෙක් වගේ කොල්ලෙක් ගැන වද වෙන කෙල්ලෙක් ලැබෙන එක කොච්චර වාසනාවක්ද කියල පුතා දන්නවද…”
ආදිල් මදෙස බලා බිම බලාගෙන සිනහ වූයේ ය.
තෙම්පරාදුව සාදා නූඩ්ල්ස් වල වතුර පෙරත්දී ආදිල් හිස් මග් එකත් ගෙන මුළුතැන්ගෙට ආවේ ය. ආච්චා ට නිදිවරන්නට නුගුණ නිසාවෙන් ඇය යළි නිදන්නට ගොස් තිබිණ. කුස්සියෙහි නිදි කිරූ මානෙල් ව මම කලින් ම නිදන්නට යැව්වෙමි. පැන්ට්‍රි මේසයට හේත්තු වී අත් දෙක පපුවෙහි බැඳ ආදිල් මා නූඩ්ල්ස් තෙම්පරාදු කරන හැටි බලා සිටියේ ය. කඩිසර ලෙස කිළිටි වූ භාජන කිහිපය සෝදා තබා මා නූඩ්ල්ස් ටික පිඟානට දමත්දී ඔහු මා පිටුපස හිඳ බඳ වටා දෑත් යවමින් මට ලංව ගෙල පාමුල සිප ගත්තේ ය.
“නූඩ්ල්ස් රෙඩී… කන්න යං”
“මෙහෙම ඉන්නෝනෙ”
“නිවෙන්න කලින් කන්න. යං…”
“ලස්සනයි ඔහොම. චූටි කෙල්ලෙක් වගේ කොණ්ඩ දෙකක් ගොතල… අපිව අවුස්සන්න ශර්ට් කෑල්ලක් ඇඳං…”
ආදිල් සිය රැවුල් කොට වැවි නිකටින් මගේ උරහිස කිති ගැන්වී ය.
“නික්…කං ඉන්න මට කිචී…”
කියමින් ඔහු ගේ අතකින් ඇදගෙන මම කෑම මේසය වෙත ඔහු ගෙන ගියෙමි. ආත්මීය උණුහුමක් දැනෙමින් තිබි බව ඇත්ත ය. නමුත් මම ඔහු නිවෙනා ආදරයකින් ළඟින් හිඳගතිමි.