කල්පනී මැදගෙදර
ආදිල් නුවර ගිහිං කියල මං දැනගත්තෙ උදේ ඔෆිස් එකේ වැඩකට දෙහිවල ට ගිය ගමන් ‘හෙවන්ලි ඉන්ටීරියර්ස්’ වලට ගොඩවුණාම. වැඩ කරන ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි රිසෙප්ශන් ඩෙස්ක් එක ළඟ ඉඳං කියෝ කියෝ ඉඳල මාව දැක්කහම අමුතු විදිහකට බැලුව කියලයි මට දැනුණෙ. උංව ගණං ගන්නැතුව ස්ටෙයාකේස් එක පැත්තට යනකොට “ආදිල් අයියනං නෑ” කියල අර කෙල්ල නලෝල කිව්ව. මං එහෙම ම නතර වෙලා ආපහු හැරුණා. ඒ ගමන් මගේ ඇස් ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහාවට හැරුණෙ වෙලාව දැනගන්න.
“තාම ආවෙ නැද්ද…”
“අද එන්නෑ. ගෙදර යනව කිව්ව. නුවර”
මට දැනුණ කේන්තියක්. මේ මිනිහ මාව කොච්චර ඉග්නෝ කරනවද කියනවනං ඊයෙත් මං කෝල් කළා. ඒ වෙලාවෙවත් කිව්වෙ නෑ නුවර යනව කියල. එහෙම කිව්වනං මාත් එයා එක්කම ගෙදර ගිහිං එන්න යනවනෙ කියන හිතිවිල්ලයි මුලින් ම ඇති වුණේ. ජොබ් එකට ගිහින් වැඩි දවසක් නැති නිසා මට නිවාඩු ගන්න බැරි වෙයි. ඒ වුණත් ආදිල් ට යුතුකමක් තිබුණ මට කියල යන්න. එහෙම ඉඳන් ම එයාගෙ ෆෝන් එක ඩයල් කළත් රිංග්ස් ගියා මිස ආන්සර් කළේ නෑ. රිසෙප්ශනිස්ට් කෙල්ල කට කොනකින් නෝන්ඩි හිනාවක් දැම්මද කියලත් නො හිතුණා නෙවෙයි. මං තවත් උන් දිහා බලන්නෙවත් නැතුව එළියට ගියා. ආයෙ ඔෆිස් එකට යනකල් හතර පස් පාරක් ම කෝල්ස් ගත්තත් මේ මිනිහ නෙවේනෙ ආන්සර් කළේ. මට දැනුණ කේන්තිය කොච්චරක් ද කියල මෙහෙම වචන වලින් කියන්න බෑ. මාව වෙව්ලුව තරමයි.
අපි දෙන්නගෙ සම්බන්ධෙ එයාගෙ පැත්තෙන් ඉවර වෙලා තිබුණ කියන එක ඇත්ත. ඒත් මං ඒකට ලෑස්ති නෑ කියල එයා දන්නව. මේ විදිහට කෝල් එකකට ආන්සර් කරන්නෙවත් නැතුව එයා පෙන්නන්නෙ එයාට මාව කොච්චර එපාද කියන එක. මං ඒක නො දන්නව නෙවෙයි. ඒත් මෙහෙම වෙලාවක මට මාව කන්ට්‍රෝල් කරගන්න බැරි තරමයි. ළඟ හිටියනං කෑගහල බැනල නතර නොවී ආදිල්ගෙ බෙල්ල මිරිකන්න, කොනිත්න්න, හපා කන්න වුණත් මං පෙළඹෙයි. මීට කලිනුත් එහෙම සිදුවීම් ගණනාවක් ම වෙලා තියෙනවනෙ.
ආපහු ඔෆිස් එකට ගිය නිසා මට ඒ කේන්තිය අමතක කරන්න පුළුවන් වුණා. මොනා වුණත් ආදිල් මට මේ ජොබ් එක හොයල දීපු එක ලොකු දෙයක්. නැත්තං කොළඹ ඇවිත් එයා මත්තෙ එල්ලි එල්ලි ඉඳලම මට පිස්සු හැදෙන්න තිබුණ.
ආදිල් නුවර යන්නෙ අර කියපු කෙල්ල එක්ක වෙන්නැති කියන හිතිවිල්ල ඇති වුණේ හදිස්සියෙමයි. ඒක තමයි ඔහොම ආන්සර් නොකර ඉන්නෙ. ඒ කෙල්ලට කියල නැතුව ඇතිනෙ මං ගැන. හොඳ වැඩක් කරන්නං උඹලට කියන නසරානි හිතිවිල්ල මගෙ හිතේ ඇති වුණේ ඒ වෙලාවෙ. මට ලැබෙන්නැත්තං ආදිල්ව ඒ කෙල්ලට ලැබෙන්න ඕනත් නෑ. කොයික කරන්නත් කලින් මුලින් ම ඒ කෙල්ල කවුද කියන එක දැනගන්න ඕනෙ.
සකී ආන්‍යා තඹරවිල
ජීවිතය කියන්නේ ඒකාකාරී වූ ගමනක් නොවේ. යළි යළිත් නැවත නැවත ද අතීතය ම උදා වෙමින් වුව එය චක්‍රාකාර වූ මාර්ගයක ගමන් කරයි. අපට අප නැවතී ඉන්නවා සේ දැනුණ ද සැබවින් අප නතර වී ගෙන ද? පෘථිවිය ඇතුලු සියල් ග්‍රහ වස්තූන් ද සූර්යයා ද අයත් සෞර ග්‍රහ මණ්ඩලය පවා නිරන්තර භ්‍රමණය – පරිභ්‍රමණය වෙමින් පවතී. නමුත් අපට දැනෙන්නේ නැත. එහෙව් එකේ අප නතර වී සිටිතැයි පිළිගත හැකි ද?
අපි නොයෙකුත් උච්චාවචනයන් සහිත ජීවිත ගමනක් යමින් සිටිමු. එහි විවිධ මංසන්ධි හමු වේ. සුඛ දුක්ඛ නවාතැන් ද විඩා නිවනට අම්බලම් ද හමු වනු ඇත. මම ද මේ කෙටි කාලයට එහෙව් අත්දැකීම් සමූහයකින් ගහන ගමනක් පැමිණ ඇත්තෙමි. තුරුණු වියෙහි දී මව ද පියා ද කෙටි කාලාන්තර සහිතව මරණයත් එක්ක නික්ම යාම ගෑනු ළමයෙකු ගේ ජීවිතය මත්තෙහි පතිත විය හැකි දරුණු ම අකුණු පහරයි. ඒ ගෑනු ළමයා සහෝදරයෙකු සහෝදරියක ද නැති පවුලේ එක ම ළමයා වන විට ඒ අකුණු පහර කෙතරම් චණ්ඩ වනු ඇත්ද කියා මා ඔබට අමුතුවෙන් කිව යුතු නැත. ඊට පස්සේ, වසර කිහිපයක ප්‍රේම සම්බන්ධයට නැවතීමේ තිත තබන්නට මට සිදු වේ. ඒ මගේ ප්‍රේමවන්තයා අවස්ථාවාදී මිනිසෙකු බව ඇස් පනාපිට ඔප්පු වූ හින්දා ය. දරුණු ම අහිමි වීම් තුනකට එක පිට මුහුණ දීම තුළ මා බිමට ම සමතලා නොවී සිටියේ ආච්චා ආදරයේ ප්‍රතිමූර්තියක් ව මහිස පිරිමදිමින් සිටි නිසාත්, කවර හේතුවක් මත හෝ මා අතැර නොයනා ගල් කණු වන් මිතුරියන් දෙදෙනෙකු දෙපසින් මගේ දෑත් අල්වාගෙන සිටි නිසාත් ය. එහෙම ගමනකින් පසු මා ඉදිරියේ නිම් නැති නිම්නයක් පහළ වී තිබේ. නිදුකින් හුස්ම ගන්නටත්, සදෙව් සුවයකින් තුරුලු වෙන්නටත්, බිය සැකකින් තොර ව නෙතු පියා ඉන්නටත් හැකි ඒ සුවඳ නිම්නය වූ කලී ආදිල් මන්රූ රත්නායකයි.
ඔහු හමු වීමෙන් පස්සේ සැබවින් ජීවිතය සුවබර කලාපයක් වූ බව පිළිගත යුතුව තිබේ. එතෙක් ඔහේ පා වෙවී තිබි වරා මලක් සේ වූ මට අරමුණක් සහිත ජීවන නිමේශයක් හිමි වූයේ ඔහු නිසාවෙනි. පෙර දවස් සේ මඳක් වැඩිපුර නින්ද ගොස් තරමක් පමා වී පිබිදුණ උදයක මා යහනෙන් පැන්නේ ආදිල් නික්මීමට පෙර තේ එකක් තනා දෙන්නට නො හැකි වනු ඇතැයි මට ම දොස් නගා ගනිමිනි. පමා වනතුරු වැඩ කෙරූ හවසක වුණත් ඔහු ගෙදර ආවේ “තිබහ වුණත් කඩේකින් තේකක් බිව්වෙ නෑ සකී” කියාගෙන ය. ඔහු වඩාත් කැමති යයි කෑම මේසයේ දී හැඳින ගත් ආහාරයක් නිතර පිළියෙල කිරීමෙන් මම මොකක්දෝ සතුටක් වින්දෙමි. මා කැමති විදිහේ කඩචෝරුවක් ගෙන ඔහු හවසට ගෙදර එන තෙක් හිතට නිවනක් වූයේ නැත. ප්‍රේමය කියන්නේ ඇබ්බැහි වීමක් බව, විමසීමෙන් පසෙක සිට එදෙස බලා සිටියදී පෙනී යයි. අපි ද අප වෙත ඇබ්බැහි වෙමින් සිටියෙමු.
ඔප්පුවක් ලියාපදිංචි කිරීමේ කටයුත්තකට ගිය ගමන් ‘හෙවන්ලි ඉන්ටීරියර්ස්’ වෙත ගොඩවෙන්නට එක හවසක මා පෙළඹුණේත් ඒ ඇබ්බැහිවීම මතයි. තව හෝරා දෙක තුනකින් ඔහු ගෙදර එන බව දැන සිටිය ද මොහොතකට ආදිල් දැක යාමේ ලෝභී සිතිවිල්ල දමනය කරගන්නට මට ඕන වුණේ නැත.
මා එහි යන විට ඔහු සිටියේ පහළ මහළෙහි ය. නිතර එහි දැක පුරුදු, ඔහු සමගින් වැඩ කරන දෙතුන් දෙනා ගොඩනැගිල්ලක අභ්‍යන්තර නිර්මාණයක දළ සැලැස්මක් වයිට් බෝඩ් එකක හැඳ ඒ වෙත අවධානය යොමු කරගෙන සිටියහ. ආදිල් සිටියේ නො සන්සුන් සක්මනකයි. ඒ බව එක ම බැල්මකින් හැඳින ගන්නට මට හැකි විය. මා දුටු විට ඔහු තවත් කැළඹුණු බවක් පෙනෙන්නට තිබිණ. අනිත් දෙතුන් දෙනාගේ මූණු වල ද ඉරියව් වෙනස් විය. ආදිල් සිනහවක් නැති මුහුණෙන් මා ඉදිරියේ සිටගත්තේ දෑත් කලිසම් සාක්කු තුළ ඔබාගනිමිනි.
“ඇයි ආදිල්…”
මම තරමක බියකින් විමසුවෙමි.
“යංකො උඩට”
කියා ඔහු මගේ බඳ පිටුපසින් අතක් තැබුවේ ය. අපට පියගැට පෙළ වෙතට අඩි දෙකක්වත් තබන්නට ඉඩ ලැබුණේ නැත. පියගැට පෙළ මත ගැටෙනා පියවර හඬක් නො කියා කීවේ කිසිවෙකු එහි දිවගෙන වාගේ ඉක්මන් ගමනකින් එන බවයි. ඒ යුවතියක බව මා දුටුවේ ඇය පහළ මහළට පිවිසෙත්දී ය. මුලින් ම ඇගේ දෑස් යොමු වූයේ මගේ බඳ පිටුපස තිබූ ආදිල් ගේ අත වෙතට බව මම පැහැදිලිව දුටුවෙමි. ඇසිල්ලකින් අකුණක් සේ අප වෙතට පැමිණි ඕ අතක් දිගහැර මගේ කම්මුල සිසාරා පහරක් එල්ල කරන්නට ගියේ “මේකියි එහෙනං ඒ බැල්…ලි” කියා දත්මිටි කමිනි. ආදිල් ගේ පපුවට වඩාත් බර වූ මා තදින් ඇස් දෙක පියවා ගත්තේ අනිච්ඡානුගව ය. ඒ අතුල් පහර කොයියම් මොහොතක හෝ හෙණ ගෙඩියක් සේ මා මත පතිත වන බැව් දැන උන් මා යාන්තමින් නෙතු විවර කොට බැලූයේ එය පමා ඇයි කියා ය. මගේ ඇස් ඉදිරියෙහි වූයේ අතුල් පහර එල්ල කරන්නට ගිය ඇගේ අත ඉතා තදින් අල්වාගෙන හිඳිනා ආදිල් ගේ අතයි. ඒ අතේ තද කොළ පාටින් නහර ඉල්පී තිබිණි. ඔහු ගේ හෘදය ස්ඵන්දනය වන ‘ලබ් – ඩබ්’ හඬ, ඒ පපුව මත හිර වී තිබූ මගේ සවනට හොඳින් ම ඇසිණ.
“ඌ…යි… අතාරිනව”
යුවතිය එසේ කීවේ රිදුම් සරකිනි. නමුත් ඇගේ හඬෙහි ද්වේශයක් කැළතී තිබිණ. ආදිල් ඇගේ අත ඉවත් වන සේ ඔහු ගේ අත ගසා දැමුවේ ය. මම ඔහු ගේ පපුවෙන් මෑත් වීමි.
“ලැජ්ජ නැද්ද ඕයි අනුංගෙ මිනිස්සුන්ට තුරුල් වෙලා හුරතල් වෙන්න…”
ඊළඟට ඇය අසා ඉන්නට බැරි ගොරෝසු බවකින් කෑගෑවා ය. මා තිගැස්සී ගිය බව සහතික ය. ආදිල් මගේ අතක මැණික් කටුව සන්ධියෙන් තදින් අල්වා ගත්තේ ය. ඒ ග්‍රහණය තුළ මට යුධ බලකායක් තුළ දැනිය හැකි ආරක්ෂිත හැඟීමක් දැනිණ. මම ඔහු ගේ උරහිස පිටුපස මුවහ වීමි. සැබවින් මේ මා බලාපොරොත්තු නොවූ ප්‍රහාරයකි. පලා යන්නට මිස සටන් කරන්නට තරම් එඩිතර බවක් වූයේ ම නැත. මට සිහි වූයේ මුද්‍රා හා පීහු ය. ඔවුන් මෙතැන හිටියා නම් කල්පනී ව සම්බෝල හදනු ඇත.
“ආදිල් මාව බඳින්න පොරොන්දු වෙලා ඉන්නෙ”
“කල්පනී… බොරු කතා කියන්නෙපා. අපි අතරෙ සම්බන්ධයක් තිබුණා. ඒත් දැන් ඒක නෑ. සකී මගෙ ළඟට එන්නෙ අපි වෙන් වෙලා ටික කාලෙකට පස්සෙ. එයාට මෙහෙම කතාකරන්න ඔයාට කිසිම අයිතියක් නෑ. තව වචනයක් හරි සකීට කිව්වොත් අපි අතරෙ කලින් සම්බන්ධයක් තිබුණා කියලත් මං ඉවසන්නෑ කල්පනී”
“ඇයි තමුසෙ මට මොනා කරන්නද… ජරා මිනිහ දැනගන්නව මං තමුසෙට කරන දේ”
කියමින් ඇය නික්ම ගියේ මා දවාලන බැල්මකිනි. ආදිල් දිගු සුසුමක් හෙළමින් හිස කේ පිටුපසට ඇද ගත්තේ ය. හදිසි කුණාටුවක් ඇති වී ගහ කොළ පෙරළී මොහොතකින් කිසිත් නොවූ සේ නිහඬ වූවා බඳු නිශ්චලත්වයක් පැතිර ගියේ ය.
“ඉඳගන්න මිස්”
කියමින් කවුදෝ මන්දා මවෙතට පුටුවක් පෑවේ ය. නමුත් මා සිටියේ ඊට සුදුසු මානසික තත්වයක නොවේ. එසේ වී ද ආදිල් ව මෙලෙසින් මෙහි දමා යා නො හැකි බව මගේ ගැහැනු ඉව මට කීවේ ය.
“කලබල වෙන්නෙපා. එයා එහෙමයි කියල ඔයා මට කියල තියනවනෙ. ඒ කියල තිබුණටත් වැඩිය මං එයාව තේරුං ගත්ත. මං ගැන වොරි වෙන්නෙපා හොඳද…”
මා එසේ කීවේ ආදිල් ගේ අතක් පිරිමදිමනි. ඔහු මට හිසෙන් ඉඟි කරමින් මතු මහලට නැඟුණේ ය. කැළඹීම තුළ සන්සුන් වීමට මම උත්සාහ කරමින් සිටියෙමි.
කල්පනී ට ආදිල් ගේ හිත බැඳීමට හේතුව මට සිතා ගන්නට පිළිවන. ඇය කදිම රූමත් තරුණියකි. කහ පැහැයට හුරු රන්වන් ආර්ය සමක් ඇයට උරුම වී තිබේ. ගෙල මුලට ගෙඩියක් කොට ගැටගැසූ ලොකු වරලසක් ඇයට හිමි ය. මුහුණේ හැම අංගයක් ම වාත්තු කෙරුවා සේ ලස්සන ය. එහෙව් ලස්සන රුවක් දී දෙවියන් ඇයට විෂකුරු කටක් තිළිණකොට තිබේ!
“ඇවිත් මෙතන වාඩිවෙලා හිටිය නිසයි මං මගෑරල පහළට වෙලා හිටියෙ. මට ඕන වුණේ එයාට ලැජ්ජ නොකර මගෙ ළඟින් හිටිය කාලෙදි වගේම රෙස්පෙක්ට් කරල වෙන් වෙන්නයි. මේ ගෑනි ඒක තේරුං ගන්නැතුව…”
“හිතන්නෙපා ඉතිං…ආච්චනං කියන්නෙ එහෙම අය ඉන්නව කියලයි. ඒත් එයා දැං ඉතිං තේරුං ගන්න ඕනෙ. ඔයාගෙ ෆර්ම් එකට ඇවිත් මෙහෙම හැසිරෙනකොට හරි නෑනෙ. මං ඔයා ගැන වැරදියට හිතයි කියලනං හිතන්නෙපා හොඳේ”
මා කතා කළේ හැකි තරම් මෘදු ලෙස, ඔහු ගේ හිත හැදෙන්නට ය. නමුත් මගේ හිතේ ද ගැටළුවක් නො තිබුණා නොවේ. කල්පනී කියනා අර්බුධය දිගින් දිගට ම මෙලෙස අප හඹා එනු ඇත් ද?