ආදිල් මන්රූ රත්නායක
ඒක පුදුම වේදනාවක්. කල්පනී සකී ට අත උස්සපු එක වගේ ම කල්පනී ඉස්සරහ සකීගෙ පැත්ත ගන්න වුණ එකත් මට මාර අසීරුවක් දැනෙව්ව. කිසි ම පිරිමියෙක් ඒ විදිහට ගෑනු දෙන්නෙක් අතරට මැදි වෙන්න ඕන නෑ. සකී කියන්නෙ දැන් මගෙ ජීවිතේ එක ම අරමුණ. කල්පනී කෙනෙක් තුන් හිතකවත් නෑ තමයි. හැබැයි කල්පනී කියන්නෙත් කාලයක් මං ආදරේ කරපු කෙල්ලෙක්. එයාට ඒ ගෞරවේ දීල පැත්තකට වෙන්නයි හැම වෙලේම මං උත්සාහ කළේ. කල්පනී ම තමයි තේරුං ගන්නැතුව මේ අපහසුව ඇති කළේ.
අනිත් අතට සකී ගියාට පස්සෙ මං කල්පනා කළේ හවස ගෙදර ගිහින් එයාට මූණ දෙන්නෙ කොහොමද කියල. එයා ආච්චට කියයි මේ වෙච්ච දේ. ඒ වෙලාවෙ මං සකීගෙ පැත්ත ගත්තත් සිද්ද වුණේ එයාගෙ ආත්ම ගෞරවයට හානියක්. මං දන්නව ඒකෙ වගකීම ගන්න ඕන මම. සකී ට එහෙම තත්වෙකට මූණ දෙන්න සිද්ධ නොවෙන විදිහට වැඩ කරන්න මට බැරි වුණා.
මේ දේවල් හිතනකොට ඔළුව යකාගෙ කම්මල වෙලයි තිබුණෙ. හැන්දෑ වුණත් මට ගෙදර යන්න හිතුන්නෑ. හෙවන්ලි ඉන්ටීරියර්ස් උඩුමහලට වෙලා ඔහේ කල්පනා කර කර හිටිය. ඇත්තටම හරියට දෙයක් කල්පනා වුණෙත් නෑ. මං හිටියෙ පඹගාලක පැටලිලා වගෙයි. ආයෙත් කල්පනී නිසා සකීට මෙහෙම සිදුවීමකට මූණ දෙන්න වෙන්නෑ කියල සහතිකයක් දෙන්න මට පුළුවන්ද? ඒ අතින් මං මොනතරං දුර්වලයෙක් ද? අනිත් අතට කල්පනීව පාලනය කරන්න කියල මොකද මං එයාට ගහන්නද? මෙච්චර පැහැදිලි ව කියලත් තේරුං ගන්න ඕනකමක් නැති මුරණ්ඩු කෙල්ලෙක් එයා.
අන්තිමට මං කෝල් එකක් දීල සචින්ව දෙහිවලට ගෙන්න ගත්ත. අපි දෙන්න එදා සකීලව දැක්ක මුල් ම දවසෙ අපි හම්බවුණ බීච් රෙස්ටොරන්ට් එකට ගිහින් බියර් දෙකකුයි බයිට් එකට චිකන් ඩෙවල් එකකුයි ගෙන්නගෙන බීච් එකේ රැල්ල වදින සීමාවෙ ඉඳගත්ත.
“සකී ගෙ ඇඟට ඔය කල්පනී ගෑනිගෙ ඇඟිල්ලක් හරි වැදිල තිබුණොත් ඒකිගෙයි උඹගෙයි දෙන්නගෙම කල් පනින්නෙ මගෙං කියල දැනගනිං”
සිද්ද වෙච්ච දේ සීරුවට අහං ඉඳපු සචින් අන්තිමට මං දිහාට ඇඟිල්ල දික් කරල කිව්වෙ ඇත්තට ම ටිකක් තරහෙන්. ඒ නො සන්සුන්කම ඌගෙ මූණෙත් තිබුණ.
“පොඩ්ඩක් මාව තේරුං ගනිං බං. වචනෙකින්හරි සකීගෙ හිත රිදෙනවට මාත් කැමති නෑ”
“එහෙනං උඹ ඒක අර ගෑනිට කියපං”
“කිව්වට අහන ජාතියක්ද බං ගෑනු කියන්නෙ… උඹ දන්නවනෙ පහුගිය කාලෙ දෙව්නි හැසිරිච්ච විදිහ… උං ඒ වගේ වෙලාවට අපි කියන දෙයක් සත පහකට මායිං කරන්නෑ”
“සකීගෙ ජීවිතෙත් එක්ක මොකෙක්ටවත් මං ආයෙ සෙල්ලං කරන්නනං දෙන්නෑ”
“මචං මං සකීට ලං වුණේ ඇත්තටම. අම්මලට මේ ගැන කියල ආච්චව එයාලට මුණගස්සන්නයි මං හිතං ඉන්නෙ. මේ කල්පනීගෙ ප්‍රශ්නෙ විසඳගන්න උඹ මට උදව් කරපංකො”
මං එහෙම කිව්වට පස්සෙ සචින් ටිකක් කූල් ඩවුන් වුණා.
සකී ආන්‍යා තඹරවිල
ආදිල් ගේ හිත හදා ආවාට මගේ හිත කැළඹී නො තිබුණා ම නොවේ. නමුත් කල්පනී ගැන මීට පෙර ආදිල් පවසා තිබූ කරුණු කාරණා සැලකීමේ දී මට ඇගේ හැසිරීම වටහාගත හැකි විය. එනයින් ආදිල් කෙරේ මා තුළ නො රිස්සුමක් ඇති වූයේ නැති බව සහතික ය. නමුත් ගෙදර විත් ඒ සිදුවීම ගැන කිසිවක් ආච්චා ට නො කියන්නට මම වගබලා ගතිමි. ඕ තොමෝ පටු චින්තනයක් ඇත්තියක නොවී ද ආදිල් ව සියලු ආකාරයේ නරක නාම වලින් ආවරණය කොට රැක ගන්නට මගේ යටි සිතෙහි විසල් අවශ්‍යතාවයක් තිබුණා විය හැක. නමුත් ඒ කිසිවකින් අදහස් වන්නේ මා මුළුමනින් සුවයෙන් සිටි බවක් නොවේ. මගේ අසීරුව කෙසේ හෝ ඉවසා දරාගන්නට මම පුහුණු වෙමින් සිටියෙමි.
හැන්දෑව කෙළවරට යමින් තිබිණ. ආදිල් ආවේ නැත. මා වරක් දුරකතන ඇමතුමක් ගත්ත ද ඔහු ඊට පිළිතුරු දුන්නේ නැත. එතකොට කැළඹුම රැලි නැගුවේ ය. නමුත් මම පිටතින් සන්සුන් වීමි.
“ආදිල් පුතා අද පරක්කුයි වගේ”
ආච්චා බරාඳයෙහි පෙරමග බලා හිඳ කීවා ය.
“වැඩක් ඇති”
මම දැනෙන නො දැනෙන ගානට කියා දැම්මෙමි. නමුත් සිත තුළ කුණාටුව බලවත් වන්නට පටන් ගෙන තිබිණ. එහෙම වෙලාවට ගැහැනු හිතක් දුවන්නේ කිසි දාක නොගිය පාරවල් ඔස්සේ ය. ආදිල් යළිත් කල්පනී හමුවන්න යන්නට ඇති ද? ඇයට ආදිල් අතැරගන්නට උවමනා නැත. ඇය සුරූපී ය. යම් කිසි තැනෙක දී ආදිල් ගේ හිත ඇය ළඟ සසල නොවන්නට බැරි ද?
යළිත් මම ආදිල් ට කතා කළෙමි. එවර ඔහු පිළිතුරු දුන්නේ ය.
“ඇයි ලේට් කියලයි බැලුවෙ”
මම කෙඳිරුවෙමි.
“සකී මං සචින් එක්ක ඉන්නෙ. අපි තව ටිකකින් එනව”
ඔහු කීවේ ය. මට අමුත්තක් දැනිණ.
“සචින් අයියට දෙන්නකො”
කියා මා කීවේ ඒක ය. ආදිල් අතින් දුරකතනය සචින් අතට මාරු විය.
“සකී… කියන්න නංගි”
සචින් අයියා ගේ හඬ ඇසුන විට මට සැනසිල්ලක් දැනිණ.
“බොනවද ඔය…”
මා එසේ ඇසූ විට සචින් අයියා හඬ නගා සිනහ වූයේ ය.
“මූ කොහොමත් හොඳ බේබද්දෙක් තමයි. ඌ බොන එක ගැන ඔයා බය වෙන්නෙපා”
“ඒ සකී බයවෙයි බං. බොරු කියනනැතුව හිටහං”
පසෙකින් ආදිල් ගේ හඬ නැඟුණේ ය.
“නෑ නෑ නංගි. පොඩ්ඩක් සෙට් වුණා. අපි මේ බීච් එකේ ඉඳං බියර් එකක් ගන්නව විතරයි”
“හරි එහෙනං පරිස්සමට එන්න”
කියා මම දුරකතන සම්බන්ධය බිඳ දැමුවෙමි. ඊට පස්සේ මට බයක් දැනුණේ නැත. සැකයක් හිතුණේත් නැත. නමුත් මම කල්පනා කළෙමි. කල්පනී නික්ම ගියේ තර්ජනයක් කරමිනි. එපමණට ම ඇයට ඔහු උවමනා ය. සිය අවශ්‍යතාවය වෙනුවෙන් ඇය ඕනෑ ම දෙයක් කරනු ඇත.
“ඒ ගෑනිට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒ කාලෙ මොනා සිද්ද වුණත් දැං වැදගත් වෙන්නෙ වර්තමානෙ වෙන දේනෙ. ආදිල් කියන්නෙ තුන් කුළුඳුල් කොල්ලෙක් නෙවෙයි කියල කොහොමත් ඔයා දන්නවනෙ ආන්‍යා. මේ වෙලාවෙ ඔයා ළඟ ඉන්න ආදිල්ව කොන්දේසි නැතුව පිළිගන්න. මටනං කියන්න තියෙන්නෙ එච්චරයි”
තරමක දෙගිඩියාවකින් මුද්‍රා ට කතා කොට කල්පනී ගේ සිදුවීම ගැන පැවසූ විට ඇය කීවේ එවැන්නකි. එබැවින් මම තව දුරටත් පැසුණු හිතකින් තත්වයට මුහුණ දෙන්නට හිත හදාගතිමි.
ඔහු ආවේ වඩාත් රෑ වී ය. මම ආච්චා ට නිදන්නට කීවෙමි. ආදිල් සිටන්නේ හිත් රිදුමක් තුළ විඳවමින් බව, මේ තරම් වෙලා ඔහු සචින් අයියා සමගින් ගත කිරීම තුළ සිතා ගන්නට පිළිවන. එබැවින් ඔහු රියෙන් බැස ගෙතුළට එත්දීවත් මා කිසිදු වෙනසක් හැඟවූයේ නැත. නමුත් ආදිල් මට මුහුණ දෙන්නට පසුබෑවා කියා සිතමි. ඔහු බිම බලාගෙන අඩ සිනහවකින් කාමරයට යන්නට ගියේ ය.
“වොශ් දාල එන්න මං කෑම බෙදනව”
කියා මා කීව ද ඔහු කෑම මේසයට නො පැමිණියෙන් මම ඉස්සරහා කාමරයට ගියෙමි. ආදිල් යහන මත හිඳ හිස බිමට හරවාන සිටියේ ය. මම උළුවස්ස ට හේත්තු වී සිටගතිමි.
“මං කිව්වනෙ ඉතිං ඒ ගැන හිතන්නෙපා කියල. ඔයා එදා හිටියෙ කොතනද කවුරු ළඟද කියන එක මට වැඩක් නෑ. ඔයා මීට පස්සෙ ඉන්නෙ මාත් එක්ක මගෙ ළඟනං එච්චරයි. මං ළඟ ඉඳන් එයා ළඟට දවසක ඔයා ගියොත්… අන්න එදාට මට හිත හදාගන්න බැරි වෙයි”
ඒ අන්තිම ටික කියත්දී නම් මගේ හඬ බිඳී ගියේ ය. උගුරෙහි සියුම් රිදුමක් දැනිණ. ඇස් පිච්චෙන සංවේදනයක් දැනී මම බිම බලාගතිමි. ආදිල් මගේ ළඟට විත් ඉතා තදින් මා සිප වැළඳ ගත්තේ ය.
“ඒත් මට දුකයි. මං නිසා ඔයාගෙ සැනසීම ඔයාට නැතිවුණා කියල හිතද්දි…”
“මගෙ සැනසීම ඔයා. ඔයාව මට නැතිවෙන දවසක් වෙනකල් මගෙ සැනසීමත් මට නැතිවෙන්න විදිහක් නෑ”
“මට සමාවෙන්න සකී. මං දන්නව ඔයාගෙ හිත හුඟක් රිදුණ කියල. එහෙම නොවී තියෙන්න කල්පනී ගැන බලාගන්න මට බැරිවුණා”
“මං ඔයාට කොච්චර බැඳිලද කියල වෙනදටත් වැඩිය අද මං දන්නව ආදිල්. අපි ඒක අමතක කරමු”
ඒ බීර පුසුඹ තුළ සරාගයේ හැඟුමන් කෝටි ගණනක් වූයේ ය. ඊළඟ දවසට හිරු උදා වෙත්දී අපි ඒ සිදුවීම මුළුමනින් අමතක කරන්නට සමත් වී සිටියෙමු. ඊළඟ දවස් වල ආදරයේ හැඩතල තව තවත් තීව්‍ර වී තිබිණ. නමුත් ඒ සන්සුන් සාමකාමී බව කී දවසක් පැවතියේ දැයි සැක සහිත ය.
ඉරිදාවක උදයේ මාත් ආච්චාත් ආදිල් සමගින් කකා බහක යෙදී බරාඳයෙහි සිටියදී ත්‍රිරෝද රියක් විත් ගේට්ටුව ඉදිරියේ නතර විය. ගේට්ටුව විවර කරගෙන ඇතුළට පිවිසියේ කල්පනී ය. ආදිල් අසුනෙන් නැගී සිටියේ ය. ආච්චා ඒ කව්දැයි නො දන්නා දෑස් මවෙත හැරවූවා ය. මම ඇයට සන්සුන් වන ලෙස අතින් ඉඟි කළෙමි. කොයි වෙලේ සිදු වේද කියා නො දැන සිටිය ද මේ කොයි වෙලාවක හෝ මා බලාපොරොත්තුවෙන් සිටි දෙයකි.
“ඕගොල්ලොත් ගෑනු අයනෙ. ඒක නිසා මං කියන්නෙ මොකද්ද කියල චුට්ටක් හිතන්න. ආදිල් ගැන තීරණයක් ගන්න ඉක්මං වෙන්නෙපා. මොකද මට එයා මිසක් වෙන කෙනෙක්ව බඳින්න පුළුවන් කමක් නෑ. මං මේක ඇවිත් කියල යන්නම හිතුවෙ… අපි අතරෙ නිකංම සම්බන්දයක් තිබුණ කිව්වට ඕගොල්ලො ගණං ගන්නැති නිසා”
“මොකද්ද ඔය ළමය කියන්නෙ…”
ආච්චා තරමක් තදින් විමසුවා ය.
“ආච්චි… ගෑනු ළමයෙක් ළඟ තියෙන්න ඕන හැම දේම මං නැතිකරගත්තෙ ආදිල්ව විශ්වාස කරල. ඒක නිසා මට එයා ඇර වෙන කෙනෙක් ගැන හිතන්න බෑ”
“කල්පනී… මොනාද මේ කියවන්නෙ… පිස්සුද…”
ආදිල් අතිශය කලබල වී මාත් ආච්චාත් කල්පනීත් දෙස මාරුවෙන් මාරුවට බලන්නට වූයේ ය.
“සකී ඕක බොරුවක්. කවදාවත් එහෙම දෙයක් වෙලා නෑ”
ඔහු කෙතරම් අසරණ වී සිටියේ ද කියා ඒ ඇස් සාක්ෂි දැරුවේ ය. ඔහු බොරුවක් නො කරන බව ඒ ඉරියව් නිහඬව මුත් කෑ ගසා කීවේ ය.
“ඔහොම කරන්නෙපා ආදිල්. එතකොට අපේ ගේ පිටිපස්සෙ තේ වත්තෙදි වුණේ මොනාද…”
“මොනාද ඔයා මේ කියවන්නෙ කල්පනී… මොන තේ වත්තක් ද මේ කියන්නෙ… බොරුවට රඟපාල මගෙ ජීවිතේ විනාස කරන්න හදන්නෙපා මනුස්සයො”
“ඔයයි රඟපාන්නෙ ආදිල්. මාව අමාරුවෙ දාල ඔයා හැදුවෙ කොළඹ ඇවිත් මේ වගේ සල්ලි තියන තැනකින් කසාදයක් කරගන්න නේද… මට මෙහෙම කරන්නෙපා ආදිල්. ඔයා දන්නව මට වෙන කෙනෙක් ළඟට යන්න බෑ කියල”
මට කුමක් සිදු වී ද කියා මා දන්නේ නැත. වහා අසුනින් නැගී සිටි මම දිගු අඩි තබා ඉක්මන් ගමනින් ආදිල් පසු කොට ගෙතුළට යන්නට ගියෙමි. ආදිල් මගේ අතක මැණික් කටුව ළඟින් තද කොට අල්වා ගත්තේ ය.