Not Without You – 41

0
986

ල්පනී මැදගෙදර

මට දැනුණෙ කුරිරු සතුටක්. ඇත්තට ම මට ඕන වුණේ ආදිල් ට රිද්දන්න නෙවෙයි. සකී කියන අර කෙල්ලට රිද්දන්න. ඒ කෙල්ල එදා මං ගහන්න හදද්දි ආදිල් ට තුරුල් වුණ හැටි වගේ ම ආදිල් ඒකිව මගෙන් රැකගත්ත හැටිත් අමතක කරන්න බැරි චිත්‍රයක් වගේ මගෙ හිතේ ඇඳිල තිබුණ. අනිත් එක මං එච්චර යකා යටද්දිත් ඒකි ගාණක්වත් නැතුව හිටිය හැටි! සමහර විට ආදිල් වශී වෙලා ඇත්තෙ ඒ කෙල්ලගෙ ඔය ලක්ෂණ වලටනෙ. එහෙනං මට ඕන වුණේ ඒ ප්‍රතිරූප විනාශ කරල සතුටු වෙන්න.

සකීගෙ ගේ හොයාගත්ත විදිහ වෙනම මිශන් එකක්. කොහොමහරි ගෙදරට ම ගිහින් අර පත බොරුව ඇදබෑවට පස්සෙත් මේකි මං කියපු දේවල් ගණං ගන්නැතුව ආදිල් ට තේ හදන්න ගියාමනං මං ටිකක් අවුල් ගියා. මට ඕන වුණේ ඒ වෙලාවෙම ඒකි යකා මාක් එක ගන්නව බලන්න. ආදිල්ට බල්ලෙක්ට වගේ බැනල එලෝනව බලන්න. එහෙමත් නැත්තං මී හරකියක් වගේ අඬනව බලන්න. ඒ කිසි දෙයක් වුණේ නැති එකනෙ වැඩේ!

ආයෙ කවදාවත් ආදිල් මං ළඟට එන්නෑ කියන එක මට ඉර හඳ වගේ විශ්වාසයි. සකී එයාව අත්ඇරියත් ආදිල් ආයෙ මාවනං ලං කරන්නෑ. කොළඹ එන්න කලින් ඒ ගැන මගෙ හිතේ චූටි හරි බලාපොරොත්තුවක් තිබුණනං දැං ඒකත් නෑ. එහෙනං මට ඕනෙ මොනාද කියලත් මටම තේරෙන්නෑ. මට නැති දේ අනිත් එකෙක්ටවත් ඕන නෑ කියන එකද? මන්දා. මං එච්චර මගෙ හිත වුණත් හාරවුස්සන්න කැමති නෑ.

ඇත්තටම මං හරිම නොසන්සුන් කියල මට තේරෙනව. කොළඹ ආවට පස්සෙ ඒක වැඩියි. හැම වෙලේම මං මොනාහරි හොයනව. මොනාහරි බලාපොරොත්තු වෙනව. හැබැයි ඒ මොනාද කියල ඇත්තට ම මං දන්නෑ. නොදන්න ගෑනු දෙන්නෙක් ඉස්සරහට ගිහින් මං ආදිල් එක්ක ලිංගික සම්බන්දයක් තිබුණා කියල කියන එක ගැන වුණත් මට කිසිම හැඟීමක් තිබුණෙ නෑ. එකෙන් මට වෙන්න පුළුවන් ලැජ්ජාව, මගෙ ආත්මයට වෙන් පුළුවන් හානිය ගැන හිතන්නවත් මට ඕන වුණෙ නෑ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මට ආත්මයක් තියනවද කියල වුණත්. කවුරු මං ගැන කොහොම හිතුවත් මොනා කිව්වත් මට කමක් නෑ. මට පිස්සු!

ආදිල් එයාගෙ යාළුවෙක්ට කියල ජොබ් එකක් හොයල දුන්නට පස්සෙ, පළවෙනි සැලරි එක ලැබුණ ගමන් මං කළේ බෝඩිමකට යන එක. නැන්දලගෙ ගෙදර කිසි ප්‍රශ්නයක් තිබුණෙ නෑ. ඒත් මට එහෙ ඉන්න ඕන වුණෙ නෑ. මං මොනාද හොයමින් ඉන්න බව දන්නව වුණත් ඒ මොකක්ද කියල මං දන්නෑ. සමහර විට ඒ දේ ලැබුණට පස්සෙ මං අඳුරගනීද කියලත් මං දන්නෑ.

සකී මාව ගණං ගත්තෙවත් නැති වුණාට පස්සෙනං මට දැනුණෙ නිකං බැලුමක හුලං ගියා වගේ. මට කරගන්න ඕන වුණ දෙයක් වෙන්නෑ වගේ හිස්කමක් ඒක.  ඒත් මං මොනාහරිම කරන්න ඕනෙ!

සකී ආන්‍යා තඹරවිල

මගේ කාමරයෙහි සය කන් මන්ත්‍රණයකි. ඒ මාත් මගේ මිතුරියන් දෙදෙනත් ය. කල්පනී වෙතින් මෙවන්  හැසිරීමක් මුල සිට ම බලාපොරොත්තුවෙන් සිටියෙන්, පීහු ට හෝ මුද්‍රා ට මෙහි ලොකු අමුත්තක් වූයේ නැත. නමුත් මේ තරම්                පහත් ලෙස ඇය තමන්ගේ ම ආත්මය පාවා දීමෙහි යම් කිසි අමුත්තක් පෙනෙන්නට ඇති බව ඔවුන් ගේ අදහස විය.

“මොනා වුණත් කෙල්ලෙක් මිනිහ එක්ක තනියම මරාගත්ත වුණත් ඔහොම වුණා කියල ලෝකෙට කිය කිය යන්නෑනෙ. එහෙම දෙයක් වුණත් නෑ වගේ හංගං ඉන්න එකනෙ කරන්නෙ. ඒ කියන්නෙ ආදිල් එහෙම දෙයක් කරල නෙවෙයි. මේකිට කොල්ලගෙන් පළිගන්න ඕනකමක් තියෙන්නෙ”

“ඒ වුණත් ඒකෙන් එයාට වෙන ඩැමේජ් එක තේරෙන්නැද්ද මේ ගොං ගෑනිට…”

“ඕන දේක එක පැත්තක් දිහා විතරක් බලල ඔළුව අවුල් කරගත්තහම අනිත් පැති පේන්නැති තරමට අන්ධ වෙනව වෙන්න පුළුවන්නෙ”

“ආදිල්ට වුණත් ඇත්තටම කරන්න දෙයක් නෑ කියල අපි පිළිගන්න ඕනෙ. තමුසෙ ඒ කොල්ලගෙ ඔළුව කන්නනං එපා සකී. මොකද ඉතිං අපි මේ සම්බන්දෙ නවත්තමු මට මේක කන්ටිනිව් කරන්න බෑ කියල කිව්වට පස්සෙත් අහන්නැතුව පස්සෙං එනවනං… එ් සම්බන්දෙ තාම තියනව කියල මනෝ ලෝකයක් ඇතුළෙ එයා ඉන්වනං… මොකද පිරිමියෙක් විදිහට ආදිල් ඒ හොල්මනට ගහන්න කියලද… තර්ජනේ කරන්නද… අනිත් අතට ඔය වගේ මානසිකත්වයක් තියන මනුස්සයෙක් ඔය මොනා කළත් හරියට රිඇක්ට් කරයි කියල හිතන්න බෑ. ඕකුන්ට දඬුවම් දෙන්න බාරදෙන්න ඕනෙ මේ අපි වගේ උන්ට”

මුද්‍රා ගේ කතාවට පීහු හඬ නගා සිනහ වූවා ය. පාසල් සමයේ දී පන්තියේ දඟ ම නඩයෙහි සාමාජිකයන් වූ අප කළ දඟකම් කිහිපයක් මගේ හිතේ ඇඳී මැකී ගියේ ය.

“ඔය කෙල්ලගෙ මොබයිල් නම්බර් එක ගන්න බැරිද ආදිල්ගෙ ෆෝන් එකෙන්‍…”

මාව ඊට පෙළඹවූයේ මගේ මිතුරියන් ය. මා හුඟක් ඉවසන්නට දන්නා ගෑනු ළමයෙකු වී ද ආදිල් හා කල්පනී සම්බන්ධ කාරණාවේ දී ඒ ඉවසීම මගෙන් ගිලිහී ගියේ මා වුව නො සිතූ ලෙසයි. පෙර දා ආදිල් ගේ දුරකතනයෙන් මා කලබලයෙන් කල්පනී ගේ දුරකතන අංකය ලබා ගනිත්දී අන්තිම මොහොතේ ඔහු ට හසු විය.

“ඔයා  එයා වගේ වෙන්‍නෝන් නෑ”

ඔහු සන්සුන් අඩ සිනහවනින් ඉවසිලිවන්ත ලෙස කීවේ ය. තමන් පෙම් කළ ගැහැනුන් දෙදෙනෙකු ට මැදි වීමේ දී පිරිමියෙකු අසරණ වෙන තරම ගැන හිතන්නට මම බිඳක්වත් වෙහෙස නොවුණෙමි.

“මට එයා වගේ  වෙන්න ඕන නෑ. හැබැයි මං එයාට පැරදෙන්නෙත් නෑ”

මම රවාගෙන කීවෙමි.

“දැං මොනාද කියන්න හදන්නෙ එයාට කතාකරල…”

“ඒක මං බලාගන්නංකො”

“කල්පනීගෙ වචන වලිං ඔයා හිත රිද්දගන්න ඕන්නෑ සකී”

“එයා දන්නෑ මං කවුද කියල”

මම බොරුවට පුම්බාගතිමි.

“ආයිත් මං කියන්නෙ… ලෙහල ඇරපු මී හරකියක් වගේ කන්ට්‍රෝල් නැති ගෑනියෙක් එක්ක ඔයාටනං කතා කරන්නවත් දෙයක් නෑ සකී”

“ඔයා ඉතිං එයාගෙ පැත්තනෙ ගන්නෙ. ඔයාට මට වැඩිය එයා ලොකුයිනෙ”

කියා ඔරවාගෙන කීවාට කල්පනී ට වැඩිය ඔහු ට මා අගනේ බව මම ඉඳුරා දැන සිටියෙමි. ආදරයේ දී එහෙම ලන්සු තබන්නට අප කැමති බව තේරුම් යන්නට නම් එවන් සිදුවීමක් තුළ සජීවී ව සැරිය යුතු වේ.

“ඔයා දන්නවනෙ ඒක. ඔයා වෙනුවෙන් මට අනිත් ඕනම දෙයක් අතාරින්න පුළුවන් කියල මං ඔයාට කියල තියනව”

යනුවෙන් යළි යළිත් ඔහු ලවා කියවාගන්නට මම කැමති වීමි.

“හැබැයි මෙහෙමයි ඉතිං. ආදිල් කල්පනීගෙන් ඈත් වෙන්න හිතුවෙ ඇයි කියල හිතද්දි… තව කල්පනී කෙනෙක්ම සකීගෙන් එයාට ඕන නෑ. අපි ඒක පිළිගන්න ඕනෙ. ඒ නිසා සකී මොනාත්ම කරන්නැතුව ඉන්න. කල්පනී ගැන අපි බලාගන්නං නේ මුද්‍රා…”

අපේ මෙහෙයුම ගැන සංවාදය අවසානයේ පැමිණියේ එහෙම තැනකට ය. නමුත් මුද්‍රා ඒ වෙලාවේ ම කල්පනී ට දුරකතන ඇමතුමක් ගත්තා ය.

“සකී කියන්නෙ මගෙ නංගි. එයාගෙයි ආදිල්ගෙයි සම්බන්දෙට දෙපැත්තෙන් ම කැමැත්ත දීලයි තියෙන්නෙ. එහෙම තියෙද්දි ඔයා අපේ මහ ගෙදරටත් ඇවිත් ප්‍රශ්නයක් ඇතිකරල කියනව. මනුස්සකමට එක පාරක් කතා කරල පැහැදිලි කරන්නයි මේ ගත්තෙ”

“ආදිල් කියන්නෙ මාව බඳින්න ඉන්න කෙනා”

ඇය ගත් කටට ම කීවා ය. මම නො සන්සුන් ව කාමරයේ ඒ මේ අත සක්මන් කරන්නට ද නතර වී අසා සිටින්නට ද වීමි.

“ඔයාල අතරෙ සම්බන්ධයක් තියෙන්න ඇති. හැබැයි ආදිල් ඒක නතර කරල තියනවනෙ”

“එයා නතර කළා කියල බෑනෙ”

“හරි. එහෙම බැරිනං ඔයා නීත්‍යානුකූලව කරන්න පුළුවන් දෙයක් කරන්න. අපිත් පොලිස් කම්ප්ලේන් එකක් දානව ඔයාගෙන් මෙහෙම තර්ජනයක් තියනව කියල”

 වහා ම එහා ඉමෙන් දුරකතන සම්බන්ධය බිඳී ගියේ ය.

මිතුරියන් දෙදෙන නික්ම ගිය පසුව මගෙ හිතේ ශේෂ වී තිබුණේ සන්තාපයකි. ඊට හේතුව කුමක් දැයි මට හරියට ම වැටහුණේ නැත. කල්පනී ට කතා කළේ අපරාදේ යන සිතිවිල්ල, මුද්‍රා ඇගේ දුරකතන අංකය සොයා ගන්නයි කී වෙලාවේ පටන් ඇයට කතා කොට බණින්නට තිබූ උනන්දුව අකා මකා දමනා ලදී. ආදිල් ට මූණ දෙන්නට බැරිවා වාගේ මට දැනිණ. අවසානයේ සතුටක් ඇති නො වෙන, කළකිරීමක් ඇති වෙන යමක් නොකර සිටිත යුතු යයි මම තදින් සිතාගතිමි.

ආදිල් රාත්‍රී කෑම වනතුරුත් ගෙදර නො පැමිණියේ ය. මට හිතට බියක් දැනිණ. පමා වෙන බවක් දුරකතන ඇමතුමක් දී ඔහු පැවසූයේ ද නැත. මගේ ඇමතුමක් මගහැරියේ ය. ටික වෙලාවකට පස්සේ ‘ටිකක් රෑ වෙයි’ යනුවෙන් පණිවිඩයක් එවා තිබිණ.

යමක් සිදු වෙමින් ඇති බව මට දැනුණේ ය. ආච්චා ට කන්නට දී මම ඇගේ බෙහෙත් ලබා දුනිමි. මේසයට හිඳගත්තාට කෑම රුචියක් වූයේ නැත.

“සකී එහෙනං ආදිල් පුතා ආවහම කන්නකො”

කියා ආච්චා නිදන්නට ගියා ය. ඔහු ආවේ වෙහෙසකින් මෙනි. කෑම මේසයට ආවේ ද උනන්දුවකින් තොරවයි. මා අහන දේකට පිළිතුරු දුන්නා පමණකි. එබැවින් යමක් අහන්නට ද මා තුළ බියක් විය. මම බත් පත අත පත ගාමින් සිටියෙමි.

“කල්පනී කතාකරල කිව්ව ඔයා එයාට කතා කරළ ත්‍රෙට් කළා කියල”

එය පිට වූයේ එසේ ය. මගේ හුස්ම හිර වූවා සේ විය. ආදිල් ගේ දෙතොල් මත ලා හසරැල්ලක් රැඳී තිබිණි.

“ම්… මං…”

“අඬන්න ගත්ත එයා ජීවිතේ නැති කරගන්නව කියල. එයා එහෙම කරනෙකක් නැති වෙයි. ඒ වුණත්…”

ඔහු සුසුමක් හෙළුවේ ය.

“මං නෙවේ කතා කළේ මුද්‍රා. හැබැයි ත්‍රෙට් කළානං නෙවෙයි. මට තේරෙනව. ඔයාට මේක අමාරුයි. මොනා වුණත් ඒ ඔයා ආදරේ කරපු ගෑනු ළමය. මං ම්… මං… මං කවුද…”

ඉඳුල් නැති අතින් මුව වසාගෙන මා පුටුවෙන් නැගී සිටියේ ඉඳුල් අතින් පිඟාන ගනිමිනි. ආදිල් වහා නැගී සිට මගේ මාර්ගය අවහිර කළේ ය.

“මුරණ්ඩු වෙන්නැතුව ඉන්නවද ඔක්කෝටම ඉස්සෙල්ල… මං කිව්වනෙ මං මේක විසඳනව කියල”

“කවදද… කොහොමද…”

මා එසේ ඇසුවේ ඉකි බිඳෙත්දී ය. ඒ වෙලාවේ මට වද දෙමින් තිබුණේ ආදිල් තනිකර ම මගේ නොවේ යන සිතිවිල්ලයි.

“කොහොමහරි. හැබැයි මේ දවසට කියල මට දවසක් කියන්න බෑ සකී. ඔයා දැන් දන්නවනෙ කල්පනීගෙ විදිහ. ඒ ළමයට මානසික රෝගයක්ද කියල දැන් මට හිතෙනව. අර වගේ කවදාවත් සිද්ද නොවුණ දෙයක් ගැන තේ වත්තකුත් ගාවගෙන කිව්වෙ. සුයිසයිඩ් කරගන්නව කියල දැං කිව්හම… ඇත්තටම එහෙම කරගන්නත් බැරි නෑනෙ මෙන්ටල් ඩිසෝඩර් එකක් තියනවනං කියල හිතෙනව. එහෙම වුණොත් ඔක්කොම කුණු මගෙ කරපිටට එයි. ඒකයි කියන්නෙ මං නිසා ඔයා පොඩ්ඩක් ඉවසන්න”

ආදිල් කතා කළේ වෙනදාට වඩා තරමක් තදිනි. නමුත් ඒ තද පිරිමි හඬ තුළ ද තමන්ගේ හැඟීමක් තිබිණි. මා යළිත් පුටුව මත හිඳවී තිබිණ. ඉකිළුම තුනී වෙමින් තිබිණි ද මුළුමනින් නතර වී තිබුණා නොවේ.

“ම්… කන්න”

ආදිල් බත් පිඬක් අනා මගේ මුවට ලං කළේ ය. මම හිස වනා එය ප්‍රතික්ෂේප කළෙමි.

“කන්න. හිස් බඩ නිදියන්නෙපා”

ඔහු බලයෙන් බත් කට මුවෙහි ලූයේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here