මදහවල වෙනතුරුත් අකලංක රැඳී සිටියේ කොළඹමය.යළිත් වරක් ළමා රෝහලට ගොස් තමා පෙරදා රාත්‍රියේ සියැසින් දුටු දෑ සත්‍යදැයි හරි හැටිම තහවුරු කරගන්නට සිතුනත් ඔහු එසේ නොකළේය.කොළඹින් පිටව යන්නට අවශ්‍ය ඇඳුම් කිහිපයක් මිලදීගත් ඔහු සිය දුරකථනය ක්‍රියාත්මක කළේ සොහොයුරාට ඇමතුමක් ලබාගන්නට සිතාගෙනය.
අකලංකට තම නිවසේ අයවලුන් ගැන දැනුනේ දුකකි.තමාගේ පාපයට ඔවුන් දඬුවම් ලැබිය යුතු නොවේ.සොහොයුරා පැවසූ පරිදි එළිවෙන පුරාවටම ඔවුන් සිට ඇත්තේ අවදියෙන්ය..කුමක් වුවත් දිනාරාට දොස් කියන්නට ඔහුගේ සිතෙහි ඉඩක් වූයේ නැත.තමා ඇයට ආදරය කරන බව පවසද්දීත් ඇය පුන පුනා පැවසූයේ විවාහ නොවන්නට සාධාරණ හේතුවක් ඇයට තිබෙනා බවය.ඒ රහස පිටුපස ඇති කතාව දුක්මුසු එකක් බව විශ්වාසය.. දරුවාට පියෙකු සිටියේ නම් ඇය දරුවා සඟවාගෙන තබා ගත යුතු නොවේ.දිනාරා කාර්යාලයට පැමිණ වසරකටත් වඩා වැඩි කාලයක් ගතව තිබිණ.සම්පූර්ණ කාලය පුරාවටම ඇය නිවාඩු ලබාගෙන තිබුණේ එක් දිනකි.ඒ අම්මාගේ දානය නිසා බව අකලංක දනී. ප්‍රියංකා ටීචර් පවා මේ සියල්ල රහසක් සේ රැක උන් බව විශ්වාසය.
ඇය හදිසියේම වසර දෙකක නිවාඩුවක් ලබා ගන්නට ඇත්තේ දිනාරාගේ දරුවා නිසාය.
විශ්ව එහා ඉමෙන් දුරකථනයට සම්බන්ධ වූයේ එය නාද වූ පළමු තත්පරයේදීමය.
“ අයියේ ඔතන අම්මා ඉන්නවද..”
“ මෙතන නෑ පහළ ඉන්නවා. දැන් තමුසෙ කොහෙද ඉන්නේ?..”
“මම කොළඹින් පිටට යන ගමන්..”
“ මොකක්ද හලෝ මේ නාඩගම..”
“ මං කිව්වනේ මට ටික කාලයක් මේ හැම දේකින්ම ඈත්වෙලා රිලැක්ස් වෙන්න ඕනේ කියලා.”
“ හදිසියේ තමුසෙට එහෙම හිතුණේ මොකද කියලා තමයි මං අහන්නේ..බලනවා මුළු ලංකාවම කතා කරන්නේ තමුසේ ගැන.මේවා මීඩ්යා වලට ගියොත් “
“ හදිසියේ නෙමෙයි අයියේ ඒක මං කීප දවසක ඉඳලම ගතපු තීරණයක්.”
“ තමුසෙ දන්නවද දිනාරා රෙසිග්නේෂන් දීලා කියලා.”
“ නෑ මම දන්නෙ නෑ කවදද..”
එවර අකලංක ඇසුවේ පුදුමයෙන්ය.
“ දැන් දවස් හතරකට කලින්.තාත්තට තමයි ලෙටර් එක බාර දීලා තියෙන්නේ.”
“ එයාට එහෙම කරන්න පුද්ගලික හේතු ඇතිනෙ අයියේ.යන්න ඕන කෙනෙක් අපිට බලෙන් නවත්තගන්න බැහැ.මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි..අපි වෙන කෙනෙක් ගමු.”
“ තමුසෙ කතා කරන විදිහෙන් තේරෙනවා මොකක්ම හරි වෙලා තියෙනවා කියලා.”
“ නැහැ බං කිසි දෙයක් වෙලා නෑ..මට සතියක් කල් දෙන්න සතියක්..”
“ ඉදහං අම්මා ඉන්නවා…”
“ චූටි පුතේ ඔයා මොනවද මේ කරන්නේ…සැරින් සැරේ මොන ගින්දරක්ද අපිට මේ දෙන්නේ..”
“ අනේ සොරි අම්මා..මං හිතා මතා එහෙම කළේ නෑ.මට ටිකක් එළියට යන්න ඕන වුණා.ෆෝන් එකේ බැට්‍රි ඩෙත් වෙලා කියලා දන්නෙ පස්සේ..”
“ එහෙම වගකීමක් නැති විදිහට වැඩ කරන්න එපා දරුවෝ.ඔයා වගේම තාත්තයි අයියයි මහන්සි වෙලා ඉන්න වෙලාව.ඒ දෙන්නා ඊයේ මේ කොළඹ පාරක් පාරක් ගානේ හොය හොය කියා.එළි වෙනකල් නින්දක් නෑ..”
“ සොරි මට ඇත්තටම නින්ද ගියා අම්මා..මං කියන්න ගත්තෙ කලබල වෙන්න එපා. මං ටික දවසකට කොළඹින් පිට යනවා කියලා..”
“”මොකක්ද ඒකට හේතුව.”
“ එහෙම හේතුවක් නෑ අම්මා පහුගිය දවස් ටිකේම වැඩ කරලා ටිකක් ටයර්ඩ්..ඒකයි. අපේ ඉවෙන්ට් එක ලස්සනට තිබුණ නේද අම්මා”
“ ඔව් හැමෝම ඒ ගැන කතා වුණා. හැමදේම හරි ලස්සනට තිබුණා.ඔයා අපිට දීපු සප්‍රයිස් එක ඒක ඇත්තටම අමතක නොවෙන සප්‍රයිස් එකක් පුතේ..හැමදේම හරි ලස්සනට ලෑස්ති කරලා ඔයාට තැන්ක්ස් කරන්නවත් ඉඩක් දෙන්නේ නැතුව ඔයා කොහෙද මේ යන්නේ?..”
“ මං කිව්වනේ අම්මා ලොකු කාලෙකට නෙමෙයි. වැඩිම උනොත් සතියක් වෙයි.අම්මා නර්මදා අක්කව හොඳට බලාගන්න.මේ වෙලාවේ මං ගැන නෙමෙයි අක්කා ගැන හිතන්න.එයාට මං පස්සේ කතා කරන්නම් කියන්න..”
“ ඒක මං කොහොමත් කරනවනේ පුතා..ඔයා මෙහෙම තීරණයක් ගත්තේ දිනාරා නිසාද…”
“ අයියෝ නෑ අම්මා ඇයි එයා නිසා….එයාට එයාගේ පුද්ගලික ජීවිතේ තියෙනවා මට මගේ ජීවිතේ තියෙනවා.අනික අම්මා එයා මැරි කරන්නෙ නෑ කියල තීරණයකනේ ඉන්නේ.ඉතින් මම ඒ තීරණය වෙනස් කරන්න යන්නෙ නෑ.”
“ ඒ තීරණය දුව වෙනස් කරයි පුතේ.මේ ඉවෙන්ට් එකෙන් පස්සේ අපි හැමෝම එකතුවෙලා දිනාරා දුවත් එක්ක කතා කරන්න ප්‍රියංකා ටීචගේ. ගෙදර යන්න හිටියේ.අක්කා තමයි කිව්වේ ඔයාට ඒ බවක් කියන්න එපා කියලා.ප්‍රියංකා ටීචත් මේ මැරේජ් එකට හරි කැමතියි පුතා..ආපහු ගෙදර එන්න අපි දුව එක කතා කරලා බලමු.අපි හැමෝම එකතු වෙලා එයාට පැහැදිලි කරලා දෙමු..”
“ එපා අම්මා ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ.මම දිනාරාව මැරි කරන්න කැමති නැහැ.මටත් ඒකට සාධාරණ හේතු තියෙනවා.ආයේ අම්මා මොනම හේතුවකටවත් ප්‍රියංකා ටීචත් එක්ක ඒ ගැන කතා කරන්න එපා.දිනාරාත් එක්ක මගේ කිසිම තරහක් නෑ අම්මා.මං දන්නේ නැහැ එයා රෙසිග්නේෂන් දුන්නා කියලා.තවදුරටත් අපේ කම්පැනි එකේ වැඩ කලත් මගේ සෙක්‍රට්‍රි වෙලා හිටියත් මම එයාගේ බොස් එයා මගේ සේවිකාවක් විතරයි.”
“ චූටි පුතා ඔයාමද මේ කතා කරන්නේ.”
“ ඔව් අම්මා මං කිව්වනේ ඒකට සාධාරණ හේතු තියෙනවා කියලා.මේ කිසි දෙයක් ගැන හිතන්න එපා.ආයෙ ප්‍රියංකා ආන්ටිවත් දිනාරා එක්කවත් මේ ගැන කතා කරන්න යන්න එපා.අපි එහෙම දේවල් අහද්දි ඒ මිනිස්සු අසරණ වෙනවා.”
මුලින්ම දුරකථනය විසන්ධි වී ගියේ අකලංකගේ පසින්ය.මේ කිසිවක් සිතාගත නොහැකි වූ තේජා තම සැමියා දෙස බැලුවේ පුදුමයෙන්ය.
“ එයාට කියන්න ලොකු පුතා සැරින් සැරේ අපිට කතා කරන්න කියලා.නැත්තං එයාගේ ෆෝන් එක ඕෆ් කරන්නේ නැතුව ඕන් එකේ තියාගන්න කියලා..විශ්වාසයි මහින්ද මේ දෙන්න අතර මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා.එයා කතා කලේ දිනාරා දුව ගැන කලකිරීමෙන්..”
“ සමහරවිට වෙන්න පුළුවන්.එහෙම වෙලා හරි ඒ ළමයි නිරවුල් වෙනවනම් එච්චරයි වෙන්න ඕනේ. කොහොමත් දිනාරා ඔෆිස් එකට එන්නේ තව දවස් කිහිපයයි.සමහරවිට ඒ දවස් කිහිපය මගහරින්න ඕන හින්දා පුතා මේ වගේ දෙයක් කළා වෙන්න පුළුවන්.කාලය අරගෙන හරි එයාලගේ හිත් හදාගන්න ඕනේ එයාලම තමයි.”
මහින්ද එසේ පැවසූයේ තේජා ඇඳ මත තැබූ විශ්වගේ ජංගම දුරකථනය ඔහු දෙසට දිගු කරමින්ය.
පසුදා ආයතනය විසින් පැවැත් වූ එම කෑම වට්ටෝරුව තේරීමේ අවසන් තරගයේ විශේෂ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔත්සේ ප්‍රසිද්ධව තිබිණ. වැඩිම වාර ගණනක් මිනිසුන් නරඹා තිබුණේ දිනාරත් අකලංකත් එක්ව වේදිකාවට පැමිණෙද්දි ඇය වැටෙන්නට යන දර්ශනයත් අකලංක ඇයව අල්ලා ගෙන ඉන්පසු ඒ දෙපා මුල පහත්ව සපත්තුවේ පටිය නියමිත ආකාරයෙන් රඳවන හැටිත්ය. විවිධ ගීතවල කොටස් සේම හඩ කැවීම්ද ඒ දර්ශන සඳහා යොදාගෙන තිබිණ.
පෙරදා රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශනය නැරඹූ බාප්පා යළි යළිත් එම දර්ශනය නැරඹීමට වලව්වේ අයවලුනුත් සහභාගී කරගත්තේ උස් හඬින් කෑ ගසමින්ය. යළිත් ආපස්සට ගෙන එම දර්ශන යළි නැරඹීමට හැකියාව වූ නිසා වලව්ව තුළ කිහිප වරක්ම ඒ ප්‍රවෘත්ති විකාශය ඇසෙන්නට විය.ලෝක ප්‍රසිද්ධ වූ මැක්රීන් ෆුඩ්ස් ආයතනයේ හිමිකරුවන් වේදිකාව මත සිට ගෙන සිටිද්දී ඒ අසලම වූ දිනාරා හොඳින් කැපී පෙනෙන්නට විය.නිවේදකයා ඇයව අගය කළ ආකාරයත් අකලංක ගලප්පත්ති නම් කඩවසම් තරුණයා ඇයට මල් කළඹක් පිළිගැන්වීමත් වලව්වේ සියල්ලන්ගේම පුදුමයට හේතුව වී තිබිණ.වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ දිනාරාගේත් අකලංක ගලප්පත්තිගේත් වීඩියෝ පට නරඹමින් උන් සෞම්‍යාත් , ලියානාත් වූයේ ඉරිසියාවෙන් දැවෙමින්ය.
“ ඒකි ඒ කොල්ලා අල්ලගෙන අම්මේ..මේ බලන්නකෝ ඉන්න හැටි….”
ලියානා පැවසූයේ මද හඩකින්ය.
“ අන්තිමේ ඒකිට හරි ගියා…”
සෞම්‍යා එසේ පවසද්දී .මිලිනාගේ සිතෙහි මතුව තිබුණේ ආඩම්බරයකට සමාන වූ සතුටකි.
නිවස තුළ ප්‍රධාන මාතෘකාව වී තිබුණේ දිනාරාය.කලකින් නොදුටු ඇගේ රුවය මැක්රීන් ෆුඩ්ස් ආයතනය තුළ ඇයට හිමි තැනය. සමාජ මාධ්‍ය තුළ විකාශනය වෙමින් තිබූ තරුණයාගේත් ඇයගේත් වීඩියෝව මිලීනා තුන් හතර වතාවක්ම නැරඹූයේ විවාහක සැමියා අතහැර නිවසට පැමිණි මිණිපිරියගේ දුරකථනයෙන්ය.
මෙම සිදුවීම් සියල්ල වලව්වේ අයවලුන්ගේ දෑස් වල කටු අනින්නට සමත්ව තිබූ බව විශ්වාසය. ලේලිය වරින් වර රූපවාහිනිය නරඹමින් දුරකථනය දෙස බලමින් තනිවම කියවන අයුරු දුටු මිලීනාගේ වුව මත සටහන් වූයේ සමච්චල සහගත සිනහවකි.නෑනාවරුන් දෙදෙනා දැන් නයි මුගටින් සේ වෛරයෙන් පසුවේ. දියණිය ප්‍රකාශ කරන්නේ ඇයත් සොහොයුරාත් එක්ක තමාව රවටා දේපළ ලබාගත් බවයි.මිලීනා වූයේ ඔවුන් ගැන සැබෑම කලකිරීමකින්ය.
ඇයට දිනාරාගේ ජයග්‍රහණය ආඩම්බරයක් වූයේ එනිසාය..
අවසන අකලංකට මේ සියලු විස්තර හේෂාන් සමඟ පවසන්නට සිදු විය.දිගින් දිගටම තමාගෙන් ප්‍රශ්න කරන මිතුරන් දෙදෙනාම මගහැර සිටීමට ඔහුට පුළුවන්කමක් වූයේ නැත.අවසන සියල්ල හැරදා මිතුරන් දෙදෙනාත් ඔහු හා කොළඹින් පිටව යන ගමනට එක් වන්නට සූදානම් විය.
“ ඒකි මාර බඩුවක්නේ බං..කොහොමද බං මෙහෙම දෙයක් හංගගෙන ඉන්නේ.එක අතකින් මේ දේවල් මෙහෙම වෙච්ච එක හොඳයි.පස්සෙන් ගිය හැටියට පුදුමයි උඹට ළමයාගේ තාත්ත විදිහට උප්පැන්නෙට නම දෙන්න කියලා කිව්වේ නැතුවා..”
“ එච්චර වයසක් නෑනේ බං..ළමයෙකුත් ඉන්න තරම්..ෂුවර් එකට කාගේ හරි අතින් අනාථ වෙලාද දන්නේ නෑ… “
මිතුරන් දෙදෙනා විවිධ අදහස් පවසද්දී අකලංක කළේ නිහඩව සිටීමය.මේ සිත ගැන ඔහුට පුදුමය. ගෙවී යන මේ තත්පරයේත් දිනාරාට දොසක් පවසන්නට ඔහුට සිතුනේ නැත.
******========*******======*****===
සචින් සුවපත් වූයේ හෙමිහිටය.දින දෙකක් පුරා දිනාරා සිය සොහොයුරා හා රෝහලේ රැඳී සිටියාය.ඔහුට තිබුණේ වෛරස් උන රෝගයකි. අලංක එදා කොළඹින් අතුරුදහන්ව සිටි පුවත දිනාරා හිමාශාගෙන් දැනගත්තේ සචින්ව රැගෙන යළි නිවසට පැමිණියාට පසුවය.
“ මං දන්නෑ එදා මාර කලබලයකින් ඔයාව හොයන්න සර් එතනින් පිටවෙලා ගියේ.මං මේ කිසිම දෙයක් කිසිම කෙනෙක් එක්ක කිව්වෙ නෑ දිනාරා .සර්ලා එළි වෙනකල්ම අකලංක සර්ව හොයලා තියෙනවා..ඒ උනාට අකලංක සහ හම්බවෙලා නෑ.උදේ කතා කරලා කියලා තියෙනවා කොළඹින් පිටට යනවා කියලා.මං මේ ගැන මොනව හරි දෙයක් දැනං හිටියද කියලා නර්මදා මිස් කතා කරලා මගෙන් ප්‍රශ්න කළා.විශ්ව සර්රුත් එක එක ඒවා ඇහුවා..”
“ ඇයි ඒ හදිසියේ..”
“ දන්නේ නෑ..එදා සමහර වීඩ්යෝ ලොකුවට වෛරල් වෙලා.ඔය දෙන්නම නැති නිසා ඔෆිස් එකේ අයත් කතා වෙනවා..”
“ මොනවද ඒ…”
“ ඒ දේවල් වලින් වැඩක් නැහැ දිනාරා කොහොමත් මිනිස්සු කියන දේවල් අපිට නවත්තන්න බැහැ.මට හිතෙනවා ඔයා අකලංක සර්ට කතා කළානම් හොඳයි කියලා.හිත හදා ගත්තා කියල පෙන්නුවට එයා හිත හදාගෙන නෑ.මේ ඔක්කෝම ඉවර වෙලා මෙහෙම යන්න බලන් ඉන්න ඇති…”
“ මට හරි දුකයි හිමාෂා..මං හින්දා නේද මේ හැම දේම..සර්ගේ සැහැල්ලුව නැති කලේ මම.සැනසීම නැති.කලේ මම..”
“ ඒ සැනසිම ආයේ එයාට දෙන්න පුළුවනුත් ඔයාටම විතරයි..”
“ අකලංක සර් මගේ මල්ලිට මම තරම් ආදරේ වෙයිද..මම තරම් මෙයා ගැන හිතයිද…”
“ හිතනවා… අනිවාර්යයෙන්ම හිතනවා..අකලංක සර්ට එක කෝල් එකක් දෙන්න..හිත හදාගන්න.ඔයා ටිකක් උත්සාහ කරලා බලන්න.බැරි වෙන එකක් නෑ.ඔය දෙන්නම හිත්වල ආදරේ පුරවගෙන දෙපැත්තට වෙලා ඉන්න දෙන්නෙක්.ඔයාලා එකතු වෙන්න ඕනේ දිනාරා.නැති උනොත් කොහොමද මේ ලෝකෙ ලස්සන ආදර කතා ලියවෙන්නේ..ඒක අපරාධයක් දිනාරා.”
යුවතියන් දෙදෙනාම ඇමතුම නිමා කළේ තවත් හෝරාවකට පමණ පසුවය.දිනාරා වැඩිපුරම කලේ හඬා වැටීමය.එවේලෙහි දරුවා නිදි කරමින් උන් ප්‍රියංකාත් දුරකථන ඇමතුමකය.වරින් වර ඇගේ මුහුණ වෙනස් වෙන අයුරු දිනාරා නිරීක්ෂණය කළේ හිමාෂා සමග කතාබහ කරමින් සිටියදීමය.
( යළිත් හමුවෙමු දයාබරව )