ආදිල් මන්රූ රත්නායක
නින්දෙන් මුලින් ම මට ඇහුණෙ මුමුණන කටහඬවල් ටිකක්. ඒ අතරෙ සකීගෙ හඬත් තියෙන බව අඳුරගන්න මට බැරි වුණෙ නෑ. මං කන් දෙන්න උත්සාහ කළෙත් නෑ මේ ගෙදර එයාගෙ හඬ ඇහෙන එකේ අරුමයක් නැති නිසා. ආයෙමත් නිදිමතට ඇස් දෙක බර වෙනකොට ඇහුණෙ සකී ගෙ කා එක පිටත් වෙන හඬ. ඇත්තට ම මං හරියට නින්දෙන් අවදි වුණේ ඒ වෙලාවෙ. ඇඳෙන් පැනල දොර අරිනකොට, ගේට්ටුව වහල එන ගමන් මානෙල් වැරැන්ඩා එකට ගොඩ වෙමින් හිටිය. මාව දැකපු මානෙල් හිනා වුණේ එහෙම කරන්නෝනෙද නැද්ද වගේ දෙගිඩියාවකින්.
“සකී කොහෙහරි ගියාද මානෙල් අම්ම…”
“ඔව්. මං නැගිටිනකොටත් සකී බබා යන්න ලෑස්ති වෙලා හිටියෙ. කොහෙද කියල හරියට කිව්වෙත් නෑ. ආදිල් මහත්තයට කලින් කියන්න ඇතිනෙ නේ…”
කියාගෙන මානෙල් ඇතුළට ගියා. මං එහෙම ම වැරැන්ඩා පුටුවකට වැටුණෙ පපුව පිච්චෙනව වගේ දැනෙද්දි. අපි අතරෙ ආදරයක් නෙවෙයි ඊට කලින් ළඟ හිතවත්කමක් ඇති වුණාට පස්සෙ වුණත් යන එන තැනක් ගැන සකී මට කියන්න පුරුදු වෙලා හිටිය. අද උදෙන්ම කොහෙ හරි යන්න හිටියනං ඊයෙ රෑ හරි ඒ ගැන මට නොකිව්වෙ එයා මාත් එක්ක අමනපෙන් ද? ඊයෙ රෑ කෑම මේසෙදි වුණ සිදුවීම මට මතක් වුණා. එහෙම ම නැගිටල ගිහින් මං සකීට කෝල් එකක් ගත්තත් එයා ආන්සර් කළේ නෑ. ඒ කියන්නෙ එයා මාත් එක්ක අවුලෙන් තමයි ඉන්නෙ!
මං හොඳට ම කලබල වුණාට ආච්චා හිටියෙ සන්සුන්ව. ඒත් සන්සුන් හිතෙන් එයා හුඟක් හිතනව කියල මට දැනුණෙ එයා කියපු දෙයක් නිසා.
“සකී ඉන්නෙ හිතේ අමාරුවෙන්. අපිට නොපෙන්නුවට ඒකයි ඇත්ත”
ඒ වචන ටික මගෙ පපුවට මංවත් නොහිතන බලපෑමක් කළා කිව්වොත් වැරදි නෑ. සකී හිතේ සැහැල්ලුවෙන් නිදහසේ හිටිය ගෑනු ළමයෙක්. අමුතු බරක් එයාගෙ හිතට එකතු වුණානං ඒ මං නිසා.
මං මුද්‍රාට කෝල් කළේ සකී එයාල එක්කවත් ඉන්නවද බලන්න. ඊයෙ රෑ වෙච්ච දේට එයාගෙ හිත රිදිලනං එයා යාළුවො දෙන්න ළඟට ගිහින් හිත නිවාගන්න හිතයි කියලයි මං හිතුවෙ.
” ආන්‍යා මට කතා කළේ නෑ අද. උදේ මං ගත්තත් ලයින් එක ගියෙ නෑ”
මුද්‍රාගෙ උත්තරේ මාව තවත් අවුල් කළා. ඊළඟට අපි තුන් දෙනාම මාරුවෙන් මාරුවට එයාගෙ ෆෝන් එකට ට්‍රයි කළා. ටෙක්ස්ට් කළා. වොයිස් මෙසේජස් තිබ්බ. ඒත් ෆෝන් එක දිගට ම ඕෆ් කරලයි තිබුණෙ.
“මේ කෙල්ල කවදාවත් අපිටවත් නොකියා මෙහෙම කරන්නෑනෙ”
කියන එක ඇරෙන්න ඒ දෙන්නටත් මේ සිද්ද වෙලා තියෙන්නෙ මොකද්ද කියල කියන්න හරි අදහසක් තිබුණෙ නෑ. කරන්න ඕන වැඩ ටික ගැන ෆෝන් එකෙන් ස්ටාෆ් එකේ අය දැනුවත් කරල මං ගෙදරට වෙලා එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටිය විතරයි. හදිස්සියෙම මතක් වෙලා පන්සලට ගියේ සකී අර එක දවසක් වගේ පන්සලට ගිහින් ඔහේ ඉඳගෙන ඉන්නව වෙන්න බැරිද කියල හිතිලයි. පන්සලේ හිටිය හැම මූණකම මං සකීව හෙව්ව. ඒත් එයා හිටියෙ නෑ. අන්තිමට තමයි මං සචින්ට කෝල් කළේ. ශෝට් ලීව් එකක් දාල සචිය එවෙලෙම ආව.
“මට කීයටවත් සකීගෙ හිත රිද්දන්න ඕන වුණෙ නෑ බං. ඒ වගේම කල්පනීගෙන් අයින් වෙන්න ඕනත් එයාව රිද්දල නෙවෙයි. මං වැරදියි කියල උඹත් හිතනවද…”
සචින් මගෙ උරහිසට තට්ටුවක් දාල “යමංකො” කියල කිව්වෙ සකී ඉන්න තැනක් ඉන්තේරුවෙන්ම දන්න තරං ශුවර් එකකින්. ගෝල් ෆේස් එකේ බැම්මක් උඩ තනියම වාඩිවෙලා සකී ඔහේ මුහුද දිහා බලං ඉන්නව දැකපු වෙලේ මගෙ පපුව හෝස් ගාල පත්තු වුණා. ආයෙත් ජීවිතේ තියෙන තුරාවට පුංචි රිදීමක්වත් ඒ හිතේ ඇතිවෙන්න දෙන්නෑ කියල මං මට ම පොරොන්දු වුණේ ඒ වෙලාවෙ. ඒ වුණත් හීනියට මගෙ හිතත් නො රිදුණා නෙවෙයි. ඒ සකී සචින්ගෙ උරහිසට බර වෙලා අඬන්න ගත්ත වෙලාවෙ. සචින් තරමට එයාට ලංවෙන්න තාමත් මට බැරිවෙලාද?
සකී ආන්‍යා තඹරවිල
සූර්යයා ටික ටික අවරට යමින් තිබේ. අද මම එහි ගමන වඩාත් පැහැදිලිව දුටුවෙමි. මා නතර වී ඒ ගමන දෙස බලා සිටි බැවිනි. නතර වී ඇති සෙයක් පෙනුණාට සැබවින් අප කිසිවෙකු නතර වී නැතිවා නොවේ ද?
ආදිල් මගේ උකුල මත වූ වම් අතේ අතැඟිලි සිය සුරතින් පටලවා ගනිමින් එය ඔහු ගේ කකුල මතින් තබාගත්තේ ය. මුහුදු හඬ අතරේ, මට ඔහු සුසුමක් හෙලූ හඬ පවා පැහැදිලි ව ඇසිණ. මා සිටියේ කෙළින් ඔහු දෙස නොබලා, ඔහු ගේ බැල්ම මගහැර මුහුද දෙස බලාගෙන ය. නමුත් ආදිල් ගේ දෑස් මා වසාගෙන පැතිර ඇති බව මට දැනේ.
“උඹල කතා කරපල්කො. මං වාහනේට යනව පොඩ්ඩක් ඇස් දෙක පියාගන්න. නිදි මතක් එනව”
කියාගෙන මීට මඳකට පෙර සචින් අයියා නික්ම ගියේ අප දෙදෙනාට තනිව කතා කිරීමේ අවස්ථාවක් ලබා දෙමින් විය යුතු ය.
“සොරි”
ආදිල් හෙමිහිට කෙඳිරුවේ ය.
“ඊයෙ රෑ ඔයාට හිතුණනං මං ඔයා ගැන නෙවෙයි තාමත් කල්පනී ගැනයි හිතන්නෙ කියල… ඒක වැරදියි. සමහර විට මගෙ කමියුනිකේශන් අවුලක් නිසා ඔයාට එහෙම හිතුනද දන්නෙත් නෑ. කල්පනීව කුණු මාළු කෑල්ලක් වගේ අයින් කරල දාන්න මට බැරි නෑ. ඕනතරං කොල්ලො කෙල්ලෙක්ව අතෑරියට පස්සෙ එහෙම කරනව. ඒත් මට එහෙම ජරා මිනිහෙක් වෙන්න බෑ. දවසකට හරි මගෙ වයිෆ් කරගන්න හිතුව කෙනෙක්නෙ එයා. තුන් හිතකවත් කල්පනී ගැන දැන් ආදරයක් තියනව කියල නෙවෙයි මේ කියන්නෙ සකී. අනිත් එක ඔයා කල්පනීගෙ තත්වෙටම වැටෙනවට මං ආස නෑ. මගෙ හිතේ ඔයා ඉන්නෙ ඊට වඩා ගොඩක් උඩින්. ගොඩක් ලස්සනට…එළියට… චුට්ටක් හිතන්න දවසක අපිට දුවෙක් හිටියොත්… මොන හේතුවක් නිසා හරි එයා පිරිමියෙක්ගෙන් අවතක්සේරු වෙනවට අපි කැමතිද… මගෙ දුවෙක්ට වෙනවට කැමති නැති දෙයක් කිසිම ගෑනියෙක්ට සිද්ද වෙනවට මං කැමති නෑ සකී. එහෙම නැතුව…”
“අනේ ඔය ඇති ආදිල්”
මම හැඬුමකින් ඔහු ගේ උරහිසෙහි මගේ නළල හොවාගතිමි.
“මට සමාවෙන්න ආදිල්… මට ගොඩක් සමාවෙන්න. ඔයාට එච්චර ලස්සනට හිතන හිතක් තියනව කියල නිකමටවත් හිතුවෙ නැතුවට මට සමාවෙන්න. ආයෙ කවදාවත්ම කල්පනී ගැන අහිතක් හිතන්නෑ කියල මං ඔයාට පොරොන්දු වෙනව”
සැබවින් මට මා ගැන ම දැනුණේ ලැජ්ජාවකි. පිරිමියෙකු වී ගැහැනියකට දිය යුතු ගෞරවය හා ආරක්ෂාව ගැන ඔහු සිතු තරම් මට සිතිය නොහැකි වූවා නොවේද? මා ගැන පමණකුදු නොව දිනෙක මගේ දියණියක ගේ ආරක්ෂාව ගැන ද ඔහු සිටිනා තුරාවට ඉතින් මා බිය විය යුතු ද? සැකයක් තබා ගත යුතු ද?
( පෞද්ගලික කාර්යබහුල තත්වයක් නිසාවෙන් අද කතා කොටස තරමක් කෙටියි. ඒ වෙනුවෙන් හෙට වඩාත් දිගු කොටසකින් හමුවෙමු)