තරුකි ඒ වෙලාවෙ හිටියෙ කුස්සියෙ. මිහිඳුගෙ අම්මා මිහිඳු එක්ක කියන කතාව ඇහෙද්දි නම් මෙච්චර වෙලාවක් තිබ්බෙ නැති ඔලුවෙ කැක්කුමකුත් ආවා කියලා තමයි තරුකිට නම් හිතුවෙ. තරුකි මිහිඳුව කසාද බැඳලත් දැන් අවුරුදු තුනකට කිට්ටුයි. දෙන්න කසාද බඳිනකොට තරුකිට විසි හතයි මිහිඳුට විසි නවයයි.
දෙන්නම හොඳට ඉගෙන ගෙන, හොඳ රස්සාවල් හොයාගෙන, ඒකෙන් ඉතුරු කරගත්ත ඒවයින් ලස්සනට පොඩි වෙඩින් එකක් අරගෙන තමයි කසාද බැඳලා මිහිඳුලගෙ ගෙදර පදිංචියට ආවෙ. තරුකි නම් වෙනම පදිංචි වෙන්න ආසාවෙන් උන්නත් මිහිඳුගෙ අයියත් කසාද බැඳලා කැනඩාවෙ සෙට්ල් වෙලා ඉද්දි මිහිඳු කිව්වෙම “අම්මටයි තාත්තටයි ඉන්නෙත් මං විතරනෙ බබා, අනික අපේ අම්මලව ඔයා දන්නවනෙ. අපිට ගෙදර උඩ තට්ටුවෙ ඕන තරම් නිදහස තියෙනවා” කියලා.
මුලින් මුලින් හිතේ කුකුසක් තිබුනට මොකෝ පස්සෙ පස්සෙ තරුකිටත් තේරුණා මිහිඳු කිව්ව කතාව ඇත්ත කියලා. තරුකිටයි මිහිඳුටයි ෆිල්ම් එකක් බලන්න යන්න, ට්‍රිප් එකක් යන්න එහෙම කිසිම බාධාවක් ආවේ නෑ. දෙන්නම හිතේ හැටියට ඇවිද්දා, සති අන්තෙ දෙන්නම එක්කහු වෙලා ඉව්වා, ෆිල්ම් බලන්න ගියා, කුරුල්ලයි කිරිල්ලියි වගේ සන්තෝසෙන් උන්නා.
පලවෙනි අවුරුද්දයි දෙකයි නම් ගියේ ඇත්තටම ඇඟටවත් දැනෙන්නෙ නැතුව. තරුකිටයි මිහිඳුටයි දෙන්නටම ඒක හනිමූන් පීරියඩ් එකක් උනා කිව්වොත් හරි. අනික ඉතින් මිහිඳු කියන්නෙ කොහොමත් ඕනවටත් වඩා ඉවසන මනුස්සයෙක් හන්දා දෙන්න අතර කිසිම නොහොඳ නෝක්කාඩුවක් ඇති උනේවත් නැති තරම්.
ප්‍රශ්න එන්න පටන් ගත්තෙ දෙන්නගෙතුන්වෙනි වෙඩින් ඇනිවසරි එක ඉවර වෙනවත් එක්කම වගේ.
“අපි කොයි කාලෙ වගේද දරුවෙක් හදන්නෙ?” කියන ප්‍රශ්නෙ තරුකියි මිහිඳුයි දෙන්නම කතා කරලා තිබ්බෙ යාලුවෙලා ඉන්න කාලෙදිම වගේ. දෙන්නම ටිකක් විතර විනෝදෙට බර, සන්තෝසෙන් ඉන්න ආස දෙන්නෙක් වගේම වගකීමක් ගනිද්දි හොඳට හිතලා බලලා තමන්ට ඒ වගකීම ඇත්තටම දරන්න පුලුවන්ද කියලා හිතන දෙන්නෙක් හන්දා ඔය දරුවෙක්ගෙ කාරණාවෙදි හිතිච්ච පලියට, ඉක්මනට ළමයි හදන්නෙ නෑ කියලා තමයි දෙන්නම කතා කරලා තිබ්බේ.
“මං ළමයින්ට අකමැති නෑ. ඒ උනාට මට හිතෙනවා ඒක ලොකු රෙස්පොන්සිබිලිටි එකක් කියලා. ඒ නිසා අරයා මෙයා කිව්වා කියල අපි නිකන් බබාලා හදන්න හදිසි වෙන්න ඕන නෑ තරූ. බබෙක් හදනවා කියන්නෙ අවුරුදු විස්සක තිහක ලොකු ප්‍රොජෙක්ට් එකක්. ගොඩක් දේවල් කැපකරන්න වෙනවා. අපි දෙන්නම ඒකට රෙඩි කියලා හිතිච්ච කාලෙක, හොඳට හිතලා බබෙක් හදමු එහෙම නැත්තම් අපි බබෙක්ව අරගෙන හදාගමු” කියලා කිව්වෙත් මිහිඳුමයි.
අවුරුදු තුනකට පස්සෙ දවසක් තරුකියි මිහිඳුයි බැඳපු අලුත ගිය දෙණියායෙ රේන් ෆොරස්ට් ඉකෝ ලොජ් හොටෙල් එකට ආයෙ වතාවක් රවුමක් දාන්න යන බව කියන්න තරුකි අම්මට කතා කරපු වෙලාවක තමයි ප්‍රශ්නෙන් කොටසක් තරුකිගෙ හිත අස්සට ආවෙ.
“දැන් ට්‍රිප් යන්න නෙවෙයි ලමයො, ඔයාලා දෙන්න ළමේක් හදන එක ගැන හිතන්න” කියලා අම්මා කියද්දි මේක නම් මේ තමන්ගෙ අම්මා වගෙ පරිණත, හැමදාම වෙනස් විදියට ජිවීතෙ දිහා බලමු මනුස්සයෙක්ගෙ කටෙන් කියවෙන්න බැරි කතාවක් කියන එක තරුකිට නොහිතුනා නෙවෙයි.
“ඇයි අම්මා එහෙම කිව්වෙ? ඔයා කවදාවත් එහෙම කියන්නෙ නෑනෙ”
“මං කිව්වෙ මිහිඳුගෙ අම්මලා උනත් මොනවා හරි හිතනවා ඇතිනෙ” කියලා කියද්දි මේක ඇත්තටම තමන්ගෙ අම්මගෙ කටෙන් පිටවෙච්ච දෙයක් නෙවෙයි කියන එක තරුකිට තේරුණා.
“අම්මට මිහිඳුගෙ අම්මා මොන හරි කිව්වද?”
“එහෙම නරකක් කිව්වෙ නෑ. තරුකි හරී හොඳයි කියලා කිව්වා. ඒ උනාට ඉතින් එයාලා ආසලු දරුවෙක්ව බලන්න මිහිඳුගෙ. අයියගෙ ලමයි ඉන්නෙත් රට හන්දා, මිහිඳුගෙ ලමේක් විතරනෙ ගෙදර ඉන්නෙ කියලා කිව්වා”
ඔතනින් පස්සෙ විඩෙන් විඩේ මිහිඳුගෙ අම්මා නැයො ලව්ව එක එක විදියට ඔය දරුවෙක්ගෙ කතාව ඉස්මතු කරන්න හැදුවත් තරුකි සද්ද නැතුව උන්නා. ඒ කියන්න දෙයක් නැති හන්දා නෙවෙයි මිහිඳුගෙ නෑයො එහෙම කියද්දි හරිනම් ඒකට විරුද්ධව දෙයක් කියන්න ඕන මිහිඳු මිසක් තමන් නෙවෙයිනෙ කියලා හිතිච්ච හන්දා.
කවුරුහරි “දැන් දෙන්නා තුන්දෙනා වෙන්නෙ කවද්ද?” කියලා අහද්දි මිහිඳු හිනාවෙලා අහක බලාගනිද්දි ප්‍රශ්නෙ අහපු ඇස් තමන්ගෙ මූණ උඩ නතර වෙද්දි තරුකිට ඕන උනේ හිත අස්සෙ ඉන්න ප්‍රේමවන්ත සැමියා ඉස්සරහට පැනලා තමන්ව බේරගන්න උනාට කොහොමත් නිහඬ මිහිඳු ඉතින් ඒ චරිතෙ රඟපාන්න දක්ශ උනේ නෑ.
ඔය අතරෙ තමයි මිහිඳුගෙ කසින් නංගි කෙනෙක්ගෙ දෙවනි බබාගෙ උපන්දින උත්සවේ ආවෙ.
“අනේ මං ඉන්නම්, දන්නවනෙ එහෙ ගියාම ඔයාගෙ පුංචිලා අහන ඒව” කියලා තරුකි කුණු කුණු ගැවට මිහිඳු නම් කිව්වෙම “ඔය වයසක මිනිස්සු කියන ඒව අහන්න එපා අනේ, කවුද ඒව ගණන් ගන්නෙ” කියලා.
“මං ගණන් ගන්නවනෙ” කියලා තරුකි කිව්වා.
“මොකටද නිකන් මේ ජීවිතේ අන්තිම කාලෙ ඉන්න මිනිස්සුන්ගෙ හිත රිද්දන්නෙ” කියලා මිහිඳු කිව්වා.
“එතකොට තරුණ වයසෙ ඉන්න මගෙ හිත රිදෙන්නෙ නැද්ද?” කියලා තරුකි ඇහුවෙ තමන්ගෙන්මයි.
එදා උපන්දින පාටියෙදි තරුකි වැඩිය කාගෙවත් ඇහැට නොපෙනෙන්න උන්නට ඕන නැති හැම එකටම හොට දාන මිහිඳුගෙ පුංචි තරුකිව හොයාගෙනම ආවෙ හැමදාම අහන ඒ ප්‍රශ්නෙ ආයෙම පාරක් අහලා බලන්න හිතාගෙන හරියට තරුකිගෙ අදහස වෙනස් වෙලාද කියලා දැනගන්න වගේ.
“දැන් දෙන්නා තුන්දෙනා වෙන්නෙ කවද්ද?” කියලා පුංචි ඇහුවම හිතේ ඉන්න ප්‍රේමවන්තය ඉස්සරහට පැනලා තමන්ව බේරගන්නෙ නැති එකේ තමන්ම තමන්ව බේරගන්නවා කියලා හිතාගෙනමයි තරුකි උත්තර දෙන්න හිතුවෙ.
“මට නම් අවුලක් නෑ පුංචි. මිහිඳු කැමති නෑනෙ ඒ උනාට මම දෙන්නා තුන්දෙනා කරගන්න වෙන අෆෙයාර් එකක් පටන් ගන්නවට. ඒ නිසා ඉතින් තාම දෙන්නා තමයි අපි දෙන්නා”