සඳක් තනියම – 49

0
7023

දුරකථන සංවාදය නිමා වුවත්  තේජා සිටියේ සන්සුන්ව ගිය මනසකින් නොවේ.දිනාරා ගැන කෝපයකුත් ප්‍රියංකා ගැන අපැහැදීමකුත් ඒ සිත්හි උපන්නේ දිගින් දිගටම කල්පනා කරමින් සිටියදීය.හදවතින්ම විශ්වාස කළ මිනිසුන් මේසා බොරු කළායැයි සිතද්දී සිතට ඉවසුම් වූයේ නැත.දිනාරා ගැන සියල්ල තමා හා පැවසූ ප්‍රියංකා ඒසා  බරපතළ කාරණාවක් සඟවා ගත්තේ කෙසේදැයි තේජා සිතුවේ මවිතයෙන්ය. පුදුමයකට හේතුවනම් ඇය ඒ අයුරින් කල්පනා කරමින් සිටියදී ප්‍රියංකාගේ අංකය සටහන් කරමින් දුරකථන ඇමතුමක් පැමිණීමය.

“කොහොමද තේජා..”

“ ටීච කියන්න ගොඩක් දවසකින්..”

“ අපිට පොඩි කරදරයක් වුණා..”

එහා පසින් ඇසුණේ බිඳී ගිය  හඬකි

“ පොඩි කරදරයක් වුණා කිව්වේ..”

“ තේජාගේ කටහඬ වෙනස් වෙලා.අසනීපෙන්ද..”

“ ආ… ඔව්… ඔව් මේ ඉවෙන්ට් එකෙන් පස්සේ අපි හැමෝටම හෙම්බිරිසාව හැදුනා.”

“ අනේ එහෙනම් මං පස්සේ කතා කරන්නම් විවේක ගන්න.”

“ නැහැ කතා කරන්න පුළුවන්. තේජා කතා කළේ හදිස්සියකටද..”

“”හදිසියක්මත් නෙමෙයි මට ටිකක් කතා කරන්න ඕනකම තිබුණා මට සමාවෙන්න..අපි කතා කරගත්තු විදිහට මේ වැඩ කටයුතු මුකුත්ම කරන්න ලැබෙන්නේ නැහැ.දිනාරා දුව එයාගේ තීරණය වෙනස් කරන්න කැමති නැහැ.”

“ ඒකට කමක් නැහැ…මං හිතන්නේ අකලංක පුතත් දැන් ඒ බලාපොරොත්තුවෙන් නෙමෙයි ඉන්නේ..අපි ඒක අමතක කරමු…”

තේජා පැවසුවේ සිත තුල වූ අපහැදීම ඉස්සර කරගෙනය.

“ මීට කලින් මං මේ දේ කිවයුතුව තිබුණා.ඒත් මේ කරදරෙත් එක්ක ඇත්තටම මට ඒ ගැන කතා කරන්න පුළුවන්කමක් තිබුණෙ නෑ.දිනාරාගේ මල්ලි හදිසියේම අසනීප වුණා .”

තේජාට ඒ හඬ ඇසුනේ සිහිනයෙන් සේය..ඕ සිය දෙසවන් විසල් කර ගත්තේ තමාට යමක් අපැහැදිලිව ඇසුණාදැයි සිතත්දීය.

“මොකක්ද ප්‍රියංකා ටීච  කිව්වේ දිනාරාගේ මල්ලි..එයාට මල්ලි කෙනෙක් ඉන්නවා කියලා අපි කවුරුත් දැනගෙන හිටියේ නැහැනේ.” 

“ ඒක ඇත්තටම ලෝකෙන් හංගන්න හේතු තිබුණු කාරණාවක්.මෙන්න මේ හේතුව හින්දා තමයි දරුවා අකලංක පුතාට කැමති නැත්තේ.මම උත්සවය පහුවෙලා  කතා කරන්න හිටියෙත්  මේ කාරණය ගැන කියන්න.ඒත් උත්සවය දවසේ රෑ හදිසියේම පුතාට ෆිට් එක ඇවිල්ලා එයාව හොස්පිට්ල් ඇඩ්මිඩ් කරන්න මට සිද්ධ වුණා.මම හිමාෂ දුවට කතා කරලා කිව්වා දිනාරා දුවව එයාගේ ගෙදර එක්කරගෙන යන්න කියලා.ඒත් මේ දරුවා උත්සවය ඉවර වෙන්න කලින් හොස්පිට්ල් එකට දුවගෙන ආවා.”

 “ අවුරුදු කීයක විතර කෙනෙක්ද..”

“ හරියටම අවුරුදු එකහමාරයි..”

 “ දිනාරාගේ අම්මා නැතිවෙලත් අවුරුදු එකහමාරක් කිව්ව නේද..”

“  කේතකී නැතිවුණේ මේ දරුවා ලැබෙන්න ගිහිල්ලා.”

“ මට මේ කිසි දෙයක් තේරෙන්නෙ නෑ ප්‍රියංකා ටීච..හරි පැටලැවිල්ලක්..”

“ ඉන්න මම පැහැදිලි කරලා කියන්නම්.මේ දරුවෝ  අතරේ විවාහයක් සිදු නොවුනත් තේජා ඒකට හේතුව දැනගන්න ඕනේ.මේ හේතුව අකලංක පුතාට හෙමින් සැරේ කතා කරලා තේරුම් කරලා දෙන්න.දිනාරාගේ  අත්තම්මට වුවමනාව තිබුණා හැමදාම කේතකීට ආපහු විවාහයක් කරලා දෙන්න.ඒත් කේතකී ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ.අන්තිමට දිනාරාගේ අත්තම්මා දිනුවා.එයා නිතරම කිව්වේ එයාගේ ඇස් දෙක පියවෙන්න කලින් කේතකීටයි දිනාරාටයි  රැකවරණයක් ලබා දෙන්න අවශ්‍යයි කියලා.අන්තිමට කේතකි තමන්ට අම්ම කෙනෙක් උන නැන්දම්මගෙ හිත සතුටු කරන්න කාලිංගව කසාද බැන්ඳා..කාලිංග කියන්නේ රස්සාවක් කරපු මිනිහෙක් නෙමෙයි.ඇත්තටම මෙයාලා ජීවත් වුණේ දිනාරාගේ අත්තම්මා දීපු සල්ලි වලින්. කේතකීට රැකවරණයක් වෙනුවට කාලිංගට රැකවරණයක් උනේ කේතකී..කාලිංගට ඕන උනා එයාගෙම කියලා දරුවෙක් හදන්න.කේතකී ඒකට අකමැති වුණා.එයා  හැමතිස්සෙම මට කතා කරලා කිව්වා දිනාරාගේ වයසත් එක්ක ආයෙ ඒගොල්ලෝ දරුවෙක් ගැන හිතන එක විහිළුවක් කියලා.ඒ උනාට කේතකී  හිටියේ දරුවෙක් හදන්න නුසුදුසු වයසක නෙමෙයි.අවුරුදු දහ නවය වෙද්දී විවාහ උන  කේතකී ඒ වෙද්දිත් තරුණයි.අන්තිමට එයාට සිද්ධ වුණේ හැමෝගෙම රූකඩයක් වෙන්න.එයා හිටියේ හරි හිතේ අමාරුවෙන්.කේතකී  හැම හැඟීමක්ම  වචන වලට පෙරලලා බෙදා ගත්තේ මමත් එක්ක.අන්තිමට කේතකී ප්‍රෙග්නන්ට්  උනා..ඒ දරුවා තමයි තේජා මේ..බබා හම්බ වෙන්න ගිහිල්ලා ඒ අහිංසකී  නැති වුණා.ඩොක්ටර්ස්ලා අනුමාන කරලා තිබුණේ දීර්ඝ කාලයක් තිස්සේ එයා ලොකු හිත් වේදනාවකින් කාලය ගත කරලා කියලා.”

“‘අනේ දෙයියනේ…”

“ පස්සේ දිනාරා  මේ පොඩි පැටියත් එක්ක ආපහු වලව්වට ගිහින් තිබුණා.අත්තම්මා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් වචනෙකින්වත් එයාට කරුණාවන්ත වෙලා තිබුණෙ නැහැ.දිනාරා වලව්වේ ඉඳුල් කන කෙල්ලෙක් ගානට දාලා හරි ජීවත් වෙන්න ඉඩ දුන්නත් මේ  කිරි සප්පයාට ඒ මිනිස්සු පුදුමාකාර විදිහට වෙනස්කම් කලා.දිනාරි කියන්නේ ගේ ඇතුලටම වෙලා අම්මත් එක්ක හැදුනු දරුවෙක්.එහෙම වෙලත් එයාගේ තේරුම් ගැනීමේ ශක්තිය කොච්චරද කියල කියනවනම් එයාම තමයි අම්මට කියලා තිබුණේ අම්මේ කාලිංග බාප්පටත්  අසාධාරණයක් කරන්න එපා. අලුත් ජීවිතයක් ගැන හිතන්න මම දැන් ලොකුයිනේ කියලා..ඒ දෙන්නා හිටිය යාලුවෝ දෙන්නෙක් වගේ.මේ පුංචි කෙල්ල මේ දරුවත් අරගෙන එලියට බැහැලා මාව හොයාගෙන ආවේ හිතේ සැනසීමෙන් ජීවත් වෙන්න තැනක් මට දෙන්න කියලා මගෙන් ඉල්ලලා .කිසිම දෙයක් නොදන්න මේ පුංචි කෙල්ල තමයි මාස හයක් යනකල්  මේ දරු පැටියාව උස්මහත් කළේ..එයාට අම්මා කෙනෙක් උනේ..”

“‘දෙයියනේ ප්‍රියංකා ටීච මොනවද මේ ඇහෙන්නේ..ඒ දරුවා හරි පව් ටීච..”

විශ්වාස කරන්නටත් අපහසු වූ ඒ සත්‍ය තේජාගේ දෑස්වල කඳුළක් උපද්දවා කිබිණ.

“මෙන්න මේ හේතුව හින්දා තමයි තේජා දුව , පුතාට අකමැති වුණේ.එයා හිතුවෙ අකලංක පුතාට එයාගේ මල්ලිව බරක් වෙයි කියලා.ඒ විතරක් නෙමෙයි මිනිස්සු එයාගේ ඔළුවට දාපු විදිහට කේතකීට  දිනාර වගේ දුවෙක් ඉඳිද්දී  තව දරුවෙක් හදාගත්තු එක ලැජ්ජාවක් කියලයි එයාට හිතුනේ..ඒ ලැජ්ජාව අකලංකට දෙන්න ඕන කමක් දුවට තිබුණෙ නෑ.දිනාරා හැමදාම ඔයාගේ ගෙදරට ආදරය කළා තේජා. ඔයාගේ පවුලට ආදරය කළා. ඔයාගේ ගෙදර මිනිස්සුන්ට ආදරය කළා..මට හිතුණා මේ කෙල්ලට පිස්සු හැදෙයි කියලා..අකලංක පුතාට මේ කෙල්ල හරි ආදරෙයි ඒක මං දන්නවා…”

“ අනේ අපිට මේ කිසිම දෙයක් ප්‍රශ්නයක් නෙමෙයි..දන්නවද ප්‍රියංකා මගේ කොල්ලා මේ වෙද්දි ගෙදර නෑ..එයත් එදා කොහොම හරි ක්‍රමයකින් දැනගෙන දිනාරාගේ පස්සෙන් ගිහින් තියෙනවා.මෙතනදී මේ ඉන්නේ දිනාරාගේ දරුවෙක් නෙමෙයි කියන වැරදි වැටහීම කොහොම එයාගේ ඔලුවට ආවද කියන්න මම දන්නේ නෑ.ෆන්ෂන්  එක ඉවර වෙලා එළි වෙනකල් චූටි පුතා  ගැන කිසිම ආරංචියක් අපිට ලැබුණේ නෑ.අපේ ගෙදර හැමෝම හිටියේ ගිනි ගොඩක.පුතාව උදේ වෙනකලුත් පාරක් පාරක් ගානෙ හොයලා අන්තිමට ලොකු  පුතා ගෙදර ආවේ අඬ අඬා.මහින්ද හිටිය පොලිසියට යන්න ලෑස්ති වෙලා..ඒ වෙලාවේ මේ දරුවා  කෝල් කරලා පුතාට කියලා තිබුණා එයාට හිත හදාගන්න ඕන ඒක නිසා කොළඹින් පිටට යනවා කියලා.ෆෝන් එකත් ඕෆ් කරගෙන හිටියේ දවස් ගානක්..  මේ දරුවා කොහේ ඉන්නවද කියන්න මම දන්නේ නෑ..ඒත්  දැන් චුට්ටකට කලින් තමයි කතා කරල මට කිව්වේ අම්මේ දිනාරාට  පැහැදිලිම හේතුවක් තිබිලා තියෙනවා මාව ප්‍රතික්ෂේප කරන්න කියලා.ඒත් මේ දේවල් කාටවත් නොකිය අම්මගේ හිතේ විතරක් හිර කරගන්න කියලා මට කිව්වා..දිනාරාට  අපේ ඔෆිස් එකෙන් ගෞරවනීය සමු ගැනීමක් දෙන්න ඕනේ කියලා මේ කොල්ලා මට කිව්වා.කෙල්ලට  ජීවිතය වැරදුනේ කොතනද දන්නේ නෑ කියලා ඇඬුවා..”

“ අනේ තේජා…”

“ අපි දැන් මේ දරුවෝ දෙන්නා එකතු කරපු ප්‍රියංකා.නැත්නම් මේ දෙන්නගෙන් එක්කෙනෙකුටවත් හොඳක් සිද්ධ වෙන්නෙ නෑ.මේ දේවල් ඇහුවට පස්සේ දිනාරා  ගැන මගේ හිතේ තිබුණු ආදරය ගෞරවය තවත් වැඩි වුණා.මේ වයසේ දරුවෝ සරුව  පිත්තල ලෝකවල  ජීවත් වෙද්දී මේ තරම් පොඩි වයසකදී එයා කොච්චර ලොකු වගකීමක් අරගෙනද..අනික තමන්ගේ ආදරේ පවා එයා කැප කලේ අපි ගැන හිතලා..”

“ ඔව් තේජා මේ ඉන්නේ මම මේ ලෝකෙ දැකපු ලස්සනම හිත තියෙන දරුවා..”

“ අපි මේ දෙන්නව එකතු කරමු. ඉන්නකො මං කොහොමහරි මේ කොල්ල ඉන්නේ කොහෙද කියලා හොයා ගන්නම්.සමහරවිට  යාලුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් දන්නවා ඇති..චූටි පැටියට දැන් සනීප ඇති නේද..අපි හෙට පොඩි ගමනක් යමු කෙල්ලවත් ලෑස්ති කරගන්නකෝ…”

දෙපැයකට පමණ පසු දුරකථනය විසන්ධි වී ගියේ දවස් කිහිපයක් තිස්සේ සිතට වද දුන් කඳුළ සිනහවකට පෙරලමින්ය.

දිනාරා කාමරයට පැමිණියේ ප්‍රියංකා ඒ ඇමතුමේ  සිටියදීය.

සුසුමක්  මුදා හළ යුවතිය දුරකථනය සිය දකුණතට ගත්තේ අකලංකට කතා කිරීමට සිතාගෙනය. තමා  ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බව තවමත් ඔහුට කියන්නට අවස්ථාවක් උදා වූයේ නැත.පසුගිය දින කිහිපයම ඈ නිවාඩු දැමුවාය.එනිසා ඔහු තමා ගැන වැරදි වැටහීමක් ඇතිකර ගෙන ඇතුවා විය යුතුය.

“ කවුරු කොහොම කිව්වත් වටිනාකමෙන් අඩු මම වගේ කෙනෙක් ඔයාගේ ජීවිතේට ඇවිල්ලා ඔයාගේ ජීවිතේ තියෙන වටිනාකම නැති කරන්න ඕන නෑ..අකලංක සර් ..ඔයා හැමදාම  සතුටින් ජීවත් වෙන්න ඕනේ..ඔය ලස්සන හිනාව කවදාවත් ඔය මූණේ නැතිවෙන්න හොඳ නෑ..”

තමාටම පවසාගත් යුවතිය දුරකතන අංකය සොයා ගත්තා පමණි.

“ බෑ දෙයියනේ ..මං කොහොමද ඔයාට කතා කරන්නේ..මාව මැරෙයි….”

අවසන ඕ දුරකතනය පසෙකට විසිකර ඇඳ මත වැතිරුණේ හඬාගෙනමය.

ප්‍රියංකා කාමරයට පැමිණියේ එවේලෙහිය.ඕ දිනාරාගෙන් හඬන්නට හේතු නොවිමසුවාය.

“ මම හිතුවා හෙට දළදා මාලිගාවට යන්න ඕනේ කියලා.එහෙම ගිහිල්ලා අත්තම්මවත් බලලම එමු.ඔයාගෙත් හිත නිදහස් වෙයි…”

( යළිත් හමුවෙමු දයාබරව )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here