කල්පනී මැදගෙදර
ඒකනං මං කොහොමවත් බලාපොරොත්තු නොවුණ හමුවීමක්. ටිකක් මහත් වෙලා පරිණත පෙනුමකුත් පොහොසත් පෙනුමකුත් ඇවිත් තිබුණට ඒ දුලාජ්මයි කියල අඳුරගන්කොට මට හිතාගන්න බැරි වුණා. ආයෙ කවමදාකවත් එයාව මට මුණගැහෙයි කියල මං හිතාගෙන හිටියෙ නෑ. කොළඹට ආවට පස්සෙ වුණත්, දුලාජ් ඉන්නව ඇත්තෙ කොළඹනෙ කියල හිතිල නෑ. මේ මුළු රටත් කඳුළු බින්දුවක් වගේ හිච්චිත්තං එකක් වෙද්දි, කොළඹදි දෙන්නෙක් මුණගැහෙන එක මහ අරුමයක් නෙවෙයි කියල හිතුනෙ පස්සෙ.
“ඉතිං ඉතිං කොහොමද… කෙල්ල ලොකු වෙලා… ලස්සන වෙලා…”
මොනා වෙනස් වුණත් දුලාජ් ගෙ විසේකාර හිනාවනං වෙනස් වෙලා තිබුණෙ නෑ. එයා මට වාහනේ ඉස්සරහ දොර ඇරියෙ ඒ හිනාවෙන්මයි. වාහනේට ගොඩ වුණ ගමන් ම මං කළේ දුලාජ්ගෙ ශර්ට් කොලර් එකෙන් අල්ලල හොලවන්න පටන් ගත්ත එක.
“ඇයි මිනිහො එහෙම කළේ… මට කියන්නෙත් නැතුව එහෙං පැනල ගියේ ඇයි… කසාද බඳින්නනං හිටියෙ තමුසෙ අපේ අම්මයි මායි දෙන්නගෙම ජීවිත සෙල්ලමට ගත්තෙ ඇයි…”
ඒක මගෙ ආත්මෙ කොතනක හරි මංවත් නොදැන හිටිය තැනක හැංගිලා තිබුණ ආවේගයක්. දවසක දුලාජ්ව හම්බ වුණොත් මං එහෙම හැසිරෙනවයි කියල හීනෙකිංවත් හිතල තිබුණ නෙවෙයි.
“කල්පි කල්පි මේ අහන්නකො. ළමයො අපි හෙමිහිට හැමදේම කතා කරමුකො. හැබැයි ඔයා එක්ක කොහොම සම්බන්දයක් තිබුණත් අම්මත් එක්ක මගෙ එහෙම දෙයක් තිබුන්නෑ හරිද…”
ඒක හොඳ ම බොරුවක් කියල දැනගෙන හිටියත් ඒ වෙලාවෙ ඒ වගේ බොරුවකින් වුණත් බොරුවට හිත හදාගන්න මං කැමැත්තෙන් හිටියෙ. එක අතකට ගෑනු අපි පව්.
“ඇත්තටම මට ඔයාව අතාරින්න ඕන වුන්නෑ කෙල්ලෙ. ඒත් අපේ ගෙවල් වලින් කසාදයක් ලෑස්ති කරල තිබුණ. මොනා කරන්නද ඉතිං… වෙන්න තිබුණ හැටියට තමයි දේවල් සිද්ද වුණේ”
ඒ බොරුව ඇතුළෙ මං අතරමං වුණේ මගෙ කැමැත්තෙන්මයි. මගෙ ඕනකමටමයි.
“ඒත් දැං හිතෙනව මං මටම කරගත්ත අපරාධයක් කියල. අපි බැන්දනං අපි අද කොච්චර සතුටෙන් ඉන්නවද…”
“ඇයි දැං ඔයා සතුටෙන් නෙවෙයිද ඉන්නෙ…”
මගෙ කට කොනක හිනාවක් තිබුණ. ඊළඟට දුලාජ් කියන්න යන දේවල් හරියටම මට හිතුණ එක ගැන පුදුම වෙන්න ඕන නෑ. මං හිතන්නෙ කසාද බැඳපු පිරිමි කෙල්ලො ඉස්සරහ හැමදාමත් ප්ලේ කරන රෙකෝඩ් එක ඒක.
“මොන සතුටක්ද කල්පි. එයා එයාගෙ ලෝකෙ මං මගෙ ලෝකෙ. දරුවො ඉන්න නිසා දික්කසාද නොවී ඉන්නව තමයි. හැබැයි ඉතිං ඇත්තටම ගත්තොත් එතන පවුල් ජීවිතයක් නෑ”
“හැබැයි ඔයාට හොඳට සල්ලි තියනව වගේ”
“දෑවැද්දට හම්බවුණ බිස්නස් එක තමයි ඉතිං. ජීවිතේ සතුටක් නැතිකම වහගන්නෙ බිස්නස් එකෙන්. ඒක මත්තෙම නැහිල. බිස්නස් එක කසාද බැඳං ඉන්නව කිව්වත් වරදක් නෑ”
දුලාජ් කිව්ව දේවල් වල ගැඹුරට කිමිදිල එයා ගැන හිතන්න නෙවෙයි මට ඕන වුණේ. එයා කිව්ව දේවල් ඒ කනෙන් අහල මේ කනෙන් පිටවෙලා යන්න ඇති. මං හිතුවෙ එයා කිව්ව දේවල් දිගේ මට යන්න පුළුවන් දුර ගැන විතරයි.
එයා මාව එක්කන් ගියේ සුඛෝපභෝගී හෝටලයකට. අපි රෑ වෙනකල් කකා බිබී කතා කර කර හිටිය. රෑ මැදියමට එනකොට අපි දෙන්නටම ගෙවල් වලට යන ඕනකමක් දැනුණෙ නෑ.
සකී ආන්‍යා තඹරවිල
“ඒ වුණාට මටනං ආදිල් එච්චර හොඳ වෙන්නෝන් නෑ”
පීහු ස්ථීර ලෙස ම කීවා ය. ඇගේ දෑස් අතර නළල් තීරයෙහි රේඛා කිහිපයක් නැගී තිබිණ. ඈ නුරුස්නා යමක් සිදු වෙත්දී පීහු ගේ නළලෙහි ඒ රැලි නැගේ.
“කල්පනී එයාගෙ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් වුණා කියල ඒක සකීට අදාල නෑනෙ. මොකද සකී එයා එක්ක එකතුවෙලා කල්පනීව හුරතල් කරන්නද… අත දිගෑරල කන රත්වෙන්න දීල හරි එ් ගෑනිව හීන ලෝකෙං ඇත්ත ලෝකෙට ඇදල දාන්නෝනෙ. ඒ ගෑනි තව දුරටත් එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙවෙයි කියන එක හොඳින් බැරිනං නරකින්හරි කියල දෙන්නෝනෙ. අපි ඒ ගෑනිට කෝල් කරල බැන්න කියල එයාට ඩෝං යන්න දෙයක් නෑනෙ. ඒක ඉවරනං ඉවරයි. ඒ ගෑනි ගැන එයාට දුක් වෙන්න හේතුවක් නෑනෙ. එයා කියන දේ අහන්නැති නිසානෙ අපි ඒ හෝන්තුවට තේරෙන භාෂාවෙන් කියල දෙන්න හැදුවෙ”
ඇය අඩි බිම හැප්පුවා ය. මගේ දෑස් පීහු වෙතින් මුද්‍රා වෙතට යොමු විය. ඈ හිටියේ ඉතා සන්සුන් ව ය. බැරෑරුම් මුහුණක් හදාගෙන ය. වෙරළෙහි රැලි බිඳුණාට සයුරේ ඈත දියඹ නිශ්චල වන්නා සේ ය.
අප තිදෙනා පිටතදී හමු වන්නට හදිසි තීරණයක් ගැනුණේ මගේ අතුරුදන්වීමෙන් අනතුරුවයි. ඒ අවස්ථාවේ මගේ මිතුරියන් දෙදෙනා ද තරමක් කලබල වී තිබේ. එ් මා ඔවුන්ට ද කතා නොකළ බැවිනි.
“අනික තමුසෙට ඕන දෙයක් කතා කරන්න අපි ඉන්නව. කාත් කවුරුත් නැති එකෙක් වගේ ප්‍රශනයක් එක්ක අතුරුදන් වෙන්න ඕන නෑනෙ. අපිට කතා කරන්න තිබුණ. අපිට කියන්න තිබුණ”
ඇය මගේ ඇඟටත් කඩා පැන්නා ය. මම සිනහවක් නගාගෙන විහිළුවකින් ඇගේ ස්වභාවය වෙනස් කරන්නට සිතුවෙමි.
“මුද්‍රා මාව බේරගන්නවකො. නැත්තං මේ ගෑනි මාව හප කරයි”
මුද්‍රා ලා හසරැල්ලකින් තව දුරටත් ඈ තුළට ම නැඹුරු වීගෙන සිටියා ය. නිහඬ බව කියන්නේ ඈ හිතනවා කියන එකයි.
“දැන්ම තියාම ආදිල්ව හදාගන්නව. නැත්තං මට වෙච්ච දේ තමයි තොටත් වෙන්නෙ”
එවර පීහු ගේ ස්වරයට සිනහවක හැඩතලයක් එක් වී තිබිණ. මුද්‍රා ඈ ඉදිරියේ වූ කෝප්පයෙහි වන අන්තිම මසාලා චායි උගුරත් බී කෝප්පය පසෙකට කළා ය. ඉඟුරු, කරදමුංගු, කරාබුනැටි, කුරුඳු මුසු රස සුවඳ තවමත් මගේ රස නහර පුබුදු කරමින් තිබිණ. අප සිටියේ ප්‍රකට තේ හලක රවුම් මේසයක් වටා හිඳ මසාලා චායි බොමින් පිළිසඳරට සූදානම් වෙමිනි.
“මටනං ආදිල් ගැන එහෙම වරදක් කියන්න බෑ”
මුද්‍රා සිය අත්දැකීම් සමුදායෙහි ගැඹුර කලතමින් මුත් සන්සුන් දැහැනකින් ඇගේ අදහසට අවතීර්ණ වූවා ය. සැහැල්ලු විනෝදවීම් වලදී කෙසේ හැසිරී ද මගේ මිතුරියන් දෙදෙනා සතුව ඔවුන්ගේ ම වූ දර්ශනයන් ද අදහස් ද තිබේ. පීහු ආවේගශීලී වන අතර ඇය ඉක්මනින් කෝපත් වෙයි. නමුත් මුද්‍රා ජීවිත කාරණා වලදී ගැඹුරෙන් සිතයි. සන්සුන් ව ක්‍රියා කරයි. ඇගේ හිතේ වන දෙයක් ලෙහෙසියෙන් දැන ගැනීමට ද නො හැක. පීහු වාගේ ඇය කටට ආවාට වචන පිටතට නොදමයි. එබැවින් ඇතැම් අවස්ථා වල ඇය හැඳින ගැනීම තරමක් අසීරු ය.
“කල්පනී ඉස්සරහ ආදිල් සකීගෙ පැත්ත ගත්තනෙ. සකීව මැරි කරන්න ඉන්නෙ කියල කිව්වනෙ. කල්පනී සකීට ගහන්න හදද්දි ඒක වලක්වල බැණල එලෝගත්තනෙ. ඒ කියන්නෙ කල්පනීයි සකීයි අතරෙං ආදිල් ප්‍රසිද්ධියෙම සකීව තෝරං ඉවරනෙ. කීපයක් අතරෙං අපි තෝරගන්නෙ අපිට වටින දේනෙ. අපිට ඕන දේනෙ. එතකොට කල්පනී ට ආදිල් ඒ තැන දීල නෑ. ඒක සකී පිළිගන්න ඕනෙ. අන්තඃපුරේක අග බිසව කරං නෙවේනෙ. ජීවිතේ එකම ගෑනි විදිහට තෝරගෙනනෙ. කල්පනීව එපා කියල ඉවරනෙ. එතනිං එහාට එයාට ගහන්නෝනද බනින්නෝනද රෙස්පෙක්ට් කරන්න ඕනද කියන එක පිරිමියගෙන් පිරිමියට වෙනස් වෙනව බං. ඔය ආදිල්ගෙ විදිහ වෙන්න ඇති. ඒකා සකීට කිව්වෙ කල්පනී එක්ක පැටලෙන්න යන්න එපා කියන එකනෙ. හරි ඉතිං ඔතන තෝරගැනීම ගැන ප්‍රශ්නෙ විසඳිලානෙ”
“ඒ වුණාට ආදිල් ඒක ඉවර කරගෙන නිදහස් මනුස්සයෙක් විදිහට මෙතනට එන්න තිබුණ”
“හරි බං ඒක ඇත්ත. ඒ කොල්ලට ටිකක් නිදහසේ හුස්ම ගන්න හම්බුන්නැත්තෙ මෙහෙට ආවට පස්සෙ අපේ එකී හම්බුණ නිසානෙ. අපි වුණත් ඒකාව පෙළඹෙව්ව කියල හිතෙන්නැද්ද සකීට ලං වෙන්න… හරි හරි අපි කවුරුත් පර්ෆෙක්ට් නෑ. එතන අවුලක් තියනවම කියමුකො. කොච්චර වුණත් ආදරේ කරපු ගෑනියෙක්ට අලුතෙන් හම්බවුණ ගෑනියෙක් නිසා වෙනස්කමක් නොකර උපේක්ෂාවෙන් බලන්න පුළුවන්නං ඒක මටනං මාර දෙයක්. මගෙ මනුස්සය මං ගැන එහෙම හිතුවනං නඩු කියන්නැතුව මං ඩිවෝස් එක දෙනව”
“අනේ මේ මුද්‍රා”
“ඔයයි මායි දෙන්නම එක සැරයක් හරි කසාද බැඳපු ගෑනු පීහු. මන්නං ඩිවෝස් වෙලා. ඔයා වුණත් නොවුණට ඉතිං හෙල්දි ෆැමිලි ලයිෆ් එකකුත් නෑනෙ. ඒක නිසා මං හිතන්නෙ අපිට වැරදුණ තැන් වල කිමිදිල යටට ගිලිල හරියට ඇත්ත තේරුං අරගෙන අපි සකීට අදහසක් දෙන එක හොඳයි. මොකද…පවුල් ජීවිතයක් කියන්නෙ බරපතල දෙයක් කියල සකී දැනං ඉන්නෙක හොඳයි. වතුරෙ ගැඹුර දැනගෙන වතුරට බැස්සහම අඩු ගානෙ ගිලෙන්න යද්දි පීනන්න බලං ඉන්නෝනයි කියල හරි දන්නවනෙ. සකී… මන්දන්නෑ පීහුට කොහොමද කියල මටනං ලංවෙච්ච පිරිමි රෙස්පෙක්ට් කරල නෑ. ආදරේ කියන්නෙ හරි ඉක්මනට වාෂ්ප වෙලා යන ෆීලින් එකක් කියලයි මන්නං හිතන්නෙ. කසාද බැඳල ටික කලක් යනකොට ඒ ස්පිරිට් එක වාෂ්ප වෙලා යද්දි ඉතුරු වෙන්නෙ බැඳීමක්. ළමයි හැදිල ගෙවල් හදල වාහන අරං ජීවිතේ ඉස්රහට යන ඔටෝ ගමනක් ඒක. සකී… ඔන්න ඔය ගමන යද්දි දෙන්නට දෙන්න පොත් දෙකක් වගෙයි. ඔය පොත් දෙක කියවගන්න ගමං තමයි ඉස්සරහට යන්නෙ. හැබැයි ඉක්මනට කියවල ඉවරවුණොත්නං එතනිං ඔක්කොම ඉවරයි සකී. මොකද කොච්චර වටින පොතක් වුණත් කියවල ඉවරවුණාට පස්සෙ ඒක එච්චරයි. ඒකෙ තියෙන්නෙ මොනාද කියල දන්නව. වටින නිසා තියං ඉන්න පුළුවන් පැත්තකින්. හැබැයි කියවන්න දෙයක් නෑ. එතකොට තමයි අලුත් පොතක් ඕනවෙන්නෙ. කසාද බැඳපු ගෑනු මිනිස්සු ගොඩක් අයට කාලෙකදි වෙන සම්බන්ධකං ඇති වෙන්නෙ ඒකයි. කියවන්න අලුත් පොතක් හොයනව. අලුත් රසක් හොයනව. අලුත් අත්දැකීමක් හොයනව. උගත් පාඩම් වලින් මේ කියන්නෙ සකී. කවදාවත්… ආදිල්ට කොච්චර ආදරේ වුණත් මේ තමයි ඔයා කියල සම්පූර්ණයෙන් තේරුං ගන්න දෙන්න එපා. කියවල ඉවර කරන්න දෙන්න එපා. ඔයාව කනපිට ගහලම පෙන්නන්න හදන්නෙපා. එයා දන්නැති දේවල් තියාගන්න. එයාට නොකියපු නොපෙන්නපු දේවල් තියාගන්න. එයාට තව දැනගන්න ඕනතරං දේවල් ඔයා ළඟ තියනව කියල දැනෙන්න අරින්න. ඒ වගේම වැදගත් ම දේ… එක පාරටම එයාවත් කියවල ඉවර කරගන්න එපා. එදාට එපා වෙනව. මේ මට වුණා වගේ. ආදිල් ඔයාව තෝරගෙන තියෙනව. පොඩි පොඩි දේවල් අතෑරල ඒ ගැන හිතල සතුටු වෙන්න. හෙමිහිට එයාව කියෝගෙන යන්න. කල්පනී ගැන ඔයා මොනාද හිතන්නෙ කියල වුණත් ආදිල් නොදැන ඉන්න තරමට හොඳයි. එතකොට එයාට චකිතයක් තියනව. බයක් තියනව. කල්පනී ගැන හැම කේන්තියක්ම ඔයා පිටකරල දැම්මට පස්සෙ එච්චරයි. එයා දන්නව ඔයාගෙ හිතේ තිබුණ දේ. ඊට පස්සෙ එයාට ඕන දෙයක් කරන්න ගට්ස් ගන්න පුළුවන්. මං දන්නෑ මං සම්පූර්ණයෙන් හරිද කියල. මට තේරෙන හැටියට කිව්වෙ”
මුද්‍රා හතියකින් වාගේ මඳහසක් පෑවා ය. මම දෑත ඈ වෙත දිගු කොට ඇගේ ගෙල වටා යවා ඈ වැළඳගතිමි.
“මුද්‍රා කියන එක හරි”
පීහු මුමුණනු ඇසිණ. මම මුද්‍රා වෙතින් මිදී පීහු ගේ උරහිසක නිකට රැඳවීමි.
“අපේ මිනිහට මං කොච්චර කෑගැහුවත් සත පහකට ගණං ගන්නෑ. මොකද එහෙම වෙලාවට හිතේ තියන ඔක්කොම මං කියල දානව. මං හරි මෝඩයි අප්ප”
අපි තවත් මසාලා චායි තුනක් ඇනවුම් කළෙමු. අද සිට ආදිල් කෙරේ හැසිරිය යුතු ආකාරය කෙබඳු දැයි සැලැස්මක් හැඳගන්නට මට ඕනේ විය. නමුත් කිසිසේත් එය කළහැකි වූයේ නැත.