Not Without You – 45

0
7076

දිල් මන්රූ රත්නායක

උදා වෙමින් තිබුණෙ හරි සන්සුන් කාලයක්. මං හිතන්නෙ මගෙ ජීවිතේ හොඳ ම කාලය. මායි සකීයි අතරෙ රිලේශන්ශිප් එක දැඩි තදින් බැඳෙමින් තිබුණ බවක් තමයි මට දැනුණෙ. මං වටේට මාර සුවපහසු කලාපයක් එයා විසින් නිර්මාණය කරමින් තිබුණා. ඒ කලාපය ඇතුළෙ මට බරපතල දේකට කියල තිබුණෙ බිස්නස් එක ඩිවෙලොප් කරගන්න එක විතරයි. ඒකට ඕන කරන කායික මානසික නිදහස ඕනවටත් වැඩිය  ලැබෙමින් තිබුණා. ඒ වගේම හෙවන්ලි ඉන්ටීරියර්ස් හෙමි හෙමිහිට සේවාලාභීන් වැඩි කරගනිමින් හිටිය. වෘත්තීය මට්ටමෙනුත් පෞද්ගලික ජීවිතය පැත්තෙනුත් ගත්තහම මගෙ ජීවිතේ හොඳම කාලය තමයි එ්. ඉස්සරහට ඊට වැඩිය හොඳ කාලයක් උදා වෙන්න පුළුවන් ඇති. මං කියන්නෙ මං ජීවත් වුණ කාලයත් එක්ක.

කල්පනී උන්හිටි ගමන් අතුරුදන් වුණා. අතුරුදහන් වුණා කියන්නෙ මාව හොයාගෙන ඔෆිස් එකට එන එකත්, වද දිදී එපා කියද්දි කෝල්ස් ගන්න එකත් එහෙම පිටින් ම එක පාරට ම නතර වුණා. ඒ ඇයි කියන ප්‍රශ්නය මගෙ හිතේ තිබුණත් මං ඒ ගැන හොයන්න ගියෙ නෑ. සමහර විට වෙන කොල්ලෙක් සෙට් වෙලා ඇති දැන්. එහෙම හරි එයාගෙ ජීවිතේට හොඳක් වෙනවනං හොඳයි කියන සැනසිල්ලත් එක්ක මං පාඩුවෙ හිටිය. මගෙ යාළුව කියපු විදිහටනං කල්පනී දැන් එතන ජොබ් එකට යන්නෙත් නෑ. දැනුම් දීල එතනිං අයින් වෙලත් නෙවෙයි.

“එතික්ස් කියල දේවල් තියනවනෙ බං. ජොබ් එකකින් අයින් වෙනවනං ඒක අපිට ඉන්ෆෝම් කරලනෙ කරන්න ඕනෙ. උඹගෙ වචනෙ නිසා මං ඔය කෙල්ලව ගත්තෙ”

යාළුවගෙ ඒ අන්තිම වචන ටික අනුව බ්ලේම් එක ආවෙ මට. ‘සොරි මචං’ කියල කියනව මිසක් මටත් වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. කොල්ලෙක් එක්ක සම්බන්ධයක් පටං ගත්ත වුණත් ජොබ් එකට නොයා ඉන්නෙ ඇයි? මං ඒව ගැන හොයන්න ගියෙත් නෑ. ඕන දෙයක් කරගෙන එයාගෙ පාඩුවෙ එයාගෙ ජීවිතේ ගත කරපුදෙන් කියන තැනයි මං හිටියෙ. අනිත් එක කොහෙවත් යන ගාබේජ් ට්‍රක් ඇඟේ පෙරළගන්නැතුව පාඩුවෙ ඉන්න මං තීරණය කරලයි තිබුණෙ. මොකද මේ මානසික සාමය මට හරියට වටින නිසා. ක්‍රියේටිව් වැඩ කරන මිනිහෙක්ට වටින ම දේ තමයි හිතේ සාමය. ඒක පොඩ්ඩක් හරි බිඳුණොත් නිර්මාණශීලී වැඩක් කරන්න බෑ. ඒක මං අත්දැකීමෙන් දන්න දෙයක්.

එදා ගෝල්ෆේස් එකේ සිද්ධියෙන් පස්සෙ සකී මාත් එක් කල්පනී ගැන කතා කළේ ම නෑ. නිකමටවත් එයා මුකුත් අහන්නැත්තෙ ඇයි කියන එක මගෙ හිතට ප්‍රශ්නයක් වෙලා තිබුණත් ඒ මොකද කියල එයාගෙන් අහන්නයෑ…

මේ අතරෙ ආච්ච බලාපොරොත්තු වුණේ මං ගෙදරට මේ සම්බන්දෙ ගැන කියල අපේ අම්මලව මෙහෙ එක්කගෙන ඇවිත් මේ දේවල් තීන්දු කරගන්න ඕන කියලයි. ඒත් එක දිගට ෆර්ම් එකට වැඩ ආපු නිසා ඒව අතපසු කරගෙන නුවර යන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. ටෙලිෆෝන් එකෙන් ඔය වගේ කාරණයක් කියන්නත් බෑනෙ ඉතිං. අනික අපේ අම්මල ඔය සිරිත් විරිත් ගැන ඕනවට වැඩිය ටිකක් හිතනව. ඒක නිසා අලුතෙන් ප්‍රශ්න ඇතිකරගන්නැතුව හැමදේම පිළිවෙළකට කරගන්නයි මං බැලුවෙ.

“ඒකට කමක් නෑ. නුවර යන්න හදිස්සි වෙන්න ඕන්නෑ. ගියොත් අම්ම එන්න දෙන එකක් නෑ”

නුවර ගමන ප්‍රමාද වෙන එක ගැන මං නිතරම කියවද්දි සකී නෝක්කාඩු හුරතලේකින් කිව්ව. මං නැතුව ඉන්න බෑ කියල එයාට හිතෙන්න ඇති. ඇත්තටම දවසකටවත් එහෙම වෙන් වෙන්න අමාරු හැඟීමක් මටත් නොතිබුණා නෙවෙයි. එහෙම වෙලාවට මතක් වුණේ ගිය සැරේ වෙඩින් එකට ගිහින් වෙච්ච සිදුවීම. හෝම් කමින් එකට ඉන්නැතුව එදාම ආපු එක ගැන අම්ම තාමත් මාත් එක්ක හිත හොඳින් නෙවෙයි ඉන්නෙ.

ගෙදර යන එක ප්‍රමාද කරන්න තව හේතුවකුත් තිබුණ.

සකී ආන්‍යා තඹරවිල

එදා මුද්‍රා හා පීහු සමගින් හැන්දෑවක් ගත කොට අපේ ගැහැනු හිත් අපට විවෘත කිරීමෙන් පස්සේ, මා තුළ යම් වෙනසක් සිදු කරගත යුතු බව මට දැනෙන්නට විය. ආදිල් ගේ පරණ පෙම්වතියක ගැන පුපුරමින් ද ඇය ගැන හෝඩුවාවල් සොයමින් ද ගෙදරට වී සිටිනා සාමාන්‍ය කෙල්ලක වෙනවාට වැඩිය වටිනාකමක් මගේ  ජීවිතයෙහි තිබිය යුතු යයි මට ම හැඟෙන්නට ගති. එබැවින් යළිත් වරක් මා මුලින් පුහුණුවීම් කළ ජ්‍යේෂ්ඨ නීතීඥවරිය සමගින් වැඩ කරන්නට මට සිතිණි. ඒ බව මා මුලින් ම ආදිල් ට කීවේ ඔහු රාත්‍රී ආහාර ගැනීමෙන් පසු අප රාත්‍රියට සමුගන්නට මොහොතක් තබා බරාඳයේ දී ය. එහි දැල්වෙමින් තිබුණේ කහපාට එළියක් සහිත වින්ටේජමය බිත්ති ලාම්පු අතරින් එකකි. ආදිල් ගේ මුහුණේ පැත්තකට ඒ එළිය වැදී කහ – කළු සිත්මක් ඇඳ තිබිණ. එකවර ඔහු කතා කළේ නැත.

“ඔයා කැමති නැද්ද…”

මම මුදු සරකින් විමසීමි. ඒ දෙඅදර සිනහ රේඛාවකට හැඩ විය. ඔහු ආදර දෑසකින් මවෙත යොමු වූයේ ය. දෑත් මගේ දෙ උරහිස් මත තබා මගේ දෑසත් සමගින් ඒක රේඛීය ව බැඳුණේ ය.

“ඇයි මං අකමැති වෙන්නෙ… මගෙ කෙල්ල චූටි ලෝයර් නෝනා කෙනෙක් වගේ සුදු සාරියක් ඇඳල කළු කෝට් එකක් දාං උසාවි යන එක මට කොච්චර ආඩම්බරයක්ද…”

මම ඔහු ගේ පපුවෙහි මුහුණ තබාගෙන දෙතොල් තද කොට සිනහ වෙන ගමන් ඇස් දෙක පියවාගතිමි.

“හැබැයි මිනිහට ලෝ පාට් දාං ආවොත් තමයි ලෝයර් නෝනගෙ කෝට් එක ගැලවෙන්නෙ”

මගේ දෑත් ඔහු ගේ බඳ වටා යවා මම වඩාත් තදින් ඔහු වැළඳගතිමි.

“වෙන කෙල්ලො දිහා බලල අහුවුණොත් ආයෙ සාක්කි ඕන නෑ. ඉන්ටීරියර් ඩිසයිනර් මහත්තයව ඩිවෝස් කරල විතරක් අරින්නෑ. වන්දි ගෙවන්න සන්තකේ ම විකුණන්න ලෑස්ති වෙලා ඉන්න වෙයි”

“මට තියන සන්තකේම තමයි මේ ඉතිං”

ආදිල් මගේ හිස් මුදුන සිපගත්තේ ය. මගේ ගැහැනු හදවතට මා ගැන ඒ තරම් වටිනාකමක් දැනුණු මොහොතක් වෙන නොමැති තරමි.

නැවත වරක් නීති පුහුණුවීම් ඇරඹීමෙන් අනතුරුව ජීවිතයේ යම් අරුත්බර පිරිපුන්කමක් දැනෙන්නට විය. උදයෙන් ම අවදි වන මම ආදිල් නිසා ම උදේ ආහාරය වෙනුවෙන් යමක් පිළියෙල කරමි. බත් උයනවා නම් එක් ව්‍යාංජනයක් හෝ මගේ අතින් සකසන්නට වගබලා ගමි.

“ගොඩක් ඕන්නෑ. එකක් එක්ක වුණත් මට කන්න පුළුවන්” කියා ආදිල් නිතර පවසන බැවිනි. ඒ එක ව්‍යාංජනය මගේ අතින් සැකසෙනවාට ඔහු කැමති බව ද මම දන්නෙමි. ඉතින් කෙතරම් කාර්ය බහුලත්වයන් අතරේ වී ද ඒ එක ඔහු වෙනුවෙන් පිළියෙල කිරීම මම මහත් කැපවීමකින්, මගේ දේවකාරිය සේ සලකා කරමි. දිවා ආහාරයට සැකසිය යුතු දෑ ගැන මානෙල් දැනුවත් කිරීම ද ඒ අතරේ සිදු වෙයි. රාත්‍රියට ආහාර සකසන්නේ මා ය. ආච්චා ගේ බෙහෙත් දී සාරිය ඇඳීමට සැලකිය යුතු වෙලාවක් ගත වෙයි. සිය ඇඳුම් මදිනා ගමන් මගේ සාරිය ද ස්ත්‍රික්ක කරන්නේ ආදිල් ය. මෝටර් රථ දෙකට වෙන් වී යන්නට පෙර ඔහු කාටත් හොරෙන් මගේ නළලත සිනිඳු හාදුවක් තබයි. දවසක වැඩ කරන්නට මා පොළඹවන මිහිර ඒ හාදුවයි.

කාර්යබහුල වීම ජීවිත වල හිස්තැන් නැති කරයි. වටිනාකම් වලින් ඒ හිස්තැන් පුරවයි. සම්බන්ධතා අතරේ අවකාශයන් ඇති කරයි. ඒ අවකාශ, සම්බන්ධතා ඒකාකාරී වී, නීරස වී, කල් ඉකුත් වී යාම පාලනය කරයි.

මැදියම් රැයක තිගැස්සී මා අවදි වූයේ එහෙව් කාර්යබහුලත්වයක මා අවිවේක වී සිටියදී ය. ගැඹුරට කිමිදුණු නින්දකින් එක හෙලා අවදි වීම කියන්නේ හොඳින් වැඩී ඇති ගහක් මුලින් ම උදුරා බිම දමනවා වාගේ දෙයකි. කුමක් සිදු වී දැයි නො දැන මා ක්ෂණිකව දෑස් හරිත්දී මානෙල් යහන ළඟ සිටගෙන සිටියා ය.

“ම්… මානෙල්…ඇයි…”

“සකී බබා. ටිකක් පහළට එනවද…”

“ඇයි මොකද වුණේ මානෙල්…”

හරියට ම මා අවදි වූයේ ඒ වෙලාවේ යයි කිව හැක. එක්වර ම මගේ සිහියට ආවේ ආච්චා ය. දෙවියනි මෙවන් මහ රැයක මානෙල් මා අවදි කරවනුයේ ආච්චා අසනීපයෙන් ද? දෙපා වල සිට ම පණ නැති වීගෙන යන බවක් මට දැනෙමින් තිබිණ. මානෙල් නිවැරදි ව යමක් නො කියන්නේ ඇයි? සිදු වී ඇති දේ නො කියා ඇය මට පහළට යන්නට කතා කරන්නේ ඇයි? ආච්චා ට අසනීපයක් නම් ඇය මේ තරම් තෙපර නොබා ඒ බව කියන්නී ය. මීට පෙර අවස්ථා කිහිපයකදී ම මට ඒ අත්දැකීම තිබේ. මානෙල් මෙසේ හැසිරෙන්නේ ආච්චා ට ඊට වැඩිය නපුරක් සිදු වී ද?

“අනේ… ආච්චට මොකද්ද වුණේ මානෙල් අම්ම…”

එසේ විමසත්දී මට හැඬුම් ආවේ ය. මම එහෙම ම මුහුණ දෝතින් වසාගතිමි.

“සකී බබා. අනේ චුට්ටක් කලබල නොවී ඉන්නකො. අපි ඉස්සෙල්ලම පොඩ්ඩක් පහළට යංකො හොඳ ළමය වගේ”

ඇය මේ තරම් දයාවකින් කතා කරන්නේ ඇයි? සිදු වී ඇත්තේ මට දරාගත නො හැකි දෙයක් බව ඇය දනී. ආච්චා කියන්නේ මට  ඉතිරි වී ඇති ලොකු ම වස්තුවයි. ඇය තවත් බෝ කාලයක් මා සමගින් දිවි ගෙවිය යුතු ය. මා මනාලියක වී මගේ දරුවන් ද සුරතල් කරන්නට ඇය සිටිත යුතු ය. මගේ මව් පියන්ටවත් නො හැකි වූ එකේ ඔවුන් වෙනුවෙන් හෝ ආච්චා මා සමගින් සිටිත යුතු ය.

“අනේ මට බෑ දෙයියනේ… මට පහළට එන්න බෑ. මට පහළට ඇවිත් මුකුත් බලන්න ඕන්නෑ. අනේ මගේ පපුව පැලෙන්න එනව මානෙල් අම්ම. මගෙ කන් දෙකෙන් දුන්දානව මානෙල් අම්ම. මට මෙහෙම දෙයක් ඉවසගන්න බෑ”

කොයි තරම් මා ආවේගශීලී වූයේ ද යත් මගේ ඉකිළුම කෑ ගැසීමක් ද සමග එක්වී ලොකු ඝෝෂාවක් නංවන්නට ඇත.

“අනේ සකී බබා අඬන්නෙපා. මගෙ හොඳ බබා වගේ අඬන එක නවත්තල අපි පහළට යංකො”

ඊළඟ මොහොතේ මගේ කාමරයේ උළුවස්සෙන් එබී බැලුවේ මුද්‍රා ගේ හා පීහු ගේ මුහුණු ය. එසේ නම් මා නිදි අතරේ බොහෝ දේ සිදු වී තිබේ. ඔවුන් දෙදෙනා ද මෙහි පැමිණ තිබේ. ආදිල් ඔවුන්ට ද කතා කරන්නට ඇත. මා කලබල වන නිසා අන්තිමට ම ඔවුන් මට කතා කොට තිබේ.

“අනේ මුද්‍රා… මොකද්ද දෙයියනේ මේ වුණේ…”

කියාගෙන ඇඳෙන් පැන්න මම ඇය වැළඳගෙන හඬන්නට වීමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here