මුද්‍රා ටික වෙලාවක් මා ඉවසාගෙන සිටියා ය. ඊළඟට මා සිය උරහිසින් ඈත් කොට,
“අපි දැං පහළට යංකො”
කියා කීවා ය. මම යළිත් විලාප දෙන්නට පටන් ගතිමි.
“අනේ බෑ… හ්. මට පහළට යන්න ඕන්නෑ කියල කිව්වනෙ. මට මුකුත් බලන්න ඕන්නෑ. ඕගොල්ලො ඔය පෙන්නන්න යන දේ බලන්න මට බෑ”
“පිස්සු නටන්නැතුව යමු බං”
කියමින් මුද්‍රා හා පීහු මගේ අත් බාහු දෙකෙන් අල්වා ගත්හ. සෙල්ලම් බඩුවක් ඉල්ලමින් මව් පියන්ගේ දෑත් වල එල්ලී, කඩපිලක හිඳ විලාප තබමින් අරගල කරනා පොඩි දැරියක සේ මම දෙපා ගසමින් ද ඔවුන්ව පසුපසට අදිමින් ද කෑගැසුවෙමි.
“ඔන්න ඔය පාංකඩ ගුලියක් ගනිං මේකිගෙ කටේ ඔබන්න”
“බෙරිහන් දෙන්නැතුව යමං යකෝ”
“මොන මදන යකෙක් වැහිලද මේකිට”
“යමං ගෑනියෙ”
ඔවුන් දෙදෙනා මගේ දෑතින් ඇදගෙන බලයෙන් ම වාගේ පියගැට පෙළ වෙත මා දක්කාගෙන ආහ.
“මට බ්බෑහ්…”
මම පොළොවේ හැපෙමින් කෑගැසුවෙමි. පීහු එක අතකින් මගේ මුව පොඩිකොට තද කරගත්තා ය. පඩිපෙළ දිගේ ඇදීගෙන යන ගමන් මා හුස්ම ගත්තේ නාසය මඳක් ඉහළට ඔසවා අපහසුවෙනි. පියගැට පෙළෙහි ලෑලි මත දෙපා ගැටෙත්දී නැගුණ බොල් හඬ මා වඩාත් බියපත් කරවනා ලදී. ආලින්දයෙහි වූයේ මඳ එළියකි. ඒ එළිය හිතේ මූසල හැඟීම් තවත් තීව්‍ර කරවනා ලදී.
මාව පහළ මහළට ඇදගෙන පැමිණීමෙන් පසු විදුලි එළියෙන් ගෙතුළ ආලෝකවත් විය. මට එකවර ම අදහාගත නො හැකි වූයේ ආලින්දය මැද්දෙහි ආකර්ෂණීය සැන්සවේරියා බඳුන් ගණනාවක් අසුරා තිබෙනු දුටු විටයි. මගේ හැඬීමත් විලාපයත් ක්ෂණික ව නතර වී විශ්මයෙන් මුව විවර වූයේ ය. ඊළඟ මොහොතේ ආච්චා සිය විද්‍යුත් රෝද පුටුවෙන් මා ඉදිරියට පැමිණියේ ලා කහ පැහැයෙන් අයිසින් කොට කහ පාට ස්වභාවික රෝස මල් කිහිපයකින් හැඩ කළ, හැපි බර්ත්ඩේ ලෙස ඉංග්‍රීසි අකුරෙන් ලියැවුණ ටැග් එකක් ගැසූ කේක් එකක් උකුල මත තබාගෙනයි. ආත්මයෙන් ම පැන නැංගා වූ ඉකිළුමක් කෙඳිරියක් ද සමග පිට වූයෙන් මම දෑතින් ම මුව තදකොට පියාගතිමි.
“හැපි බර්ත්ඩේ මගෙ චූටි සුරංගනාවි”
“අනේ මට මතක් වුන්නෑ ආච්ච”
මම ආච්චා ළඟ පහත් වී ඇගේ ගෙල වැළඳගතිමි. දෙවියනි මා බිය වූ තරමක්! ඇස් දෙකෙන් දිය ඇලි වාගේ කඳුළු දෙපෙළක් නිහඬව ගලාගෙන ගියේ ය.
“මේක මහ පිස්සු හෝන්තුවක්..හැපි බර්ත්ඩේ සමයම. මෙනි මෙනි හැපි රිටර්න්ස් ඔෆ් ද ඩේ”
මගේ දෙමිතුරියන් මා සිප වැළඳගත්තේ ආදරණීය නෝක්කාඩුවකුත් එක්ක ය. මම කඳුළු හලමින් ම සිනහ වීමි. ආච්චා ගේ උකුලේ වූ උපන් දින කේක් එක කෝපි මේසය මතින් තැබූ ආදිල් ඔහු ගේ ආකර්ෂණීය අඩ සිනහවෙන් ද ආරාධනා දෑසකින් ද මදෙස බැලුවේ ය. මම ඔහු වෙත ඉගිළුණෙමි.
“හැමදාම සතුටෙන් ම ඉන්න ඕනෙ සකී”
අපි තත්පර කිහිපයක් අප වැළඳගෙන, අපේ උණහුම් හැඟීම් දරාගන්නට ඇත. මා ඔහු වෙතින් මෑත් වූයේ විවිධ වර්ණ වල හා ප්‍රභේද වල සැන්සවේරියා බඳුන් දෙස බලාගෙනයි.
“ඔයාද ආදිල් මේව ගෙනාවෙ…”
“නැතුව ඉතිං අපිටනං පිස්සු නෑ නාකි නලවන්න”
පීහු එසේ කියත්දී ආදිල් මේසය මතින් විල්ලුද ආභරණ පෙට්ටියක් ගෙන එය විවර කොට අත් පළඳනාවක් පිටතට ගත්තේ ය. මගේ වමත ඔහු දෙසට දිගු වූයේ වචනයෙන් ඔහු එවන් ඇරයුමක් කොට නොවේ. හදවතින් බැඳුණු මිනිසුන් වචන වලින් සන්නිවේනය නොකළ ද ඔවුන් ගේ චිත්ත තරංග එකිනෙක මත සමපාත වන්නේ ය.
“ඒකට මං ආසයි”
මා කීවේ දෑසින් සිනහ වෙමින් හදවතින් ම ය. පුංචි මල් කැබලි, සමනලුන්, ආදිය
“මං හිතුව ඒක ඔයාගෙ වයිබ් එකේ එකක් කියල”
සචින් අයියාත් දෙව්නිත් තෑගි පාර්සලයක් ද තුරුලු කොටගෙන පැමිණියේ ඒ වෙලාවේ යි.
“අනේ… මේගොල්ලො ඔක්කොම කතා වෙලා මේව කරල තියෙන්නෙ. මං හිටියෙ උදේට කිරිබත් ටිකකුයි ලුණුමිරිසකුයි හදල ගන්න”
“හරි හරි උදේට එහෙම කමුකො. ඕන්නං තව මාළු ඇඹුල් තියලකුත් හදල ගත්තනං හරි. නේද ආච්ච…”
“ඒක ඇත්ත සචින් පුතා”
“ආදිල් එක්ක මේ වල් ගස් හොයන්න පැළ තවාන් ගානෙ ගිහින් එපා වුණා අප්ප”
“වල් ගස්… එන්නෙපා හරිද… දෙව්නි අක්ක ආවට තෑන්ක්ස්”
මම දෙව්නි ගේ අතක් අල්වාගනිමින් කීවෙමි. ඇය ඔවුන් ගෙනා තිලිණය විවර කොට බලනා ලෙස කීවා ය. එහි වූයේ මා හා ආදිල් ඉන්නා ලොකු කළ පින්තූරයක් සහිත රාමුවකි. ඒ පින්තූරය සචින් අයියා සිය ජංගම දුරකතනයෙන් ගන්නා ලද්දකි.
“ඒකනං මට ඕනෙ”
කියමින් ආදිල් ඒ ඔහු ගේ භාරයට ගත්තේ ය.
“දෙන්නගෙන් කාට වුණාම මොකද… එක ගෙදරටනෙ… නේද දෙව්නි දුව…”
කියමින් ආච්චා සිනහ වූවා ය. මගේ මිතුරියන් දෙදෙනා මා කැමති ම විදිහේ අලුත් පොත් මිටියක් තිළිණ කළහ. සැබවින් ඒ වගේ ලස්සන, විශ්මිත උපන් දින සැමරුමක් මගේ ජීවිතයෙහි තිබී නැත. වෙනදාට අපි උදේට කිරිබතක් සකසමු. හැන්දෑවට පීහු හා මුද්‍රා ද ආච්චා ද සමගින් පන්සල් ගොස් ඒ ගමන් ම පිටතින් කා බී විනෝද වී පැමිණෙන්නෙමු. එපමණකි.
නමුත් අද එහෙම නොවේ. මට වැඩියෙන් ම ළඟ, මා වැඩියෙන් ම ආදරය කරන, මට මගේ කියා හැඟෙන කිහිප දෙනා එක්ව මටත් කලින් මගේ උපන් දිනය වෙනුවෙන් සූදානම් වී තිබේ. සාද සැමරුම් කෙසේ වී ද හදවතට වඩාත් දැනෙනුයේ ඒ තමන්ගේ කමයි. ඔවුන්ට මා වටිනා බව දැනීමයි. ඔවුන් මට ආදරේ බව හැඟීමයි.
කෑම මේසය පුංචි උපන් දින සාදයකට සූදානම් වී තිබිණ. කෙටි කෑම වර්ග කිහිපයක් ද සැන්ඩ්විචස් ද ආදිල් විසින් ඒ රැය සඳහා ඇනවුම් කොට තිබුණේ ය.
“අනේ තෑන්ක් යූ ඉතිං… ඕගොල්ලො මං නිසා ගොඩක් මහන්සි වෙලා. දන්නවනං මෙච්චර වද වෙන්න දෙන්නෑ”
“ඒකනෙ ඔයාට කියන්නැතුව වද වුණේ”
ඒ රාත්‍රිය බෙහෙවින් චමත්කාරජනක වූයේ ය. ප්‍රිය සිනහ හා මෘදු බැලුම් තැවරි සෞම්‍ය බවක් එහි විය. මානෙල් කෝපි පිළියෙල කළා ය. මා මීට ටිකකට කලින් කෑ ගසමින් හැඬූ අයුරු ගැන මගේ මිතුරියෝ හාස්‍යයෙන් යුතුව සචින්ලාට පැහැදිලි කළහ. දෙව්නි වැඩි කතා බහක් නැත ද සිනහ වෙවී අපේ සමාගමයේ රැඳී සිටියා ය.
“අනේ ඔච්චරනං මං කෑගැහුවෙ නෑ”
මම නෝක්කාඩු කීවෙමි.
“කෑගැහුවෙ නෑ. මේකිව හයර් කරන්න ඕනෙ මළ ගෙවල්වල අඬන්න”
මුළු කෑම මේසය ම සිනහවෙන් පිරී ගියේ ය. මම මූණ රතු කරගෙන සිටියෙමි.
“මං මැරුණු දාට සකී අඬන විදිහ ඒකෙන් මට ඇස් පනාපිට දැකගන්න පුළුවන් වුණා”
“අනේ මේ ඕන්නැති කතා කියන්නෙපා ආච්ච. මාව බයකළා මුන් ටික”
“අපි කොහෙද බය කළේ. අහස කඩං වැටෙන්න එනව කියල දිව්ව එකා වගේ ඉවක් බවක් නැතුව මොර දුන්නෙ තමුසනෙ”
ආදිල් මහිස මත සිය සුරත තබා පිරිමැද්දේ ය. ඔහු ගේ දෑස් මත පීතෘ ස්නේහයකට සමීප හැඟීමක් ලියැවී තිබිණ.
“මේගොල්ලො මොනා කිව්වත් ඔයා අවංක නිසානෙ එහෙම දුක් වුණේ”
“ආ… කොහොමද ඒක…අන්තිමට අපි නරක”
“ආදිල් පුතාට ස්තූති කරන්න මට වචන මදි”
අපේ සිනා කතා අතරින් ආච්චා වැදගත් කතාවකට මුල පිරුවා ය.
“ආ… එතකොට ආච්චටත් අපි කරපු ඒව අමතකයි. ආදිල් පුතාට විතරයි ස්තූති කරන්නෙ”
“එහෙම නෙවෙයි ළමයි. අපිට අද මේ සතුටත් එක්ක සැහැල්ලුවකුත් තියෙන්නෙ ආදිල් පුතා නිසා. කොච්චර වුණත් සකීට මොන විදිහෙ පිරිමියෙක් හම්බ වෙයිද කියන බය මගෙ හිතේ තිබුණනෙ. අද මට සැහැල්ලුවක් දැනෙනව. ආදිල් පුතා මේ කෙල්ලට දුකක් දෙන්නෑ කියන එක මට විශ්වාසයි. අන්න ඒක මට ඇති. ඒකට කට පුරා ස්තූති කරන්නම ඕනෙ දරුවනේ. අපිට ලැබෙන හැම හොඳ දෙයක් වෙනුවෙන්ම අපි ස්තූතිවන්ත වෙන්න ඕනෙ. ක්‍රිස්තියානි මිනිස්සු එයාලගෙ කෑම වේලට කලිනුත් ඒ වෙනුවෙන් ස්තූති කරල යාඥා කරනව. ස්තූතිවන්ත වෙන තරමට වැඩි වැඩියෙන් අපිට ඒ දේ ලැබෙනව. මගෙ අසරණීට මේ වගේ සහකාරයෙක් දීපු එක ගැන ඉතිං මං දෙවියන්ට කොච්චර ස්තුති කරන්න ඕනද..”
“ආච්ච එහෙනං තව ස්තූති කරන්න. එතකොට තව වැඩිපුර හොඳ කොල්ලෙක් ලැබුණොත් එහෙම මට දෙන්න හොඳේ”
මුද්‍රා ගේ කතාවට නැවත ද සිනහ සාගරයක් ඉපදිණි.
අපේ සාදය පාන්දර යාමයක් වනතුරු ම පැවතිණ. සචින් හා දෙව්නි නික්ම ගිය පසු ද අප තවත් ටික වෙලාවක් කතා බහේ සිටියෙමු. ඒ අතරේ ජංගම දුරකතනයට එබීගෙන සිටි ආදිල් හිසේ අත ගසා ගත්තේ ය.
“ඇයි ආදිල්…”
මට ඒ වෙනස හොඳට ම දැනිණ.
“කල්පනී… දෙයියනේ මේ මනුස්සය මොකද්ද මේ කරගෙන තියෙන්නෙ…”
ආදිල් ගේ මුහුණ මත ද ස්වරයෙහි ද වූයේ කම්පිත බවකි. මම හිඳගෙන උන් අසුනෙන් නැගිට ඔහු වෙත ගොස් ආදිල් ගේ දුරකතනයට එබුණෙමි.