Not Without You – 47

0
6935

කල්පනී මැදගෙදර

දුලාජ් හම්බවුණාට පස්සෙ මට දැනුණෙ යමක් සම්පූර්ණ වුණා වගේ. කාලයක් තිස්සෙ මං ඇතුළෙ තිබුණ හිස්කමක් එක මොහොතකින් පිරිල ගියා වගේ. මංවත් නොදැන මං හොය හොයා හිටිය දෙයක් ලැබුණ වගේ. අන්න එතනදි ආදිල් සම්පූර්ණයෙන් ම අහෝසි වෙලා ගියා. මට තවදුරටත් එයාට කතා කරන්නවත් එයා පස්සෙ යන්නවත් ඕන වුණෙ නෑ. කොහොමටත් කවදටත් මගෙ ගෑනු ආත්මයට කිඳා බැහැල තිබුණ ආදරයේ රස තැන් ස්පර්ශ කරන්න ආදිල් ට ඕන වුණෙ නෑ. එයාව පොළඹගන්න මං උත්සාහ කරපු අවස්ථා නැතුව නෙවෙයි. අපි අතරෙ දුර දිග ගිය ඇසුරක් ඇති වුණොත් එයාව මටම බඳවගෙන තියාගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්    තමයි මං වැඩියම එහෙම කළේ. ඒත් ආදිල් දැනං හිටිය මගෙ ඇමට අහු නොවී ඉන්න. ඒක ගැන මට එයා   එක්ක කේන්තියක් තිබුණ. නො රිස්සුමක් තිබුණ. එයා මාව ප්‍රතික්ෂේප කරද්දි වුණත් එයාගෙ ම ඇඟේ එල්ලිල ඉන්න මං උත්සාහ කළේ මොනා වුණත් ආදිල් හොඳ කොල්ලෙක් කියන එක දැනං හිටිය නිසා.

කොහොමහරි අන්තිමට ආදිල් ගෙ චැප්ටර් එක ක්ලෝස් වුණා. දුලාජ් නිසා මට ඕනකරපු ජීවිතේ ලැබුණ. ඒ කියන්නෙ මහන්සි වෙලා රස්සාවක් නොකර ම කොළඹ ජීවත් වෙන්න එයා මට සල්ලි දුන්න. මං වෙනුවෙන් සල්ලි වියදං කළා. ආස ඇඳුම් අඳින්න, ආස තැන් වල යන්න, ආස විදිහට කාල බීල ඉන්න මට පුළුවන් වුණා. ඒක හරි ලස්සන සමනල ජීවිතයක්. නතර වෙන්නත් මට දුලාජ් ගෙ තැනක් ලැබුණ. එයා හුඟක් රැයවල් මාත් එක්ක ඒ නවාතැනේ ගත කළා. මගෙ ඒ සුරංගනා ලෝකෙ බිඳිල ගියේ හරි ම අනපේක්ෂිත විදිහට. ඒ දුලාජ්ලගෙ බිස්නස් එක විකුණල කියල දැනගැනීමත් එක්ක.

එයා මට කවදාවත් කියල තිබුණෙ නෑ බිස්නස් එක විකුණනව කියල. ඒක මං දැනගත්තෙ ෆේස්බුක් එකෙන්. ඇත්තට ම ඒ වෙලාවෙ මාව අහසින් පොළොවට වැටුණ.

“බිස්නස් එක වයිෆ්ලගෙනෙ. මෙහේ හැමදේම විකුණල දාල යූඑස්ඒ යන්නයි ගෙදර අය ලෑස්ති වෙන්නෙ”

සරාගී රැයක කෙළවර මං ඒ ගැන ප්‍රශ්න කරද්දි දුලාජ්ගෙන් ලැබුණෙ එහෙම උත්තරයක්. ඒක නිකං ලිස්සල යන උත්තරයක් කියල මට තේරුණා.

“එතකොට ඔයා…”

“බලමු ඉතිං. මට යන්න ඕන නෑ”

“ඒත් බිස්නස් එක විකිණුවට පස්සෙ ඔයා මොනා කරන්නද…”

“බලනව ඉතිං”

“ඔයා ගියොත් මට මොනාද වෙන්නෙ…”

“මං යන්නෑ. මට ඕනෙ උඹ එක්ක ඉන්න බං”

එහෙම කියල දුලාජ් ඒ ප්‍රශ්නෙ මගඅරින්න උත්සාහ කළා.

“ඔයා ගියත් කමක්නෑ. මාවත් අරං යන්න. මටත් ඕනෙ මේ රටෙං තොලොංචි වෙලා ගිහින් නිදහස් ජීවිතයක් ගෙවන්න”

මං එහෙම කිව්වෙ ඇත්තටම. මැක්කෙක්ට ජීවත් වෙන්න පුළුවන් බල්ලෙක්ගෙ ඇඟේ ම විතරයි. මේ සැරේනං දුලාජ් ට ගැලවිල යන්න දෙන්නෑ කියන හිතිවිල්ල මගෙ ලේ මස් වලට ම තදින් කාවැදිලා ගියා. හැබැයි එතනින් පස්සෙ එයා බැලුවෙ මාව මගඅරින්න. දුලාජ් මාත් එක්ක ගතකරන්න එන රැයවල් අඩු වුණා. ඒ ගැන අහද්දි එයා එක එක බොරු උත්තර දුන්න.

“එයාල ලංකාවෙනුත් යනවනං ඔයා ඩිවෝස් එක අරං මාව බඳින්න” කියල මං දුලාජ් ට තර්ජනේ කළේ ඔය වගේ තත්වෙකදි. මගෙ පැත්තෙන් මං හොඳට ම කලබල වෙලා හිටිය එක සාධාරණයි. ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිස්සු කණාමැදිරි එළියටත් බයයිනෙ. මං ඇවිල්ල ගිනි පන්දමකින් ම බැටකාපු ගෑනියෙක්. දුලාජ් තමයි මට වෙච්ච හැම දේටම වගකියන්න ඕනෙ. අර අහිංසක ආදිල් පිටිං යන්න ගියෙත් අනුංගෙ පව් කන්දක් කියල මං නොදන්නව නෙවෙයි. මට එහෙම කරන්න වුණේ වෙන කරන්න දෙයක් නැති කමට. මට මොනා වෙයිද කියන බයත් එක්ක හැම මොහොතක ම ගිලෙන්න යන හැඟීමක හිටපු මට ආදිල් විතරයි පිදුරු ගහකට තිබුණෙ. හැබැයි මේ වෙලාවෙනං මං දුලාජ්ට මාරු වෙලා යන්න දෙන්නෑ.

“එයාල ආයෙ ලංකාවට එන්නෑනෙ. අපි කලබල වෙන්න ඕන නෑ. කොහොමත් ඊට පස්සෙ අපි දෙන්න එකට ජීවත් වෙන එකනෙ”

කියල දුලාජ් කිව්වෙත් ලිස්සල යාමේ පරමාර්ථයෙන්.

“එහෙම බෑ. අපි බඳින්න ඕනෙ. එක සැරේකුත් ඔයා මාව අතරමං කරල ගියා. ආයෙත් මට ඒකම වෙන්න දෙන්න බෑ. එක්කො ඩිවෝස් වෙලා ඔයා මාව බඳින්න ඕනෙ. නැත්තං මාවත් අරං යන්නෝනෙ යන දිහාවකට”

මං හැසිරුණේ යක්ශාවේශයෙන්. ඒ රණ්ඩුව සෑහෙන්න දුරදිග ගියා. දුලාජ් එදා යන්න ගියේ මාව තල්ලු කරල දාල.

“බඳින්න නෙවෙයි මීට පස්සෙ මං උඹට සතයක්වත් දෙයි කියල හිතන්නෙපා බැල්ලි. පුළුවන් දෙයක් කරහං”

කේන්තියයි දුකයි බයයි ඔක්කොම මාව වෙව්ලවමින් තිබුණෙ. හැමදාමත් මං ඒ මිනිහගෙ සෙල්ලං බඩුවක් වුණා විතරයි. මුලදි ඒක වෙද්දි මං පොඩියි. මට කරන්න කිසිම දෙයක් තිබුණෙ නෑ. මොනවත් කරන්න හයියක් තිබුණෙත් නෑ. ඒත් දැන් එහෙම නෑ. මේ මිනිහ මත්තෙ මැරෙන්න හරි මං තීරණේ කරල ඉවරයි.

පහුවදා උදේ ම ටැක්සි එකක් දාගෙන මං දුලාජ් ගෙ ගෙදර හොයං ගියා. මගෙ ඇඟේ ලේ රත්වෙලයි තිබුණෙ. දුලාජ් දන්නෑ මං කවුද කියල. දැන් ඉන්නෙ ඒ මිනිහ හපයක් කරල දාල ගිය පොඩි කෙල්ල නෙවෙයි.

ඊයෙ රණ්ඩුවෙදි දුලාජ් මගෙ මූණට ගහපු පාරක් නිසා යටි තොල පුපුරල තුවාල වෙලා තිබුණ. ඒ තුවාල වහගන්න ලිප්ස්ටික් තට්ටුවක් උලාගන්නයි මට සිද්ද වුණේ. ඒ වුණත් නොගිහින් ඉන්නව වෙනුවට ඉක්මන් කරන එක නුවණට හුරුයි කියල මට හිතුණ.

මාළිගාවක් වගේ ඒ ගෙදර බෙල් එක ගැහුවම පැති ගේට්ටුව ඇරියෙ කොණ්ඩෙ කපපු ගෑනු කෙනෙක්.

“ඇයි…”

කියල එයා මගෙ ඔළුවෙ ඉඳං කකුල් දෙකට ම ඇස් ඇදං ගියේ අමුතු සතෙක් දැක්ක ගානටයි.

“මට කතා කරන්න ඕනෙ දුලාජ්ගෙ වයිෆ්ට”

“ඇයි…”

ඒ ගමන එයාගෙ ඇස් පුංචි වුණා.

“ඔයාද ඒ…”

“ඔව්. මොකද්ද කාරණේ… ඔයා කවුද…”

“දුලාජ් මාත් එක්ක සම්බන්දයක් තියනව”

“මොකද්ද…”

“ඔයාට ඇහුණ දේ තමයි මං කිව්වෙ. කාලයක් තිස්සෙ තියන සම්බන්දයක් ඒක. එයා මගෙ ජීවිතේ එක්ක සෙල්ලං කළේ අද ඊයෙක නෙවෙයි. හැබැයි මේ සැරේ මාව අතරමං කරල යන්න දෙන්න බෑ. මගෙ ජීවිතේට සිද්ද වෙච්ච දේවල් වලට එයා වගකියන්න ඕනෙ. ඔයාටත් දුවල ඇතිනෙ. තේරුං ගන්න පුළුවන් ඇතිනෙ මං ඉන්න තත්වෙ…”

ගේට්ටුව අල්ලගෙන හිටිය ඒ ගෑනු මනුස්සයගෙ මූණ අඳුරු වෙලා කම්මුලක මස් පිඬක් ගැස්සුණා.

“කව්ද”

කියාගෙන දුලාජ් ගේට්ටුව ළඟට ආවෙ ඒ වෙලාවෙ.

“මම”

මාව දැක්කහම මිනිහ ගැස්සිල ගියා.

“මොනාද දුලාජ් මෙයා මේ කියන්නෙ…”

කියල දුලාජ්ගෙ වයිෆ් ඇහුවෙ වෙව්ලන හඬකින්.

“මේ ගෑනිට පිස්සු. ගමේ ඉන්න කාලෙ ඉඳංම මගෙ පස්සෙං ආපු ගෑනියෙක්. පවු කියල අනුකම්පා කළහම මුං එනවනෙ යකෝ ගෝනි නැතුව කරේ නගින්න. තමුන්ට මේ හතර මායිමට එන්න බෑ. දඩාවතේ යන බැල්ලියො”

කියල දුලාජ් දඩාස් ගාල ගේට්ටුව වැහුව. මට දැනුණෙ එතන ම වළක් හෑරිල මාව ගිලාබහිනව වගේ. ඒත් පහුබහින්න එපා කියලමයි හිත කිව්වෙ. මං කෑ ගගහ ගේට්ටුවට ගැහුව. කවුරුවත් ඒක ඇරියෙ නෑ. ගේ ඇතුළෙං දුලාජුයි වයිෆුයි රණ්ඩු වෙන සද්දෙ ඇහුණා. තවත් ටික වෙලාවකින් මං එතනින් ආවෙ හිතේ වෛරයක් පොදි බැඳගෙන.

දුලාජ් එහෙනං එහෙම කළා. ඒ මිනිහ මාව හප කරල පැත්තකට විසි කළේ බැල්ලියෙක් කියල පිළිකුල් කරල. මාව වෙව්ලුව. මොනව කරන්නද කියල  කලබල හිතට තේරුණෙත් නෑ. කොහොම හරි මං ආයෙ ගෙදර එනකොට දුලාජ්ගෙ මිනිස්සු මගෙ ඇඳුං කෑලි ටික මිදුලට විසි කරල දොර ලොක් කරනව. ඇඳුං බෑග් එකත් අරගෙන මං පාරට ආවෙ කොහේ යන්නද කියල නොදැන. දුලාජ් දීපු සල්ලි ටිකක් තිබුණත් හොඳ තැනකට යන්න ඒක මදි. ආයෙ ජොබ් එකක් හොයාගන්නකල් ජීවත් වෙන්නත් ඕනෙ. ආදිල් ව මතක් වුණත් මං එයාට කතා කරන්න ගියෙ නෑ. ඒ තරමට මං ගැන ම කලකිරීමක් මට මාවම අප්පිරිය කරල තිබුණ. අන්තිමට මං පිටකොටුවට ගිහින් නුවර බස් එකක නැග්ගෙ ගෙදර යන්න. ඒත් මට මෙහෙම ගෙදර යන්න බෑ. ලොකු නැන්දලගෙ ගෙදරින් කිසි හේතුවක් නැතුව පිට වුණ නිසා ආයෙ එහෙ යන්නත් බෑ. ඒත් ගමට යන්න හිතුණෙම නෑ. පස්සෙ ආයෙම ඇවිත් ගාණ අඩු තැනක නතර වුණා.

 ඇඟ රිදෙන මෙටටෙ උඩ වැතිරුණාට පස්සෙත් පළිදැරීමේ චේතනාව ලියලමින් තිබුණ. මට කරන්න පුළුවන් එක ම දේ, කරන්න තියන ලොකු ම දේ මං කළා. මගෙ ෆෝන් එකෙන් දුලාජ් එක්ක අරං තිබුණ ෆොටෝස් ඔක්කොම වට්සැප් හරහා දුලාජ්ගෙ වයිෆ්ට යැව්ව. ඒ නම්බර් එක ටික දවසකට කලින් මං දුලාජ්ගෙ ෆෝන් එකෙන් ම හොරකං කරගත්ත එකක්. මේ වෙලාවෙ මට ඒක ලොකු දෙයක් වුණා.

පහුවදා උදේම යාළුවෙක් කෝල් කළා. කතා කරන්න උනන්දුවක් තිබ්බෙ නැතත් කතා කළේ, ඒ වෙලාවෙ මං හිටියෙ පිස්සු වැටෙන්න එන තත්වෙක නිසයි.

“මොකද්ද බං උඹ මේ කරගෙන තියෙන්නෙ”

කියල තුෂාරි ඇහුවහම මං දැනං හිටියෙ නෑ එයා අහන්නෙ මොනා ගැනද කියල.

“මොකද්ද…”

“කල්පි උඹ ඇත්තටම දන්නැද්ද… උඹේ නේකඩ් වීඩියෝ එකක් වයිරල් වෙනව”

“මොකද්…ද…”

මට දැනුණෙ මාව මං වටේම කැරකෙනව වගෙයි. එහෙනං දුලාජ් කියන ති රි ස නා ඒකත් කළා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here