දියවැඩියාව සහ අධික කොලෙස්ටරෝල් ඇති පුද්ගලයන් සඳහා නිර්දේශිත ආහාරයක් ලෙස හඳුන්වන කොහිල වල ඇති රුධිරයට කොලෙස්ටරෝල් සහ සීනි අවශෝෂණය වීම අඩු කිරීමේ ඇති හැකියාව සහ විටමින් A හා C වගේම තවත් පෝෂක ගණනාවක්ද අඩංගු වීම කැපී කොහිල වලින් අපිට ලැබෙන ප්රතිලාභ ගැන කතා කරද්දි ඉස්මතු වෙලා පේනව.
ඊට අමතරව, අපි වැඩිදෙනෙක් දන්න විදිහට කොහිල කියන්නෙ තන්තු බහුල ආහාරයක්. ඒ නිසා කොහිල ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරන්න ලබාදෙන්නෙත් මිල කරන්න බැරි සහයක්.
ගෙදර වත්තෙ වගේම ගමේ නගරයේ ඕනෑම තැනක හරිම පහසුවෙන් හොයාගන්න පුළුවන් වගේම වැඩි මිලක් නැතුව මිලදී ගන්න කොහිල ඉතාම පහසුවෙන් ඔබේ ආහාර පිඟානට එකතු කරගන්න පුළුවන් නිසා කොහිල අල, දළු අමතක නොකල යුතුමයි කියලත් අපි ඔබට ආදරෙන් මතක් කරනව.
ඔන්න එකම විදිහට කොහිල අල, දළු මාළුව කන ඔබට ටිකක් වෙනස් රසකට කොහිල හදන්නෙ කොකොහොමද කියල කියල දෙන්නයි smart lady අපි අද සූදානම් වෙන්නෙ.
අද අපි හදමු කොහිල අල බැඳුමක්.
මුලින්ම, අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු.
අවශ්‍ය ද්‍රව්‍ය
පොතු ඉවත්කර පිරිසිදු කරගත් කොහිල අල දණ්ඩක් (300g ක පමණ)
ලොකු ලූණු ගෙඩි 02 ක්
කරපිංචා ඉති 02 ක කොළ
වියළි මිරිස් කරල් 02 ක් 03 ක්
සුදුලූණු බික් 05 ක්
කෑලි මිරිස් මේස හැඳි 01 ක්
සීනි තේ හැඳි 02 ක්
උම්බලකඩ කැබලි මේස හැඳි 05 ක් පමණ
ලුණු කුඩු
කහ කුඩු
තෙල්
වතුර
සාදාගන්නා ආකාරය
මුලින්ම, පිරිසිදු කරගත් කොහිල අල කැබැල්ල සිහින් පෙති වලට කපාගෙන දිග අතට සිහින් තීරු සිටින සේ කපාගන්න.
කපාගත් කොහිල තීරු වතුර භාජනයකට දමා එයට කහ කුඩු සහ ලුණු කුඩු ස්වල්පයක් එකතු කර අනෙක් ද්‍රව්‍ය සූදානම් කරගන්නා තෙක් තබන්න.
ඊළඟට ලොකු ලූණු ගෙඩිය සිහින්ව ලියාගන්න.
සුදු ලූණු ටිකත් සිහින්ව ලියාගන්න.
දැන් කහ වතුරේ පොඟවා ගත් කොහිල තීරු වල වතුර මිරිකා පෙසෙකින් තබාගන්න.
ඊළඟට, තාච්චියක් ලිප තබා එයට තෙල් දමා තෙල් රත්වෙන තුරු තබාගන්න.
තෙල් රත්වූ පසු කොහිල තීරු, ලූණු සහ සුදුලූණු රන්වන් පාටවන තුරු බැදගන්න.
ඊළඟට වේලුණු මිරිස් කැබලි වලට කඩා තද රතු පැහැවන තෙක් බැද ලිප නිවා කරපිංචා කොල ටිකත් බැදගන්න.
දැන් අවශ්‍ය ද්‍රව්‍ය සූදානම්.
ඊළඟට, තාච්චියක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කර තෙල් රත්වන විට උම්බලකඩ කැබලි දමා විනාඩියක් පමණ තබා එයට කෑලි මිරිස්, සීනි සහ රස අනුව ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න.
ඉන්පසු එයට බැදගත් සියල්ල දමා නැවත හොඳින් කලවම් කරගන්න.
විනාඩියක් දෙකක් තබා ලිපෙන් ඉවත් කරගන්න.
හොඳින් සෝදා පිරිසිදු කරගෙන වතුර ඉවත් කරගත් වීදුරු භාජනයකට දමා කල්තබා ගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන්.
උම්බලකඩ වෙනුවට හාල්මැස්සන් වගේම ඔබ කැමති නම් කජු, රටකජු, ග්‍රීන් පීස් එකතු කරගන්නත් ඔබට පුළුවන්.
එහෙනම් මේ විදිහට කොහිල බැදුම හදල බලන්නකෝ.
සටහන – දුලානි නවෝද්‍යා