Not Without You – 48

0
1302

සකී ආන්‍යා තඹරවිල

කල්පනී මගේ කාර්යාලයෙහි, මා අභියස හිඳ සිය කතාව සාරාංශ කොට කියා නිම කළා ය. අවසානයෙහි සුසුමක් හෙළුවේ මා මිස ඇය නොවේ. ආදිල් ගේ දුරකතනයෙන් ඇගේ නග්න වීඩියෝවක් දුටු වෙලාවේ පටන් සමස්ථ ස්ත්‍රීත්වය කෙරේ මා තුළ ඇති වෙමින් තිබූ අනුකම්පා සහගත හැඟීම බිඳකුදු වෙනස් නැතිව මේ වෙලාවේත් ඇතුළාන්තයෙහි එහෙ මෙහෙ වේ. ස්ත්‍රීත්වය මෙපරිද්දෙන් හෑල්ලු වීම හෝ අවතක්සේරු වීම හෝ අවඥාවට භාජනය වීම ගැන මගේ කිසිදු පහන් බවක් නොවේ. නමුත් මේ ඒ හේතුව මත ගැහැනියක තනි නොකළ යුතු අවස්ථාවකි. ඇයට සමස්ථ ගැහැනු සංහතියේ පමණකුදු නොව මිනිස් වර්ගයාගේ ම අනුකම්පාව ලැබිය යුතු මොහොතකි.

“දෙයියංගෙ නාමෙට මේකට අතදාන්නැතුව අපි අපේ පාඩුවෙ ඉමු සකී. හැදෙනවනං කල්පනීට ඕනතරං හැදෙන්න තිබුණ. ඒත් එයාට හැදෙන්න ඕනකමක් තිබුණෙ නෑ”

කල්පනී වෙනුවෙන් යුක්තිය ඉල්ලා නීතීඥවරියක වශයෙන් කිසිදු මුදලක් අය නොකර පෙනී සිටින්නට මා තීරණය කළ වෙලාවේ ආදිල් කීවේ ය. නමුත් මම මගේ  යුතුකම ඉටු කරන්නට තදින් සිතා සිටිමි. ඒ යුතුකම තවත් ගැහැනියක වෙනුවෙනි. ඇය සියල්ල පටලවා අවුල් කරගෙන ජීවිතය වරදවා ගත් ගැහැනියක බැව් සැබවි. නමුත් පිරිමියෙකු අතින් ඇයට ලැබිය යුතුව තිබූ, නමුත් නොලැබී ගිය ගෞරවය වෙනුවෙන් සටන් කිරීම මම තෝරාගතිමි. ඕනේ නම මගේ කිසිවෙකු නොවේ කියා සිතා ඇය අත්හැර දැමිය හැක. එනමුදු ඇය ගැහැනියකි. ඇයට ගැහැනියක වූ නිසා පරිභව ලබන්නට ඉඩ තැබිය යුතු නැත.

“තමුං වපුරන හැටියටයි අස්වනු නෙලන්න වෙන්නෙ සකී. ඔන්න ඔය කුණු ගොඩට අත දාන්නැතුව පැත්තකට වෙන්න”

ආච්චා ද මට අවවාද කළා ය.

“ගෑනියෙක් වුණහම මුලින්ම තමන්ගෙ ආත්ම ගෞරවේ රැකගන්න දැනගන්න ඕනෙ. තමං රකින්නැතුව ඒක වෙන කවුරුවත් රැකල දෙයි කියල බලාපොරොත්තු වෙන්න බෑ. මතකද එයා ගෙදරටම ඇවිත් ඔයාට ආදිල් ගැන කියපු දේවල්… ජරා දේවල් බලාපොරොත්තු වුණ කෙනෙක්ට ලැබෙන්නෙ ජරාවම තමයි. මන්නං කියන්නෙ ඔය වගේ මිනිස්සුන්ට අනුකම්පා කරන්නැතුව අතෑරල දාන්න ඕනෙ”

මගේ මිතුරියන් ගේ අදහස වූයේ ද එයයි. නමුත් මහද කුටීර අතරේ ගිනි මැලයක් ව දැවෙනා යම් සංවේදී හැඟීමක් වූයෙන් මට එසේ අහක බලාගත හැකි නොවිණ. කල්පනී වැරදි කළා ය. මම එය පිළිගමි. නමුත් ඒ වරදට පිරිමියෙකු වශයෙන් දුලාජ් ගෙන් ලැබුණු දඬුවම සාපරාධී ය. තමුන් ළඟ නිරුවත් වන ගැහැනියක ගේ සම්පූර්ණ වගකීම පිරිමියා සතු වේ. ඒ වගකීම වෙනුවෙන් වග වන්නට බැරි නම්, ඇයගේ ශරීරය පිළිබඳ රහස්‍යතාවය රැක ගන්නට නො හැකි නම්, තමන් විශ්වාස කොට සළු පිළි උනා දැමූ ගැහැනියක මුළු ලොවක් ඉදිරියේ ම නිරුවත් කරන්නට යම් මොහොතක පිරිමියෙකුට සිතෙන්නේ නම් ඔහු පිරිමිකමට නොව මිනිසත් බවට ම කරනු ලබනුයේ නින්දාවකි. එවන් පිරිමින් ට සමාජය ඉදිරියේ දඬුවම් ලැබිය යුතු ය. ඔහු සමගින් යහන්ගත වූ පාපයට ඒ ගැහැනියට කළ අවමානය වෙනුවෙන් එකී පුරුෂයා සමාජය ඉදිරියේ සාපරාධී වරදකරුවෙකු විය යුතු ය.

“තමන් එක්ක සම්බන්ධයක් තිබුණ කෙනෙක් ලියපු ලියුමක් එවපු මෙසේජ් එකක් වුණත් පෞද්ගලිකයි. ඉස්සරනං කොල්ලො කෙල්ලො තරහ වෙනකොට ඒ ලියුම් පවා අනිත් කෙනාට දෙනව. තියාගන්නෑ”

ආච්චා සිනහ වෙවී කියයි.

“මන්නං කලින් කොල්ල මට දීපු වොච් එකකුයි ටෙඩියෙකුයි පවා ආපහු දුන්න අෆෙයා එක නවත්තද්දි”

පීහු මූණ බෙරි කරගෙන කීවා ය.

“සදාචාරයක් නැති මිනිස්සු. ඒ අතින් මට ආදිල් ගැන හරි ආඩම්බරයි. එයා ඒ වීඩියෝ එක මං බලනවටවත් කැමති වුන්නෑ”

මම මගේ ප්‍රේමවන්තයා ගැන ආඩම්බර වීමි. නමුත් අපට ලැබුණ දේවල් ප්‍රමාණවත් නිසාවෙන් අනෙකා ගැන නොබලා සිටිත නො හැකි වේ. විශේෂයෙන් ම නීතීඥවරියක වශයෙන් එහෙම ඉන්නට බැරි නලියාමක් මට විය. මුද්‍රා ගේ හිතවත් පරිගණක පිළිබඳ විශේෂඥවරයෙකු ගේ සහායෙන් මා මුලින් ම කළ යුතු දේ කළේ ආදිල් ගේ දුරකතනයෙන් වීඩියෝව දැක පැය දෙකක්වත් ගත වෙන්නට පෙරයි. ඒ එය සයිබර් අවකාශයෙන් ඉවත් කරවීමයි. නමුත් ඊට පෙර බාගත කරගනු ලැබූ වීඩියෝ ඕනෑ තරම් තිබිය හැක. ඕනෑ තරම් ඒවා සංසරණය වීමට ද පිළිවන.

නීතීඥවරියක වශයෙන් තනිව මුහුණ දෙන ප්‍රථම නඩුව මට මෙය වන්නේ ය. එය අභියෝගයකි. මා මුලින් ම කළේ දුලාජ් ට එරෙහිව කල්පනී ගේ පාර්ශවයෙන් අපහාස නඩුවක් ගොනු කිරීමයි. දුලාජ් පවුල පිටින් විදේශ ගත වීමට ආසන්නව සිටි නිසා, ඔහු රටින් පිටවීමට එරෙහි ව උසාවියෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කළෙමි. දුලාජ් වෙඩි කෑ ඌරෙකු සේ කිපුනේ ඒ අවස්ථාවේ යි. ඔහු කල්පනී ට දුරකතන ඇමතුම් ගෙන තර්ජනය කළේ ය. ඒවා පටිගත කරගන්නා ලෙස මම ඇයට මුල සිට ම උපදෙස් දුන්නෙමි. ඔවුන් අතරේ සම්බන්ධතාවයක් පැවති බව සහතික කරන්නට සාක්ෂි ඕනෑ තරම් කල්පනී සතුව තිබිණි. සංසරණය වූ වීඩියෝවෙහි දුලාජ් ගේ දර්ශන නොමැති වී ද ඒ කල්පනී නැවතී සිටි ඔහු ගේ නිවාසයක් බව ඔප්පු කළ හැකි පසුබිමක් එහි තිබිණි.

“පළවෙනි කේස් එක විදිහට මේක ඔයාට ලොකු චැලේන්ජ් එකක් සකී. ස්පෙශලි දුලාජ් කියන්නෙ හෙන සල්ලිකාරයෙක්. මිනිහ නඩුවෙන් දිනන්න ඕනතරං සල්ලි විසිකරයි. පරාද වෙනව කියල හොඳටම දන්න නඩුවකට සත පහක්වත් නැතුව කතා කරල පැරදෙන එක ඔයාගෙ කරියර් එකට මාර හානියක්. ඒක නිසා ඕක නොකර ඉන්නවනං හොඳයි සකී”

මගේ ජ්‍යේෂ්ඨයන් පවා උපදෙස් දුන්නේ එසේ ය. නමුත් ඒ වන විටත් මා දියට බැස අවසාන ය. ගිලෙනවාට වැඩිය පිහිනන එක පහසු බව සක් සුදක් සේ දැන සිටි බැවින් මම මට හැකි උපරිමය මේ නඩුව වෙනුවෙන් කළෙමි. නඩුව කතා කිරීමෙන් ඉවත් වන ලෙස යෝජනා කරමින් මුලින් අල්ලස් දෙන්නට ද පසුව තර්ජනය කරන්නට ද මට නිර්ණාමික ඇමතුම් ආවේ ය. වඩාත් බිය වී සිටියේ ආදිල් ය.

“ලෝයර් කෙනෙක් විදිහට ඔය වගේ දේවල් වලට මූණ දෙන්න වෙනව තමයි ආදිල්”

පළමු නඩු වාරය අවසාන වී උසාවි සංකීර්ණයෙන් පිට වන අතරේ, ඔහු ට ලංව පිය තබමින් මම සාඩම්බරයෙන් මිමිණුවෙමි. සුදු අත් දිග කමිසයක් යටකොට හැඳ, කලිසම් සාක්කු වලට අත් දෙක ඔබාගෙන මා ළඟින් ඇවිද යන ඔහු වඩාත් කඩවසම් පුරුෂයෙකු ලෙස මට පෙනිණ.

“ලෝයර් කෙනෙක් විදිහට  බැබළුණත් නැතත් මට ඔයා වටිනව. මං ළඟ ඉන්න පුංචි කෙල්ලව පරිස්සං කරගන්න එක මගෙ වගකීමක්”

“බය වෙන්න එපා. මං පරිස්සං වෙනව. අනික මං ඔය මූණ පෙන්නන්නැතුව තර්ජනේ කරන උන්ට බය නෑ අනේ”

“ඒත් මං බයයි සකී. ඔයාගෙ බයනැති කම ගැනයි මට වැඩියෙන්ම බය”

“ඒත් ඔයා වෙනුවෙන් මං මේ නඩුව දිනන්නෝනෙ ආදිල්”

“මං වෙනුවෙන්…”

“ඔව්. කල්පනීට යුක්තිය ඉෂ්ට කරල දෙන්නෝනෙ. අපිට ඒක කරගන්න බැරි වුණොත්… මං ළඟ හිටියත් ඔයාගෙ හිතේ පසුතැවීමක් ඉතුරු වෙලා තියේවි”

“සකී… පිස්සුද ළමයො”

“එහෙම නෑ කියන්න බෑ. ඔයා එක දවසකට හරි එයාට ආදරේ කළේ ඇත්තටම නිසා… මං ඒක හොඳට දන්නව. එහෙම කෙනෙකුට වරදින එක අපිට ඉවසන්න අමාරුයි. අපිට අයිති නොවුණත් අපිව අයිති නොවුණත් අපි වෙන අය ළඟ වෙනම අය වෙලා හිටියත්… ඒ අය හොඳින් ඉන්නව ඇති කියල හිතන එකයි අපිට තියන සැනසීම. කොච්චර වෙන් වුණත් හෙණගැහිල ගියාවෙ කියල හිතන්න බෑ කාලෙකදි ලං වෙලා හිටපු මිනිස්සු ගැන. කල්පනීත් කොතනක හරි හොඳින් ඉන්නයි ඕනෙ. මේ සිද්ධියෙන් පස්සෙවත් ඒ ළමය මොළේ කල්පනා කරල හිතයි… ඇස් කන් ඇරං ලෝකෙ දිහා බලයි කියල මං බලාපොරොත්තු වෙනව. ඒක නිසා ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දේම මං කරනව. ඒ වෙනුවෙන් එක දෙයයි ඉල්ලන්නෙ”

“ඒ මොකද්ද සකී…”

ඒ වෙත්දී අපි ආදිල් ගේ මෝටර් රථය වෙත පැමිණ සිටියෙමු. ඔහු එසේ විචාලේ රිය දොර ට අත තබමිනි.

“සුදු මහත්තය වගේ ඔයා එයාගෙන් අයින් වෙලා හිටියොත් ඇති. අනිත් ඔක්කොම මං බලාගන්නව”

ඔහු ට හදිසි සිනහවක් ගියේ ය. ඒ සිනහවට ආදිල් ලස්සන ය. සිතිජයෙහි ගිලෙනා හිරු මඬල සේ, ඒ සිනහවත් සමග ඔහු ගේ දෑස් සිතිජ රේඛා තුළ සැඟව යයි. රියට ගොඩ වී මගේ පසට නැඹුරු ව ආසන පටි තද කරනා අතරේදීත් ආදිල් ගේ අඩ සිනහව ඔහු ගේ මුහුණ මත විය.

“කොහෙං ගියත් මාව අල්ලගෙන ඇති”

“පිරිමිනෙ”

මා එසේ මිමිණුවේ නො කියූ කතා බොහොමයක් ඇස් වල තියාගෙන ය. ආදිල් මගේ කන් පෙත්තක් තද කළේ ය.

“උඹද… ලෝයර්නෙ ඉතිං”

මා හිඳිනා පැත්තේ පැති වීදුරුවට තට්ටුවක් දැමුණේ ත් අප දෙදෙනා ම එදෙසට හැරුණේත් එකට ම ය. පහත් වී රියට නැඹුරු වීගෙන කල්පනී බලා සිටියා ය. වීදුරුව පහත් විණ. ඇය මළානික සිනහවක් පෑවා ය.

“අනේ තෑන්ක් යූ මැඩම්”

“ඩෝන්ට් මෙන්ශන්. ඊළඟ නඩු වාරෙට වැඩි දවසක් නෑනෙ. බය නැතුව ඉන්න”

මම නීතීඥවරියගේ සීමාවේ සිට ඇයට කතා කළෙමි.

“යමුද”

කියා ඇසුවේ ආදිල් ය. මම ඇසින් එකඟතාවය හැඟවීමි. කල්පනී ට අප යන බව කීවේත් එවන් අභිනයකිනි. පැති වීදුරුව එසවෙත්දී ඇය පසෙකට වූවා ය.

“මං දන්නෑ මට නඩුව දිනන්න පුළුවන් වෙයිද කියල. දුලාජ්ගෙ පැත්තෙන් කතා කරන්නෙත් මතක කාලෙක නඩුවක් පැරදිලා නැති සීනියර් ලෝයර් කෙනෙක්. ඒත් මං මට පුළුවන් තරං උත්සාහ කරනව. පැරදෙයි සමහර විට. ඒත් කල්පනීල දහස් ගාණක් වෙනුවෙන් ඉස්සරහටත් මං කතා කරනව”

මගේ උගුර හිර වී ඇස් වලට තෙතමනයක් කාන්දු වීගෙන ආවේ ය. රිය හෙමිහිට පෙරට ඇදිණ.

“ඔයා දිනනව”

ආදිල් මහිස මත අතක් තබා ආශිර්වාදාත්මක සරකින් කීවේ ය. මම ඒ අත පරිස්සමට මගේ දෑතින් ගෙන දෙතොල් පෙති තබා තදින් සිපගතිමි. හොඳ පිරිමියෙකු හිමි වන ගැහැනියට හැම දා දිනිය හැක. හැම දේ දිනත හැක!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here