Not Without You – 49

0
6486

විත්තියේ ජ්‍යේෂ්ඨ නීතීඥවරයා සිය ජයග්‍රහණය වෙනුවෙන් චතුර ලෙස කරුණු ඉදිරිපත් කළේ ය. උසාවිය ඉදිරියේ කල්පනී මැදගෙදර ගල් ගසා මරා    දමන්නට නියම වී සිටියා සේ ය. ඇය බලාපොරොත්තු අතහැර දමා සිටියා විය යුතු ය. ජ්‍යේෂ්ඨ නීතීඥවරයා දිගින් දිගට ම පහර එල්ල කරන ලද්දේ කල්පනී විසින් අවතක්සේරු කරගන්නා ලද ඇගේ ගැහැනුකම් වලට ය. දුලාජ් විවාහක පුරුෂයෙකු බව ඉඳුරා දැන ඔහු සමගින් ලිංගික ඇසුරක් පැවැත්වීමේ අනුවණකම් වලට ය. අවසාන මොහොත වන තෙක් සටන් කොට මම වෙහෙස වී සිටියෙමි. නමුත් කල්පනී ඇතුළු ස්ත්‍රීත්වය වෙනුවෙන් අන්තිම ම විනාඩිය ද ඉතිරි ව තිබිණ.

“ලිංගික එක්වීමක් කියන්නෙ අතිශයින් සාමාන්‍ය ස්වභාවික ක්‍රියාවලියක් ස්වාමීනී”

අවසාන වශයෙන් මගේ වාරය උර ගා බලත්දී මගේ මිතුරියන් දෙදෙන උනුන් ගේ අත් වලින් අල්ලාගෙන බිරාන්ත වී මදෙස බලා සිටියහ.

“වැඩිහිටි ගැහැනියක හා පුරුෂයෙකු ලිංගික ඇසුරක් පැවැත්වීම ගැන තහනමක් නීතියේ කොතැනකවත් නෑ. විවාහක පුරුෂයෙකු හෝ ස්ත්‍රියක වෙනත් කෙනෙකු සමගින් ලිංගික ඇසුරක් පැවැත්වීම ගැන වුණත් නීතියේ තහනමක් නෑ. ඒක සදාචාරය හා සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි. ලිංගික ඇසුරකට ඕනෑම වැඩිහිටි මනුශ්‍යයෙකුට අයිතියක් තියෙනව. ඒක මූලික අයිතිවාසිකමක් ස්වාමීනී. මිනිස්සුන්ට විතරක් නෙවෙයි සතා සීපාවට වුණත් ඒ ධර්මය පොදුයි. නමුත් මිනිස්සු වශයෙන් අපිට ඊට වැඩිය වගකීමක් තියෙනව ස්වාමීනී. තමන්ගෙ ලිංගික සහකරුවන් හෝ සහකාරියන් ගැන ඊට වැඩිය වගවීමක් තිබිය යුතු වෙනව. ලිංගික කටයුත්තකට යොදා ගත් ගැහැනිකගේ පෞද්ගලිකත්වය පිරිමියෙක් හිතා මතාම උල්ලංඝණය කරනවනං ඒකෙන් වෙන්නෙ ඒ ගැහැනියගෙ ආත්ම ගෞරවයට හානියක්. සදාචාරවත් මනුශ්‍යයෙක් අතින් ගණිකාවකටවත් එහෙම නින්දාවක් විය යුතු නෑ ස්වාමීනී. දෙන්නෙකුගෙ කැමැත්ත මත ලිංගික ඇසුරක් පැවැත්වූවානම් ඒ එපමණයි. මේ ගැහැනියක්.  තමන්ගෙ බිරිඳට සහෝදරියට දුවට නැත්නම් මවට මේ වගේ දෙයක් වෙනවට අපි කවුරුවත් කැමති නෑ ස්වාමීනී. එහෙනම් ඒ අයිතිය මේ ගැහැනියටත් තිබිය යුතුයි. මා සියලු සාක්ෂි හා තොරතුරු ඉදිරිපත් කොට අවසානයි ස්වාමීනී. අගතියට පත් වෙන සියලු ගැහැනුන් වෙනුවෙන් කල්පනී ට යුක්තිය ඉෂ්ට කොට දෙන ලෙස ඉල්ලා සිටිනවා ස්වාමීනී. එපමණයි!”

ඒ වෙලාවේ මා තුළ තිබූ ශක්තිය එක තැනකට කේන්ද්‍ර වී තිබිණ. උත්තල කාචයක් තුළින් ගමන් කිරීමට සලස්වන ආලෝක කිරණ එක් ලක්ෂ්‍යයක් මත නාභිගත වන්නා සේ ය. ඒ නාභියෙහි දී පුළුන් රොදක් ගිනි තැබිය හැකි තාපයක් ජනනය වේ. මම ද එලෙසින් ම උණුසුම් වී සිටියෙමි.

විනිශ්චයකාරවරිය ගේ තීන්දුව ප්‍රකාශයට පත් වෙන මොහොත අතිශය තීරණාත්මක විය. මා අත දැමූයේ දිනාගත හැකි නඩුවකට නොවන බව ඇත්ත ය. නමුත් අගතියට පත් ගැහැනියක වෙනුවෙන් මගේ ශක්ති ප්‍රමාණයෙන් සටන් වැදීමේ ආත්ම තෘප්තිය මම විඳිමින් සිටියෙමි. මගේ ප්‍රථම නඩුව ම පරාජිත එකක් වූව ද හෟදය සාක්ෂිය මත මා ජයග්‍රාහී ස්ත්‍රියකි.

කල්පනී මැදගෙදර ට දුලාජ් විසින් හිතා මතා සිදු කරන ලද අපහසුතාවය මත ඔහු  වැරදිකරු බව උසාවිය විසින් තීන්දු කරනා ලදී. ඒ අනුව කල්පනී ට සිදු වූ හානියට වන්දි වශයෙන් විශාල මුදලක් ගෙවීමට නියම විය. මගේ පළමු නඩුවෙන්, කිසි සේත් ජයග්‍රහණයක් බලාපොරොත්තු නොවූ, යුතුකමක් වශයෙන් පෙනී සිටි, රුපියලකවත් ආර්ථික ලාභයක් නො ලබා පෙනී සිටි නඩුවෙන් පැමිනිල්ල ජයග්‍රහණය කොට තිබිණි. සැබවින් ඒ ජයග්‍රහණය කල්පනී ගේ හෝ මගේ නොවේ. පිරිමින්ගේ කාමාශාවන් මත අගතියට පත් වන්නා වූ සියල් ගැහැනුන්ගේ ය.

“දෙයියනේ දෙයියනේ… අදනං බොන්නෝනෙ වැටෙන්නම. කොහෙ තිබ්බ වචනද දෙයියනේ ඒ කිව්වෙ…”

උසාවි බිමෙන් පිටතට පැමිණි ගමන් මගේ මිතුරියන් දෙදෙන මා ඔසවාගත්හ. මා වැටේවියි බියෙන්දෝ ආදිල් මගේ අතකින් ඇල්ලුවේ ය.

“තියාල්ලකො මාව බිමිං. යකූ මට මගෙ මනුස්සය එක්කවත් කතා කරන්න දෙන්නෑනෙ මුං දෙන්න”

සිනහ වෙන්නට ගිහින් ඔවුන් මා බිම නො දමා බේරුණේ අනූ නවයෙනි.

ආදිල් ගේ ඇස් වලට කඳුළක් උනා දිස්න දුන්නේ ය. ඒ කඳුළ වහං කරගන්නට බැරි තැන අතැඟිලි වලින් මිරිකා දමන්නට ඔහු ට සිදු විය. නමුත් දෙතොල් පෙති මත්තේත් ඇස් වල දියවීත් සිනහව නලියෑවේ ය. මට සිහි වුණේ කඳුළු අතරින් එහෙම සිනහ වෙනවා දැක ඇති එක ම එක පිරිමියා ය. ඒ සිනමාව තුළ ශාරුක් ඛාන් ය.

“ඕගොල්ලො ඔක්කොම නිසයි මට ඒක කරන්න පුළුවන් වුණේ”

“ආච්චට කෝල් එකක් අරං කියන්න”

ආදිල් එසේ සිහිපත් කොට සිය දුරකතනයෙන් ඇමතුම ලබාගෙන ද දුන්නේ ය. ආච්චා සතුටට හැඬුවා ය.

“අද සකීගෙ අම්මයි තාත්තයි හිටියනං මොනතරං සතුටු දවසක් වෙයිද… ඉන්න තැනක ඉඳල වුණත් ඒගොල්ලොන්ට සතුටු වෙන්න පුළුවන් සකී වගේ දුවෙක් හදපු එක ගැන”

මට කතා කරගත හැකි වූයේ නැත. උගුර රිදී ඇස් කෙවෙනි දැවී මා දිය වී යන්නට හදනවා සේ දැනිණ. කල්පනී අප වෙත පැමිණෙමින් සිටියෙන් මම ආච්චා සමග දුරකතන සංවාදය නිමා කළෙමි.

“අනේ මැඩම්… මං දන්නෑ මැඩම්ට මොනා කියන්නද කියල”

ඈ දෙඩුවේ බිම බලාගෙන ය. මම ආදිල් දෙස හොරෙන් බැලුවෙමි. ඔහු අප වෙතින් මඳක් ඈතට පියවරක් තැබුවේ ය. ඊළග නිමේශයේ පීහු හා මුද්‍රා ඔහු ට එක් වූහ.

“මට මුකුත් කියන්න අවශ්‍ය නෑ කල්පනී. හැබැයි මට ඔයාට කියන්න දෙයක් තියනව. මොළේ කල්පනා කරල ඔය සල්ලි ටිකෙන් වැඩක් කරගන්න. නැතුව ඕකත් නාස්ති කරල දාල ආයෙම ඔයාගෙ ජීවිතෙත් නාස්ති කරගන්න එපා. ඉන්න තැනක හොඳින් ඉන්න බලන්න. මිනිස්සුන්ට ඔය දේවල් මතක තියෙන්නෙ ටික දවසයි. ඔයා දැන් ඉන්නවට වැඩිය හොඳ තැනකට ආපු කාලෙක කොහොමටවත් මිනිස්සු ඔය දේවල් මතක් කරන්නෑ. හිටපු තැන නෙවෙයි වැදගත් වෙන්නෙ දැන් ඉන්න තැනයි කියන එක හොඳට මතක තියාගන්න”

“බොහොම ස්තූතියි මැඩම්”

මා හිස සැළුවා පමණකි. ඇයව ඊට වැඩිය මගේ සීමාව වෙතට වද්දා ගැනීමේ අවදානම ගැන මම දැන සිටියෙමි. මිනිසුන් විසකුරු සතුන්ටත් වඩා විශ සහිත ය. කාරිය කෙරෙනතුරු ඔවුහු සිය විශ දළ සඟවාගෙන සිටිති. ඒවා දර්ශනය වනුයේ පසුව ය. කෙතරම් උදව් කළ ද අවසානයට මිනිසුන් ගෙන් දකිත හැක්කේ එකී තිරිසන් ගති ස්වභාවයන් බව, නීතීඥ වෘත්තියේ අත්දැකීම් ඇසුරෙන් මම දනිමි. එබැවින් හිත් රිදුම් අවම කරගන්නට නම් මිනිසුන් තබා ගත යුත්තේ සීමාවෙහි ය.

කල්පනී ආදිල් ට කතා කරන්නට නතර වූයේ නැත. දැන් ඔහු සිටින්නේ ඇගෙන් ගව් ගණනක් ඉවතට ඇවිද ගොස් යයි ඇය වටහා ගන්නට ඇත.

“මං හිතුව මෙයා ආයෙත් නරි නාවයි කියල”

මුද්‍රා සිනහ වෙමින් කීවා ය. පීහු ද ඒ සිනහවට එක් වූයේ අතින් මුව වසාගෙන ය. ආදිල් සිය අඩ සිනහවෙන් රිය දොර විවර කොට පීහුටත් මුද්‍රාටත් එහි නැගෙනා ලෙස මහත්මා පෞරුෂයකින් ඇරයුම් කළේ ය.

“අපි නාවපු නරි අන්තිමට අපිටම හූ කියල යනව කියල දැං එයා ඉගෙනගෙන”

මම රියෙහි පසු අසුනට අත දිගුකොට පීහු ගේ අතක් කෙනිත්තුවෙමි.

එය සතුටෙන් පිරුණ දවසකි. නඩුව ජයග්‍රහණය කිරීමේ සතුට සමරන්නට පීහුට හා මුද්‍රා ට ලොකුවට උවමනා වී ද ගෙදර ගොස් ආච්චා ද සමග පිටතට යා යුතු යයි ආදිල් කියා සිටියේ ය. ඒ අනුව ගෙදර ගිහින් මානෙල් සකසා ඇති දිවා ආහාරයකින් සප්පායම් වී හවසට පිටතට යාමට අපි තීරණය කළෙමු.

“මානෙල් හදපු කෑම කනව කියන එකත් ඉතිං ලොකු ජයග්‍රහණයක් තමයි”

මුද්‍රා ගේ කතාවට සිනහවන් ඉතිර ගියේ ය.

“ඇත්තට මානෙල් ඇයි එයාට බැරිම වැඩේ ජොබ් එක විදිහට තෝරගෙන තියෙන්නෙ…”

“පව් අනේ”

“ඔය මනුස්සය ෆ්‍රයිඩ් රයිස් වලට කරෝල හොද්දක් උයන ජාතියෙ මනුස්සය”

“මං හිතුව ආදිල් මාසයක්වත් ඉන්නැතිවෙයි කෑම හරිනැති නිසා කියල”

“ඒකනෙ අපේ ලෝයර් නෝන පැනල උයන්න ගත්තෙ. කොල්ල අහු වුණා කෑමට”

“එහෙම නොවුණනං අර කල්පනීට ලැබුණ වන්දිය භුක්ති විඳින්නෙ කවුද අද… නැද්ද…”

ඔවුන් ගේ සිනහවන්ට හා විහිළු වලට සීමාවන් තිබුණේ නැත. ආදිල් හිටියේ සිනහ වෙවී වී ද මූණ රතු කරගෙන ය. මගේ මිතුරියන් කීවා සේ ම මානෙල් නිවිති හා  පරිප්පු එකට දමා පිස බණ්ඩක්කා ව්‍යාංජනයක් ද හාල්මැස්සන් මාළු සුදට ද පිස තිබිණ. මානෙල් ට නො දැනෙන සේ විහිළු කොට මුද්‍රා කෑම පිටි උගුරේ ද යවාගත්තා ය.

මම පුදුමාකාර සතුටක සිටියෙමි. නීති අංශයේ සහෝදර පිරිස් වෙතින් දිගට ම සුබ පැතුම් ගලා එමින් තිබිණ. එය වූ කලී කිසිවෙකු බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයකි.

ආදිල් දුරකතනයෙන් කතා කොට ඔහු ගේ ගෙදර අය අපේ ගෙදර එන්නට දිනයක් යොදා ගත්තේ ය. මීට පෙර ඔහු මේ ගැන නංගී සමගින් පවසා තිබිණි. ආදිල් නුවර යනවාට වඩා මම මේ ක්‍රමයට කැමති වීමි. ජයග්‍රහණය ගැන කතා කළාට ඊට පස්සේ කිසිවෙකු කල්පනී ගැන කතා කළේ නැත. ආදිල් ට එය පහසුවක් වූවා කියා සිතමි.

අප පිටතට යාමට සූදානම් වූයේ සන්ධ්‍යාවේ ය. පීහු ගේ ගෙදර ගොස් ඇගේ පුතුව ද ගෙන යාමට නියමිත විය. පීහු හැරෙන්නට එතැන දී කිසිවෙකු රියෙන් බැස්සේ නැත. යළිත් අප නතර වූයේ ගමනාන්තය ලෙස තීරණය කොට තිබූ කළු ගඟ යාබද හෝටලයෙහි දී ය. එය කදිම දර්ශනයක් සහිත ස්ථානයක් වූයෙන් අප සියලු දෙනාගේ අවධානය යොමු වී තිබුණේ එහි සුන්දරත්වය වෙතයි. පීහු හා මුද්‍රා ද මානෙල් ද ආච්චා සමගින් ගැවසුණේ මට හා ආදිල් ට නිදහසේ කතා බහ කිරීමේ අවස්ථාවක් සලසා දෙන්නට ය කියා සිතමි.

අපි ගං ඉවුර පෙනෙන සීමාවේ ඇවිද යමින් සිටියෙමු. ආදිල් හා මා කතා කළේ ඔවුන් ගේ ගෙදරින් අපේ ගෙදර පැමිණෙන දිනය පිළිබඳවයි. ඉර සිය අන්තිම රැස් දහර මුදා හරිමින් අද දවස වෙනුවෙන් මුහුදේ ගිලී යමින් සිටියේ ය. එක්වර වෙඩි හඬකුත් ආදිල් කෑ ගසාගෙන මා පසෙකට අදිනුත් පමණක් මට මතක ය. ඊළඟ මොහොතේ පපු පෙදෙසින් ලේ විඳිමින් ආදිල් බිම පතිත ව සිටියේ ය. මම කෑ ගැසුවෙමි. නමුත් හඬක් පිට වූයේ නැත.

දෙවියනි, ඒ සිදු වූයේ කුමක් ද? එ් තරම් දෙයක් වනතුරු ඔබ වහන්සේ බලා සිටි සේක් ද? නැතහොත් ඉවත බලා සිටි සේක් ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here