Not Without You – 50

0
6436

සකී ආන්‍යා තඹරවිල
“අල්ලා ගන්නා සියල්ල අත්හැරිය යුතු වෙනවා පිංවතුනි. අත්හැරීම වේදනාවක්. ඒකට පුරුදු පුහුණු කරන ලද හිතක් තියෙන්න ඕනෙ. අත්හැරියාම පහසුයි. නමුත් අපි අල්ලාගනිමින්… අල්ලාගත් දේවල් අත්හැරේයයි බියෙන්… වද විඳිමින් දුක් විඳිමින් මේ බියකරු සසරෙහි ගමන් කරනව. සබ්බං පහාය ගමනීයං කියල තථාගතයන් වහන්සේ දේශනා කරල තියෙනව පිංවතුනි. අපි සියල්ල අතැර දමා යා යුතු වෙනව. අල්ලාගත් සියල්ල, ලොබින් වැළඳගෙන සිටි සියල්ල දමා යා යුතු වෙනව. අන්තිමට අල්ලාගෙන බදාගෙන මොනවද අපි එකතු කරල කියෙන්නෙ… සසර තවත් දිගු කරවන තෘෂ්ණාව විතරයි. අත්හරිනවා කියන්නෙ අන්න ඒ භයානක තෘෂ්ණාවෙන් මිදෙනවා කියන එකයි පිංවතුනි. ටික ටික හෝ මිදෙනවා කියන එකයි. පින්වතුනි ඔබට පේනවා මේ වටිනා ජීවිතය මේ විදිහට අවසාන වෙලා තියෙන්නෙ ඒ තෘෂ්ණාව නිසයි කියල. නැත්නම් මෝහය හෝ භීතිය නිසයි කියල. සියල්ල අනිත්‍යයි පිංවතුනි. කිසිවක් අපිට සදාකාලිකව අල්ලා තබාගත නො හැකියි. මේ පරම සත්‍ය තේරුම් අරගෙන මේ කෙටි ජීවිතය සැහැල්ලුවෙන් හා අර්ථාන්විතව ගත කළ යුතු වෙනව. සැනසීම තියෙන්නෙ අත්හැරීම තුළ මිස කිසි සේත් අල්ලා බැඳ තබාගැනීම තුළ නෙවෙයි පිංවතුනි…කර්මයෙන් හැංගිලා පැනල යන්න අපි කාටවත් මේ සංසාර චක්‍රයෙ ඇතුළෙ පුළුවන් කමක් නෑ. කවදහරි කොතනදි හරි අහු වෙනව. කොයි ආත්මෙකහරි අහු වෙනව. එදාට විපාක විඳින්නම වෙනව. මේ මහත්තයට මේ ආත්මෙදි අයහපත් කර්ම විපාක ගෙවල ඉවර කරගන්න පුළුවන් වුණානං අපි ඒ ගැන සන්තෝස වෙමු. ගොනාගෙ බෙල්ලෙ බැඳපු කරත්තෙ වගේ මතු භවයන් වලට ඒ නරක කර්ම අරගෙන යන්න නොලැබේවා කියල පින් අනුමෝදන් කරමු. දැන් අපිට කරන්න පුළුවන්කම තියෙන්නෙ එච්චරයි”
ස්වාමීන් වහන්සේ ගේ වදන් මගේ සිත මත පතිත වනුයේ සිහිනයකින් සේ ය. මතක බණවරක් කියන්නේ ම වේදනාවකි. හිස්කමකි. කම්පනයකි. මම ඒ සියල්ල දෙවතාවක් ඉතා සමීප ව අත්විඳ ඇත්තෙමි. දුලාජ් අතුරලිය ගේ බිරිඳට ද දරුවන්ට ද මේ මොහොතේ ඒ සියල් සංවේදනා නො වෙනස් ව දැනෙනවා ඇත. ඒ අතරින් සිය සැමියා ගැන, පියාණන් ගැන සියුම් ලැජ්ජාවක් හෝ කලකිරීමක් ද ඔවුන්ට නැතිවා වන්නට බැරි ය. ඒ අතින් ඔවුන් පිළිබඳ වෙනස් ආකාරයේ සංවේගයක් ද මට වේ. ජීවත් වෙන කාලයේ දී අප පුළුවන් තරම් නිවැරදි මිනිසුන් ලෙස ජීවත් විය යුතුව තිබේ. අවම වශයෙන් අපට සමීපතම අපේ අයට නින්දාවක් නොවන පරිදි ජීවත් විය යුතු වේ. දුලාජ් ඊට අපොහොසත් වූයේ ය. ඔහු නික්ම යන්නේ සදාතන කැළලක් ඉතිරි කොටයි. ඒ කැළලෙහි බර දරාගත යුතුව ඇත්තේ ඔහු ගේ අයයි. දිට්ඨධම්ම වේදනීය කර්මය විපාක දීමෙන් ඔහු ට මේ ඉරණම අත්විය. මතු අත්භවයන් හිදී ද ඒ කර්ම වල අයහපත් විපාක ඔහු හඹා එනු ඇත. මේ භවයෙහි සියල්ල හැරදා ඇස් පියාගන්නට සිදු වී ද කිසිවක් සිදු වී අවසාන නොවේ!
කළුතර ගඟබඩ හෝටලයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ආදිල්ව කොළඹ ජාතික රෝහල වෙත යවන ලදුව සැත්කමක් සිදු කොට දැඩි සත්කාර ඒකකයට යොමු කරන ලදී. දෙදිනක් ඔහු සිහි නොලැබ සිටියේ ය. ඒ දින දෙක මට කල්ප දෙකකට වැඩියෙන් දිගු වූ බව කිව යුතුව තියේ.
ඒ සිදු වූයේ කුමක්දැයි අපට නිශ්චිතව සිතාගත හැකි වූයේ නැත. අඩු තරමින් ඒ ඔහු ගේ තරහකරුවෙකු විසින් සිදු කරන ලද්දක් ද නො එසේව පරාජයෙන් උමතු වූ දුලාජ් ගේ ක්‍රියාවක් ද කියා අපි නො දැන සිටියෙමු. පොලීසිය විසින් අපරාධකරු සොයා ගැනීම සඳහා මෙහෙයුම් දියත් කොට තිබිණ.
ඒ අතරේ මම දැඩි සත්කාර ඒකකය අභියසට වී දොරේ වීදුරු කවුළුවෙන් ආදිල් දෙස බලාගෙන සිටියෙමි. හැම අතින් ඔහු යන්ත්‍ර වලට සවි කොට තිබේ. ඔහු ගේ තත්වය කොයි පැත්තට හැරේවි ද කියා තවමත් වෛද්‍යවරුන් ප්‍රකාශයක් කොට තිබුණේ නැත. උරස් කුහරයෙහි තිබී උණ්ඩ දෙකක් ඉවත් කරනා ලදී. වෛද්‍යවරුන්ගෙන් ඉක්බිති මට ඔහු ගැන කියන්නට තිබුණේ දෙවියන්ට පමණකි.
දිනකට වතාවක් මට ආදිල් ගේ සයනය වෙත යන්නට අවස්ථාව ලැබිණ. ඒ වෙලාවට උපරිම ප්‍රයෝජන ගනිමින් මම ඔහු ට කතා කළෙමි.
“ඔයා ආයෙ එන්න ඕනෙ ආදිල්. එන්නම ඕනෙ. මං මෙහේ ඉන්නනං ඔයා එන්න ඕනෙ. ඔයා නැතුව මං කියල කෙනෙක් ඉන්න විදිහක් නෑ ආදිල්. ඔයා දන්නව මට ඔයා නැති ජීවිතයක් ඕන නෑ කියල. අපි ඉස්සරහට කරන්න කොච්චර දේවල් ප්ලෑන් කළාද… ඒ දේවල් කරන්න ඔයා එන්න ඕනෙ ආදිල්. අඩු ගානෙ අපිට තාම අපේ වෙඩින් එක ගන්නවත් බැරි වුණානෙ. දැං ඔහොම හිටිය ඇති ඉතිං. ඇහැරෙන්න ආදිල්. අපිට ගොඩක් වැඩ තියනව. මට තනියෙන් බෑ. ඔයා ඉන්න ඕනෙ. ඒක නිසා ඔයා එන්න ඕනෙ. ඉක්මන් කරන්න ආදිල්. මං කියන දේවල් ඔයාට ඇහෙනව නේද… එහෙනං ඉක්මනට නැගිටින්න”
දෙදිනකට පස්සේ හදිසියේ ම ඔහු නෙතු විවර කළේ මන්තරයක් වාගේ මා ඒ වදන් මුමුණමින් සිටියදී ය. එය වෛද්‍යවරුන් පවා අපේක්ෂා නොකළ මොහොතක සිදු වූවකි. රෝහල් කාර්ය මණ්ඩලය වහ වහා ක්‍රියාත්මක විය. ඒ නම් ප්‍රතිහාර්යයකි. ඇතැම් විට මේ විශ්වය මත ප්‍රාතිහාර්යන් ද සිදු වේ. ඒ, ඒවා වෙනුවෙන් අචල විශ්වාසයෙන් යුතුව බලාපොරොත්තු පොදි බැඳගෙන එක හිතින් බලා සිටිනා මිනිසුන් ගේ දෑස් ඉදිරියේ ය.
මගේ ඇස් දෙකෙන් කඳුළු උතුරමින් තිබිණ. කඳුළු යනු සතුට පිට වෙන එක් මගක් විය යුතු ය.
ආදිල් පියවි සිහියට එළඹියේ නතර වී තිබූ අප සියලු දෙනාගේ හෘද ක්‍රියාකාරිත්වය යළි ආරම්භ කරමිනි. ආදිල් ගේ පවුලේ අය කොළඹ පැමිණ නතර වී සිටියේ අපේ ගෙදර ය. මගේ හිත ශක්තිමත් ව පවත්වා ගන්නට ඔවුන්ගෙන්, විශේෂයෙන් ම ආදිල් ගේ අම්මාගෙන් ලැබුණු සහයෝගය මෙතෙකැයි කිව නො හැකි එකකි.
“පුතාට බැරි වුණා එදා ගෙදර ඇවිත් එක රැයක්වත් ඔයා නැතුව ඉන්න. එයාට ඔයා ඕනෙ පුතේ. ඒක නිසා කොහොමහරි එයාව අපි ළඟට ආපහු ගෙන්නගමු. ඔයා කතා කළහම එයාට එන්නැතුව ඉන්න බෑ. ඒකට ඔයා දුර්වල නොවී හයියට ඉන්න ඕනෙ”
ආදිල් ගේ අම්මා, හඬා වැටෙන මා තුරුලු කරගෙන මගේ හිත සවිමත් කළා ය. ඒ වෙලාවේ අපි පවුල් කිහිපයක් ලෙස නොව එක පවුලක් ලෙස ආදිල් වෙතට ම අපේ චිත්ත තරංග යොමු කරගෙන සිටියෙමු. බෝධි පූජා තබමින් ද සෙත් කවි කියමින් ද ආශීර්වාද කළෙමු. දෙවියන්ගෙන් ඔහු ඉල්ලා සිටියෙමු. අන්තිමට ඔහු අප වෙතට පැමිණියේ ය.
දුලාජ් ගැන සැක සහිත බවට මා විසින් පොලීසියට ලබා දෙන ලද කටඋත්තරය මත පොලීසිය ඔහු ව අත්අඩංගුවට ගන්නට ගිය ද දුලාජ් ආ ගිය අතක් සොයා ගත හැකි නොවිණ. පොලිස් මෙහෙයුම් දිගට ම ක්‍රියාත්මක වෙමින් තිබිණි. දෙපිරිසක් අතරේ වෙඩි තබාගැනීමක් ගැන පුවතක් වාර්තා වන්නේ ඒ අතරේ ය. ඒ වෙඩි තබාගැනීමෙන් දුලාජ් අතුරලිය ඝාතනය වී තිබිණ. ඝාතකයන් පොලිස් අත් අඩංගුවට පත් වූයේ තවත් මෙහෙයුම් ගණනාවකට පස්සේ ය.
කල්පනී මැදගෙදර වෙනුවෙන් නඩුවට පෙනී සිට දුලාජ් ගේ සැබෑව ලෝකයට හෙලිදරව් කොට කල්පනී ට සාධාරණය ඉටු කිරීම නිසා නීතීඥ සකී ආන්‍යා තඹරවිල නම් වන මා ඝාතනය කොට පළිගැනීම දුලාජ් ගේ අරමුණ වී තිබේ. ඒ වෙනුවෙන් නඩුව දවසේ ම ඔහු කොන්ත්‍රාත්තුව ලබා දී තිබෙන්නේ අවසානයේ ඔහු ව ඝාතනය කරනු ලැබූ පාතාල සාමාජිකයන්ට ය. නමුත් ආදිල් ට වෙඩි වැදී ඔවුන්ගේ ඉලක්කය වැරදීමත් සමග මගේ පොලිස් කටඋත්තරය නිසාවෙන්, දුලාජ් සැලසුම් කළ පරිදි විදේශගත වීමේ අවස්ථාව ඇහිරී ගියේ ය. අතිශය කෝපත් ඔහු පාතාල සාමාජියන් හමු වී කළ රහසිගත බහින්බස් වීමකදී මේ ඝාතනය සිදුව තිබේ. පොරොන්දු වූ මුදල ගෙවීම දුලාජ් විසින් ප්‍රතික්ශේප කිරීම නිසා ද ඔහු ගේ පෞද්ගලික පිස්තෝලයකින් වෙඩි තැබීමට උත්සාහ කළ නිසා ද මෙවැන්නක් සිදු වූ බව අත් අඩංගුවට පත් ඝාතනකයන් විසින් හෙළිදරව් කොට ඇත.
අවසානයේ අවි ගත්තාහු අවියෙන් ම නැසී ඇත්තාහ. නීතියෙන් දඩයකට යටත් වූ වැරදිකරු එය ඉක්ම යන්නට උත්සාහ කිරීමේ දී ස්වභාව ධර්මයේ දණ්ඩනයට හසු වී තිබේ!
දුලාජ් ගේ පාංශකූල කටයුතු අවස්ථාවේ මට කල්පනී දුරකතනයෙන් කතා කළා ය.
“මැඩම් මං සයිප්‍රස් යන්න ඒජන්සියකට සල්ලි ගෙව්ව. ඒක හොර තැනක් නෙවෙයි. මගෙ නෑ වෙන අක්ක කෙනෙකුත් ගිය තැනක්. සයිප්‍රස් ගිහින් ඊට පස්සෙ හෙමිහිට ඉතාලියට පැනගන්න එක තමයි මගෙ බලාපොරොත්තුව. ඊට පස්සෙ ආයෙ ලංකාවට එන්නවත් මගෙ ආසාවක් නෑ මැඩම්”
ඇය සුසුමකින් කීවා ය.
“හොඳ දෙයක් කරන්න. කොතන හිටියත් හොඳින් ඉන්න”
“මැඩම්ට මං ජීවිතෙන්ම ණයගැතියි. මං වගේ කිසි වටිනාකමක් නැති ගෑනියෙක් නිසා තව පොඩ්ඩෙන් මැඩම්ගෙ ජීවිතේටත් කරදරයක් වෙන්න තිබුණ”
“ඒ ගැන හිතන්නෙපා කල්පනී. ඒක ඉතිං අපේ ජොබ් එකත් එක්ක බැඳිච්ච රිස්ක් එකක්”
“මැඩම්ගෙ අනාගතේට මගෙ මුළු හදවතින්ම සුබ පතනව. ආයෙ කිසි දවසක මේ දවස්වල වගේ හිතේ ගින්දරක් ඇවිලෙන්නෙපා. මැඩම්ගෙ ජීවිතේම සතුටෙන් පිරෙන්න ඕනෙ”
“ඔයාටත් මං සුබ පතනව”
කරදරයකින් තොරව ඇය කැමති ආකාරයකින් සතුටෙන් ඉන්නට කොතැනක හෝ අවකාශ සැලසේවායි මම හිතින් ද ප්‍රාර්ථනා කළෙමි.
හැම මිනිසෙකුට ම ලොව වන වඩාත්ම වටිනා සම්පත මානසික සාමයයි. හිතේ සැනසීමක් නැති තැන අන් කවර ධන නිධානයකින් වුව සතුටක් ලද හැකි නොවේ. ඒ අතින් මා වාසනාවන්ත ගැහැනියකි.
ආදිල් සුව ලබමින් හිඳී. අනිත් අය නුවර ගිය ද ඔහු ගේ මව් තව ටික දිනකට අපේ ගෙදර ම නතර වූවා ය. ආදිල් සම්පූර්ණ සුවය අත් කරගන්නා තුරු අම්මා මට හයියකි. ඔහු සුව සත්කාර ලබනුයේ ඔහුට වඩාත් ආදරය කරන ගැහැනුන් දෙදෙනා අතිනි. ඒ ගැහැනුන් දෙදෙනා අතරේ තරගයක් නැති විට, තම තමන්ගේ භූමිකා ගැන අවබෝධයක් මිස උනුන් ගැන ඊර්ෂ්‍යාවක් නැති විට ආදරය කියන්නේ සුවදායී නිම්නයක් බවට පත් වෙයි.
“අම්ම යන්න. මට දැන් ලොකු අමාරුවක් නෑනෙ”
ආදිල් අම්මා ට අවසර දුන්නේ ය.
“ඒ වුණාට අම්ම තව ටිකක් ඉන්න”
මම වහා ම කීවෙමි.
“මට අපේ අම්මත් නැති එකේ… අම්ම ඉන්නකොට මොකක්හරි දෙයක් දැනෙනව. මෙච්චරකල් දැනුණ හිස්කමක් නැති වෙලා ගියා වගේ”
අම්මා ඇවිත් මගේ හිස පිරිමැද, බඳ වටා අතක් දමා මා ඇය වෙතට සමීප කොට ගත්තා ය.
“මගෙ පුතා තෝරගන්න ගෑනු ළමය එයාට හොඳම කෙනා කියල හිතන්න මට පුළුවන්. ඉතිං කොළඹ හිටියත් නුවර හිටියත් මං ඔය දෙන්නගෙම අම්ම තමයි පුතේ. මගෙ නැන්දම්ම නිසා මට විඳින්න වෙච්ච හිත් වේදනා කවදාවත් මගෙ ලේලිටනං දෙන්නෑ කියල ඒ කාලෙ ඉඳලමයි මං හිතාගත්තෙ. ආදිල් ඔයත් දැනගන්න පුතා මේ වගේ ආදරයක් හිත් නොබිඳ පරිස්සං කරගන්න ඕනෙ කියන එක”

“මෙයා දන්නව අම්මෙ අනුංගෙ හිත් හොරකං කරන්න. අම්මටත් ඔය ඒක කරල තියෙන්නෙ”
ආදිල් විහිළුවක් කළේ ය. අම්මා ඔහු ගේ කිළිටි ඇඳුම් ටික ගනිමින් කාමරයෙන් නික්ම ගියේ ය. මම ඔහු ගේ යහන ළඟ පුටුවෙහි හිඳගතිමි. සුසුමක් ගිළිහුණේ මටත් නොදැනී ය.
“හීනයක් වගෙයි මට”
ඔහු මගේ අතක් ගෙන ඔහු ගේ පපුව මතින් තබාගත්තේ ය.
“ඒ වුණාට ඒ වගේ දෙයක් ආයෙත්නං කරන්නෙපා. මං වෙනුවෙන් ඔයා මරණය ඉස්සරහට පැන්නහම… ආයෙ ජීවත් වෙන්න මට කොහෙද හේතුවක් තියෙන්නෙ…”
“මටත් ඉතිං ඒක එහෙමමනෙ”
“දවසක… ටිකක් වයස ගියාට පස්සෙ… එකටම මැරෙන්න බැරි වෙයිද…”
“සමහර විට පුළුවන් වෙයි. එහෙම හිතන් ඉමු”
“ඔයා නැතුවනං ඉන්න බෑ ආදිල්. එකට බැරි වුණොත්… මං මැරුණට පස්සෙ ඔයා එන්න”
“පිස්සු කෙල්ල. අපි තාම ජීවත් වෙන්න පටං ගත්ත විතරයි”
ආදිල් වඩාත් සුව වෙමින් හිඳියදී අම්මා නුවර යන්නට සූදානම් වූවා ය. ඊට පෙර දින සන්ධ්‍යාවේ මුද්‍රා හා පීහු අපේ ගෙදර පැමිණියහ. අපි පන්සල් ගොස් ආදිල් රෝහල්ගත ව සිටියදී වූ භාරය ඔප්පු කළෙමු. සචින් අයියා ද දෙව්මි සමගින් පැමිණ සිටි අතර, ආදිල් මෙහි පැමිණි මුල් දින වල වාගේ බාබකිව් රාත්‍රියකට එදා අපි කටයුතු සූදානම් කළෙමු. ආදිල් බාබකිව් සෝස් හැදුවේ ය. මුද්‍රා හා පීහු ද දෙව්මි ද සේර ගැලවූහ. කරපිංචා රම්පේ කැඩූහ. ඉඟුරු හෑරූහ. සචින් බාබකිව් උඳුන සූදානම් කළේ ය. ශීත බියර ගෙනාවේ ය. ආච්චා වයින් බෝතලය විවර කොට බැලුවා ය.
“පරණ වෙලාද ආච්ච…”
මුද්‍රා විහිළුවක් කළා ය.
“පරණ වෙන තරමට තමයි වයින් වටින්නෙ පුතා”
කියමින් ආච්චා හඬ නගා සිනහ වූවා ය.
අපි කමින් බොමින් ද ගී කියමින් නටමින් ප්‍රීති වෙමින් ද මැදියම් රැය ඉක්මවන තුරු ම එක්ව සිටියෙමු. අම්මා ව පිටකොටුවෙන් බස් රියකට නැංවූයේ සචින් අයියා ය.
“ඉක්මනට ඔය දෙන්නගෙ වෙඩින් එක ගන්නෝනෙ. මට ආසයි දුව මගෙ අලුත් දුව කියල අපේ නෑයන්ට ආඩම්බරෙන් පෙන්නන්න. මං නැකත් හදවන්නං”
ගෙදරින් පිට වීමට පෙර අම්මා මා සිපගෙන කීවා ය.
“මට හරි සතුටුයි දරුවනේ. මගෙ කෙල්ලට හොඳ සුවාමි පුරුෂයෙක් විතරක් නෙවෙයි අම්ම කෙනෙකුත් ලැබුණ එක මොන තරං දෙයක්ද…”
ආච්චා දිළිසෙන ඇස් වලින් යුතුව කීවා ය. මම ඇය වෙතට ගොස් බිම හිඳ ආච්චා ගේ උකුලේ හිස තියාගතිමි.
“මගෙ හිතේ තියන සතුටත් ඒ වගේමයි අම්මෙ. අපේ පුතා මෙහෙම තැනක නැවතුණ එක පුදුම සැනසීමක්. අර….”
කියා ඇය කියවෙන්නට ගිය දේ ගිලගත්තා ය. ඒ නො කියා සිටියේ කල්පනී ගේ නම බව අපි හැම කෙනෙකු ම දැන සිටියෙමු.
“ඊයෙ නිදිමරපු නිසා හරි අමාරුයි. මං පොඩ්ඩක් ඇලවෙනව පුතාල”
කියමින් ආච්චා කාමරයට ගියා ය. මම ආදිල් වෙතට ගොස් ඔහු ගේ බඳ වටා දෑත ම යවා ඔහු වැළඳගතිමි.
“ඉක්මන්ට බඳින්නෝනෙ”
ඔහු මුදු ලෙස හිනැහුණේ ය.
“හිනා නෙවෙයි. මට ඉක්මන්ට බඳින්නෝනෙ”
“බඳිමු ඉතිං. අද වුණත් මං ලෑස්තියි”
මඳ සිනහ සරකින් එසේ කියමින් ආදිල් මගේ කොපුලක් තදින් සිපගත්තේ ය.
“ඕන්නං බඳින්නැතුව වුණත් බැඳල වගේ ඉන්න පුළුවන්”
මම ඔහු ගේ කම්මුලක් රිදෙන්නට මිරිකුවෙමි. ආදිල් හඬ නගා සිනහ වූයේ ය.
“හිතේ ඇති”
“හිතේනං ගොඩක් දේවල් තියනව මැණික”
ඔහු වඩාත් තදින් මා වැළඳගත්තේ ය.

සමාප්තයි.
දින පණහක් පුරාවට කතාව සමගින් රැඳී හිඳ දිරිය දුන් ඔබට ආදරෙයි. හෙට “මල් බිඟුන්” තුළින් හමුවෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here