මනහාරී නම තරම්ම මනහාරයි.
ඉතින් හැමදාම උදේට ලස්සනට ඇඳලා කරලා ඔෆිස් යද්දි තමන්ගෙ ඇඳුම, කොණ්ඩෙ එහෙම පේන ලස්සන ෆොටෝ එකක් සෝශල් මීඩියා වල දාන්න මනහාරි කවදාවත් අමතක කරේ නෑ.
“ලස්සනට ඇඳලා ඉන්නවනම්, තමන්ට තමන් ගැන කන්ෆිඩන්ස් එකක් තියෙනම් ෆොටෝ දැම්මට මොකද වෙන්නෙ?’ කියලා තමයි මනහාරි හැමදාම හිතුවෙ. මනහාරිට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ. ඒ නිසාම ලස්සන ලස්සන ෆොටෝ දාන දාන පාරට ෆේස්බුක් එකේ ඉන්න මනහාරිගෙ ලස්සනට ඇස් ගිණිකන වැටිච්ච හාදයො ඉතින් කමෙන්ට් විදියට විතරක් මනහාරිගෙ ලස්සන වර්ණනා කරලා නතර වෙන්නෙ නෑ.
“ඔයා මාර ලස්සනයි අනේ”
“කොණ්ඩෙ තව හොඳට පේන ෆොටෝ එකක් එවන්නකො”
“ඔයාට බෝයි කෙනෙක් ඉන්නවද?” වගේ මැසෙන්ජර් එකටත් ඇවිල්ලා ලස්සන වර්ණනා කරන්නයි, මනහාරිව අගයන්නයි අමතක කරන්නෙ නෑ, මනහාරි නම් ඕව භාරගත්තෙ හිනාවෙන්මයි. ඔෆිස් එකේ සමහරු නම් කිව්වෙම “ඔහොම හිනාවෙලා ෆොටෝ දාන්න එපා, ඇස්වහ කටවහ වදී” කියලා.
මනහාරි එතකොට නම් කිව්වේ “ලස්සන දේවල් බලන්න ඉතින් මිනිස්සු ආසනෙ, අනික ඉතින් මම දන්න අඳුරන අයමනෙ මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නෙ කියලා”
අද මනහාරි ඇඳගෙන ගියේ කොලපාට ලස්සන ටොප් එකකට, කලු පාට ව්‍රැප් අරවුන්ඩ් ස්කර්ට් එකක්. ඔෆිස් එකට ගිහිල්ලා, ලැප්ටොප් එක සෙට් කරලා, වතුර බෝතලේට බොන්න වතුරත් පුරවගෙන, ටේබල් එක එහෙමත් ක්ලියර් කරල පිලිවෙලට හදාගත්තට පස්සෙ තමයි මනහාරි ඔය හැමදාම ගන්න ඩේලි ඩෝස් ඔෆ් මනහාරි ෆොටෝ එක ගන්න රෙඩි වෙන්නෙ.
අලුතෙන් ගත්ත ලස්සන කරාබු දෙකත් පේන්නම, කොන්ඩ කැරැල්ලක් මූණ ඉස්සරහට දාගෙන ගත්ත ෆොටෝ එක ලස්සනයි. ස්ටෝරි එකක් විදියට ඒ ෆොටෝ එක ලස්සනට, අලුතෙන්ම රිලීස් වෙච්ච ශනුද්‍රිගෙ සින්දුවක් එක්ක අප්ලෝඩ් කරපු මනහාරි ඊලඟට ලැප්ටොප් එක ඔන් කරගෙන වැඩ ටික කරන්න තමයි පටන් ගත්තෙ.
විනාඩි කීපෙකට පස්සෙ තමයි තමන් අප්ලෝඩ් කරපු ස්ටෝරි එකට කවුරුහරි ඉන්ස්ටග්‍රෑම් පණිවිඩයක් එවලා තියෙනවා කියලා මනහාරි දැක්කෙ.
“ඔයා ඉස්සරට වඩා සෑහෙන කෙට්ටු වෙලා නේද?” කියල පණිවිඩේ එවල තිබ්බෙ කවුද කියල බලද්දි තමයි දැක්කෙ මේ මීට අවුරුදු බර ගාණකට කලින්, තමන් ඉස්කෝලෙ යන කාලෙ තමන්ගෙ පස්සෙන් ආව හාදයෙක් විත්තිය. ඒ දවස්වල තමන්ට පාසල් ප්‍රේමයක් තිබිච්ච හන්දා, මිලින්දගෙ රැවුම් ගෙරවුම් වලට බයේ මාසයක් දෙකක් පස්සෙන් ආව ඒ ගමන් තමන් කෙලින්ම බෑ කිව්වට පස්සෙ නතර කරාට පස්සෙ මේ මෙහෙම පණිවිඩයක් එව්වමයි නේද කියන එකත් මනහාරිට මතක තිබ්බා.
කිසිම හායි එකක්, හෙලෝ එකක් නැතුව මේ “ඔයා සෑහෙන කෙට්ටු වෙලා නේද?” කියලා අහල තියෙන එකට හිත පොඩ්ඩක් නොරොක් වුණාට මනහාරි ඒක එච්චර ලොකුවට හිතුවෙ නෑ.
“හායි පසන්, කොහොමද? ගොඩ කාලෙකින්” කියල රිප්ලයි එකක් දැම්මෙ ඔය නොහොද නෝක්කාඩු හිතේ තියන් ඉන්නෙ මොකටද කියලමයි.
“හොඳින් ඉන්නවා, ඔයා දැන් කොහෙද වර්ක් කරන්නෙ?” කියලා උත්තරේ ආවෙ එහෙමයි.
“මම තාම පරණ තැනම තමයි වැඩ. ඉතින් කොහොමද ජීවිතේ?”
“අපි නම් ඉතින් හොඳින් ඉන්නවා. මිලින්ද මැරි කරා නේද?” කියලා ආපු උත්තරේ ඇතුලෙ තිබ්බෙ නිකන් පොඩි නෝන්ඩියක් එක්කම අපහාසයක්ද කියන එක මනහාරිට නොහිතුනා නෙවි. අනික ඉතින් මිලින්ද එක්ක බ්‍රේක් අප් වෙලත් දැන් සෑහෙන කල්. ඒක දෙන්නම නොගැලපීම් තේරුම් අරගෙන වෙච්ච බ්‍රේක් අප් එකක්. ඒ නිසාම මිලින්ද පස්සෙ කාලෙක තමන්ට ගැලපෙන කෙනෙක් කසාද බැන්ද එක ගැන හිතේ කිසි කහටක් මනහාරිගෙ තිබ්බෙ නෑ. මිලින්දගෙ වෙඩින් ෆොටෝස් වලට යටින් සුබ පැතුමක් එක්කහු කරන්න අමතක නොකරෙත් ඒ හිතේ කහටක් නොතිබ්බ හන්දම නේද කියන එකත් මනහාරි මේ වෙලාවෙ මතක් කරා.
“අනේ ඔව්, එයාගෙ කැම්පස් ලව් එකනෙ මැරි කරෙ” කියල මනහාරි උත්තර යැව්වෙ “මූ මේ මොකාටද එන්න හදන්නෙ?” කියලා හිතන ගමන්මයි.
“ඔයා කෙට්ටු වෙලා තියෙන්නෙ ඒ සීන් එකටද?” කියලා මේ මනුස්සය අහද්දි තමන්ගෙ කෙට්ටු වීමයි, මිලින්දගෙ වෙඩින් එකයි අතරෙ සම්බන්දෙ හිතාගන්න බැරුව මොලේට සමණල් ගැටෙත් වැටුනා.
“මට තේරුණේ නෑ ඒ කතාව”
“නෑ මං ඇහුවෙ ඔයා ඔච්චර කෙට්ටු වෙලා තියෙන්නෙ, මිලින්ද වෙන කෙනෙක් කසාද බැන්ද දුකට ඔයා සෆර් කරන හින්දද? ඔයා ඉස්කෝලෙ යන කාලෙ හොඳ මහතට හිටියනෙ. දැන් නිකන් ලෙඩ වෙලා ඇදිලා ගිහින් වගේ” කියලා පසන් අහද්දි නම් දත් ටික බඩට යන්න පාරක් දෙන්න හිතුවත් ඒක ෆෝන් එක හරහා කරන්න බැරි හන්දම තමයි මනහාරි හිතුවෙ වචනෙන් කට වැහෙන්න දෙයක් කිව්වනම් හොඳයි කියලා. ඒ විදියට තමයි ඊලඟ මැසේජ් එක ටින් ගාලා පසන්ගෙ පැත්තට සෙන්ඩ් වුනේ.
“ඔව් අනේ. දුක දරාගන්න බැරි හන්දම මම දැන් කුඩු ගහනවනෙ. ඒකයි මේ කෙට්ටු වෙන්නෙ. මිලින්දට කියන්න එපා හොඳේ”