කසුනිගේ සිත ඉතා කලබලයක වෙලී තිබුණි. ෆේස්බුක් සමූහයක අහම්බෙන් දුටු නිර්නාමික ගැටළුවක් කියැවීමෙන් පසු ඇය උන්නේ කුමක් කරන්නට දැයි සිතා ගන්නටනොහැකිවය. ඒ පැනය යොමු කර තිබෙන්නේ ජනිඳුම යැයි ඇගේ හිතට දැනෙන සිතුවිල්ල කෙලෙසකින්වත් නැති කරගන්නට ඇයට හැකි වූයේ නැත.
” …මම සෑහෙන මට්ටමේ වැටුපක් ගත්ත කෙනෙක්. මම දැන් විවාහ වෙලා අවුරුදු දෙකක් අපට තවම දරුවන් නැහැ. මගේ බිරිඳත් විධායක මට්ටමේ රැකියාවක් කරන කෙනෙක්.
ඒත් පසුගිය ආර්ථික අපහසු දිනවල මම සේවය කරපු කර්මාන්තශාලාව වසා දැමුණා. ඊට පස්සේ රැකියාවක් සොයාගන්න එක එතරම් පහසු වුණේ නැහැ.
ඒ නිසා මම තීරණය කරා ස්වයං රැකියාවක නියැලෙන්න. කොහොමටත් කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් මගේ තිබුණු කැමැත්ත නිසා මම ඒ වෙනුවෙන් කටයුතු සැලසුම් කලා .
බිරිඳ ගේ ළඟ තිබුණු මුදලුත් මගේ ළඟ තිබුණු මුදලුත් යම් මුදලක් ආයෝජනය කරලා මම මගේ නිවස ආශ්‍රිතවම ආරක්ෂිත ගෘහ දෙකක් ඉදිකළා.
ඒ දෙකේ වැඩ කටයුතු එක්ක බොහොම කාර්යබහුලව සහ සාර්ථකව දැන් මම මාස අටක් විතර ඉදිරියට ඇවිල්ලා.
ඒත් මට තියන ප්‍රශ්නේ මගේ බිරිඳ නිතරම මාව පහත් කරලා කතා කරන බව තේරෙනවා. ඇය බොහෝ වෙලාවට මං කරන රාජකාරිය කිසි වගක් නැති බවත්, ඒක නිකන් කාලය කා දැමීමක් බවත් අඟවන්න උත්සාහ කරනවා.
ඒ නිසා මම මට බිරිඳ එක්ක කාලයක් ගත කරන එකත් එපා වෙලා තියෙන්නේ.
මට මුහුණු පොතෙන් මුණගැහුණු තරුණියක් මම කරන කෘෂිකාර්මික කටයුතු මුහුණු පොතේ දැකලා ඒව ඉතා අගය කරමින් කමෙන්ටු පළ කරමින් හිටියා. මුලදී මටත් ඒ ගැන එතරම් වගක් නැති උනත් පසුව මම ඒ කමෙන්ටු වලට බොහොම විස්තරාත්මකව පිළිතුරු ලියන්න පුරුදු වුණා.
පස්සෙ අපි මැසෙන්ජර් වලින් කතාබහ කරන්නත් ගත්තා. දැන් මට මගේ බිරිඳට වඩා ඇයව දැනෙන බව හිතෙනවා. මගේ බිරිඳ නිතරම උත්සාහ කරන්නේ ඇය කරන රැකියාව ඉහළින් තියාගෙන මම කිසිම දෙයක් නොකරපු කෙනෙක් බව අඟවන්න.
ඒත් මම මේ කියන තරුණිය කියන්නෙ තමන් වෙහෙසිලා කරන හැම දේකටම වටිනාකමක් තියෙන බව. ඇය මාව අගය කරනවා. ඒ වගේම මගේ බිරිඳ කොයි වෙලාවත් උත්සාහ කරන්නේ මම මෙතරම් කාලයක් ඇය වෙනුවෙන් කිසිම දෙයක් නොකළ බව කියන්න. ඒත් මේ ඉඩම මිලදී ගත්තේ, ගේ හැදුවේ, ඒත් එක්කම ඇය වෙනුවෙන් මෝටර් රථයක් මිලදී ගත්තේ සහ ඒ දෙමාපියන් වෙනුවෙනුත් සෑහෙන දේවල් මම මගේ රැකියාව තියෙන කාලෙදි කරා.
මේ වෙනකොට මම මගේ රැකියාව කරන කාලේ උපයපු මුදලට වඩා මුදලක් උපයනවා වුනත් මට ඇය වෙනුවෙන් වත් ඇගේ පවුලේ අය වෙනුවෙන් වත් කිසිම දෙයක් කරන්නට හිත දෙන්නේ නැහැ.
මම කලින් කියපු තරුණිය මාත් එක්ක කිසිම සම්බන්ධතාවයක් ගොඩනඟා ගන්න උත්සාහ නොකරත් ඇය හොඳ මිතුරියක් බවව පේනවා. නමුත් දැන් මගේ හිත මගේ බිරිඳට වඩා ඇය ගැන ඇලිලා බව මට දැනෙනවා.
කොහොමද මම මේ ප්‍රශ්නෙ විසඳගන්නේ මට ඇත්තටම මගේ බිරිඳට වරදක් කරන්න අවශ්‍ය නැහැ. නමුත් ක්‍රියා කලාපය නිසා මට අය ගැන දැනෙන්නේ හරිම කලකිරීමක්. ..”
කසුනි ආයේ මේ පෝස්ට් එක කියෙව්වා. ඒකෙ තිබුණු කමෙන්ට්නුත් කියෙව්වා. ඒ හැම කමෙන්ටුවකම තිබුණේ, බිරිදත් එක්ක කතාබහ කරලා විසඳගන්න උත්සාහ කරන්න කියලා. එහෙම නැතුව සමහර කමෙන්ටු වල තිබුණා කිසිම කෙනෙක්ට තවත් කෙනෙක් පාගල කතා කරන්න, තවත් කෙනෙක් පහත් කරලා කතා කරන්න අයිතියක් නැති බවත් වහාම බිරිඳගෙන් ඉවත් වෙලා සැනසිලිදායක ජීවිතයක් හොයාගන්න කියලා. ඒ කොමෙන්ටු කියවනකොට කසුනිගේ අභ්‍යන්තරය ගිණි ඇවිලුණා.
ජනිඳු මේ දවස් ටිකේම හුදෙකලාව ඉන්න උත්සාහ කරපු බව කසුනිට කල්පනා වුණා. ඒ කියල තියෙන හැම කතන්දරයක්ම ජනිඳු එක්ක ගැලපෙන බව ඇයම යළි යළි විශ්ලේෂණය කරා.
ඊට පස්සේ තීරණය කළා මේ ප්රශ්නය යොමු කරලා තියෙන්නේ ජනිඳුම බව ඉන් එහාට ඇයට හැමදේම ඒ ප්‍රශ්නයත් එක්ක ඈදිලා හිතන එක නවත්ත ගන්න පුළුවන් වුණේනැහැ.
කසුනි වෘත්තියෙන් ගුරුවරියක්. ඇය ඇගේ පාසලේ හිතවත් මිතුරියට මේ කතන්දරේ කිව්වා. එතකොට ඇය කිව්වෙත් ජනිඳු ඔය තරම් කැපවීමෙන් ඔය කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන්න හේතුව ඇය ඔහුව ඒ වෙනුවෙන් පොළඹවන කෙනෙක් ඉන්න නිසා වෙන්න පුළුවන් කියලා.
තමන් ජනිඳුගේ කටයුතු වෙනුවෙන් කිසිම උදව්වක් කළේ නැති බව කසුනිට ඒ අතරේ කල්පනා වුණා . ජනිඳු හැමදේම කරගත්තේ තනියම.
තමන්කළේ ඒ වෙනුවෙන් මුදල් ලබාදීම විතරක් බවත් ඇයට සිහි වුණා. ඒ මුදලුත් ජනිඳු ආයෙම තමන්ට දීපු බව කසුනිට කල්පනා වුණා. එහෙම හිතුවාම කසුනිට තමන් ගැන මහා බයක් දැනෙන පටන් ගත්තා.
ජනිඳු තමන්ට ද්‍රෝහි වෙලා, තමන් අත ඇරලා දාලා, තවත් කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පටන් අරගෙන බව හිතන එක නවත්තගන්න කසුනිට කොහොමටවත් පුළුවන් වුණේ නැහැ.
මං නම් කියන්නෙ කසුනී , ඔයා හොඳම වැඩේ තමයි ජනිඳුගේ ෆේස්බුක් එක චැට් එක චෙක් කරලා බලන එක….. අනිවාර්යෙන් නොකියා මැසෙන්ජර් බැලුවොතින් ඔයාට ඔය චැට් කරලා තියෙන ගෑණු ළමයව අල්ලගන්න පුළුවන් වෙයි…….”
කසුනිට එහෙම උපදෙසකුත් ලැබුණා. කසුනිගේ සැලැස්ම තිබුණෙත් ඉස්සෙල්ලාම ජනිඳුගේ ෆෝන් එක චෙක් කරලා බලන එක. කවදාවත් නොකරපු ජාතියේ දෙයක් වුණත් මේ වෙලාවේ නම් මේ දේ අනිවාර්යයෙන් කරන්න වෙන බව කසුනි තීරණය කරා.
දවසක් හවස ජනිඳු නාන කාමරයට ගියපු වෙලාවේ කසුනි දඩිබිඩි ගාලා ජනිඳුගේ ජංගම දුරකථනය අතට ගත්තා. ඒත් ජංගම දුරකතනයට පිවිසෙන්න පින් අංකයක් යොදලා තිබුනේ. කොච්චර උත්සහ කරත් කසුනිට ඒ නිවැරදි පින් අංකය ඇතුලත් කරන්න බැරි වුණා
“ඒකනේ ඔයයි එයයි විතරක් ඉන්න ගෙදර මොකටද ජනිඳු එයාගේ ෆෝන් එකට පින් එකක් දාගෙන ඉන්නේ. මොකෝ එයා ලොකු වැඩකට කියලා එළියට යනවා නෙවෙයිනේ… ටනල් එකේ වැඩ වුණත් කරන්නේ ඇතුලෙ ඉඳන් නේ… එහෙම එකේ පින් එකක් දාලා තියෙනවා නම්, දාලා තියෙන්නේ ඔයාගෙන් ෆෝන් එක බේරගන්න …….ඒ කියන්නේ ඔයා ෆෝන් එක බලනවට තියෙන අකමැත්තට…”
කසුනිට මිතුරියගෙන් ලැබුණේ ඒ වගේ පිළිතුරක්. ඒ පිළිතුර ඇවිලෙන ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා වගේ වුණා. කසුනිගේ හිත තව කලබල වුණා. පාසලේ ඉගෙනීම් කටයුතු වලදී පවා කලබලයෙන් තමයි හිටියේ.
දවසක් හවස කසුනි ගෙදර ආවේ තීරණයක් අරගෙන. මේ ගැන ජනිඳු එකක් කතා කරලා, ජනිඳුට තමන්ගෙන් වෙන් වෙන්න ඕනෙ නම් ඔහුට ඉඩ දෙන්න ඇය තීරණය කරා. ඒත් ජනිඳු එදා ඉතාම කාර්යබහුල ඕඩරයක් සකස් කරන ගමන් උන්න නිසා ඔහු හිතාමතාම ඇයව මඟාරියා.
අන්තිමද කසුන තීරණය කරා හෙට නිවාඩුවක් දාලා හරි මේ ප්‍රශ්නෙ විසඳගන්නවා කියලා. ඇය ඇඳට ගියෙත් හරිම කලබලයෙන්. හිත ඇතුලේ මහා ගින්නක් ඇවිලෙන බව කසුනිට තේරුනා.
කසුනි ආයෙම අර නිර්නාමික පෝස්ට් එක සහ ඒකට වැටිලා තිබුන කමෙන්ටු කියෙව්වා. එතකොට හිත තව තව කලබලේකට වැටෙන බව ඇයට වැටහුනා.
කසුනි එක පාරටම නින්දන් කෑගහගෙන ඇහැරුණා. ජනිත විදුලි බල්බය දල්වලා කසුනි දිහා බැලුවෙත් ගැස්සිලා.
“කසුනි ….. හිනයක් දැක්කද? ආ මෙන්න මේ වතුරෙක බොන්න……”
ජනිඳු කසුනිගේ හිස අත ගාලා ඇයව සන්සුන් කරන්න උත්සාහ කළා. කසුනි මහා සද්දෙට අඬාගෙන ජනිඳු ව බදා ගත්තා. ඔහුට හිතාගන්න පුළුවන් වුණේ නැහැ කසුනි කඳුළු වලට හේතුව
” කොයි ඉතිං ඒක හීනයක්නේ …..මොකද වුණේ කියන්නකෝ…. මං ඉන්නවනේ…. නැගිටින්න කෝ…. නැගිටින්න….. “
ජනිඳු කසුනිව සංසුන් කරගන්න උත්සාහ කරා
“ඔයා මාව දාලා යනවද?”
කසුනි අඬ අඬා එහෙම අහනකොට ජනිඳු ට අගක් මුලක් හිතාගන්නන බැරි වුණා.
” මට තේරුන්නෑ… මොකක්ද ඔය අහන්නේ?”
” මං අහන්නේ ඔයා මාව දාලා යනවද කියලා. ඔයා ඒ කෙල්ලටද දැන් කැමති? … ඒ කෙල්ලමද ඔයාගේ inspire එක..?”
ජනිඳු බලාගෙන හිටියේ කසුනි කියවන්නේ හීනෙන්ද කියලා හිතා ගන්න බැරුව… මොන කෙල්ලෙක් ගැන කියවනවද කියලා හිතාගන්න පුළුවන් වුණේ නැහැ….”
තේරෙන කියන්නකො කසුනී…… ඔයා තවම හීනයක් දැකලා ඉන්නේ? ඉස්සෙල්ලාම හොඳ හුස්මක් අරගෙන සන්සුන් වෙන්න…..”
කසුනි ඇදේ පැත්තක තිබුණු ජංගම දුරකථන අරගෙන අර නිර්නාමික පෝස්ට් එකක් ජනිදුට පෙන්නුවා පෙන්නුවා. ජනිඳු පෝස්ටක විමසිල්ලෙන් කියෙව්වා. ඊට පස්සේ කසුනිගේ මූණ දිහා බැලුවා. ඒඇස් වල කඳුළු දිලිසෙනවා පේනකොට ජනිඳු ගේ හිතත් ගැස්සුණා
“ඉතින්…..?”
ජනිඳු ඒ තිගැස්ම හංගගෙන ඇහුවා..
“මං දන්නවා ඔයා තමයි පෝස්ට් එක දැම්මේ කියලා. මං අහන්නේ ඔය කියන ගෑණු ළමයද ඔයාට ඕනේ?. මාව එපාද ? දැන් ඔයාට මාව එපා වෙලාද ? ඔයාගේ වැඩවලට මම උදව් කරන්නේ නැද්ද…?”
ජනිඳු කසුනි දිහා බලාගෙන හිටියේ මේ මොන විකාරයක්ද කියලා හිතාගන්න බැරුව. මෙහෙම නිර්නාමික පෝස්ට් එකක් දාලා කතන්දරයක් විමසන්න තරම් තමන් කවදවත් හිතලවත් තිබුන් නැති බව ජනිඳු කල්පනා කරේ හිත ඇතුලෙන් හිනා යන ගමන්.
ඒ වගේම පහුගිය දවස් ටිකේ තමන්ගේ බිරිඳ හොර පූසියක් වගේ තමන්ගේ පස්සෙන් එල්ලි හිටිය මොකද කියලත් ජනිඳු ට දැන් වැටහෙනවා.
“ආ ආ දැන්නේ මට තේරෙන්නේ පහුගිය දවස් ටිකේ මොකද පූසියෙක් වගේ මගේ පස්සේම දැවටි දැවටි හිටියේ කියලා මගේ නෝනා …
එක අතකට මේක ලිව්වේ මම කියලා හිතාගෙන ඉන්න එකත් හොදයි. එතකොට ඔයා ඉඩ තියෙන හැමතිස්සෙම මගේ ළඟට වෙලා ඉන්න බලනවනේ….. නැත්තං ගෙදර ආපු වෙලාවෙ ඉඳන් ඉස්කෝලේ වැඩ ….එක්කෝ මොකක් හරි සටහනක් ලියයි , ඔක්කො මොකක් හරි චාර්ට් එකක් අඳියි, එක්කෝමොකක් හරි වීඩියෝ එකක් හදයි…”
ජනිඳු හිනා වෙවී කිව්වා. ඒත් කසුනි බලාගෙන හිටියේ කිසිම විශ්වාසයක් නෑ වගේ.
“පිස්සුද කසූ ඔයාට ….මොනවද මේ හිතන කතන්දරය….. මං මේ වැඩේ කරන්නේ කැමැත්තෙන් ආසාවෙන් ….ඒකට මං ඔයාගෙන ලොකු සහයෝගයක් බලාපොරොත්තු වෙන්නෑ…ඔයාට ඒකට වෙලාවකුත් නෑ… ඒත් ඔයා කරන පුංචි පුංචි දේවල් මට ලොකුවට දැනෙනවා….. මං මෙතන වැඩ ඉවර කරලා ඉවරවෙලා ටනල් එකෙන් එළියට එනකොට ඔයා කොහෙන් හරි බලාගෙන ඉඳලා මට තේ එකක් ගෙනල්ලා දෙනවා දෙනවා. උදේට යන්න කලින් දවසම ගැන මට උපදෙස් කියවලා යනවා… ඉඩක් ලැබුන ගමන් විස්තර අහනවා… ඔක්කොටම වඩා මේකේ අකවුන්ට්ස් ටික බලන්නේ ඔයානේ…මොන මඟුලක්ද මේ හිතන්නේ ?”
කසුනි ඔහේ බලාගෙම හිටියා.
” තමන්ට ගැලපෙන්නේ නැති පෝස්ට් වලට ඔලුව දාලා, ඒකේ තියෙනදේවල් තමන්ට ගලපගෙන ඔලුව පිස්සු වට්ටගන්නේ ඇයි කියන්නකෝ …. ම්ම්ම් ? හොඳට මතක තියාගන්න කසූ .. අනුන්ගේප්රශ්න දිගේ හිතන්න ගත්තොත් ඉමක් කොනක් නෑ…ගලප ගලප කොච්චර දුරක් වුනත් හිතන්න පුළුවන් …”
ජනිඳු එහෙම කියනකොට කසුනි ඉවසිල්ලෙන් අහගෙන හිටියා.තමන් ඇත්තටම පහුගිය සතියේ කොච්චර විඳෙව්වාද කියලා මතක්වුණා
ඊට පස්සේ ජනිඳු ගේ උරිස්සෙන් ඔලුව තියාගෙම ඒ සතිය ගෙවුණුවිදිය කියෙව්වා. සැනසුණා.
| අපේක්ෂා ගුණරත්න |
ReplyForwardAdd reaction |