පහලොස් වෙනි රන්දම
නිම්නාවී ට සෙනසුරාදාද පැමිනෙන මෙන් මන්දාරම් පවසා තිබුනි. නිම්නාවී ගැන එහෙමට හෝ සොයා බලන්නට ඉදිරිපත් වන පසන් උන්නේ ඉරිදා දින විදෙස්ගත වීම සඳහා සූදානම් වෙමිනි. සෙනසුරාදා ඔහුට මඟ හැරිය නොහැකි හමුවක් යෙදී තිබූ නිසා ඔහු නිම්නාවී ඇමතුවේද නැත. එනිසාම නිම්නාවී කිසිඳු ගැටලුවක් නැතිව උදෑසන පිටත් වූවාය. නිම්නාවී මන්දාරම්ගේ නිවෙසට පැමිනෙණ විට සෙනසුරාදා උදෑසන පන්ති පැවැත්වීම සඳහා චානක පිටත්ව යන්නට සූදානම්ව සිටි අතර, මන්දාරම් උන්නේ නින්දේය.
” මන්දාරම් මහත්තයා නිදි.. අද ලතා එන්නේ දවල්ට උයන්න කිව්වා… මම නැන්දාට තේ හදලා දීලා තියෙන්නේ.. මන්දාරම් මහත්තයා උදේට බොන්නේ ෆ්‍රෙශ් මිල්ක්.. හැබැයි රත් කරන්න ඕනි.. හදලා තව ටිකකින් ඇහැරවන්න .කිරි එකක් රත් කරලා දෙන්න … වැඩ වගයකට යන්න තියෙනවා කිව්වා…
චානක හිත යටින්, නොවැටහුණු සන්තෝසයක් වැනි යමක් මවාගෙන කීවේය. මන්දාරම් යනු නැවුම් කිරි පානය කරන්නෙක් නොවේ. ඔහු උදෑසන මද උණුසුම් වතුර බෝතලයක් පානය කරනවා පමණි. එහෙත් නිම්නාවී අද ඔහුට නැවුම් කිරි පොවනු ඇතැයි යන හැඟීම චානක පාසැල් වියේ කොල්ලෙකු තරමට උද්දාමයකට පත් කලේය.
නිම්නාවී හිස සැලුවාය.
” අහ් .. මන්දාරම් මහත්තයා ඇහැරුනම උදේට කන්නේ මොනවද අහලා හදන්න .. “
” හරි මහත්තයා…
නිම්නාවී සිතින් චානකට බැණ වදිමින් එලෙස කීවාය.
” මං ආවේ අම්මව බලාගන්න මිසක් පුතාගේ ආවතේව කරන්න නෙවෙයි නේ…”
ඕ කෝපයෙන් සිතුවාය. එහෙත් උන්නේ ව්‍යාජ මන්දස්මිතයක් එක්කය.
” මේ … පැය බාගෙකින් විතර මන්දාරම්ව ඇහැරවන්න …”
ඔහු යන්නට හැරී ආපසු නැවතී එලෙසද අවධාරණය කලේ යටි හිතින් හිනැහෙමිනි. නිම්නාවී එයටද හිස සැලුවාය. නිම්නාවී කෙලින ස්වර්ණා දකින්නට ගියාය. ඕ උන්නේ ජංගම දුරකතනයෙන් යමක් නරඹමිනි.
නිම්නාවී ඇය සමඟ කෙටි කතා බහකින් පසු සමුගත්තාය. කාමරයට ගොස් ඇඳුමක් මාරු කරගත්තාය. උදෑසන ආහාරයට කිරිබත් කමුයැයි ස්වර්ණා කී නිසා ඒ වෙනුවෙන් සූදානම් වුවාය. කෝකටත් කියා යූ ටියුබයෙන්ද කිරිබත් සැකසීමේ වීඩියෝවක් නැරඹුවාය. කුස්සියට ගොස් පොල් ගෙඩියක් බිඳ එය ගෑවාය. සුදු හාල් බඳුනෙන් හාල් කැට දෙකක් ගෙන සෝදා රයිස් කුකරයේ දමා එය නියම වෙලාවට සැකසුවාය. ඉන් පසුව ශීතකරණයේ වූ නැවුම් කිරි පැකැට්ටුව ගෙන ඉන් වීදුරුවක ප්‍රමාණයක් බඳුනකට දමා ගෑස් ලිපේ තැබුවාය. එය උණු වන්නට හැර සීනි හැන්දක් එක් කලාය. මන්දාරම්ගේ කෝපය කුමක්දැයි ඕ දැන උන්නේ නැත. එනිසාම ඕ අන් කෝප්පයක් ගෙන එයට උණු කෙරූ කිරි වත් කලාය. එය රැගෙන මන්දාරම්ගේ කාමරය අසලට ගියාය. දොර වූවේ අඩවන්වය. නිම්නාවි ඉන් එබී බැලුවාය. මුලින්ම දැක්කේ ක්‍රියාත්මකව තිබූ විදුලි පංකාවය. ඕ කිරි වීදුරුවද සීරුවෙන් අල්ලාගෙන කාමරය තුලට එබුණාය. කෙලින්ම වූ යහනේ ගුලි වී නිදා උන් මන්දාරම් දැක නිම්නාවීට සිනා නැඟුනේය. එහෙත් වඩා ඒ වෙත ලං වෙත්ම ඇයට දැනුනේ අපහසුවකි. ඔහු සැරසී උන්නේ කෙටි කලිසමකින් පමණි. උඩුකයද සම්පූර්නයෙන්ම වූයේ නිරුවත්වය. නිම්නාවී දෑස් වසාගෙන කෙටි හුස්ම කිහිපයක් ගත්තාය. මෙය තමාගේ රැකියාවේ කොටසක් බව සිතන්නට උත්සාහ කලාය.
ඕ මන්දාරම් වෙත පහත් වූයේ එක් අතකින් පීරිසියක තැබූ කිරි වීදුරුවද අල්ලාගෙනය.
” මන්දාරම් මහත්තයා …”
එහෙත් කිසිඳු ප්‍රතිචාරයක් වූයේ නැත. නිම්නාවී තවත් වරක් කතා කලාය. එලෙස වුවද කිසිඳු සෙලවීමක්වත් වූයේ නැත. එවර නිම්නාවී මන්දාරම්ගේ උරහිසට අත තියා සොලවන අතරේ ඔහු ඇමතුවේය.
කෙලෙසකින්වත් බලාපොරොත්තු නොවුන ස්පර්ශයක් සහ නින්දට වූ බාධා කිරීම හමුවේ මන්දාරම් එක්වරම යහනේ අනෙක් පසට පෙරලුනේ කුණුහරුප වැලක්ද සමඟය. ඒ සිටින්නේ නිම්නාවී බවට මන්දාරම්ට කිසිඳු අදහසක් වූයේ නැත.
නොසිතූ ප්‍රතිචාරයෙන් කලබල වූ නිම්නාවී ආපස්සට තැබූ අඩියෙන් ඇගේ සමබරතාවය ගිලිහුණි. ඕ අත වූ කිරි වීදුරුව ඇය අතටම පෙරලුණි. උණු වී තිබූ කිරි නිසා අතත් , කිරි ඉහිරී ගිය පාදයත් පිළිස්සී ගිය වේදනාවටත්, නොසිතු කලබලයත් නිසා නිම්නාවීට කෑ ගැස්සුණාය. මන්දාරම් පියවි සිහියට පිවිසියේ ඒ හඬත්., අම්මාගෙ උස් හඬත් සමඟය.
” පුතේ …පුතේ ………”
මන්දාරම් වහා යහනෙන් බිමට බැස්සේය. බිඳුණු වීදුරු කැබැල්ලක් මතින් පාදය තැබීම නිසා නිම්නාවීගේ පාදය කැපී ගියේය. සුදු පැහැ කිසි ඉහිරී තිබුන කළු පැහැ ටයිල් පොලව රතු පැහැ වන්නට ගත වූයේ තත්පර කිහිපයකි. මන්දාරම් වහා නිම්නාවීව ඔසවා යහනේම තැබුවේය.
” ඔහොම ඉන්නවා …”
මන්දාරම් වහා අම්මාගේ කාමරයට එබුනේය. කැරපොත්තෙක් ඇඟේ වැසීම නිසා නිම්නාවී බියපත්ව කෑ ගැසූ බව ඇයට කීවේය. පෙරලා කාමරයට විත් නිම්නාවී දෙස බැලුවේය. ඕ උන්නේ වෙවුලමිනි.
:” ශිට් ….”
කල යුත්තේ කුමක්දැයි වටහා ගන්නට නොහැකිව මෙන් ඔහු තමා සන්සුන් වන්නට උත්සාහ කලේය.
” රිදෙනවා …. අනේ …රිදෙනවා…”
නිම්නාවී පිළිස්සුණු අතට මුවින් පිඹිමින්ද, ලේ වැගිරෙමින් තිබූ පිළිස්සුණ පාදය අනෙක් අතින් අල්ලා ගනිමින්ද මුමුනන්නට ගත්තාය.
මන්දාරම් වහා මේසය මත වූ කෝමාරිකා අඩංගු ආලේපනය ගත්තේය. වීදුරු කටු නොපෑගෙන්නට යහන මතටම පැන්නේය. නිම්නාවීගේ අත ඔහුගේ මෙන් ඇද ඔහුගේ උඩු පාදය මතින් තබා ගත්තේය. ඇගේ වමතේ යටි බාහුව මතට කෝමාරිකා ආලේපනය වත් කලේය. ඉන් පසුව දබරැඟිල්ල සහ මැදගිල්ලෙන් සෙමින් පිරිමැද්දේය. නිම්නාවී සුසුම් ලමින් හූල්ලද්දී ඇයට එරෙව්වේය. නිම්නාවී අත ආපස්සට අදින්නට උත්සාහ කරද්දී අනෙක් අතින් වැලමිට අසලින් අත දැඩිව අල්ලා ගත්තේය.
ඉන් පසුව ඇඳේ පළල පැත්තෙන් ඇඳෙන් බැස්සේය. ඇගේ කකුලේ වූ වීදුරු කටුව සීරුවෙන් ඉවත් කලේය.
” ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්…..”
” ඒයි … කට …”
මන්දාරම් නිම්නාවීට ගිගිරුවේය. නිම්නාවී මුවින් නැඟෙන්නට යන හඬ අසීරුවෙන් ගිල ගත්තාය. ඉන් පසුව සේලයින් බෝතලය ගෙන තුවාලය සේදුවේය. ගෝස් කැබැල්ලක් තියා වෙලා දැම්මේය. කකුලේද කෝමාරිකා ආලේපනය ආලේප කලේය. තමා සිටින්නේ කෙටි කලිසමෙන් සහ උඩු කය නිර්වත්ව බව සිහිවුනේ ඒ සියල්ල කලාට පසුවය. ඔහු වහා අල්මාරියෙන් සරමක් ගෙන ඇඳ ගත්තේය. කමිසයක්ද ගත ලා ගත්තේය. ඒ සියල්ල කලේ නිම්නාවී ඉදිරියේමය. නිම්නාවීය සිනහ නැඟුණි. ඕ වේදනාව අස්සෙන් සිනාව ගලන්නට ඉඩ දුන්නාය
” මොකද ඕයි හිනාවෙන්නේ ?..”
ඒ හිනාව මන්දාරම්ගෙන් සැඟවුනේ නැත. නිම්නාවී කිසිත් නැති වග පවසන්නට හිස සැලුවාය. ඇස් අකුලා ගත්තාය. ඒ අතරේ මුව උල් කර, කට පුම්බා අතට පිඹ ගත්තාය. ඉතින්,. මන්දාරම් ගැස්සුණේය. ඔහුගේ හදවත තුල මියැදී ගිහින් තිබූ නහරයක් සැනින් පණ ගසා නැගිට්ටේය.
අපේක්ෂා ගුණරත්න