රන් මල් දම් – 18

0
1944

ඉරිදා දිනය නිම්නාවීට වෙනදා ට වඩා වෙනස් විය. ඕ සතියක රාජකාරියක් අවසන් කල බව දැනෙන්නේය. ඉරිදා නිවාඩුව දැනෙන්නේය. උදෑසන ආහාරයට සකසා තිබුනේ කිරිබත් ය. එක්වරම මන්දාරම්ගේ කිරිබත් සහ සීනි සම්බෝලය සිහි විය. නැඟුණු සිනහවට ඕ නිදහසේ ගලා වැටෙන්නට දුන්නාය. දවස පුරා මන්දාරම්ගේ ඇතැම් හැසිරීම් තම සිතට මෙතරම් නැවුම් බවක් ගෙන එන්නේ මන්දැයි කල්පනා කරන්නට නිම්නාවී හදිසි වූයේ නැත.
” මහම පිස්සෙක් ….”
එහෙත් ඒ නැඟුණ සිනහව ක්ෂණයෙන් දියවී ගියේය. සැඟවී තිබූ යමක් එක්වරම මතුවී ඇයට අනතුරු ඇඟෙව්වේය.
” එයාගේ අම්මව හප්පලා මඟ දාලා ගියේ මම කියලා දැනගත්තොත් එහෙම ඔය මනුස්සයා මාව මරාවි ..දෙය්‍යනේ පොලිසියට අල්ලලා දේවිද කියන්නත් බෑ .. එහෙමට හාදයෙක් .. ආන්ටි සනීප වීගෙනම එනකොටම හොයාගන්නම බැරි වෙන්න අතුරුදන් වෙන එක තමයි හොඳම වැඩේ … මල්ලිට කියන්න කියනවා හදිසියේම ඩුබායි ගියා කියන්න කියලා…පස්සේ ඕනි නම් මොකක් හරි ජිල්මාර්ට් එකක් දාලා මැසේජ් එකක් තියලා සිද්දිය ක්ලෝස් කරලා දාන්න පුලුවන් නේ ..”
ඕ ඒ සැනින් සිතුවාය. එහෙම සිතීමම ඇයට වේදනාවක්ව දැණුණි. ඒ වේදනාව කිනම් අහිමිවිමක් නිසාදැයි සිතන්නට ඕ උත්සාහ කලේ නැත.
ඉන් පසුව දවසම නිම්නාවී ගෙවා දැම්මේ ඒ ආතතිය එක්කය. මල්ලිට අමතන්නට ද නොහැකි නිසා ඕ කලේ කාමරයටම වී සිටීමය. ඒ අතරේ වස්සාන සිහිනය නිකමට මෙන් සිහි විය. මල්ලිගේ පුස්තකාලයද සිහි විය. ඕ වහා මල්ලිගේ කාමරයට රිංගා ගත්තාය. මල්ලිගේ පොත් රාක්ක දෙක දෙස තමා බලන්නට ඇත්තේ කෙතරම් කාලයකටද පෙරදැයි ඕ සිහි කලේ පොත් රාක්කය පුරා ඇස් යවන අතරේය. අවසානයේ ඕ එය සොයා ගත්තාය. මල්ලිගේ යහනේම පෙරලුනාය.
” හැම දුක් සුසුමකම
හැම සීතල කඳුලකම
ඇසිපිය හෙලන ඇසිල්ලකම
නො නොනිඳන තිස්තුන් පැයකම
මගේ පාරමිතාව…………..
චාපාට………..”
ඕ පිදුමම කියෙව්වාය. පිටුවේ අගම කොනෙහි වූ ඒ පේළි කිහිපය යළි යළි කියෙව්වාය. තමා ගේ ජීවිතය තුළ ආශාවෙන් කල කී කෙතරම් දේ තමා අත් හැරියාදැයි යන වේදනාව යළි ඇයට දැණුණි.
පසුව එහි අගට ඇයට නතු වන යම් නමක් ගැලපේනම්, සිතුවාය. සිතුවා නොව, ඇයට ඉබේම සිතුණි. ප්‍රේමයක් ලෙහෙසියෙන් මියයන්නේ නැත. කොහේ හෝ පණ නැතිව තිබී යළි යළි පණ ගසනවාමය.
සෙත් …. සෙත් සිහිවිය. බාලක පාසැලක් නියෝජනය කරමින් විවාද තරඟාවලියට සහභාගී වූ ඒ සිසුවා සිහි විය. විවාද තරඟාවලිය අවසානයේ කුසලානය දිනාගත් බාලක පාසැලේ නායකයා, අනෙක් කණ්ඩායම් සගයන් සමඟද සාකච්චා කර, ආචාර්‍යවරයා ගේ අනුමැතියද සමඟ කුසලානය පමණක් පාසැලට ප්‍රමාණවත් වග පවසා තෑගි මුදල සහ පරිඝනක ත්‍රිත්වයම දෙවැනි ස්තානය දිනා ගත් ග්‍රාමීය පාසැලට පිරිනමන්නට තීරණය කෙරූ දිනය සිහි විය. මීට වසර දොළහකට පෙර ඒ දිනය යළි සිහි වීම ඕ ගත තුල සියුම් විදුලි එළි යවමින් තිබුණි. ඔහු සියල්ලන්ගේම සිහින කුමරා විය.
ඇය සුසුමකින් සියල්ල අත් හැරියාය.
පසුව ඕ පලමු පරිච්චේදය කියවීම ඇරඹුවාය. මධුපානි ඉද්දමල්ගොඩ නම් වූ යුවතියක් ආදරණීය සර් යැයි ආමන්ත්‍රණයක් සහිතව ලියා තිබූ ලිපිය කියවා අවසන් කලාය. අතීතය සෑහෙන තරමේ රිදවීමකින් ඇය මතට ඇද වැටෙමින් තිබුනි.
සෙත් නම් ලෙසින් දැන උන් විවාද කණ්ඩායමේ නායකයාට තමා ලියූ පෙම් හසුන් දමා තිබූ මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය අම්මාට හසු වීමෙන් පසු ජීවිතය වෙනස් විය. අම්මා තම ජීවිතය සිර කලාය. සමාජයක් යැයි කියා ආශ්‍රය කරන්නට කිසිවක් හා මුහු වෙන්නට ඉඩ නොදී උන්නාය. සෙත් යැයි කෙනෙකු ගැන සොයන්නට හෝ ඉඩක් නොලැබීම පළමු ප්‍රේමයේ රස්නය කාන්දු කල ඔහුද අතුරුදන්ව තිබුනි.
සෙත්ලා ඔහුගේ අම්මාගේ ගමට ගොස් ඇති බව පසුව ආරංචි විය. පසුව සෙත් විදෙස් ගතවූ බව පසුව කීවේ තවත් මිතුරියකි. ඉන් පසුව නිම්නාවී ඒ ප්‍රේමය සිතෙහිම මිහිදන් කලාය. ඒ නැතත් අම්මා ඉක්මවා යන කිසිවකට තමාට ඉඩ නොලැබෙන්නේය යන පරාජිත හැගීම තුලම ඕ ඔහේ ජීවිතය දිය කර දැම්මාය. එහෙත් උසස්පෙල පන්ති වලදී හමුවන හැම පාසැල් සිසුවෙකුගේම ඇස් වලින් සෙත් සෙවීම ඇය නවතා ලූවේ නැත.
නිම්නාවී ඊළඟ පිටුව පෙරලුවාය. පිටුවෙන් පිටුව කියෙව්වාය. අතීතය විටි විට වචන වල ඇමිණී උඩ ඇදෙද්දී ඕ පිටුවෙන් පිටුව කියෙව්වාය. සෙත් ගේ මතක ඇයව අසාමාන්‍ය වේගයකින් කොනිති ගහමින් තිබුණි.
නිම්නාවී දිවා ආහාරය ගෙන අවසානයේ යළි වස්සාන සිහිනය පෙරලා ගත්තාය. චාපා සහ කසුන් ලෙයින් පොරොන්දු තියා ලියා තිබූ ලියුම පසු කරද්දී සෙත් වෙනුවෙන් ඇය පසුව ලියූ ලියුමක් සඟවා ඇති තැනක් නිකමට සිහි විය. මතකය නිවැරදි නම් එය ලීවේ තම උපාධි ප්‍රධානෝත්සවය අවසානයේය. සෙත් නමින් පමණක් දන්නා තරුණයාට තම ජීවිතයේ වැදගත්ම බව දැනෙන අවස්තාව ගැන ලියන්නට නිම්නාවීට එදින බාධාවක් වූයේ නැත. ඕ නැගිට පොත් කබඩයේ යටින්ම තබා තිබූ ශබ්ද කෝෂයක් සොයා ගත්තාය. එය කුසට හිර වන සේ තබාගෙන පෙරලුවාය. පැහැය මදක් අඳුරුව ගොස් තිබුනද හතරට වන සේ නවා තිබූ ලියුම එහෙමම විය.
ඕ ශබ්දකෝෂය පොත් උඩින් තබා එහෙමම ආපසු හැරී විත් යහනේ හිඳගත්තාය. පළමු නැවුම දිග හැරියාය. නැවුම අතර උන් කාවෙකු කොලයෙන් බිමට වැටුනේය. නිම්නාවී ඒ වග ගනනකට නැතිව ඊළඟ නැවුමද දිග හැරියාය.
” ආදරණීය සෙත් …,
මේ ඔයාට ලියන්නේ අවුරුදු හයකින්. ඉස්සෙල්ලාම ඔයාට ලීව ලියුම මට තවම මතකයි. ඒත් ඒ ලියුම ඔයාට ලැබුනදවත් මම දන්නේ නෑ. බොහෝ දුරට ඔයාට ඒක ලැබෙන්න නැතුව ඇති. ඊළඟ මාසේම ඔයාලා කොළඹින් ගිහින් තිබුනා. ඉන් පස්සේ ලීව ලියුම් ගාන මට මතක නෑ. ඒ ගොඩක් ලියුම් මම ඉරලා විසි කරා. ඒත් එහෙම ඉරලා විසි කරන්නත් ලෝබ හිතුන ලියුම් අම්මට අහු වුනාට පස්සේ මගේ ජීවිතේ හිර වුනා. ඔයාට හිතාගන්නවත් බැරි තරමේ. .
කොහොම හරි අද මගේ කොන්වර්කේශන් එක තිබුනා. කොන්වර්කේෂන් ගත්තාට මම සම්පූර්න කැම්පස් ජීවිතයක් ගෙව්වේ නෑ සෙත්. අපේ අම්මා මාව එතනත් හිර කලා. බලෙන්ම මාව දැම්මේ ප්‍රයිවට් යුනි එකකට. ඒකේ අම්මට කේලම් කියන සී සී ටී වී කැමරා කෝටියක් විතර තිබුණා. කොටින්ම මම ලෙක්චර් එකකට ලේට් වුනත් අම්මා ඒක දන්නවා…
ඔයා නොදන්නවා වුනාට මම ඔයාට ලියලා තිබුණා සෙත්, ඔයාට ලීව ලියුම් අහු වුන වෙලේ මම හිතුවක්කාර වුනොත් මල්ලිටත් වස පොවලා අම්මයි තාත්තයි මගේ ඉස්සරහම එල්ලෙනවා කියලා අම්මා මගේ කාමරේට ඇවිල්ලා තර්ජනය කලා..
අම්මා වස බෝතලේ මට පෙන්නුවා. මල්ලිගේ කිරි එකට වස දාලා දෙන විදියත් අම්මා කිව්වා… මම කොහොමද ඒ දේවල් අහගෙනවත් ඉන්නේ සෙත්. එදයින් මම මගේ ජීවිතේ අම්මට ඕනි විදියට ගෙවෙන්න දුන්නා. අද මට විසි හයක් සෙත්. මට තව අවුරුදු කීයක් මේ විදියට ජීවත් වෙන්න වේවිද දන්නේ නෑ. ඒත් මම තෝරගෙන ඉවරයි, අම්මා කියන දේවල් වලින් පිට කිසිම දෙයක් නොකරන්න………..”
ලියුම මතට නිම්නාවීගේ කඳුළු වැටෙමින් තිබුණි. .
අපේක්ෂා ගුණරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here