එකම එක හාදුවක් – 7

0
4645

ඒ සිදුවීම ගැන තීක්ෂණා මුලු එච් එන් ඩී එක ඇතුලේම පතුරුවා තිබ්බත්, කට්ටිය එහෙමකට කියා බණින ලෙවල් එකකින් දෙයක් නොකිව්ව එක ශාර්වරීගේ හිතට සහනයකි. තමන්ගෙ අතින් වෙච්ච වරද හන්දා චෙෆ් වීරරත්න හම්බෙන්න ගිහින් සොරි කිව්ව වෙලාවෙත් චෙෆ් කිව්වේ “මිස්ටේක්ස් වෙනවා පුතා ඕනම කෙනෙක් අතින්, ඔයාලා තාම අලුත්නෙ මෙතනට. ආයෙ එහෙම දෙයක් නොවෙන්න තමයි වැඩ කරන්න ඕන” කියල චෙෆ් වීරරත්න කිව්වම හිත පොඩ්ඩක් සැනසුනත් එදා වෙච්ච දේ තිගැස්ම හිතෙන් අමතක කරන්න ශාර්වරීට සතියක විතර කාලයක් වැය කරන්න වුණාය. 

ඉන්පස්සෙ රෙස්ටුරන්ට් එකට යන හැම දවසකම ශාර්වරීට බයක් දැනුනේ ඒ මනුස්සයා මේ කාල්ටන් අපාර්ට්මන්ට්ස්වල ජීවත්වෙන පුද්ගලයෙක් බව දන්න එකය. මෙතන සේවය කල මෙතුවක් කාලයක් පුරාවට ඔහුව දැක්කාය කියා මතක තියෙන්නේ එක අවස්තාවක් පමණක් වුණත් ආයෙ දිනක ඔහුව දකින්න උනොත් තමන් මොන විදියට ඒකට රියැක්ට් කරාවිද කියන බය ශාර්වරීට තිබුණාය. එහෙත් ගෙවුණ සතියක කාලය තුල “එයා අද ඒවිද දන්නෙ නෑ” කියන බය පමණක් හිත අස්සේ තුරුලු කරගෙන ශාර්වරී උන්නේ ඔහු තියා ඔහුගේ ජායාමාත්‍රයක්වත් දකින්න වෙච්ච නැති හන්දාය.

“සමහරවිට එයා එහෙම නිතරම මේ රෙස්ටුරන්ට් එකට එන්නෙ නැතුව ඇති. එහෙම ආව නම් මම දකිනවනෙ. මම කලින් එයාව දැකලා නැත්තෙ එයා එහෙම එන්නෙ නැති හන්දනෙ” කියල ශාර්වරී හිත හදාගන්නට හිතුනත් හිත අස්සෙ පොඩි විචිකිච්චාවක් නොතිබ්බා නොවේ.

නෙවින් සේනාරත්න ඉන්නෙ මොන අපාට්මන්ට් එකේද කියා දැනගන්න විදියක් නැති එකේ, ඕක ගැන මධුරගෙන් අහන්න ගිහින් නිකන් බාල්දි පෙරලගන්න ඕන නැති හන්දා ශාර්වරී කටවහගෙන උන්නාය. එහෙත් හිතෙන හිතෙන වෙලාවට ඉඩක් ලැබෙන වෙලාවට ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම පැත්තේ ගිහින් විස්තර හොයන්න බලන්න ශාර්වරී අමතක කලේ නැත. නෙවින්ට තිබුනෙ කොහොමත් පබ්ලික් ගිණුමක් හන්දා අමුතුවෙන් ෆලෝ රික්වෙස්ට් යවන්න උවමනාවක් තිබුනේ නැත.  ජිම් එකේ ඉඳගෙන, හොටෙල්වල ඉඳගෙන, අපාට්මන්ට් එකේ ඉඳගෙන ගත් පින්තූර සිය ගණනක් එතන තිබුණද ඒ කිසිම පින්තූරයක කිසිමාකාරයක ගැහැණු ළමයෙකුගේ ජායාවක්වත් හොයාගන්න ශාර්වරීට පුලුවන් උනේ නැත. ඔහු ළඟට වී ගැහැණුන්ගේ රූපයන් ඇඳී තිබුනේ ඔහු සහභාගි වූ උත්සව සහ ශූට්ස් වලදී ගත් ජායාරූප වල පමණකි. 

“මෙච්චර ලස්සන කොල්ලෙක්ට කෙල්ලෙක් ඉන්න බැරිකමක් නෑනෙ. එදා අර රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා කිස් කර කර උන්නු කෙල්ල මේ එක ෆොටෝ එකකවත් පේන්න නෑනෙ. ඒ මෙයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නොවෙන්න බෑනෙ. එහෙම නෙවෙයිනෙ අර විදියට කිස් කර කර ඉන්නෙ නෑ. සමහරවිට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තම ගෑණු ළමයින්ගෙ ඇට්‍රෑක්ශන් එක අඩු වෙයි කියල හිතලා නොදා ඉන්නවද දන්නෙ නෑ” කියා ශාර්වරී හිත අස්සෙන් මේ ජායාරූප ඔස්සේ දකින්න ලැබෙන දේවල් සාධාරණීකරණය කරන්නට වුණාය.

රෙස්ටුරන්ට් එකේ දුරකතනය නාද වුණේ ඒ අතරවාරයේය, ඇමතුමට සම්බන්ධ වෙච්ච මධුර ඕඩර් එක අරගන්න අයුරුත්, අනතුරුව එය චෙෆ්ට දැනුම් දෙන අයුරුත් අසාගෙන උන් ශාර්වරී හොඳ හුස්මක් හෙලා ෆෝන් එක පැත්තකින්  තිබ්බේ වැඩ අස්සේ මේ තමන් කියා කෙනෙක් ඉන්නවද නැද්ද කියලවත් දන්නෙ නැති මනුස්සයෙක් ගැන විස්තර හොයන්න යන එක ගැන හිත අස්සෙන් තමන්ටම බණීන අතරවාරයේය.

“ශාරා, මම අපාට්මන්ට් ෆෝ සීරෝ සික්ස් එකේ ඕඩර් එක ගිහිල්ල දීලා එනකම් ඔයාට පුලුවන්ද දැන් ආව ඕඩර් එක ගිහින් දීලා එන්න. පැති දෙකක අපාටමන්ට් දෙකක තියෙන්නෙ. අනික මගේ ඕඩර් එක ටිකක් බරයි”

“අවුලක් නෑ, හැබැයි අපි දෙන්නම ගියාම කවුරුවත් නෑනෙ කවුන්ටර් එකේ?”

“චෙෆ් ට කියල යන්, නැත්තම් කෑම නිවෙනවනෙ” කියා මධුර කලින් ආ ඕඩර් එක දැමූ ෆුඩ් බාස්කට් එක අතින් එල්ලගෙන ලිෆ්ට් එකට නගින්න යන අතරවාරයේ ශාර්වරී චෙෆ් විසින් සකසා අවසන් කරන ලදුව කවුන්ටර් ටොප් එක මතට ගෙනත් තැබූ සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් දෙක සහ බියර් කෑන්ස් දෙක වෙන ෆුස් බාස්කට් එකකට දමා ගත්තාය. සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකෙන් එන සුවඳ නාහෙ අස්සෙන් ගිහින් මෙච්චර වෙලා නොතිබ්බ කුසගින්නක් අවුලුවනු දැනුනද ශාර්වරී උන්නේ ඒ සුවඳ අමතක කර වගේය. තමන්ට කොහොමත් මේසෙකට වාඩිවී පිලිවෙකට, හීන් සීරුවේ කෑමක් කන්න ඉඩ ලැබෙන්නෙ රෙස්ටුරන්ට් එකේ වැඩ අඩුම වෙලාවකය. සෙනසුරාදා දවසක් වෙච්ච අද කොහොමත් ඉතින් ඒකට ඉඩක් නොලැබෙන දවසක් නොවන බව ශාර්වරීට අමුතුවෙන් මතක් කරන්න උවමනාවක් නැත.

ෆුඩ් බාස්කට් එක එක අතකින් එල්ලාගෙන අනෙක් අතින් ඕඩර් එක ලිව්ව බිල් එක රඳවගත්ත ශාර්වරී ලිෆ්ට් එකට නැග අදාල තට්ටුවේ අංකය එබුවාය. දොර වැසී මිනිත්තු කීපයක් ඇතුලත කාල්ටන් අපාට්මන්ට්ස් වල ඉහලම තට්ටුවකින් මතුවෙන්න ශාර්වරීට පුළුවන් වුණාය.

“අපාට්මන්ට් නම්බර් 915” කියමින් 900-925 දක්වා අංක පෙන්වා ඇති කොරිඩෝව දිගේ ගමන් කල ශාර්වරී අංක 915 අපාට්මන්ට් එක ලඟ නතර වුණාය. තේක්ක ලී දොර අසල බිත්තියේ තිබූ සීනුව නාද කල ශාර්වරි දොර හැරෙන තුරු එලියේ හිටගෙන බලා උන්නේ දොර ඇරෙන තුරුය. 

නෙවින් උන්නේ උදේ පාන්දර මල පන්නගෙනය. ආලියාට එදා අච්චර හොඳින් කතාව කිව්වයින් පස්සෙත් දිගට හරහට රෑ තිස්සෙත්, ආයෙ උදේ පාන්දරත් කෝල් ගනිද්දි ඉන්න තැනකට හොයාගෙන ගිහින් හොඳවයින් දෙකක් කියා එන්න නෙවින්ට නොසිතුණා නොවේ. නම්බර් එක බ්ලොක් කර දමන්න වෙලාවකට හිතුනත් එහෙම කරන එක හැපින්නව තව කුපිත කරගන්න හේතුවක් බව දන්න හන්දම නෙවින් ඒක කරන්න හිතුවෙ නැත.

“නෙවින් ප්ලීස් මට කතාකරන්න, මට ඔයාව අමතක කරන්න බෑ නෙවින්. මට පිස්සු හැදේවි.ප්ලීස් අඩුම ගාණෙ මං කියන දේ එකපාරක් අහන්න” කියා ආලියා දුරකතන ඇමතුම තොගයකට පස්සේ එවා තිබූ වට්සැප් මැසේජ් එක නෙවින් දැක්කේ උදේය. 

ඊයේ රාත්‍රියේ රෙඩ් නයිට් ක්ලබ් එකේ ඩාන්ස් පාටි එකට ගොස් නෙවින් ආවේ තනිවම නොවේ. කොහොමත් ඔය වගේ පාටිවලට යන තමන් තනිවම ගෙදර ආ දවස් ඇත්තෙ ඉතාම කලාතුරකින් බව නෙවින්ට අමතක නැත. ඊයෙ සෙට් වෙච්ච කෙල්ල වනාහි වන් නයිට් ස්ටෑන්ඩ් එකක් කියන්නෙ මොන වගේ එකක්ද කියා දන්න එකියක වීම නෙවින්ට හිතට සහනයකි. අනෙක් අතට ඉතාම ෆෝවර්ඩ් කෙල්ලෙක් වෙච්ච ජානු එක්ක කතා කරන එකෙත් පොඩි ආතල් එකක් තිබිච්ච හන්දා දවල් වී අවදි වෙච්ච එකේ මොනවහරි කාලාම යන්න කියා පහල රෙස්ටුරන්ට් එකෙන් ඕඩර් එක දැම්මෙත් නෙවින්මය. 

කල ගත්ත ලොකුම ගොං කම ඔහොම පාටි එකකදි සෙට් වෙච්ච ආලියාව ගෙදෙට්ට අරගෙන ආව එක බව හිතන ගමන්ම නෙවින් දිගට හරහට එන ආලියාගේ කෝල් එකට සම්බන්ධ වෙන ගමන්ම සීනුව නාද වුණ දොර විවර කලේ රෙස්ටුරන්ට් එකෙන් ආ ඕඩර් එක භාරගන්නටය.

වෙනදා වගේම ඕඩර් එක අරගෙන එන රෙස්ටුරන්ට් එකේ පිරිමි ළමයා තමන්ගේ පිටුපසින් විත් කෑම බන්දේසි ටික ඩයිනින් කවුන්ටර් එක උඩ තියෙන නිසා අමුතුවෙන් ඒ ගැන වදවෙන්න දෙයක් නැත.

“ප්ලීස් ආයෙ මට කෝල් කරන්න එපා. ඔයාට අමතක උනාට ඔයා කවුද කියන එක මට හොඳට මතකයි මම කවුද කියන එක සහ මගේ ජීවිතේ වෙන්න ඕන මොනවද ඉන්න ඕන කවුද කියන එක.

ප්ලීස් මට ආයෙ කෝල් අරගෙන වාතයක් නම් වෙන්න එපා” කියා නෙවින් කිසි බයක් නැතුව කියා දැම්මේ ඉන්දියන් කෙල්ලෙක් වෙච්ච ජානුට කොහොමත් සිංහල තේරෙන්නෙ නැති හන්දාය.

“ඔයා හොඳටම දන්නවනෙ මං ගැන නේද? අනෙක මම ආස නෑ එහෙම මේ මගෙ පස්සෙන් එන ගෑණුන්ට. තමන්ගෙ ලිමිට් එක දැනගෙන ඒ ලිමිට් එකේ ඉන්න. මම ඕන උදව්වක් කරන්නම් හැබැයි මගේ කරේ නම් නගින්න එන්න එපා” කියා දුරකතන ඇමතුම විසන්ධි කල නෙවින් ආපසු හැරුණේ කෑම බන්දේසි ගෙනා කෙනාට ස්තුති කරන්නටය.

“තෑන්ක්ස් මල්ලි” කියා නෙවින් හැරුණේ එක මොහොතකට දුරකතන තිරයෙන් දෙනෙත් උස්සාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here