රැකියාවෙන් ඉදිරියට යන්න ඕනැම වෙන basic computer skills….

නවීන තාක්ෂණය සමඟ විනාඩියෙන් විනාඩියට වෙනස් වෙන හරිම තරඟකාරී ලෝකෙක තමයි අද අපි ජීවත් වෙන්නෙ. 

මේ තරඟකාරී ලෝකය තුළ වඩා කැපීපෙනෙන කොටසක් රැකියා අවස්ථා සඳහා හිමිවෙනවා. 

තමන්ගේ සේවා ස්ථානයේ දියුණුව උදෙසා අති දක්ෂයන් තමන් සතු කරගන්න සේවා ස්ථාන තරඟ කරද්දි, තමන්ගෙ හැකියාවන්ට ගැළපෙන හොඳම ස්ථානයේ රැකියාවක් ලබාගැනීම වෙනුවෙන් රැකියා අපේක්ෂකයන් අතරෙ තරඟෙකුත් අද වෙද්දි නොදැනුවත්වම නිර්මාණය වෙලා තියෙනව. 

හැමදෙයක්ම තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා තියෙන මේ කාලෙ ඔබේ රැකියාවට අදාල ක්ෂේත්‍රය කුමක් වුනත් ඔබ සතුව පරිඝනක සාක්ෂරතාව තිබීම නම් අත්‍යාවශ්‍යයි. 

ඔබ රැකියාවක් සොයමින් ඉන්න කෙනෙක් නම්, පරිඝනක සාක්ෂරතාවය අඩුවීම නිසා රැකියාවේ යෙදීමේදී විවිධ ගැටළු වලට මුහුණ දෙමින් ඉන්න කෙනෙක් නම්, එහෙමත් නැත්නම් රැකියාවේ උසස්වීමක් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් ඔන්න අද අපේ ලිපිය ඔබ සඳහාමයි.

අද අපි කතා කරන්න සූදානම් වෙන්නෙ ඕනෑම රැකියාවක් සඳහා ඔබ සතුව තිබිය යුතු අවම පරිඝනක දක්ෂතා (basic computer skills) ගැනයි. 

එහෙනම් අපි බලමු ඒ මොනවද කියල?

මුලින්ම, computer skills ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. 

  • Hardware skills (දෘඪාංග කුසලතා)

මේ යටතේ පරිඝනකයට සම්බන්ධ වී ඇති keyboard, mouse වගේ උපාංග ගැන දැනුම, පරිඝනකයක් වෙන් කිරීමේ සහ නැවත එකලස් කිරීම පිළිබඳ දැනුම, පරිඝනකට බාහිරින් සම්බන්ධ කරන විදුලි සැපයුම, අන්තර්ජාල සැපයුම් සහ photo copy machine, printers වැනි උපකරණ සම්බන්ධ කිරීමේ සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ හැකියාව සලකා බලනවා. 

  • Software skills (මෘදුකාංග කුසලතා)

මෙහිදී පරිඝනකයේ විවිධ මෘදුකාංග (computer programs) සහ අන්තර්ජාලය භාවිතා කරමින් කාර්‍යයන් සම්පූර්ණ කිරීමට ඔබට ඇති හැකියාව සලකා බැලීම සිදුකරනවා. 

මේ යටතට විද්‍යුත් පණිවිඩ (mails) යැවීම, පරිඝනකය භාවිතයෙන් විවිධ ඉදිරිපත් කිරීම් සිදුකිරීම (presentation), අන්තර්ජාලය හරහා දේශීය සහ විදේශීය රැස්වීම් සංවිධානය කිරීම (meeting) වගේ හැකියාවන් අයත් වෙනවා. 

හොඳයි දැන් අපි බලමු කාර්‍යාල වැඩ පහසුවෙන් කරගන්න අපි මූලිකවම දැන සිටිය යුතු මෘදුකාංග කුසලතා එහෙමත් නැත්නම් soft skills මොනවද කියල?

  1. Office suits (කාර්‍යාල මෘදුකාංග කට්ටල) භාවිතයේ හැකියාව

කාර්‍යාල මෘ දුකාංග කට්ටල කියන්නෙ වෙන් වෙන්ව පැවතුණු මෘ දුකාංග ගණනක් විද්‍යුත් ලිපියනයක් මඟින් එකිනෙකට සම්බන්ධ කරමින් නිර්මාණය කරල තියෙන මෘදුකාංග එකතුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. 

අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ විද්‍යුත් ලිපිනය හරහා මේ එකතුවට යොමුවෙන්න ඔබට පුළුවන්. ඒ වගේම සාමාන්‍ය පරිඝනකයේ ගබඩා කරනවාට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක්, ආරක්ෂිතව ගබඩා කරන්න පුළුවන් වගේම ඕනෑම තැනක ඉඳල කාර්‍යාලීය කටයුතු වලට සම්බන්ධ වීමේ හැකියාවත් මේ ඔස්සේ ඔබට ලැබෙනවා. 

මේ මඟින්,

Word processing

Spreadsheet

Presentation

E –  mail

Meeting

Calendar සහ storage software වගේ කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

  • අද වෙද්දි ජනප්‍රිය වෙලා තියෙන කාර්‍යාල මෘදුකාංග කට්ටල ලෙස, 

Excel, OneDrive, OneNote, Outlook, PowerPoint, Teams, සහ Word සේවාවන් ඇතුළත් Microsoft Office

Calendar, Chat, Docs, Drive, Meet, Sheets, සහ Slides සේවාවන් ඇතුළත් Google Workspace 

Keynote, Numbers, and Pages සේවාවන් ඇතුළත් Apple iWork 

යන මෘදුකාංග කට්ටල හඳුනාගන්න පුළුවන්. 

  • Presentation Tools (ඉදිරිපත් කිරීමේ මෘදුකාංග) හැසිරවීමේ හැකියාව

Powerpoint භාවිතයෙන් ඉදිරිපත් කිරීම් කිරීමෙන් එහා ගිහින් අද වෙද්දී ඉතාම ආකර්ෂණීය ලෙස දත්ත දෘෂ්‍යකරණය, ග්‍රැෆික් නිර්මාණකරණය වෙනත් වැඩසටහන් සහ මෘදුකාංග භාවිතයෙන් නිර්මාණය කරන වීඩියෝ පට ආදිය භාවිතයෙන් කරන ඉදිරිපත් කිරීම් අද වෙද්දි දකින්න ලැබෙනවා.

අලුත් තාක්ෂණය සමඟ හැඩගැසෙන ඔබේ දක්ෂතා පෙන්වීමට, වඩා පැහැදිලිව සහ දත්ත සහිතව ඔබේ ඉදිරිපත් කිරීම් සිදුකිරීමට මේ හැකියාවක් වැඩිදියුණු කර ගැනීමෙන් ඔබට හැකියාව ලැබෙනවා. 

  • අද වෙද්දි වැඩිපුර භාවිතයට ගැනෙන ඉදිරිපත් කිරීමේ මෘදුකාංග ලෙස, 

Apple Keynote

Canva

Microsoft Excel, Tableau, Google Charts සහ Infographic වැනි දත්ත දෘෂ්‍යකරණය කිරීමේ මෘදුකාංග

Google Slides

Microsoft PowerPoint

Prezi හඳුනාගන්න පුළුවන්. 

Spreadsheet (පැතුරුම්පත්) භාවිතය 

දත්ත ගබඩා කර තබන්න, නැවත පරිශීලනය කරන්න, සරල සූත්‍ර භාවිතා කරන්න සහ දත්ත ඉදිරිපත් කිරීම් කරන්න නම් අවම වශයෙන් spreadsheet භාවිතා කිරීමේ මූලික හැකියාවක්වත් ඔබ සතුව තිබීම නම් අනිවාර්‍යයි. 

මේ නිසා යම් යම් වැඩකටයුතු සඳහා ඔබට ගතවෙන කාලය කැපීපෙනෙන ලෙස අඩුකරගන්න, දත්ත සාරාංශගත කරගන්න, අවශ්‍ය දත්ත ඉක්මණින් සොයාගන්න වගේම ලිපි ලේඛන නැතිවීමේ අවදානම අඩුකරගන්නත් ඔබට පුළුවන්. 

මීට අදාලව,

Apple Numbers

Google Sheets

Microsoft Excel වැනි spreadsheet වර්ග අද වෙද්දි ඉතාම ජනප්‍රියත්වයට පත්වෙලා තියෙනවා. 

  • Communication tools (සන්නිවේදන මෙවලම්) හැසිරවීමේ හැකියාව

කාර්‍යාලය තුළ වගේම කාර්‍යාලයෙන් පිටත පුද්ගලයන් සමඟත් සන්නිවේදනය කිරීම අත්‍යාවශ්‍ය සහ ඔබ නිසිපරිදි ඇතිකර ගත යුතුම මූලික පරිඝනක හැකියාවන්ගෙන් එකක් විදිහට හඳුනාගන්න පුළුවන්. 

මේ සඳහා ඉංග්‍රීසි, දෙමළ හෝ වෙනත් සන්නිවේදන භාෂාවන් පිළිබඳ මූලික දැනුම වගේම කාර්‍යාලීය භාෂා යෙදුම් ගැන හැකියාවත් අවශ්‍ය වෙන බව ඔබට මතක් කරන්න කැමතියි. 

මේ සඳහා භාවිත කරන යෙදවුම් අතර, 

පණිවිඩ හුවමාරුව (chat) සඳහා Slack, Google Chat, Microsoft Teams, Discord සහ Facebook Workplace Chat

විද්‍යුත් පණිවිඩ හුවමාරුව සඳහා Gmail, Outlook සහ Apple Mail

සහ වීඩියෝ හමුවීම් / සම්මන්ත්‍රණ සඳහා Zoom, Google Meet, Microsoft Teams, Skype, RingCentral සහ BlueJeans වැනි උපාංග අද වෙද්දි ඉතාම ජනප්‍රියයි. 

  • Collaboration and project management (සහයෝගිතා සහ ව්‍යාපෘති කළමණාකරණ) හැකියාවන්

ඕනෑම සමාගමක ඒ සමාගමේ පොදු අරමුණ ඉටුකර ගැනීම සඳහා එක්ව වැඩකටයුතු කරන පිරිසක් දකින්න ලැබෙනවා. 

එම පොදු අරමුණ කරා ගමන් කිරීමේදී ඒ ඒ පුද්ගලයන්ට, දෙපාර්තුමේන්තු හෝ කණ්ඩායම් වලට පැවරී ඇති වැඩ කොටසක් තිබෙන බවත් ඔබ හොඳින්ම දන්නවා. 

අවසාන පොදු අරමුණ එහෙමත් නැත්නම් ඉලක්කය ඉෂ්ඨ කරගැනීමට නම් පුද්ගලයන් වශයෙන් තනි තනිව වගේම කණඩායම් සහ දෙපාර්තුමේන්තු වශයෙනුත් ඔවුන්ගේ වැඩ කොටස සාර්ථකව අවසන් කිරීම කළ යුතුයි. 

ඒ ගමන් මාර්ගය තුළ කණ්ඩායමක සමාජිකයින් අතර වගේම එක් එක් කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සන්නිවේදනය ඉතාම වැදගත්. 

මේ සඳහා අවශ්‍ය වෙන ව්‍යාපෘති කළමණාකරණ හැකියාවන් ඔබට තිබිය යුතුයි. එක් එක් පුද්ගලයන් කළ යුතු සහ දැනට අවසන් කළ ඇති වැඩ කොටස, අදාල දින සහ මතුවන විවිධ ගැටළු විසඳා ගැනීමට ව්‍යාපෘතියේ තොරතුරු එදිනෙදා සටහන් කරන්න පරිඝනක මෘදුකාංග භාවිතා කරන්න ඔබට පුළුවන්. 

ඒ අතර, 

Airtable

Asana

Google Workspace

Jira

Microsoft Teams

Salesforce

Dropbox, Google Drive, AWS Cloud, iCloud වැනි දත්ත ගබඩා කිරීමේ සහ බෙදාහැරීමේ උපාංග සහ

Trello වගේ මෘදුකාංග භාවිතා කරන්න පුළුවන්. 

මීට අමතරව Java, CSS, HTML, Python, SQL වැනි programming languages ගැන දැනුමක් ලබා තිබීමත් වැදගත් වෙන අවස්ථා ඔබට ඕනෑතරම් මුණගැසේවී. 

මේ දැනුම ලබාගන්න අද වෙද්දි පිළිගත් සහතික පත්‍ර ලබාදෙන රජයේ සහ පුද්ගලික අංශයේ අධ්‍යාපන ආයතන වගේම අන්තර්ජාලය හරහා නොමිලේම ඉගෙන ගැනීම කරන්න පුළුවන් අවස්ථාත් ඕනෑ තරම් ඔබට හොයාගන්න පුළුවන්. 

ඒ සඳහා කිසිදු මූලික දැනුමක් ඔබට අවශ්‍ය වෙන්නෙ නෑ. 

ඉතිං, විවිධ හැකියාවන්ගෙන් යුතු පුද්ගලයෙක් ලෙස සේවා ස්ථානය තුළ සහ ඔබේ පෞද්ගලික ජීවිතයේ වටිනාකම වැඩිකරගන්න අපේ අද ලිපිය ඔබට ප්‍රයෝජනවත් වන්නට ඇතැයි අපි විශ්වාස කරනවා. 

මෙවැනිම වැදගත් ලිපියකුන් නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා  

Related Articles

Don't Miss


Latest Articles