මන්දාරම් නිම්නාවීට නිවෙසට යන්නට පික් මී කැබ් රියක් දමා දුන්නේය. වෙලාව පසුව ඇති නිසා ඇයව බසයක යවන්නට ඔහුට හිත දුන්නේ නැත. ඇයද එයට එකඟව ගමන් කිරීම නිසා මන්දාරම් යම් සැහැල්ලුවක් ලැබුවේය. ඕ පික් මී රියට ගොඩ වන්නට පෙර තමා දෙස ආපසු හැරී බැලීමෙන් මන්දාරම් ඉතා කුඩා ආලෝකයක් සොයා ගත්තේය.
” මිස් ඊට පස්සේ හවස් වරුව පුදුම සතුටින් හිටියේ… කෝල් එකකත් හිටියා පැයක්ම විතර …. ෆ්‍රිජ් එකේ අලුත් චොක්ලට් වගයකුත් තිබ්බා….ආයේ මිස්ගේ අල්මාරියේත් බෑග් වගයක් තිබුණා…… බලන්නකෝ එව්වා ඔයා ගෙනාපුවද කියලා… අලුත්ම පොත් වගේකුත් මිස්ගේ ඇඳේ තිබුණා…. මං එව්වා ගැන ඇහුවේ නෑ…. මේක ලොකු දෙයක් නෙවෙයිද කියන්න මට තේරෙන්නේ නෑ .. ඒත් දැන් කාලේ අහන්න දකින්න වෙන දේවල් එක්ක මේක ගැන නොකියා ඉන්නෙක වැරදියි හිතුන නිසා කිව්වේ… ඒක වරදක් විදියට දැනෙනවා නම් සමාවෙන්න .. මට දැනෙන විදියට මිස් පොඩි ළමයෙක් වගේ .. ඉක්මනට රැවටෙන්න පුලුවන් …….අනෙක් අතට මිස්ව රවට්ටගෙන කෙනෙක්ට කර කියා ගන්න සෑහෙන්න දේවල් තියෙනවා….”
මන්දාරම්ට නිම්නාවීගේ හඬ යලි යලි ඇසෙන්නට ගෙන තිබුණි. අම්මාගේ ජීවිතයට තමා නොදන්නා යම් සෙවනැල්ලක් වැටී ඇති බවට මන්දාරම්ට සැක නැත. එසේම අම්මා කිසිදිනෙක නොවූ තරමේ හුදෙකලා වීමක් වෙනුවෙන් උත්සාහ කරමින් සිටින බවද ඔහුට සිතුණි. අම්මාගේ රිය අනතුරද සැනින් සිහි වූයේය.
වට්සැප් ඔස්සේ නිම්නාවි එවා තිබූ අංකය දෙසද බලා උන්නේය. ඒ අංකය ඇති මෝටර් රිය වෙන් කරවාගෙන ඇත්තේ කවුරුන්දැයි සොයාගන්නට එම ආයතනයේ කිසිවෙකු සොයා ගත යුතු බවද සිතා ගත්තේය.
චානක පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් ඉවසා උන් මන්දාරම් වහාම ඔහුට නිම්නාවී පැවසූ සියල්ල කීවේය. චානකද එය අසා උන්නේ දෑස් නළලේ තියාගෙනය. නැන්දා මෙතරම් සැලසුම් සහගත ලෙස දේවල් සිදු කරමින් මුණ ගැසෙන්නට උත්සාහ කරන්නේ කවුරුන්දැයි චානකටද වැටහුනේ නැත. අනෙක ඕ ඉන්නේ එවන් හැංගිමුත්තම් කල යුතු වයසක නොවේය.
මන්දාරම් තවමත් සිටින්නේ කාර්යාලයට ගොස් පැමිණි ඇඳුම් සමඟින්මය. ඔහු කෙතරම් පීඩනයක සිටිනවාදැයි සැක නැත. අනෙක් අතට නැන්දා රිය අනතුරට මුහුණ දුන් දා සිදුවූයේ කුමක්දැයි තවම හරි හැටි යන්නේද නැත. ඒ සිදුවීම සහ මේ සිදුවීමේ යම් බැඳීමක් තිබෙනවාද විය හැක. චානක මන්දාරම්ට පිටුපා ඇවිද යමින් සිට ගත්තේය. මෙවෙලෙහි තමා වගකීම දැරිය යුතු වග වටහා ගත්තේය.
” අපිට දැනට තියෙන ප්ල්ස් පොයින්ට් එක තමයි බං නිම්නාවී … ඒකි සමහරවිට රට වැඩ කරපු එකියක් නිසා වෙන්නැති, පොඩි මෙව්වා එකක් තියෙනවා.. එහෙම නොවෙන්න සාමාන්‍ය මේඩ් කෙනෙක් මෙච්චර ඩිටෙක්ටිව් වෙන්නේ නෑ බං .. උඹට කියන්න .මට තිබ්බ සැකේ එහෙමමයි බං ඒකි ගැන.. මේ සීන් එකෙන් ඒ සැකේ තව වැඩි වුනා ඇත්තටම . මම ඒකි ගැනත් ඇහැ ගහගෙන ඉන්නේ..
.. අහපංකෝ.. නිම්නාවී ගැන සැකේ පැත්තකට දාමු .. අපට වැදගත් මේක … ඒකි අවධානෙන් ඉන්නවා… ඒකිට දේවල් නෝට් වෙනවා…. මාත් ඉන්නම් හෙට, අපි ඒකිට කතා කරමු …. අම්මගෙන් දැනට මේ මුකුත් අහන්න යන්නෙපා …. පොඩි ප්ලෑන් එකක් ගහලා වැඩ කරමු ….”
” මට තේරෙන්නේ නැ බං …හිතපං …. තාත්තා සූසයිඩ් කරගත්තේ ඇයි කියලා, මම තවම දන්නේ නෑ බං … තාම දන්නේ නෑ …. මට තව අඳුරු හෙවනැල්ලක් පේනවා බං ….”
මන්දාරම් දණහිස් මත රැඳවූ දෑත් මත හිස ඉතා තදින් කඩා වැටෙන්නට දුන්නේය.
” පිස්සුද බං උඹට …. අංකල්ට බිස්නස් ඉශූස් තිබුණා… ඉන්ශුවරන්ස් එකක් ක්ලියර් නොවෙන අවුල තිබුණා.. ඔක්කොමත් හරි, අර බ්ලැක් මනී සීන් එකක් ඇදිලා තිබුනා…. අංකල් ඔක්කොම අතාරින්න තීරණය කරේ ඒ නිසා…. “
” ඒ උඹ දන්න දේවල් ටිකෙන් කියන දේවල් ඔය බං … තාත්තා නැති වෙන්න කලින් එයාගෙයි අම්මගෙයි මොකක් හරි හිස් තැනක් හැදිලා තිබුණා බං ….. ඒ හිස් තැන එක්ක අපේ අම්මා පට්ටම ඉන්ඩිපෙන්ඩන්ට් වුනා කියලා මට මතකයි .. තාත්තගෙන් අහන්නේ නැතුව ගෙදරින් එලියටවත් යන්නේ නැතුව උන්න එයා, තනියම දේවල් කරගන්න හුරු වෙන්න ගත්තා … තාත්තත් ඒ දේවල් වලට කිසිම රෙස්පොන්ස් එකක් දුන්නේ නෑ … ඒ තියා අම්මා මට තාත්තාට ලං වෙන්න තිබ්බ ඉඩ පවා ඇහිරුවා ..”
” තාත්තා දැන් ගිහින් ඉවරයි බං … උඹ ආයේ ආයේ ඒ සිද්ධි අදින එක තේරුමක් නෑ …”
” ඒකයි මේකයි ගැලපෙනවා කියලා මට හිතෙනවා නම් මම මොකක්ද කරන්නේ බං … අම්මා මට මොකක්ම හරි හංගනවා කියලා මට හොඳටම දැනෙනවා නම් මොකක්ද මං කරන්නේ ?…”
” හරි හරි බං … උබේ අම්මා වුනත්, උඹට ඒ ජීවිතේට ඕනෑවට වඩා අත දාන්න බැහැනේ බං…”
” ඇයි බං බැරි ?…”
” අනේ තේරුම් ගනින් බං … අම්මා වුනත් ඒ ස්වාධීන ගෑණියෙක් …. කොයි හරි වෙලාවක මේ ගෙදරින් එලියට බැහැලා තමන් කැමති තැනක යන තැන ඉඳන්, තව සෑහෙන්න දේවල් ඒ ස්වාධීනකමට අයිතියි බං … “
මන්දාරම් කමිසයේ බොත්තම් එකින් එක ගලවා කමිසය ගලවා සයනය මතට විසි කලේය.
” මට තේරෙන්නේ නෑ බං ….”
” හරි උඹ වොශ් එකක් දාගනින් … මං රෑට කන්න මොනා හරි හදන්නම්.. නැන්දා නිදි .. උඹ පැටලෙන්න යන්නේ නැතුව පාඩුවේ හිටපං …………”
මන්දාරම් නාන කාමරය තුලට වැදුණේය. ශවරය යටින් සිට ගත්තේය. අභ්‍යන්තර දැවීම නිවෙන්නේ නැති බව දැනේ.
” මිස් හවස් වරුව පුදුම සතුටින් හිටියේ… කෝල් එකකත් හිටියා පැයක්ම විතර..”
නිම්නාවීගේ ස්වරය යළි ඔහුගේ සිත තුල නින්නාද දෙන්නට ගත්තේය. මන්දාරම් දෑස් මිරිකා හැරියේය. තමා පිළිගන්නට අකමැති වුවද, සිතන්නටවත් අකමැති වුවද, දැන් තමා යමක් පිළිගන්නට උත්සාහ කර බැලිය යුතු බව මන්දාරම්ට වැටහෙන්නේය.
අම්මා තාත්තාගේ මරණයෙන් පසු තමා නොදන්නා කිසිවෙකු සමඟ යම් සම්බන්ධතාවයක් අරඹා ඇතිද යන්න තවදුරටත් හිතෙහි මතු වෙන්නට නොදී සඟවාගෙන සිටිය යුතු කාරනාවක් නොවන බව මන්දාරම්ට වැටහේ. අම්මා ඔහු මුනගැසෙන්නටද, ඔහු අම්මා මුණගැසෙන්නටද සෑහෙන කාලයක පටන් වෙලාව වෙන් කරන්නට ඇඨ්හි බවටද සැක නැත.
” ඇයි අම්මා ඔයා මට හොරෙන් මේ හැමදේම කරන්නේ ?… අපි කොයි තරම් දේවල් කතා කරනවාද?.. එහෙම එකේ ඇයි ඔයාට බැරි මා එක්ක කතා කරන්න … ඇයි බැරි මාත් එක්ක කියන්න … ඔයාගේ ජීවිතේ මං එච්චරටම දුර කෙනෙක්ද ?… ඔයාට ඕනි දේ මොක වුනත් ඇයි ඒක මාත් එක්ක කතා කරන්න බැරි අම්මා …?”
තමාටම නැගිටගන්නට නොහැකි තරමේ බිඳවැටීමක් දැනෙන බව මන්දාරම් වටහා ගත්තේය. අම්මාගේ ජීවිතයට තමා නිසා වන්නට ඇති පාඩුව පිළිබඳව සිතා බැලුවේය. ඇතැම්විට ඕ සියල්ල රහසේ තබා ගන්නට තීරණය කරන්නට ඇත්තේ තමා නිසාවෙන් ය. එලෙස නොවූවා නම්, අම්මාට තාත්තා මිය යෑමෙන් පසු ඇය තනා ගන්නට බලාපොරොත්තු වූ ලෝකයකට යන්නට ඉඩ තිබුණි.
මන්දාරම් නාන කාමරයෙන් පිටතට පැමිණියේ චානක ඔහුට කතා කරාටද පසුවය. ඔහුට අවැසිව තිබුණේ හුදෙකලාවේ ගිලී ඉන්නය. ලෝකයේ කිසිවක් සිදු නොවන්නා සේ ඉන්නය. තමා ට කිසිවක් නොදැනෙනවා සේ ඉන්නය.
ඔහු අම්මාට මුහුණ නොදීම නින්දට ගියේය. ස්වර්ණාට එහි යම් වෙනසක් දැනුනද, චානක මන්දාරම් උණ ගැනෙන්නට ලෙසින් පැවසූ බවත්, එනිසා කාමරයට නේන බවත් පවසා ඇගේ සිත සන්සුන් කලේය. එහෙත් ඕ උන්නේ නොසන්සුන්වය. නිම්නාවී මන්දාරම් හා කුමක් පැවසුවාදැයි යන සැකය ඒ නොසන්සුන්කම වැඩි කරමින් තිබුණි.
අපේක්ෂා ගුණරත්න