ඇක්ශන් ජැක්සන්

“තමුසෙලගෙ ලොකු ලයින් බලන්න නෙවෙයි නංගි මේ අපි කැම්පස් එන්නෙ. කරුණාකරලා මතක තියාගන්නවා සීනියර් බැච් එක නැත්තම් තමුසෙලට කුප්පියක්වත් දාන්න කෙනෙක් නෑ කියන එක. තමුසෙලා මේවට මේ රැග් රැග් කියන කිය ඩීන්ලා, ලෙක්චරර්ස්ලා ලඟට එහෙම ගිහිල්ල අපිට කෙලවන්න හැදුවට අපි ඒවට බයත් නෑ, අපි ඕවයින් සැලෙන්නෙ නෑ කියන එකත් අමතක කරන්න එපා.

අපේ සීනියර් අයියල අක්කල අපිට දේවල් කියල දුන්න හන්දා තමයි අපි අද මේ තැන්වල ඉන්නෙ. අපි මේ තොපිලට දෙන්න හදන්නෙත් අපේ සීනියර් බැච් එක අපිට ඒ විදියට දුන්න අත්දැකීම්. තමුසෙල හිතනවනම් මේ අපි තමුසෙලට කෙලවන්න හදනවා කියලා, කිසි ප්‍රශ්නයක් නෑ ඕන දෙයක් කරගනිං. හැබැයි කුප්පි දාගන්න කෙනෙක් නැතුව, එක්සෑම් රිපීට් එහෙම ලියන්න උනාම නාහෙන් අඬාගෙන එන්න එපා, ලෙක්චර් නෝට්ස් අරව මේව ඉල්ලගෙන”

ඔය කෑගහන්නෙ සීනියර් බැච් එකේ තමන් හෙන ලෝඩ් කියලා හිතාගෙන ජ්‍යේෂ්ට උත්තමයෙක්. මනුස්සයගෙ කාඩ් එක බට්ටා. සයිස් එකෙන් එච්චර උස මහත ඩයල් එකකට බට්ටා කියලා නම දාලා තියෙන්නෙ ඒ කාඩ් එකේ නැට්ටට මොකක් හරි කුණුහරුප වචනයක් එක්කහු වෙලා තියෙන හන්දා කියන කතාව ෆ්‍රෙශන් බැච් එකේ භානුමතී දැනගත්තෙත් හැමදාම රැග්… ආහ් සොරි සොරි ජ්‍යේශ්ට උත්තමයින් විසින් පවත්වනු ලබන නවක නම්නීකරණ වැඩසටහන් මාලාව ඉවරවෙලා රෑ වෙලා හොස්ටල් වලට ගිහින් සීතල වතුරෙන් ඇඟ පත හෝදගන්න හොස්ටල් බාතෘම් පෝලිමට වෙලා ඉන්න අතරවාරයේ.

අද ඔය එකපාර සීනියර් බැච් එක ෆ්‍රෙශර් බැච් එකට කැම්පස් ඔඩිටෝරියම් එකේ හවස් වරුවෙ මීටින් එකක් ගන්න හේතු වුනේ සීනියර් බැච් එකට ආරංචියක් ගිහිල්ලලු ෆ්‍රෙශර් බැච් එකේ කවුරුහරි සීනියර් බැච් එක තමන්ට රැග් එක දෙනවා කියලා කම්ප්ලේන් එකක් දාපු කතාව.

ඒකට බණින්නයි, අවවාද උපදෙස් දෙන්නයි ඉතින් තව පැයක් විතර නාස්ති කරන්න වෙන නිසාම උදේ ඉඳල ලෙක්චර්ස් ගිහින්, ඒ අස්සෙ දිගට සායවල් ඇඳන් අපහසුවෙන් උන්නු ඇඟට ටිකක් පණක් ගන්න හිතාගෙන තමයි භානුමතී ටිකක් කොන්දෙ ඇද අරින්න ඇග ඩිංගක් හෙල්ලුවෙ.

“ඇයි නංගි හිටන් ඉන්න අමාරුද? එහෙට මෙහෙට කැරකෙන්නෙ?” කියලා කොහෙන්ද මන්දා කඩං පැන්න සීනියර් උත්තමයෙක් අහද්දි තමයි භානුමතිට ඇත්තටම තේරුණේ එයානම් හිටියෙම තමන්ගෙ මොකක් හරි ඇදයක් හොයාගන්න බලාගෙන විත්තිය.

දැන් දවස් ගාණක් තිස්සෙ ඉඳලා ඔය ජ්‍යේෂ්ට උත්තමයා, කාඩ් එක කිව්වොත් මදුරුවා කොහෙන් හරි මොකක් හරි එකකට තමන් එක්ක පැටලෙන්න බලාගෙන ඉන්න විත්තිය භානුමතීට නොතේරුනා නෙවෙයි. හැබැයි තමන් කිසි වරදක් කරන්නෙත් නැතුව මදුරුවා ඇවිත් ඇඟේ වහන්න හදන්නෙ ඇයි කියන පටලැවිල්ල ලෙහාගන්න එක නම් එච්චර ලේසි වැඩක් උනේ නෑ.

“උඹ අහලා නැද්ද සමහරු ආදරේ පෙන්නන්න හදන්නෙ ඔය විදියට නිකන් වෙනම ලෙවල් එකකින් ඇවිල්ලලුනෙ. සමහරවිට මදුරුවා අයියත් ඔය බැනලා කරලා පෙන්නන්න හදන්නෙ මිනිහා තමුන්ට ආදරෙයි කියලද දන්නෙ නැ” කියල හැමදාම රෑට හොස්ටල් ඇවිල්ලා ඇඟ පත හෝදගන්න අතරවාරෙ කෙල්ලො සෙට් එක භානුමතීට විහිලු කරන්න අමතක කරෙත් නෑ.

ඒ වුනාට භානුමතී නම් ඒ විහිලුවලට එච්චර ආස ඌනෙත් නෑ. අමාරුවෙන් දෙවනි පාර උසස් පෙල පාස් වෙලා කැම්පස් ආවෙ ඒ වැඩේ කරගෙන ගෙදර යන්න බලාගෙන. තාත්තට හොඳටම සනීප නෑ. අම්මා නැති ගෙදර අක්කා තමයි ඔක්කොම විය හියදම් බලන්නෙයි ගෙදර වැඩ පල කරන්නෙයි තාත්තගෙ සාත්තු සපායම කරන්නෙයි. භානුමතීට ඕන එකම දේ ගුරු පත්විමක් හරි හදාගෙන අක්කගෙ උරහිස් දෙකේ රැඳිලා තියෙන ඔය බර කන්දෙන් ඩිංගක් හරි අඩු කරන්න මිසක් කැම්පස් ආවා කියල ගෙදර ඔක්කොම දේවල් අමතක කරලා ලව් කරන්න නෙවෙයි.

“ඇයි නංගි ඇඹරෙන්නෙ, ඇඟට අමාරුද? කොන්දෙ තෙල් ටිකක් ගාන්නද?” කියලා නොහොබිනා තාලෙට විහිලු කර කර එන මදුරුවාගෙ වචනවලට හිනාවෙන්නත් තව සෙට් එකක් සැදී පැහැදී උන්නා.

භානුමතී ඉස්සරහට ආව මදුරුවා හරියටම භානුමතීගෙ ඇස් ඉස්සරහින් හිටගෙන ඈත හිටගෙන උන්නු වැඩිය ප්‍රසිද්ධ නැති, වැඩෛ කතාබහක් නැති සීනියර් කෙනෙක්ව පෙන්නලා භානුමතීගෙන් ඇහුවා.

“අර අයියගෙ කාඩ් එක කියපං” කියලා

“මතක නෑ අයියෙ”කියලා භානුමතී කිව්වෙ ඇත්තටමයි. ඇත්තටම මතක තිබ්බෙ නැත්තම් ඉතින් කරන්න දෙයක් නෑ නේද කියල හිතුව මිසක්කා ඊලඟට මේ මිනිහා තමන්ට බණීවි කියන එක ගැනවත් භානුමති හිතුවෙ නෑ.

“සීනියර් බැච් එකේ හැම කෙනෙක්ගෙම කාඩ් මතක තියාගන්න කියලා උඹලාට අපි කිව්වා නේද? ලැජ්ජයි යකෝ ලැජ්ජයි. අපිට තාම අපේ සුපර් සීනියර් බැච් එකේ අයියලගෙ කාඩ් පවා මතකයි. උඹලට කැම්පස් ඇවිත් මාස කීයද අපේ කාඩ්වත් මතක නෑ” කියාගෙන ආපහු වතාවක් මුලු බැච් එකේ හැමෝගෙන්ම අයියල අක්කලගෙ කාඩ් අහගෙන අහගෙන යද්දි බැච් එකේම අය තරහ පිරිච්ච මූණු වලින් තමන් දිහා බලද්දි, ගෙදර යන අතරවාරෙ ඇඟට නොදැනෙන්නෙ අනං මනං කියද්දි භානුමතීට හයියෙන් කෑගහලා අඬන්න හිතුනා. ඒත් කඳුලු හිරකරගෙන හිටියා.

නවක නම්නීකරණ වැඩසටහන් අවසන් වෙලා ෆ්‍රෙශර් බැච් එක කැම්පස් එකට පිලි අරගනිද්දිත් එදා තමන්ගෙ බැච් එකේ අයම තමන් දිහා බලපු විදිය වගේම මදුරුවා හිනාවෙවී තමන් දිහා බලාගෙන උන්නු විදිය අමතක කරන්න භානුමතීට පුලුවන් උනේ නෑ.

“මං ඔයාට කැමතියි නංගි, මං රැග් සීසන් කාලෙත් ඔයාව වැඩිපුර එක එක ඒවට අල්ලගත්තෙ මට ඔයාව ස්පෙශල් කියලා කියන්න” කියලා මදුරුවා ඇවිල්ලා කියද්දි භානුමතී උත්තර දෙන්න කලින් හොඳට හිනාවුනා.

“මම දෙමල තමයි අයියෙ. දෙමල ෆිල්ම් වල නම් පෙන්නනවා තමයි රස්තියාදුකාරයා වගේ ඉන්න, කෙල්ලට බනින, සැර කරන රැස්පට් දාන ඇක්ශන් ජැක්සන් කොල්ලට කෙල්ල පස්සෙ කැමති වෙනවා. ඒවා ඉතින් ෆිල්ම් වල වෙන ඒවනෙ. ඇත්ත ජීවිතේ දෙමල කෙල්ලො එහෙම ගොංකම් කරන්නෙ නෑ. දෙමල කෙල්ලො විතරක් නෙවෙයි කවුරුවත් එහෙම කරන්නෙ නෑ. ඒ නිසා සොරි. මං කැමති නෑ.

අයියා මාව රැග් කලේ මට ආදරේ නිසාලු නේද? 

 මට සීනියර් බැච් එකේ අයියා කෙනෙක්ගෙ කාඩ් එක අමතක උනා කියල බැචස් දෙකක් ඉස්සරහා මට ලැජ්ජ කරපු අයියා ඔයා ෆ්‍රෙශර් බැච් එකේ ඉද්දි රැග් එක ඉවසන්න බෑ කියලා මාසයක් කැම්පස් එන්නෙ නැතුව උන්නලු නේද?” එහෙම කියලා ගිය භානුමතී දිහා බලාගෙන උන්නු මදුරුවා හීන් සැරේ පියාඹලා හැංගිලා ගියා

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles