රන් මල් දම් – 23


මන්දාරම් සෑහෙන තරමේ තොරතුරු පවසා ජිනේන්ද්‍රගේ විශ්වාසය දිනා ගනිමින් උන්නේය. ඔහුට අන් විකල්පයක් වූයේ නැත. මෙවෙලෙහි කල යුත්තේ මෙයමද හරි හැටි නොදැනීම වුව මන්දාරම් ඒ තීරණය ගෙන උන්නේය.

” අම්මාගේ ෆොටෝ එකක් තියෙනවා නම් අපේ තාත්තාගෙන් අහමු බං පෙන්නලා .. එයාලාගේ වට්සැප් ගෲප් එකක් තියෙනවා ලේන් එකේ ඉන්න සෙට් එකගේ.. ඒකට දාලා වුනත් අපිට අහන්න පුලුවන් අම්මාව දන්න කෙනෙක් ඉන්නවාද කියලා… ඉස්කෝලේ යාලුවෙක් හොයනවා වගේ සිද්දියක් එක්ක දාමු .ඒකෙන් සමහරවිට මොකක්ම හරි ක්ලූ එකක් සෙට් වෙයි .. ඒ නැතත් මෙහෙ අපේ වට්සැප් එකකුත් තියෙනවා…මට ඒකෙත් අහන්න පුලුවන් .. පලවෙනි පියවර විදියට ඒක කරලා බලමුකෝ .. …”
” අනේ මචං මට මෙවෙලේ වෙන්න ඕනිත් එක්කමයි … අපේ අම්මා මේ පැත්තේ ඉන්නවා දැකලාවත් තියෙන කෙනෙක් හමු වුනොත් මේ සිද්දිය මට පොඩ්ඩක් ක්ලියර් කරගන්න පුලුවන් ..මට දැනගන්න ඕනි අම්මා ඇයි මට හොරෙන් මේ ගමන් යන්නේ එන්නේ කියලා.. මට හංගගෙන ඇයි මෙහෙම සම්බන්ධතාවයක් මේන්ටේන් කරන්නේ කියලා .. අපේ අම්මලා සමහර වෙලාවට අපි ගැන ඔනෑවට වඩා පොඩිවට හිතලා, ඔක්කොම බර එයාලා ගන්නවානේ බං .”
මන්දාරම් ජිනේන්ද්‍ර වෙත ස්තූතිවන්ත බව පුරවාගත් බැල්මක් පා කරමින් කීවේය.
ජිනේන්ද්‍රද හිස සලා එයට එකඟ බව පෙන්වූයේය. දැන් මන්දාරම්ට අවශ්‍ය අම්මා අනතුරට පත් කල කෙනා සොයා ගැනීම ට වඩා එහා කතන්දරයක් සොයා ගැනීම නිසා ඔහුට උදව් කිරීමේ වරදක් ජිනේන්ද්‍ර දුටුවේ නැත. ඒ නැතත් අම්මලා ගැන වද වෙන දරුවන්ගේ හැඟීම් ජිනේන්ද්‍රටද තදින්ම වැටහෙන්නේය.
“කෝකටත් දිලාට කියලා තියන්නෝනා …”
ජිනේන්ද්‍ර මන්දාරම් පිටව යන අතරේ සිතුවේ, මන්දාරම් තම වට්සැප් ගිණුමට එවන ලද ඔහුගේ අම්මාගේ සේයාරුව දෙස බලන අතරේමය. එහි ඔහුට වටහා ගන්නට නොහැකි දයාබර ඇස් යුවලක් තමා දෙස බලා සිටින බව වැටහෙද්ද්දී ජිනේන්ද්‍ර අසිහියෙන් මෙන් පුටුවට වැටුනේය. ජිනේන්ද්‍රට දැනුනේ සියල්ල අඳුරුව යන බවය. ඒ අඳුරෙන් ඔහු යලි ආලෝකයට අදිමින් අර ඇස් යුවල මතු වී ආවේය.
ඒ තාත්තාගේ ජංගම දුරකතනයේ තිබී අහම්බෙන් දුටු චායාරූප කිහිපයේ වූ කාන්තාවම බවට ජිනේන්ද්‍රට සැක නැත. ඔහු යලි යලිත් මන්දාරම් ගේ වට්සැප් ගිණුමෙන් එවා තිබූ චායාරූපය දෙස බැලුවේය. අවසානයේ ඒ රුව තහවුරු බව විශ්වාස නමුත්, ඔහු තාත්තාගේ කාමරය වෙත ට යන්නට නැගිට්ටේය. යළි හිඳගෙන සේයාරුව දෙස බැලුවේය.
තාත්තා උන්නේ නින්දකය. ජිනේන්ද්‍ර හඬ නොනැඟෙන්නට කාමරය තුළට ඇතුලු වී තාත්තාගේ ජංගම දුරකතනයද ගෙන යළි සාලයට ආවේය. සෙටියට වැටුණේය. යළි නැගිට්ටේය. ඔහුගේ කාමරයටම ගියේය.
තාත්තාගෙ ජංගම දුරකතනයේ ගැලරිය විවෘත කරද්දී තම හද ගැස්ම අසාමාන්‍ය වැඩි වීමක ඇති බව ජිනේන්ද්‍ර අත් වින්දේය. සියල්ලම මින් පසු වෙනස් වී යනු ඇති බව ඔහුට හැඟුණි. කාලයක් තිස්සේ සාමකාමීව තිබූ ජීවිත පැටලී යා හැකි බව ඔහුට දැණුණි. දැන් දිලුම්, නිම්නාවී අක්කා, මන්දාරම්, තමා, තාත්තා සහ මන්දාරම්ගේ අම්මා මේ පැටලීම තුලට වැටී අවසන් වගද ඔහු වටහා ගත්තේය. ඔහු ගැලරිය විවෘත කලේය. එහි වූ ෆෝල්ඩර එකින් එක බලමින් ආපස්සට ආවේය. ජිනේන්ද්‍රට දැනුනේ තමා මහා සොරකමක යෙදෙන සොරෙකු බවය. ඇඟිලි පවා වෙවුලමින් තිබුණි.
ඉතින්.., මන්දාරම් පෙන්වූ රුවම එහි විය. ඒ සේයාරුව ඇතුලු ඒ දයාබර දෙනෙත් රැගත් සේයාරුවන් රැසක් එක් ෆෝල්ඩරයක් පිරෙන්නට විය. ඔහු වහා ඒ සේයාරුවන් සියල්ල වන සේ වීඩියෝ කරගත්තේය. ඒලෙස සිදුකරන්නේ ඇයිදැයි වැටහීමක් නොතිබුනා වුවද ඔහු එලෙස සිදු කලේය.
ඉන් පසුව ජිනේන්ද්‍ර වහා තාත්තාගේ ඇමතුම් ලැයිස්තුව බැලුවේය. එහි ස්වර්ණා ලෙසින් නම්ව තිබූ අංකය සටහන් කරගත්තේය. තාත්තාගේ ජංගම දුරකතන වහාම කාමරයෙන් ගොස් තැබුවේය. යළි කාමරයට ආවේය. වීඩියෝ කරගත් සේයාරුවන් නැරඹුවේය. ඔහුට අම්මා සිහි විය.
තාත්තාගේ වචනයක්වත් ඉක්මවා නොයන ඒ අහිංසක කාන්තාව ගැන උපන් වේදනාවෙන් ජිනේන්ද්‍රගේ හදවත මිරිකී ගියේය. අම්මා මියගොස් වසර අටක් පමන වනවා වුවද, තාත්තා මෙලෙසින් වීම ඔහුට දරා ගන්නට නොහැකි වේදනාවක් තනමින් තිබුණි. අම්මා තමා සහ තාත්තා වෙනුවෙන් ජීවිතය කෙතරම් නම් දරාගත්තාද ?.
ජංගම දුරකතනයේ සටහන් කරගත් අංකය දෙසද බලා උන් ජිනේන්ද්‍ර මින් පසුව කල යුත්තේ කුමක්දැයි සිතා ගන්නට නොහැකිව යහනේ පෙරලී දෑස් පියා ගත්තේය.
ඊළඟට කල යුත්තේ කුමක්දැයි යළි යළි කල්පනා කලේය. ඒ එක් එක් ක්‍රියාකාරකම නිසා ඇතිවෙන පසු ප්‍රතිපලද කල්පනා කලේය. අවසානයේ ඔහු තීරණය කලේය.
” හෙට මන්දාරම් මුණ ගැහෙනවා ….”
ජිනේන්ද්‍ර දිනයේ අනෙක් වැඩ කටයුතු වෙනුවෙන් නිවසින් පිට වූයේය. එහෙත් කිසිවක් කරගැනීම සඳහා වන මානසික ඒකාග්‍රතාවය ඔහු සතු වූයේ නැත. එනිසා ඔහු සවස මන්දාරම් ඇමතුවේය.
” මන්දාරම් ?….”
” ජිනේන්ද්‍ර …..?”
” මේ වෙලාවේ වැඩ කරන ගමන්ද ?…”
” ඔව් … ඒත් වෙලා තියෙනවා ….”
” නෑ .. එහෙම නෙවෙයි, මට ටිකක් කතා කරන්න ඕනි .. හවස වෙලා මට කැලණිය පැත්තේ එන්නත් පුලුවන් …..”
” මම දැන් ඉන්නේ මොරටුවේ ….”
” හවස ?….”
” මම කේ සෝන් එකෙන් ඉන්නම් …..”
මන්දාරම් ඇමතුම විසන්ධි කලේ තිගැස්මෙනි. ඔහු නිම්නාවී ඇමතුමක් දී අම්මා ගැන ඇහුවේය. අම්මා කිසිවෙකු සමඟ ඇමතුමක බව පවසද්දී ඒ තිගැස්ම දෙඟුණ විය. අම්මාගේ ජීවිතය ගැන යම් යම් ඉඟි දැනෙනවා වුවද කල යුත්තේ කුමක්දැයි මන්දාරම්ටද වැටහෙන්නේ නැත. අම්මා සන්තෝසයෙන් සිටින බව ඔහුටද පෙනේ. රිය අනතුරකට මුහුණ දී සිටිනවා වුවද, ඇය යම් මානසික ස්තාවරවීමක සිටින්නීය. ඒ සහනය සැලසුනේ තමා කෙරෙන් නොවන වග මන්දාරම්ට විශ්වාසය. අම්මා තමා හා සංවාදයන්හී පැටලීම පවා සෑහෙන දුරට අඩු කර , තමා මඟ හරිමින් සිටින බව මන්දාරම්ට හොඳින්ම වැටහී ඇත.
මන්දාරම් ජිනේන්ද්‍ර මුණ ගැසෙන්නට තීරණය කිරීම ගැන චානකටද කෙටි පණිවිඩයක් තියා කටුබැද්ද වෙත යන්නට පිටත් වූයේය. අම්මාට ඇමතුමක්ද ගත්තේය. අම්මා උන්නේ අන් ඇමතුමකය. පෙරලා සැනින් ඇමතුමක් ලැබුණි.
” කියන්න සුදු පුතේ …”
” අම්මා කෝල් එකකද හිටියේ ?…මම කලින් ගත්තා “
මන්දාරම්ගේ මුවින් එලෙස පැන්නේය. තමා එලෙසින් අම්මාව ප්‍රශ්න කල යුතු නොවන වග වැටහෙද්දී එලෙස විමසා අවසන්‍ය. ඒ ස්වරයද සීමාව ඉක්මවා යන බව ඔහුට වැටහුනේ තත්පර කිහිපයකට පසුවය.
” ඔව් ..”
අම්මාගේ ස්වරයද යම් තරමකින් දැඩි වූ වග මන්දාරම්ට වැටහුනේය.
” හරි අම්මේ … මම අද චුට්ටක් ලේට් වේවි … චානාට මම කිව්වා වේලාසන එන්න කියලා…. නිම්නාවීව යවන්න ….”
මන්දාරම් වහා කීවේය.
” හරි සුදු පුතේ … ගොඩක් රෑ වෙන්න එපා… වහිනවා හොඳටම ….”
” අම්මා ඇඳෙන් බහින්නේ නැතුව ඉන්න චානා එනකල් ..පරෙස්සමින් ඉන්න නිම්නාවී ගියාම.. .”
මන්දාරම් එලෙස පවසා තුම විසන්ධි කලේය. අම්මා තමාගෙන් දුරස්ව යන බව මන්දාරම්ට වැටහෙන්නේය. එහෙත්, එය සිදු වූයේ කොතැනක පටන්දැයි මන්දාරම්ට මතකයක් නැත.
අපේක්ෂා ගුණරත්න

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles