සතුටු මන්තර 01

0
9574

ට්‍රයිඩැක්ස් මිටියාවත ලස්සන ම ඉර බැහැගෙන යන වෙලාවට ය. ඉන් ඔබ්බෙහි පෙත් මගට එපිටින් පේන නො පෙනෙන මානයෙහි දිවෙන්නේ වෙල් යාය ය. උස් ගොඩනැගිලි ද ළඟ පාත තුරු හිස් ද නොවන නිසා යායක් අහස ඇස් ඉදිරියෙහි දිස් වේ. ට්‍රයිඩැක්ස් මිටියාවතේ බිම හිඳ, අත් දෙක පසුපසට දිගු කොට බිම තබා අඩක් ඇල වී ඒ වෙලාවට අහස දෙස බලා සිටින එක සයුරංගනා ගේ දවසේ සතුටයි. 

බටහිර අහස් මායිමේ ඈත තුරු හිස් වලට හිරු පහත් වී නො පෙනී යාමට පෙර අහස මනරම් රටා අඳී. ඒ බතික් මෝස්තර කිසිදු දෙදිනක එක වාගේ වන්නේ නැත. එක මොහොතක් හෝ අපතේ නො හැර සයුරංගනා ගේ ඇස් දෙක චමත්කාරය අවශෝෂණය කර ගනී. දැවැන්ත රක්ත වර්ණ ගෝලයක් බවට වෙස් වලා ගන්නා හිරු, ටික ටික තුරු ගොමුවට පහත් වෙමින් ගිලෙන්නට දරනා උත්සාහය කොයි තරම් බලා හිටියත් එපා වන්නේ නැත. සයුරංගනා නැගිට ගේ දෙසට පිය නගන්නේ නිවී සැනහෙන්නට යන අනන්ත අහස් අගාධයේ හුදෙකලාව සමග තවත් ටිකක් මුහු වී සිටියාට පස්සේ ය. 

හැමදාමත් ලොකු හුස්මක් හෙළා නැගී සිටියදී මේ අප්‍රමාණ අහස හා තමන් අතරේ සමානකමක් ඇතැයි ඇය ට සිතේ. අහසත් මේ අන්තිම නිමේශයේ මුදා හරින ශෝක සුසුම මුළු දවසක් පුරා දරා හිඳී. ගිනියම් ඉරකට ඉඩ දී, වලාකුළු සමග සිනහ වී, කවුරුවත් නො දන්නා කිසිවෙකු ට නො පෙනෙනා හුදෙකලාවක් අනන්ත අහස් අගාධයේ හිර කර ගනී. අහසකට නම් කල්පයක් හෝ දරා හිඳ එක මොහොතක කඩා වැටී සියල් බරින් නිදහස් වෙන්නට පුළුවන. දරා ගන්නට බැරි ම මොහොතක කෑ ගසමින් ද ඉකි ගසමින් ද හඬා නිදහස් වන්නට පුළුවන. නමුත් මේ වසර ගණනාව පුරා සිය නෙතින් එක කඳුළක් හෝ පිස නොලෑ බව සයුරංගනා ට මතක ය. 

“අම්මා…”

එසඳි ගේ හුරතල් හඬ ළඟ ළඟින් ඇසේ. ඇය හවස නින්දෙන් අවදි වී අම්මා නැති විට මේ පැත්තට එන්නේ හැන්දෑවට අම්මා ඉන්නේ ට්‍රයිඩැක්ස් මිටියාවතේ වර්ණවත් අහස යට බව දන්නා නිසා ය.

“මගෙ එසඳි බෝලෙ නැගිට්ටද සුදු වස්තුව…”

තමන් වෙත දිව ආ එසඳි ව වඩා ගත් සයුරංගා ඇය තදින් තුරුලු කොට ගෙන වටයක් කැරකුණා ය. හිස මඳක් පහළට හරවා, මූණ අහස දෙසට ඔසවා ගෙන එතකොට එසඳි කිකිණි හඬින් සිනහ වේ. හැන්දෑ සුළං රැල් මුහුණ මත දඟ පා කිති ගන්වන විට ඒ සිනහව මතු වන්නේ නිරායාසයෙනි. අහසත්, සුළගත්, එසඳි ගේ සිනහවත් එක ම විශ්වයක නො බිඳුණු අංග සේ සයුරංගනා ට දැනේ. 

“අපි ඇවිදිමු”

එසඳි දඟ පා සයුරංගා අතින් බිමට බැස ගත්තා ය. මේ පුංචි සුරංගනාව අහස සේ ම සයුරංගනා චමත්කාරයට පත් කරනා සජීවී වස්තුවයි. දැරිය අම්මා ගේ අත ගෙන ට්‍රයිඩැක්ස් මල් අතරින් කුඩා පියවර තැබුවා ය. මල් නො පෑගිය යුතු බව දැන් ඇය දනී. අම්මා ඇයට තරමට ම බිම පිපෙන ට්‍රයිඩැක්ස් මලකට ද ආදරේ ය. 

“කැලෑව”

සීයාපච්චි නම් සිනහ වෙවී කියන්නේ එසේ ය. දවසක් මේ කැලෑවට පොල් අතු දමා සීයාපච්චි ගිනි තබා, අම්මා හැඬු බව එසඳි ට මතක ය. මේ යායට ‘ට්‍රයිඩැක්ස් මිටියාවත’ යන නම තබා තියෙන්නේ සයුරංගනා ම ය. වෙන්දේසි වත්තේ එක ළඟ පිහිටි මේ පර්චස් ගණනාවට ම හිමිකරුවන් සිටිය ද කාලයක් තිස්සේ තවමත් ඒවායේ ගෙවල් තනා නැත. වැඩිපුර නො පෑගෙන බිම් යාය පුරා ට්‍රයිඩැක්ස් වැවී සිහින් නටු මතින් ලා කහ පැහැති කුඩා මල් දරා ගෙන හිඳී. කඳුකර ඩේසි මලක් තරමට සයුරංගනා ට මේ ට්‍රයිඩැක්ස් මලත් අගනේ ය. ඉඩම් හිමිකරුවන් ගෙවල් තනන්නට ආ දාක මේ සතුට ද අහිමි වන වග ඇය දනී.

“මල් ඔටුන්නක් හදල දෙන්නද”

“හා”

එසඳි ගේ, වසු පැටවකුගේ වන් ලොකු රවුම් තෙත පාට ඇස් ප්‍රීතියෙන් දැල්විණ. සයුරංගා පහත් වී බිම දණ ගසා දියණිය පපුවට තුරුලු කොට සිප වැළඳ ගත්තා ය. 

“මගෙ පණ”

“ඒ වුණාට අපාචිගෙ පණ මගෙ සුදු අම්ම නේ”

එසඳි ගේ කතාවට සයුරංගනා හඬ නගා සිනහ වූවා ය. දැරිය, සිය දීප්තිමත් නෙතු දල්වාන බලා සිටියා ය.

“මගෙ පැහිච්ච කෙල්ල”

බිම් කණ්ඩියක් බදා ගෙන වැවී තිබි රෝස පාට ඇන්ටිග්නන් මල් වැලක් කඩා ගත් සයුරංගනා, සුදුපාට පොඩිසිඤ්ඤොමරං මල් පොකුරු හා මුහු කොට මල් ඔටුන්නක් සාදා එසඳි ගේ හිස පැළඳුවා ය. 

“ඔය ඉන්නෙ දැං චූටි සුරංගනාවි වගේ”

ගිම්හාන් ගේ කළු පාට ස්විෆ්ට් රිය පෙත් මගින් මතු වූයේ එතකොට ම ය. 

“අපාචී…”

එසඳි කෑගැසුවා ය. සයුරංගනා මඳහස් වතකින් බලා සිටියා ය. මෝටර් රථය ට්‍රයිඩැක්ස් මිටියාවත අයිනෙන් ගුරු පාරේ ඉහළට යන විට එසඳි අම්මා ව ද අමතක කොට ගේ දෙසට දිව ගියා ය. සයුරංගනා හෙමි හෙමිහිට මිටියාවත දිග ඉහළට ගියා ය.

“අපාචී..”

ගිම්හාන් දියණිය වඩා ගෙන ඇගේ සුරතල් ළදරු මුහුණ සිප ගත්තේ ය. 

“අම්මව දාල දුවං ආව නේ”

“අම්ම මාව සුරංගනාවක් කළා”

“ඔයා ඉතිං අප්පච්චිගෙ සුරංගනාව තමයි”

“අපාචිගෙ පණ අම්ම නේ…මං කිව්වහම අම්ම නෑ කියනෝ”

රියෙන් බට යශෝදර සිය අඩුම කුඩුම ගෙන ඔහු ගේ ගෙදරට ගියේ එසඳි ගේ බඩ සිඹ ඇයව හොඳට ම සිනහ ගන්වා ය. 

“එහෙනං රෑට සෙට් වෙමු ආ”

යන ගමන් ඔහු ගිම්හාන් ට කීවේ ය. ඩිකියෙහි තිබූ බෑග් මලු කිහිපය පිටතට ගත් ගිම්හාන් ඒවා සයුරංගනා අතට දුන්නේ ය. එක අතකින් දියණිය වඩා ගෙන, අනිත් අතින් බිරිඳ ගේ උරහිස වට අත දමාගෙන ඔහු ගෙතුළට ආවේ දවස පුරා රැකියාවත් සමග ඔට්ටු වී වෙහෙසී සිය නිවන සොයා එන සැබෑ ස්වාමි පුරුෂයෙකු ගේ සැනසීමෙනි.

“බලන්න රංගි මුකුත් අඩුපාඩු තියනවද කියල”

ගිම්හාන් ඔය කියන්නේ බෑග් මලු වල ඇති බඩු ගැන ය. හවසට කාර්යාලය නිම වී එන විට ගෙදරට උවමනා සියලු කලමනා රැගෙන එන්නේ ඔහු ය. පැරසිටමෝල් පෙති දෙකක් ගන්නට තරමටවත් ඔහු ඇයව කඩයකට යවා නැත. එළවළු මස් මාළු ඇතුළු ගෙදර කලමනා වලට අමතරව සයුරංගනා ට අවශ්‍ය වේ යයි සිතෙන ශැම්පු, කන්ඩිශනර්, ක්‍රීම් වර්ග, ෆේස් වොශ්, බොඩි ලෝශන්, ස්ක්‍රබ් වර්ග පමණකුදු නොව ඇය වෙනුවෙන් සනීපාරක්ෂක තුවා පැකට්ටුව පවා ගෙන එන්නේ  ඔහු ය. එසේ ඔහු ගෙනවිත් ගොඩගසන ඇතැම් ආලේපන වර්ග ඇය කිසි දාක ඇඟ ගල්වා නැත. නමුත් අබ මල් රේණුවක තරම් අඩුපාඩුවක් ඇයට නො දැනෙන්නට හැරීම ගිම්හාන් ගේ එක ම බලාපොරොත්තුවයි.

“එළවළු අදත් ගෙනත්නෙ. තිබුණත් එක්ක”

සයුරංගනා බෑග් එකක් ඇර ඊට එබී කීවා ය.

“කමක් නෑ. ෆ්‍රිජ් එකේ දාල තියන්න. ඔයා ආස නිසා කැශියු මාශ්මෙලෝ මික්ස් කරපු ඉමෝරිච් චොක්ලට් අයිස්ක්‍රීම් එකක් ගෙනත් ඇති”

අයිස්ක්‍රීම් එක අධිශීතකරණ කොටසට දැමූ සයුරංගනා හීටර ජෝගුවට වතුර දමා විදුලි පේනුව සවි කළා ය. දිය නාගෙන පැමිණ යහමින් මෝල්ටඩ් මිල්ක් දැමූ තේ එකක් බොන එක ගිම්හාන් ගේ පුරුද්ද ය. වෘත්තීය ජීවිතය නිමා කොට විත් ඔහු ගෘහ ජීවිතය අරඹන්නේ ඒ සීතල ස්නානයෙන් හා උණුසුම් මෝල්ටඩ් මිල්ක් කෝප්පයෙනි. 

“රෑට යශෝදරලගෙ ගෙවල් පැත්තට යමු”

තේ එක ගන්නා ගමන්, ටවල් එක කරේ දමා ගත් වන ගිම්හාන් කීවේ ය.

“මට ඇහුණා කියං යනව සෙට් වෙමු කියල. ඇයි ඒ…”

“නෑ…විශේෂ හේතුවක් නෑ. දන්නැද්ද ඉතිං උන්ට සෙට් වෙලා සින්දුවක් කියන්න විශේෂ හේතුවක් ඕන නෑනෙ”

ගිම්හාන් හා යශෝදර පාසල් මිතුරන් ය. පාසලෙන් සමු ගත්තාට පස්සේ ද ඔවුන් ගේ මිතුරුකම් වල වෙනසක් සිදු වූයේ නැත. ගිම්හාන් ඉඩමක් මිල දී ගෙන ගෙයක් හදන්නට සූදානම් වෙත්දී මේ ඉඩම කැබැල්ල ගැන ඔත්තුව දුන්නේ ද යශෝදර ය. පෙත් මගින් එහා පැත්ත ගම්වාසීන් ගේ ගෙවල් ය. මෙහා පැත්තේ ඉඩම් යාය හිමිකරු විසින් වෙන්දේසි ආයතනයකට විකිණීමෙන් පසු කැබලි කොට විකුණා තිබේ. ගිම්හාන්  ට ලැබුණේ ඉතිරි වී තිබි අවසාන බිම් කොටස යි. නමුත් කලින් ම විකිණුන බොහෝ ඉඩම් වල තවමත් ගෙවල් හැදී නැත. ඒ බොහොමයක් සිය දරුවන් වෙනුවෙන් අරන් දැමූ ඉඩම් කැබලි වේ. 

ගිම්හාන් විවාහයට පෙර ම අංග සම්පූර්ණ ගෙයක් සැදුවේ ය. විවාහ වූ දිනෙක සිය බිරිඳ රැජිණක සේ තබනවා ය යන්න කාලයක් තිස්සේ ඔහු ගේ සිතේ තිබූ අදහසකි. සයුරංගනා වූ කලී ගිම්හාන් ගේ අක්කා විවාපත් ව සිටි පාලිත ගේ දුරින් ඥාති වන සහෝදරියකි. උසස් පෙළ ලිවීමෙන් පස්සේ ඇය ගමේ දහම් පාසලේ උගන්වමින් සිටියා ය. අක්කලා ගේ ගෙදර ගිය විට යුවතිය දැක මේ විවාහ යෝජනාව ඉදිරිපත් කළේ ගිම්හාන් ය. ඒ වෙත්දී ඔහු සිය සිව් වසරක පෙම් සබඳකම බිඳ වැටී හිත රිදවා ගෙන සිටියේ ය. ගිම්හාන් ට ඕන වුණේ නිවී සැනසිල්ලේ යුග දිවියකට එළඹී, අනාගතය සාමකාමීව ගත කරන්නට ය.

පාසලෙන් සමු ගත් ගමන් ළපටි හා තැලී පොඩි නොවුණ යුවතියක වූ සයුරංගනා, ගෑනු දැරියන් තිදෙනෙකුගෙන් හා පිරිමි දරුවන් තිදෙනෙකුගෙන් යුත් දරු බරින් වැඩි පවුලක දෙවන දරුවා වූවා ය. සයුරංගනා ගේ අයියා ගරාජයක වැඩ කරමින් සිටියේ ය. පඩි පෙළ වාගේ උන් අනිත් ළමයින් හතර දෙනා ම පාසල් යන අය වූහ. ඉතින් වඩිමල් ගෑනු ළමයා ගෙන් නිදහස් වෙන්නට ලැබෙන එක ඒ දෙමාපියන්ට සහනයක් ම විය. අනිත් අතට ගිම්හාන් වැනි තරුණයෙකු වෙතින් මේ යෝජනාව ඉදිරිපත් වූ නිසා ඔවුන්ට හිතන්නට දෙයක් වූයේ ම නැත. පොරොන්දම් ද ඉතා හොඳින් ගැලපිණ. ඒ අනුව ඉක්මනින් ම විවාහය සිදු වූයේ ය. අලුත් ම ගෙදරක කුළ දියණිය වූ සයුරංගනා ට අන්න අරක යයි පෙන්විය හැකි අංශුවක හෝ අඩුපාඩුවක් දැනෙන්නට ගිම්හාන් ඉඩ තැබුවේ නැත. ඇය ද ඉත සිතින් සැමියා වෙනුවෙන් සියල් යුතුකම් ඉටු කළා ය. සුරංගනාවක් වන් දියණියක ද බිහි කළා ය. 

“අප්පච්චි ගෙදර ගිහින් එන්න කියල ගියා. තාමනං ආවෙ නෑ”

“එයි”

ගිම්හාන් පිළිතුරු දුන්නේ ඕනෑවට එපාවට ය. ඔහු ගේ අප්පච්චී ගැන ඒ හැටි සොයා බැලීමක් කරන්නට උවමනා නැති බව ඔහු දනී. හෙතෙම තවමත් ශක්තිවන්ත මිනිසෙකි. මහ ගෙදර නංගී ට ලියා දීමෙන් පස්සේ මව් පිය දෙදෙනාව ම තමන් වෙත තබා ගන්නට ගිම්හාන් උත්සාහ කළේ ය. නමුත් අම්මා සිය දියණිය සමග නතර වන්නට තීරණය කළා ය.

“මොනා වුණත් නැන්දම්ම ලේලි ප්‍රශ්න ඇති කර ගන්න ඕන නෑනෙ. අම්මයි දුවයි මරා ගත්තත් කමක් නෑ”

තිලකා සිය ස්ථාවරය වෙනස් නොකළෙන් ජයරත්න පමණක් පුත්‍රයා වෙතට පැමිණියේ ය. සයුරංගනා කියන්නේ නැන්දම්මාට වුව වචනයක් කියනා විදිහේ ලේලියක නොවන බව ජයරත්න නම් ඉක්මනින් ම පසක් කොට ගත්තේ ය.

 “රෑට උයන්න එපා රංගි. අරහෙන් කමු”

එසඳි සමගින් සෙල්ලම් කරන්නට බිම හිඳ ගන්නා ගමන් ගිම්හාන් අත වූ කෝප්පය සයුරංගනා ට දුන්නේ ය.

“අපාචි එන්න එන්න. හෝස් රයිඩ් එකක් යං”

හැන්දෑවට ගිම්හාන් අශ්වයා විය යුතු ය. එසඳි තාත්තා ගේ පිට මතට නැග ගත්තා ය.

“අස්ස ගුඩුං ගුඩුං ගුඩුං…යං අස්සය යං”

සයුරංගනා බලා සිටියේ මඳහසකිනි. 

“පවු පුතේ අප්පච්චිගෙ කකුල් රිදෙනෝනෙ”

ඇය පුරුද්දට වාගේ එසේ කීවා ය. නමුත් එසඳිට එය ඇසෙන්නේ හෝ නැත. දියණිය කියන කියන තාලයට ගිම්හාන් ඇය පිට තබා ගෙන දණ ගාමින් ගේ පුරා ඇවිද්දේ ය. ඔහු මේ තරම් ම හොඳ පිරිමියෙකු වූයේ කෙසේ දැයි ඇය නැවත ද සිතුවා ය. මීට පෙර ද ප්‍රකෝටි වාරයක් ඔය ප්‍රශ්නය ඕ තමන්ගෙන් අසා තිබේ. සයුරංගනා ගෙන් ලොකු හුස්මක් බැහැර විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here