“මාත් එක්ක කතා කරන එක ඔයාට ප්‍රශ්නයක් වෙයිද එයා දැනගත්තොත්?” කියා නෙවින් එවපු මැසේජ් එක ශාර්වරී කියෙව්වේ මෙච්චර වෙලා හිත අස්සෙ හංගගෙන උන්නු හිනාවට බයක් සැකක් නැතුව දෙතොල් උඩට එන්න ඉඩ සලසමිනි.
ශාර්වරී ඕවට හිනාවෙවී උන්නට නෙවින් නම් උන්නේ මූන දෙල් කරගෙනය. ඒ දෙල් වෙච්ච මූණ දැක්ක කෙලී උන්නේ “නෙවින්ට මොකද්ද වෙලා තියෙන්නෙ?” කියා හිතන ගමන් ය.
“නෙවී අවුලක් නම් අපි කතා කරමු. ඔයාගේ මූඩ් එක අද වෙනදා වගේ නෙවෙයි” කියාගෙන කෙලී ඇඟේ ඇතිල්ලෙන්න එද්දී නෙවින් ගෙ තරහ දෙපිටින් යන්න වගේ එනවාය.
“නෑ කෙලී, මම හොඳින්, එහෙම අවුලක් නෑ, ජස්ට් යූ නෝ. පොඩි දෙයක්”
“ඕකේ, බට් ආ යූ ශුවර්, ලයික් මට පුලුවන් ඕනම දෙයක් අහගෙන ඉන්න” කියාකෙලී උරහිසට අත තියා කතා කරද්දී “එව් එව් අහගෙන ඉන්නම තමයි එන්න හදන්නෙ. අනේ පලයන් ගෑණියෙ එහාට” කියා කෙලීගෙ මූණටම කියන්න හිතුනත් මෙහෙම තැනක ඔහොම දෙයක් කියන එක රස්සාවයි හොඳ නමයි දෙකම නැති කරගන්න හේතුවක් වෙන හන්දා නෙවින් සද්ද නැතුව හිත අස්සේ ඔක්කොම අදහස් හංගගෙන උන්නේය.
“අනේ නෑ, එයා එහෙම මාව අවිශ්වාස කරන්නෙ නෑ. මං හැමදේම එයාට කියනවනෙ. මං ඔයා මාත් එක්ක කතා කර එකයි, මම එදා අංකල් කිව්ව එකයි ඔක්කොම කියලා තියෙන්නෙ. ඒ නිසා එහෙම අවුලක් නෑ”
“ඕකෙ, ඔයාට හොඳ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙ ඉන්නෙ”
“අනේ ඔව්, හරි හොඳයි එයා”
“ඕකේ. ඕකේ. ඔයා අද වැඩ නැද්ද?” කියා නෙවින් අහද්දීත් ශාර්වරී උන්නේ හිනා වෙවී බස් එකට නගින්නෙ එච් එන් ඩී එක ලඟ බස් ස්ටෑන්ඩ් එකට එන ගමන් ය.
“වැඩට යන්න දැන් එච් එන් ඩී එකේ ඉඳල එන ගමන්”
“කොහොමද එන්නෙ?”
“බස් එකේ තමයි ඉතින්”
“අප්පා මේ අව්ව වෙලාවෙ ඔයා කොහොමද එන්නෙ? කටු කන්න උපන් හපන් ද?”
“කරන්න දෙයක් නෑනෙ ඉතින්. වැඩට එන්නත් ඕන. බස් එකේ ඇරෙන්න ඉතින් වෙන එන්න විදියක් නෑනෙ”
“ඉතින් අරයට බැරිද ඇවිල්ලා ඔයාව එක්කරගෙන යන්න”
“එයාට ඉතින් වැඩනෙ. මාව එක්කරගෙන යන්න එන ඒවා කරන්න ගිහින් අන්තිමේ එයාට රස්සාවක් නැතිවෙයි”
“ඒ උනාට ඉතින් තමන්ගෙ කෙල්ලව එහෙම අව්වෙ යවන්න පුලුවන්ද කොල්ලෙක්ට? එහෙම කොල්ලෙක් එක්ක යාලුවෙලා ඉඳලා ඉතින් මොකටද?” කියා නෙවින් දෙපාරක් හිතන්නෙ නැතුව එවූ මැසේජ් එක කියවද්දී නම් ශාර්වරීට බස් එක ඇතුලේම පොඩ්ඩක් විතර හිනාත් ගියාය. තමන් මේ කියන්නෙ පට්ටපල් බොරු බව දන්නව නම් ඔය මනුස්සය ආයෙ තමන්ගේ මූණවත් බලන එකක් නැති බව දන්නවා උනත් මේක නම් ගන්නම ඕන ලෙවල් එකේ ආතල් එකක් බව ශාර්වරී හිනාව අස්සේම හිතුවාය.
“එහෙම ඉතින් කෙල්ලගෙ පස්සෙන්ම ඉන්න පුලුවන් කොල්ලො නෑනෙ මේ රටේ” කියා ශාර්වරී එව්වම නම් “මට නම් ඉතින් එහෙම බැරිකමක් නෑ” කියා කියන්න හිතුනත් “එයා මට මේ ජරා මිනිහා කියල කිව්වෙ ඇයි කියලවත් මම තාම දන්නෙ නෑ, එහෙම එකේ ඕව කියන්න ගියොත් ඇත්තටම හිතාවි මහ වනචර එකෙක් කියල. ඒ නිසා ඒව කියන්න නරකයි” කියා නෙවින් හිතුවේය.
“මං අද වැඩ ඉවර වෙලා එද්දි හය හමාර විතර වෙනවා. රෙස්ටුරන්ට් එකෙන් මොනවා හරි කාලා යන්න හිතාගෙන තමයි ඉන්නෙ”
“හොඳයි, මං ඉන්නවනෙ රෙස්ටුරන්ට් එකේ ඒවේලාවට. එන්නකො. මොනවහරි රෙඩි කරලා දෙන්නම්” කියා ශාර්වරී කිව්වට පස්සේ ආයෙම ඒකට කියන්න දෙයක් තිබ්බෙ නැති හන්දා නෙවින් සද්ද නැතුවම ෆෝන් එක සාක්කුවේ දමාගත්තේය.
ඉන්පස්සෙ ගෙවිච්ච පැය කීපයකම තමන් වැඩ කරන අතරවාරයෙත් ගෙව්වේ එක්තරා විදියට කලකිරීමකින්, කම්මැලිකමකින් බව තේරුණත් ඒකට ඇත්තටම හේතුව මොකද්ද කියා තේරුම්ගන්න පුලුවන්කමක් නෙවින්ට තිබ්බේ නැත.
ලෙක්චර්ස් ඉවර වී රෙස්ටුරන්ට් එකට ආවයින් පස්සේත් ශාර්වරී කලේ දිගටම ඔරලෝසුව දිහා බලාගෙන “නෙවින් දැන් ඒවි, දැන් ඒවි” කියා හිතමින් උනත් හැන්දෑවේ හත වන තුරුත් නෙවින් සේනාරත්නගේ සේයාවක්වත් දකින්න උනේ නැති උනාම නම් හිත පොඩ්ඩක් විතර අවුල් ගිය එක ඇත්තකි.
රෙස්ටුරන්ට් එකේ දොර ඇරුණේ ශාර්වරී ඔය විදියට හිත රිද්දගෙන ඉද්දීය. රෙස්ටුරන්ට් එකේ දොරටුවෙන් ඇතුලට එන ගමන් අවුල් වෙච්ච කොණ්ඩෙ අතින් හදන ගමන් නෙවින් සියලුම දේ මගහැර එක එල්ලේ බැලුවේ කවුන්ටරයෙන් ඇතුල් පැත්තේ හිටගෙන ඉන්න කොටම කොට කෙල්ලගේ පේන මූණෙන් බාගයක් දිහා බලාගෙන ලා පාට හිනාවක් දෙනෙත් අස්සේ ඇඳගෙනය.
ඒ දෙනෙත් මගහැර වෙන පැත්තක් බලන්න හොඳටම උවමනාව තිබ්බත් ශාර්වරිට එක මොහොතකටවත් ඒ දෙනෙත් වලින් තමන්ගේ දෙනෙත් මුදවාගන්න විදියක් තිබුනේ නැත. එහෙම නැත්තම් එහෙම කරන්න ඇත්තම උවමනාවක් ශාර්වරිට තිබුණේ නැත.
“සර්, දැන් ද වැඩ ඉවර වෙලා එන්නෙ?” කියා මධුර මුලුතැන්ගෙය ඇතුලේ හිඳගෙන එලියට එද්දී මෙච්චර වෙලා දෙනෙත් අස්සේ තිබිච්ච හිනාව නෙවින් දෙතොල් මත ඇඳගෙන මධුර දෙසත් ශාර්වරී දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය.
“ඔව් මල්ලි, පොඩි බඩගින්නක් ආව මං ඒකයි කෙලින්ම රෙස්ටුරන්ට් එකට ආවේ”
“නෝ වොරීස් සර්, මොනවද කන්න බොන්න ඕන?”
“මොනවද තියෙන්නෙ?”
“මේ වෙලාවට අපේ තියෙන්නෙ සර්….ම්ම්ම් ශාරා ඔය මෙනු එක ගන්නකො” කියා මධුර අත දික් කරන අතරෙම ශාර්වරී වෙත පෑව සිනාව නම් නෙවින්ගේ හිතට එච්චර ඇල්ලුවේ නැත.
“මූත් ලයින් ද දන්නෙ නෑ මේ කෙල්ලට” කියා හිතන ගමන් මධුරගේ අතින් මෙනු එක අරගත්ත නෙවින් කෑමක් තෝරන්න ඕනවට වඩා වෙලාව ගත්තේ ශාර්වරී එක්ක පොඩ්ඩක් තනියෙන් වචනයක් කතා කරන්න ඉඩක් හොයාගන්න හිතාගෙන ය. ඒ වුනාට මධුර එක එක වැඩ කර කර එතන ඉන්න එක දැක්කම නම් නෙවින්ට හිතුනේ “මූ යන්නෙ නෑ, ඇලවිලාම ඉන්නවා” මෙතන කියාය.
කෑම රෙඩි වෙන තුරු බාර් ස්ටූල් එකක වාඩි වී උන්නු නෙවින්ගේ දෙනෙත් තිබුනේ බොරුවට ඕපන් කරගෙන උන්නු ෆෝන් එකත් එක එක වැඩ කරමින් බට්ටෙක් වගෙ එහෙට මෙහෙට යන ශාර්වරීගේ වත මතත් ය.
“ශාරා, මේ ඕඩර් එක ගිහින් දෙන්න පුලුවන්ද?” කියාගෙන ෆුඩ් කවර් එකකින් වැහුව බන්දේසියක් අරගෙන ආව මධුර ඒක අතට දෙද්දී නෙවින් කලබල වුණේ ශාර්වරී එක්ක කතා කරන්න තියෙන හොඳම වෙලාව මේක බව හිතමිනි.
“මොකද්ද අයියෙ අපාට්මන්ට් නම්බර් එක?”
“අටසිය විස්ස”
“හරි, මං දීලා එන්නම්” කියාගෙන ශාර්වරී ට්‍රේ එක අතට ගනිද්දී මෙච්චර වෙලා වාඩිවෙලා උන්නු ස්ටූල් එකෙන් බැස්ස නෙවින් මධුර අමතා “මල්ලි කෑම රෙඩි වෙනකම් මම අපාට්මන්ට් එකට ගිහිල්ලා මේ බෑග් එක තියලා, ස්ලිපර්ස් දෙකක් එහෙම දාගෙන එන්නම්. මහන්සියි අප්පා” කියාගෙනය.
ශාර්වරී ඉස්සර වී යද්දී නෙවින් ශාර්වරී පස්සෙන් ලිෆ්ට් එක වෙත ඇවිද ආවේ මනමාල හිනාවක් දෙතොල් අස්සේ රඳවගෙනය. නෙවින් නොදැක්කාට ශාර්වරීගේ දෙතොලේ ඇඳී තිබුනේත් එබඳුම සිනාවකි.
“පුලුවන් ද ඕක තනියෙන් උස්සගෙන යන්න?” තමන්ට වඩා අඩි කිහිපයක් පල්ලෙහයින් හිටගෙන ඉන්න කෙල්ල දිහා හීනියට නෙත් යවා නෙවින් ඇහුවේ මන්දහාසයක් දෙතොල් අග රඳවගෙනය. ඒ මන්දහාසයේ පවා මනමාල බව ඕනවටත් වඩා ගෑවි තිබෙන බවත් නෙවින් ගේ මුහුණ වඩාත් හැඩ කරන අංගය වන්නේ ඔහු සතුව තිබෙන අගිස් හීනි වූ බෝල ඇස් දෙක බවත්, ඒ මුහුණ වාත්තු කලාක් මෙන් සුන්දර බවත් ශාර්වරී දැන ගත්තේ දෙනෙත් උස්සා ඔහු දිහාව බලද්දීය.
“ඇයි බෑ කියලද හිතන්නෙ? මෙච්චර දවසක් මං තමයි අරගෙන ගියේ”
“බැරි නම් කියන්න, මට පුලුවන් උස්සන්න”
“ට්‍රේ එකද?”
“ට්‍රේ එකත් පුලුවන්, ඔයා අවුලක් නැත්තම් ඔයාවත් වඩාගන්න පුලුවන්”
————————————————————————————————————————-
(මේක ඉතින් හරි සුකිරි සීනිබෝල ලව් ස්ටෝරි එකක්නෙ. වැඩි බරපතල සීන් අරගෙන එන්න මගෙ අදහසක් නෑ. කලින් ලිව්ව කතාව වගේම ඊලගට ලියවෙන කතාවත් ටිකක් හිතට බර එකක් වෙන හන්දා තමයි කෞමදී අක්ක එක්ක කතා කරලා මේ වගේ එකක් ලියන්න හිතුවෙ.
නෙවින්ව ඔයාලා හිතේ ඇඳගෙන ඉන්නෙ මොන විදියටද කියල දැනගන්න ආස්‍යෛ මං. ඔයාලාගෙ ෆේවරිට් මොඩ්ල්ස්ලගෙ ෆොටෝ දාගෙන යන්නකො බලන්න ඔයාලා නෙවින්ව හිතේ ඇඳගෙන ඉන්න විදිය මට දැනගන්නත් එක්ක)