සයුරු කෙල්ල

මන්දාරා හැදුණේ වැඩුණේ මාතර, පොල්හේන මුහුදු වෙරළ දෙවෙනි ගෙදර කියලා සලකගෙන. ජීවිතාරක්ෂක සේවා සපයන කණ්ඩායමේ වැඩ කරපු පොඩි බාප්පා නිසා මන්දාරාට පිහිනීම ඉගෙන ගන්න එක පිස්සුවක් වුණා. 

තුන වසරේ ඉඳලාම  මුහුදේ පීනන්න පුරුදු වුණ මන්දාරා, විශ්ව විද්‍යාලයට ඇතුළු වුනාට පස්සෙත්  පීනන එක නැවැත්තුවේ නැහැ. ලොකු පිහිණුම් තටාකවල තත්පරේ පමාවෙන් විවිධ ආරට පීනන මන්දාරාගේ නම පත්තර වල ලියැවෙනකොට ඒ  ගැන  මන්දාරාගෙ අම්මා, තාත්තා ,අය්යා වගේම නෑනත් හරි ආඩම්බරකාර සෙය්යාවෙන් හිටියේ. 

පිහිණුම් තරඟ වලින් මන්දාරා ට සම්මාන පිට සම්මාන ලැබුණා. ඒ වාර්තා අලුත් කරවමින්.

ඒ අතරේ තමයි මන්දාරාගේ තාත්තා ගේ හිතවතකුගේ මාර්ගයෙන් මන්දාරාට විවාහ යෝජනාවක් ලැබුණේ. ඒ වෙනකොට මන්දාරා විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කරා විතරයි. කොළඹ ජනප්‍රිය බාලිකාවක පිහිණුම් උපදේශකවරියක් විදියට තාවකාලිකව සේවය සපයමින් හිටියේ.

මනාල මහත්මයාගේ පැත්තෙන් මන්දාරාව බලන්න නෑගම් එන දවස සෙනසුරාදා ට යෙදුණා. කලින් මුහුණු පොතෙන් තරුණයාව දැකලා තිබුණ නිසා මන්දාරට  ඒ පැමිණීම ගැන අකමැත්තක් තිබුණෙත් නැහැ. 

මන්දාරා  දිග ගවුමක් ඇඳලා, කොණ්ඩේ ලිහලා දැම්මා. නෑනා ඇවිල්ලා පෙනුමට යන්තම් සැරසිල්ලක් දැම්මා. 

“මේ..කොල්ලා හැන්ඩියා.. සමහරවිට තවුසේට කැමති වෙන එකක් නෑ…”

අය්යා එහෙම කිය කියා මන්දාරව අවුස්සගන්න උත්සාහ කරා. මන්දාරා කලේ අය්යට රැවුම් පා කර කර උන්න එක.

තේ බීලා ඉවර වෙලා හැමෝම කතා බස් කරමින් උන්නා.

“එතකොට මේ ළමයා ඔය බාගෙට ඇඳගෙන පීනන්න උගන්නන රස්සාවද දිගටම කරන්න හිතාගෙන ඉන්නේ…?”

මනමාල මහත්තයා එක්ක ඇවිල්ලා හිටපු පිරිසේ උන්න, ඔසරියක් ඇඳගත්ත කාන්තාවක් එහෙම ඇහුවා. මුලු සාලේම දැඬි නිහැඬියාවක ගිලුණා. මන්දාරා අය්යා දිහා බැලුවා. අය්යා කලේ සන්සුන් වෙලා ඉන්න කියලා කීව එක. ඊළඟට මන්දාරා බැලුවේ මනමාල මහත්තයා දිහා. ඒ ඇස් තිබුනෙත් බිම.

ඒ මනමාල මහත්තයාව අතාරින්න මන්දාරා තීරණය කලා. එතැනින් පස්සේ මන්දාරා ට ආව විවාහ යෝජනා වලින් එක් කෙනෙක්වත් ගෙදරට ගෙන්නගන්න කලින්ම ප්‍රතික්ෂේප වුණා.

මන්දාරාගේ රැකියාව, මන්දාරා ඉදිරියට යන්න ආශාවෙන් ඉන්න ක්ශේත්‍රය හැමෝටම ප්‍රශ්නයක් වුණා. 

ඒ අතරේ මන්දාරාට පිහිණුම් උපදේශකවරියක් විදියට විදෙස් ගත රැකියාවකට අවස්ථාවක් ලැබුණා.  මන්දාරා ගේ හීන ගැන දන්න නිසාම හැමෝම මන්දාරා ට ඒ වෙනුවෙන් ඉඩ දුන්නා.

“අපිට නම් බෑ ආයේ කොල්ලෝ හොයන්න.සුද්දෙක් හරි කමක් නෑ බැඳගෙන එනවා ඈ..”

මන්දාරාගේ අය්යා එහෙම කිව්වේ කඳුළු හංගගෙන. 

මන්දාරා ඩුබායි ප්‍රසිද්ධ පාසැලක පිහිණුම් උපදේශකවරිය විදියට සේවය කරන ගමන් ක්ශේත්‍රය තුළ නව දැනුම එකතු කර ගනිමින් ජීවිතේ ඉස්සරහට ගියා. ඒ අතරේ අම්මලා මනමාල මහත්තුරු හොයන එකත් දිගටම කෙරුණා.

මන්දාරා ඩුබායි රැකියාවට ඇවිල්ලා අවුරුද්දක් ගෙවුණා.

මාස කිහිපයක ඉඳන් තමාව ලුහුබඳින කිසිවෙක් ඉන්නවා කියලා මන්දාරා ට ඉඟි දැනෙන්න අරගෙන තිබුණේ. ඒත් ආපස්සට හැරිලා බලනකොටවත්, වටපිට බලනකොටවත් කිසිම කෙනෙක් හිටියේ නැහැ. 

අන්තිමේදී මන්දාරා පාසැලේ හිතවත් කිහිප දෙනෙක්ට මේ බව කිව්වා. අන්තිමේදී ඒ ලුහුබඳින හොල්මන් මිනිසාව හොයාගන්න සැලසුමක් හැඳුණා.

දවස් තුනකට පස්සේ මන්දාරාගේ පස්සෙන් ලුහු බඳිමින් ඇය බියපත් කල කෙනාව අතටම අල්ල ගන්න ඒ සැලසුමට පුලුවන් වුණා. 

හැමෝම යෝජනා කලේ ඔහුව ඩුබායි පොලිසිය ට බාර දෙන්න. ඒත්, මන්දාරා ඒ කවුද කියලා අඳුනගත්තා.

ඉන් පැය කිහිපයකට පස්සේ, දෙන්නා ඉඳගෙන හිටියේ කෝපි හලක. 

“ඇයි මගේ පස්සෙන් එන්නේ. බැරි වෙලාවත් මම කම්ප්ලේන් කරානම්, ඒක මටත් මහ කරදරයක් වෙන්න තිබුණා …පොලිස් ස්ටේශන් වල රස්තියාදු වෙන එක…”

තමන්ගේ ඉස්සරහ වාඩි වෙලා ඉන්න තරුණයා හිස සලලා ඒක අනුමත කරලා නිහඬව ඉන්න එක නම් මන්දාරා ට ඉවසන්න බැරුව ගියා. තව තව දේවල් කියවලා ඔහුව දොඬමලු කරගන්න උත්සාහ කරත්, ඔහු උත්සාහ කලෙම මුනිවත රකින්න

“හෙලෝ.. ඔයාට මුකුත් කියන්න නැත්නම්  මං දැන් යන්නම්…, ප්ලීස් මගේ පස්සෙන් එන එක නවත්තත්ත …”

මන්දාරා කෝපයෙන් කිව්වා. තරුණයා දෙතොල් පෙරලලා ඇයට එකඟ බවත් පෙන්නුවා. ඊටපස්සේ මන්දාරා නැගිට්ටා.  ඔහුව පහු කරලා මේසය ළඟින් ඉවතට ඇවිද්දා. එකපාරටම ඇහුණ හඬකින් මන්දාරා එහෙමම නැවතුණා.

“ඕකේ… ඒත්, ඔයා හැමදාම ඔන්න ඔය විදියටම මට ඉස්සරහින් ඉන්න… ලෝකේ හොඳම ස්විමින් කෝච් වෙන්න ඔයා යන ගමනට හැම සපෝර්ට් එකක්ම දීලා මට ඔයා පස්සෙන් ඉන්න පුලුවන් වෙන්නේ එතකොට …”

මන්දාරා ආපහු හැරුණා. ආයෙම ඇවිල්ලා ඉඳගත්තා. ඒ තරුණයත් ඉඳගත්තා.

“කවුද ඔයා ? ඇයි මෙහෙම ?”

“මාව මතක නැද්ද ?”

තරුණයා පුදුමයෙන් ඇහුවා. මන්දාරා හිස දෙපැත්තට සලන අතරේ නොසන්සුන්කම සඟවාගන්න උත්සාහ කලා. ඇය මුල් වතාවෙන්ම ඔහු කවුරුන්ද හඳුනගත්තා වුනත්, මේ හැසිරීම් ඇයට හඳුනාගන්නට බැහැ.

“මට සමාවෙන්න .. එදා අපේ ලොකු නැන්දා ඔයාට එහෙම කතාවක් කියනකොට නිශ්ශබ්දව හිටියාට… කවදාහරි දවසක මම ඒ වැරැද්ද හදන්නම්….”

මන්දාරා තරුණයා දිහා බලාගෙනම හිටියා.

“ඔයාගේ අය්යා උදව් කලේ..ඩුබායි ස්කූල් එකට ඇප්ලිකේශන් දැම්මේ මම.. මෙහෙ හැමදේම හැදුවේ මම… මෙච්චර ඉක්මනට මාව අල්ලගනීවි හිතුවා නම්, පස්සෙන් එන්නේ නෑ බලන්නවත් ඒත්…”

මන්දාරා ගේ කුස ඇතුලේ සමනල හරඹයක්

 ඔහුගේ ඇස් වලින් ගැලවෙන්නම බැහැ.

“මාව බාධාවක් කරගන්න එපා… ඔය ගමන යන්න. මට බලන්න ඉන්න පුලුවන් ..”

තරුණයා එහෙම කිව්වා. මන්දාරා කඳුළු නවත්ගන්න සෑහෙන්නම උත්සාහ කලා.

“මේ කිසිම දෙයක්, මුකුත් බලාපොරොත්තුවෙන් නෙවෙයි .. ඔයා නිදහස් කෙල්ලෙක්.. මේ මගේ ආදරේ … ඔයාට ඒ ආදරේ එක්ක එක තැනක ට  යන්න  එන්න බැරි නම් … මං කියන්නේ අද හෙට නෙවෙයි … කවදාහරි … ඔයාට පුලුවන් වේගෙන් පීනලා මගෙන් ඈතට යන්න….. මං දන්නවා ඔයා තරම් වේගෙන් පීනලා යන පිහිණුම් ශූරියක් කොහෙවත් නැහැ කියලා .. මට කොහොමටත් ඔයාව අල්ලගන්න වෙන්නෙ නෑ…”

මන්දාරා එකපාරටම නැගිට්ටා. තරුණයාව වැලඳගත්තා.

“මට චුට්ටක්වත් ඈතට පීනන්න ඕනි නෑ.. මං ආදරෙයි ඔයාට…”

මීට අවුරුදු දෙකකට කලින් මඟෑරුණ අතක මන්දාරා හය්යෙන් එල්ලුණා.

“ආදරෙයි කියන්නේ ?”

“ආදරෙයි….ලොකු නැන්දාට කියන්න මේ ලෝකේ වේගෙන්ම පීනන්න තරම් හය්ය හිතක්  තියෙන කෙල්ල ඔයාට ආදරේ කියලා…”

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles