අක්කාගේ සැහැල්ලු බව ගැන දිලුම් රන්දුලා සමඟ කතා කලේ අප්‍රමාණ සතුටකිනි. අත්වැරදීමක් ලෙසින් වූ රිය අනතුර නිසා අක්කාගේ ජීවිතය නොසෑහෙන අඳුරකට වැටිය හැකිව තිබූ බව දිලුම් දනී. එහෙත්, අක්කාම නොසිතූ ලෙසින් ඉදිරිපත් වී ඒ වෙනුවෙන් විසඳුමක්ද සොයා ගත්තාය. ඒ වෙනුවෙන් සියලු සැලසුම් සකසා අක්කාට ඒ සඳහා උදවු කිරීමට හැකිවීම ගැන දිලුම් ද සැනසුනේය.
” ඔය මන්දාරම් කියන හාදයාත් ටිකක් හයිකාරයෙක් වගේ මට නම් පෙනුනේ දිලුම් .. ඒ නිසා කෝකටත් ඇහැ ගහගෙන ඉන්න එක හොඳයි …”
රන්දුලා ස්ත්‍රී කෝණයෙන් විමසා බලා යමක් ගැන ඉඟියක් දුන්නාය. එහෙත් දිලුම්ට ඒ වගක්වත් වූයේ නැත.
” අපේ අක්කා එහෙම ලේසියෙන් තම්බන්න පුලුවන් ජාතියේ නෙවෙයි රන්දු .. එයා එහෙම පෙන්නගෙන ඉන්නවා තමා.. ඒත් අක්කා එහෙම අහුවෙන්නේ නෑ.. මන්දාරම් ටිකක් විතර ට්‍රැක් අවුට් පොරක් වෙන්න පුලුවන් කියලා මටත් හිතුණා.. ඒත් අවුලක් නෑ … අක්කා දන්නවා බැලන්ස් කරගන්න…”
” ඔයා එහෙමම කියනවා නම් කමක් නෑ .. මම කියන්නේ, අක්කාගේ ජීවිතේ තියෙන හිඩැසට මන්දාරම් වගේ කොල්ලෙක්ට ලේසියෙන් ඇප්‍රොච් කරන්න පුලුවන් නිසා … අනෙක පසන් කියන්නේ කවුද කියලා අපි දන්නවනේ …”
” ඉතින් මගේ නෝනා, මන්දාරම් අක්කට සෙට් වෙනවා නම් ඒක සිරාවටම පට්ට නේ … කොල්ලා අමුතු තාලේ වුනාට, මට හිතෙන්නේ පොර හෙනම ෆැමිලි මෑන් කෙනෙක් …”
දිලුම් රන්දුලාගේ කොපුලක් ඉඹ ඉතා විසිළු හඬක්ද මවාගෙන ඇසුවේය. රන්දුලා දිලුම් වෙත පා කලේ නොරිස්සුම් බැල්මකි.
” අක්කලා මල්ලිලා ඕනි එකක් …”
” බලමුකෝ .. අක්කා මෙච්චර සැහැල්ලුවෙන් උන්න දවසක් දැක්කේම නෑ… ඒ සැහැල්ලුව එක්ක මොකක් හරි කියාගන්න ඕනි වුන , ඒත් කියන්නේ නැතුව හංගගත්ත කතාවකුත් තිබ්බා රන්දූ … කමක් නෑ . අපි පොසිටිව් වෙමුකෝ …”
” ඔයා හිතන්නේ.. අක්කා… මන්දාරම් එක්ක ……?”
” නෑ එහෙමම නෙවෙයි … ඒත් මොකක්ම හරි …”
” ඒත් ..පසන් ..?”
” අදාල නෑනේ… අක්කා අකමැතියි කියනවා..”
” ඒත් ඒ කොල්ලා දැන් බලාපොරොත්තු තියාගෙන නේ ඉන්නේ …”
” අනේ ඔයා දන්න තරම තමයි රන්දූ … උගේ බලාපොරොත්තු .. ඌ එහෙම එක තැනක ඉන්න එකෙක් නෙවෙයි රන්දූ .. අක්කා ඌව ගානට හැන්ඩ්ල් කරලා අතේ දුරින් තියන් ඉන්න නිසා මිසක් ඌ මෙලහකට අක්කාව ගිලලා .. අපේ අම්මලාට ඒක නොතේරෙන එකනේ වැඩේ .. එතන තියෙන්නේ තනිකරම අම්මලාගේ ඩීල් එකක් ..”
දිලුම් එහෙන් මෙහෙන් කියා දැම්මේය. රන්දුලා සුසුමක් හෙලුවාය. මේ පවුල තමාට කෙතරම් දුරදැයි යළි සිහිපත් කලාය.
” අනේ පින්සිද්දවෙයි රන්දු, හුල්ලලා මගේ ඔලුව නම් කන්නෙපා.. මට එකෙක්වත් අදාල නෑ…. ඉන්ටර්න්ශිප් ඉවර වුන ගමන්, අපි එන්ගේජ් වෙනවා… ඒක ආයේ සක්කරයා ආවත් නවතින්නේ නෑ …”
” මන්දා දිලුම් …”
” මොකක්ද ආයේ මන්දා කියන්නෙ ?..”
දිලුම් කෝපයෙන් ඇසුවේය. රන්දුලා ඔහුගේ බාහුවට වාරු වී ඔහුව සන්සුන් කරවා ගත්තාය. දිලුම් කෝප ගන්නවාට අකමති වුවත්, රන්දුලාට අනාගතය ගැන දැනෙන අවිනිශ්චිත බව ගැන දිලුම් හා කතා බහ නොකර සිටින්නටම නොහැකි විය.
” අම්මලාට හිතුවක්කාර වෙලා අපි මේ කරන දේවල් වලින් අපිට සැනසීමක් ලැබේවිද දිලුම් .. ඔයාගේ පරම්පරාවේ ඉන්න එකම කොල්ලා ඔයා වුන කොට, අපි මේ කරන දේ නිසා ඔයාලාගේ අම්මලාට දරාගන්න බැරි සිටුවේශන් එකක් උදා වේවි නේද මහත්තයෝ ..”
රන්දුලා ඔහු සන්සුන් කරවාගන්නට තරමේ වන හඅඩකින් කීවාය. දිලුම්ද එය වටහා ගත්තාක් මෙන් ඊලඟ තුරුම්පුව වහා දමා ගැසුවේය.
” හරි ඉතින් .. අපේ අම්මලාට උදාවෙන සිටුවේශන් එක ගැන ඔයාට ඔච්චර දුක නම් , ඔයාම කියන්නකෝ මොකක්ද මම කරන්න ඕනි කියලා …”
” එහෙම නෙවෙයි දිලුම් …”
” නෑ නෑ කියන්න … ඔයා දැන් මට කියන්නේ, අම්මලා ගේන ප්‍රපෝසල් එකක කෙල්ලෙක්ව බැඳගෙන , අම්මලාට දරාගන්න පුලුවන් සිටුවේශන් එකක් හදන්නද ?.. ආහ් .. ආයේ වටේ යන්න ඕනි නෑ රන්දු .. කෙලින්ම කියන්න … මං දන්නවා ඔයා ඔය එන්නේ මොකටද කියලා…”
දිලුම්ගේ ඉරිසියාකාර හිත වාන් දමා , බැමි කඩාගෙන පිට පැන්නේය. රන්දුලා දිලුම්ගෙන් මෑත් වී ඔහු දෙස බැලුවාය.
” මොකක්ද ?..”
” ඩොක්ටර් අර්ජුන් ඔයාට ඩිනර් එකකට ඉන්වයිට් කරා කියලා මම දන්නවා.. මට නොකියා ඒක හංගගෙන ඉන්නේ ඇයි කියලාත් දැන් මට තේරෙනවා .. මං වගේ හිඟන දොස්තරයෙක් බැඳගන්නවා වගේ නෙවෙයි තමයි .. ඩොක්ටර් අර්ජුන් තනිකරම යාපනේ රත්තරන් ලූ .. ඔයාට ඕනි ඒක නම් මාව මෙහෙම වටේ යවන්න ඕනි නෑ රන්දුලා … ඔයාගේ ජීවීතේ නූල මම කිසිම වෙලාවක අල්ලගෙන ඉන්නේ නෑ .. යන්න ඕනි වෙලාවක යන්න ඔයාට නිදහස තියෙනවා..”
රන්දුලා මුවඟින් වැටුණු සිනහව අසීරුවෙන් ගිල ගත්තාය. මෙවෙලෙහි වැටෙන සිනහවක්ද මේ කොල්ලා අල්ලා ගන්නේ වැරදිම අන්තයෙන් බව ඕ අත්දැකීමෙන්ම දැන උන්නාය. ඉරිසියාවෙන් පැලෙන තම ප්‍රේමවන්තයා ගැන රන්දුලා වඩාත් ව්සල් ප්‍රේමයකින් පුරවා හැලුනාය.
” ඉරිසියාවෙන්ද මේ ?..ම්ම්ම් ..”
ඕ දිලුම්ට ලංව ඇසුවාය. දිලුම් ඇය පසෙකට කලේ සැබැවින්ම දැනෙමින් තිබුණු අවිනිශ්චිත බව එක්කය. තමා රන්දුලා විවාහ කර ගැනීමෙන් පසු අම්මලාගෙන් කියා තමාට කිසිවක් නොලැබෙන බව දිලුම් දනි. එවිට සියල්ල ගලපා ගන්නට සිදුවන්නෙ වැටුපෙනි. එහෙත් වෛද්‍ය අර්ජුන් එලෙස නොවේ. ආරංචියේ හැටියට ඔහු යාපනයේ විශාල සල්ලිකාරයෙකි. ඉතින්, රන්දුලාට ඔහු තෝරාගන්නට සිතුනහොත් එය වරදක් නොවේය.
රන්දුලා යළි දිලුම්ට ලංව බලෙන්ම ඔහුගේ බාලුවේ හිස තියා ගත්තාය.
” හරි නරකයි ඔයා … හිතලාම හරි, නොහිතා හරි එහෙම කතාවක් කියලා මගේ ආත්ම ගෞරවේම පාගලා දැම්මේ ඔය..”
දිලුම් ඉන් මදක් සැළුනේය.
” ඔය කියන දේවල් එක්ක ඔයා හිතාගෙන ඉන්නේ, මම ඔයාගේ සල්ලි වලට ලෝබ කම් කරලා ඔයාට ලං වුණා කියලා වෙන්නත් පුලුවන් … අපේ බැච් වල සමහර කෙල්ලෝම මට එහෙම කියලා ඇණුම් පද කියද්දී මම ඔලුව කෙලින් තියන් උන්නේ, ඔයා මාව විශ්වාස කරන බව, මගේ ආදරේ විශ්වාස කරන බව දැනන් උන්න නිසා.. ඒත් දැන් නම් මට හැමදේම තේරෙනවා…”
දිලුම් තවත් සැළුනේය.
” ඔයා හිතන්නේ මම සල්ලි වලට හැමදේම කරනවා කියලා නේද දිලුම් ?..
ඉන් පසුව රන්දුලා ඍ ජුවම ඇසුවාය. දිලුම් ඉන් ද කුඩුපට්ටම්වම වැටුනේය.
” රන්දූ …”
” මං ඔයාට මාව බඳින්න කියලා කියන්නේ නෑ දිලුම් .. මොකද මා එක්ක ගෙවන ජීවිතේට වඩා සෑහෙන සුවපහසු ජීවිතයක් ඔයාට උරුමයි, කොහේ හරි තැනක …. මට ඒකට ඔයාට බාධා කරන්න ඕනි නැ .. ඒත් මං දන්නවා, ඔයා මාව දාලා ලෝකේ කොයි අස්සකට ගියත්, මං ඔයාට ආදරේ කරන එක, මෙහෙමම, මෙන්න මෙහෙමම කරනවා.. ආයේ කිසිම කෙනෙක්ට මගේ ජීවීතේ ඉඩ නෑ …”
ඕ ඉකිලුවාය.
” රන්දූ.. රන්දූ ..ප්ලීස් .. මං එහෙම හිතලා කිව්වා නෙවෙයි කෙල්ල … අඬන එක නවත්තන්නකෝ … කෝ ..”
දිලුම්ට අක්කාගේ කඳුලු වල බර යළි දැණුනා සේ විය
අපේක්ෂා ගුණවත්න
ReplyForwardAdd reaction |