ශාර්වරී එදා වැඩට ගියේත් හිනාවෙවීය. එදා පාට් ටයිම් එක වැටී තිබුනේ උදේ වරුවේ හන්දා, දවල් දෙක තුන වෙද්දී ගෙදර එන්න පුලුවන් බව දන්න එකම හිතට සැනසීමකි. ඒ උනාට අද නෙවින් සේනාරත්න ගෙදර ඉන්නවද නැද්ද කියා දැනගන්න විදියක් නැති එකේ හිත නම් කිව්වේ “එයාව දකින්න ලැබුනෙ නැත්තම් අද ගිහිල්ලත් වැඩක් නෑ” කියාය.
තමන් මේ කරන්නෙ උගුරට හොරා බේත් බොන එකක් බව දන්නවා උනත් ශාර්වරී එක දෙයක් හිතා තිබුනාය.
“එයා ලස්සන එක, එයා මට ට්‍රයි කරනවා කියන එක ඇත්ත, මං හිතෙන් එයාට කැමතියි කියන එකත් ඇත්ත. ඒත් අර අම්මා කිව්ව වගේ එයාගෙ ජිවීතෙයි මගෙ ජිවීතෙයි දෙවිදියක්. අනික් එක එයා මේ මාත් එක්ක කතා කරලා අරව මේව කියල ගන්නෙ ආතල් එකක්ද කියල කවුද දන්නෙ?” හිත මොනවා කිව්වත් ශාර්වරී එහෙමත් හිතුවාය. මිනිස්සුන්ට වෙනස් උනා වගේ රඟපාන එක මහ ලොකු දෙයක් නොවේ. ඒත් ඇත්ත සතා අඳුරගන්නා තුරු ඕනවට වඩා ලංනොවී ඉන්න එක හොඳය. නැත්තම් වෙන්නෙ හිත රිදෙන එකය.
එදා රෙස්ටුරන්ට් එකේ මධුර උන්නේ නැත. මධුර එදා එන්න පැයක් දෙකක් පරක්කු වෙන බව දන්න හන්දා රෙස්ටුරන්ට් එකේ ඉස්සරහ කෑල්ලේ උන්නෙ ශාර්වරී පමණකි. එහෙමකට කියා ලොකු වැඩක් නැති හන්දා චෙෆ්ලා දෙන්නත් කුස්සිය පැත්තෙ ඉඳගෙන රටේ තොටේ දේවල් කතා කරන හඬ ඇහුනත් ඒ පැත්තට ගිහින් එහෙම කතාවකට සම්බන්ධ වෙන අදහසක් ශාර්වරීට තිබ්බේ නැත.
උදේ එද්දී නංගී කිව්ව දේවල් ශාර්වරී මතක් කලේ ඔය විදියට රෙස්ටුරන්ට් එකට වී එක එක ඒවා කල්පනා කර කර ඉන්න වෙලාවේය.
“මොකද දැන් රෑට රෑට නිදාගන්නෙ නැතුව හිනාවෙවී ඉන්නෙ ෆෝන් එක දිහා බල බල” කියා නංගී කිණ්ඩියක් දමා ඇහුවේ උදේ වැඩට එන්න ලෑස්තිවෙන ගමන් කාමරේ කණ්ණාඩිය ඉස්සරහට වී කොණ්ඩෙ පීරද්දීය.
“ආහ් මට දැන් ෆෝන් එක බලලා හිනාවෙන්නත් ඔයාගෙන් අවසර ගන්න ඕනද?”
“අනේ කිසි අවසරයක් ගන්න ඕන නෑ. අපිටත් කිව්වනම් ඉතින් අපිටත් හිනාවෙන්න තිබ්බ වගේම ඉතින් ඔය අපේ හිත්වල තියෙන කුතුහලය උනත් නතර වෙනවනෙ නේද?”
“ආහ් මම දැන් කරන හැමදේම කරන්න ඕන මෙයාගෙ කුතුහලේ නැතිවෙන්න කියලද? ශෝක්. වෙන වැඩ නෑනෙ මට”
“වෙන වැඩනම් ඔයාට මේ දවස්වල තියෙනව කියන එක මට පෙනී යනවා හැබැයි” කියා අයේශ්වරී ආයෙ කියන්නෙ අර කිණ්ඩි හිනාව අක්කා දිහාට පාකරන ගමන් ය.
“දැන් කැම්පස් පටන් ගන්නෙ කවද්ද ඔයාලගෙ?”
“අපෝ තව මාසයක් තියෙනවා. මේ ඔය බොරු ටොපික් ඇදලා අරගෙන නිකන් කතාව මාරු කරන්න හදන්න එපා හලෝ. විහිලු වෙනයි මේව වෙනයි. කියන්නකො ඇත්තටම දැන් මොකද්ද වෙන්නෙ? කවුද දැන් හිතට අහම්බෙන් එබිකම් කල කෙනා? අර හැන්ඩි ද?”
“මොන හැන්ඩි ද?”
“වෙන කවුද අනේ? නෙවින් සේනාරත්න මිස. කියන්නකො අක්කෙ ඔයාලා දෙන්න සෙට් ද?”
“පිස්සුද යකෝ? උදේ පාන්දරම දෙයියන්ගේ හාල් කැවිලද මල විකාර කතාකරන්නෙ?”
“හරි එහෙනම් ඒ නෙවින් සේනාරත්න නෙවෙයිනම් වෙන කවුරුහරි කෙනෙක් හරි ඉන්නවද කියන්නකො. ඔයා ඔය කවුරුවත් නෑ කියල කිව්වට ඒක බොරුවක් කියන එක ඔයා වගේම මමත් දන්නවනෙ. ඔයාගෙ ඉස්සරහට වඩා හැසිරීම සැහෙන වෙනස්. ඉස්සර ඔයා ඔහොම ෆෝන් එක දිහා බලාගෙන රෑ තිස්සෙ ඇහැරගෙන හිනාවෙවී හිටියෙ නෑනෙ අක්කෙ. මට හංගන්නෙ මොකටද? ඔයා මට හංගන්න ඕන ඔයා නෙවින් එක්ක යාලු උනොත් නෙවෙයි වෙන කාත් එක්ක හරි යාලු උනොත් තමයි”
“කවුද?”
“හේමාල් රණසිංහ. ඔයා ඔන්න එයා එක්ක සෙට් වෙච්ච දවසට අපේ සහෝදරකම් ඉවරයි” කියා නංගී කියද්දී ශාර්වරී අතේ තිබිච්ච තුවායෙන් නංගිගෙ ඇඟට දමා ගසා එතනින් පිටත්වුනේ එහෙම නැත්තම් බකස් ගා හිනා යාවි කියන බයටය. නංගී කොච්චර උත්සහ කරත් නෙවින් සේනාරත්න තමන් එක්ක කතා කරන එක නංගීට නොකියා ඉන්න ඕන කියා ශාර්වරී හිතුවේ කාරණා දෙකක් හන්දාය. එකක් තාමත් නෙවින් සහ තමන් අතර ඇත්තේ හිත් අස්සේ තමන් තමන්ටම කියා ගත්තු කතාවක පලවෙනි පරිච්චේදය දෙක පමණකි. අනෙක් අතට නෙවින් සේනාරත්න තමන් එක්ක කතා කරන නොකරන එක නංගි එක්ක කියන එකෙන් වෙන්නෙ ඒ කතාබහ හිත අස්සේ හීන් සැරේ ගොඩනගන රහස්‍ය සන්තෝසය නැතිව යාමකි. මේ වනාහී මීට කලින් කිසිම දවසක වින්දේ නැති ආකාරයේ වින්දනයකි. ඉතින් ඒ වින්දනය නැති කරගන්න උවමනාවක් ශාර්වරීට තිබ්බේ නැත.
මධුර එන්නත් තව වෙලාව තියෙන එකේ ශාර්වරී ඇත්තටම උන්නේ පාලුවකිනි. අනෙක් අතට හිත පිස්සුවෙන් වගේ දකින්න බලාපොරොත්තු වෙන මුහුණ තමන් ඉන්නා තැනට අඩි ගණනක් උඩින් හිඳිය හැකිය කියන සිතුවිල්ල නෙතටත් හිතටත් අස්වැසිල්ලක් ගෙන දෙන හැඟීමක් නොවේ.
නෙවින්ව බලාගන්න තිබ්බා නම් කොච්චර හොඳද කියන එක ඇත්තකි. ඒත් ඉතින් ඔහු පල්ලෙහට එන්නෙ නැතුව තමන්ට ඔහුව දකින්න ඉඩක් නැත. ශාර්වරී දුරකතනය අතට ගත්තේ නෙවින්ට මැසේජ් එකක් දමන බලාපොරොත්තුවෙනි.
“මං අද වැඩට ආවා, ඔයා කොහෙද ඉන්නෙ?” කියා මැසේජ් එක දැම්මාට නෙවින් අන්තිමට ඔන්ලයින් ඉඳ තිබෙන්නේ පැය ගණනකට පෙර බව වට්සැප් තිරය පෙන්වයි. බාගදා ඔහු ඊයේ ගෙදර එන්න රෑ වෙන්නට ඉඩ තිබුණා වෙන්න හැක. එහෙම එකේ ඔහු තවම නිදාගෙන ඉන්නවා විය හැක. එහෙමත් නැත්තම් පරක්කු වී අවදි වෙච්ච හන්දා එලියට හෝ වැඩකට යන්න හිතාගෙන ඉක්මනින් කලබලේට ලෑස්ති වෙනවා විය හැක.
නෙවින් දැන් දැන් රිප්ලයි එකක් එවනවා ඇතැයි කියන බලාපොරොත්තුවෙන් ශාර්වරී ඉන්ස්ටග්‍රෑම් පැත්තේ ගොසින් කලේ ආයෙම කවියක් ලියන එකය.
“ඔබේ රුව දකින්නට හිතට ඉවසුම් නොමැත
නුබ ගැබින් මොහොතකට හිස යොමා බලන්න
පොළොව මත සුදු පාට මල් ඉතින් පිපී ඇත
මග බලාගෙන හිඳින ඔබේ රුව දකින්න”
උස පිරිමි ළමයෙකුගේ සේයාරුවක් සහිත පින්තුරයක් පින්ටරස්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත් ශාර්වරී කවිය ඉන්ස්ටග්‍රෑම් එකට අප්ලෝඩ් කරාය.
රෙස්ටුරන්ට් එකේ අභ්‍යන්තර දුරකතන නාද වුණේ ඒ වෙලාවේය. නෙවින් ගේ අපාට්මන්ට් එකට අපාට්මන්ට් දෙකකට පමණ එහායින් තිබෙන අපාට්මන්ට් එකකින් ආ ඒ ඕඩර් එක ශාර්වරී භාරගත්තේ පුදුම සන්තෝසයකිනි. තමන් කෑම බඳුන් රැගෙන එහි යන වෙලාව වෙද්දී වැරදිමකින් හෝ ඔහුගේ රුවේ අංශු මාත්‍රයක් හෝ දකින්නට ඉඩක් ලැබුණත් අද දවස පිරෙන්නට ඒක හේතුවක් වනු ඇති බව ශාර්වරීට යටි හිත කොඳුරනවා ඇසුණාය.
කෑම සැකසෙන්න යන වෙලාව ඕනවටත් වඩා වැඩි බව හිතෙද්දි ශාර්වරී උන්නේ පුදුමාකර නොඉවසිල්ලකිනි. සකස් වූ කෑම බඳුන් කවුන්ටරය වෙත ආ සැනින් ඒවාද රැගෙන ලිෆ්ට් එක වෙත ගිය ශාර්වරී අදාල තට්ටුවෙ බොත්තම ඔබේ ලිෆ්ට් එක උඩට යනතුරුත් බලාගෙන උන්නේ නොඉවසිල්ලකිනි. ලිෆ්ට් එක උඩට යන වාරයේ පපුව ගැහෙන බවත්, ඒ ගැස්සීම ඔංචිල්ලාවක් උඩට ගොඩ පහල එද්දී බඩට දැනෙනන් අමුතු කිතියක් වගේ හැඟීමක් දනවන බවත් ඒ හැඟීම වනාහී හිත අස්සේ හැංගී තිබෙන ආදරේ දැනෙන එක විදියක් වෙන්නට හැකි බවත් ශාර්වරී හිතුවාය.
“ටිං” කියන හඬ එක ලිෆ්ට් එක අදාල තට්ටුව වෙත සැපත් වුණි. ශාර්වරී නෙවින්ගේ අපාටමන්ට් එක පසු කර කෑම ඕඩර් එක භාරදෙන්න තියෙන අපාට්මන්ට් එකට යන අතරවාරයේ නෙත් දෙකට නිවිහැනහිල්ලේ නෙවින්ගේ අපාට්මන්ට් එකේ දොර වෙත යන්න ඉඩ දුන්නාය. එහෙත් එහි ඔහුගේ රුවක් ඇඳී තිබුනේ නැත. දොර තිබුණේ වැසී ගොසිනි.
කෑම ඕඩරය අදාල අපාට්මන්ට් එක වෙත භාරදෙන්න ගිය විනාඩි කිහිපයේත් ශාර්වරීගේ හිත තිබුනේ ඉන් අපාට්මන්ට් දෙක තුනකට එහයින් තිබෙන නෙවින්ගේ අපාට්මන්ට් එක ලඟය. කෑම ඕඩරය භාර දී එන අතරතුරේ “අනේ නෙවින් එලියට එන්නකෝ” කියා හිත කිව්ව කතාව ඇහුණාක් වගේ ශාර්වරී ඒ අපාට්මන්ට් එක පහුකරන්න අඩි දෙක තුනකට එහයින් ඉද්දී නෙවින්ගේ අපාට්මන්ට් එකේ දොර හැරුණි.
දෙතොල් අතට සිනාවක් ආවේ නිරායාසයෙන් බව ඇත්තකි.
එහෙත් ඇරුණ දොරෙන් එලියට ආ රුවට ඒ සිනහව මුවින් මකාලන්න, හිත ඇතුලේ මහෝඝයක් ගොඩ නගන්න වැය වුණේ තප්පර ගාණකි.
“ඒ එදා නෙවින් එක්ක රෙස්ටුරන්ට් එකේ කිස් කර කර උන්නු කෙල්ල නේද?”
යටි හිත එහෙම කියද්දී ඒ කෙල්ලට පිටුපසින් විවර කර දොර අල්ලගෙන උන්නු නෙවින්ගේ දෙනෙත් එලියේ අඬන්න ඔන්න මෙන්න මුහුණක් එක්ක උන්නු ශාර්වරීගේ දෙනෙත් වල පැටලුණි.