ගයාත්‍රි දෙවෙනි වතාවටත් ජීවිතේ ලොකුම පරාජය ලැබුණා කියන හැඟීම එක්ක කුඩුපට්ටම් වෙමින් හිටියේ. අවුරුදු දෙකක් ඇතුලත දෙවෙනි වතාවටත් මහේලගෙයි, ගයාත්‍රීගෙයි හීන බොඳ වෙලා ගියා. ගයාත්‍රි තුන් වෙනි දවසටත් නිවාඩු අනුමත කරලා ඉල්ලලා ඉල්ලීමක් කලා. ඇගේ තත්වය දැනන් උන්නු ආයතන ප්‍රධානියා ඇයට සතියක් නිවාඩු ගන්න සලස්වන්න කියලා පරිපාලන නිළධාරිනියට කිව්වා. ගයාත්‍රී ඇඳෙන් බිමට බැස්සේ නාන කාමරයට යන්න විතරයි. මහේල ඉන්නවද කියලාවත් වගක් තිබුණේ නැහැ. ගෙදර වැඩ කටයුතු ගැන සිහියක් නොතිබුණ තරම්.
දෙවෙනි වතාවට මාසෙන් මාසෙට ගයාත්‍රීගේ මෝරන කුස දිහා බලාගෙන මවපු හීන එක ක්ශණයෙන් අවසන් කියන එක මහේලටත් දරාගන්න ලේසි වුණේ නැහැ. රෝහලේ ඉඳන් ගයාත්‍රිව එක්කගෙන ආව දවසේ රෑ මහේල රූෆ් ටොප් එකට වෙලා මත් වෙලා ඇඬුවා. එහෙමම නින්ද ගියා. ඇහැරුණේ පාන්දර. එවෙලේ එක පාරටම මතක් වුණේ ගයාත්‍රිව. මහේල කඩාගෙන බිඳගෙන කාමරේ ට ආවා. ඒ වෙනකොටත් නාන බේසම ඇතුලේ වැතිරිලා අඬ අඬා උන්න ගයාත්‍රිව දැකපු එක තමයි මහේලගේ ජීවිතේ වැඩියෙන්ම බය වුණ දවස. ගයාත්‍රී හිටියේ සිහියකින් නෙවෙයි.
මහේල ගයාත්‍රිව උස්සගෙන කාමරේට ආවේ අම්මාට කෑ ගහන ගමන්. තෙත පිහිදලා, ඝණ රෙද්දකින් ඔතලා, අත්, පතුල් පිරිමදිනකොට ගයාත්‍රී ඇස් ඇරලා වචනයක් කතාකලා.
“අපේ පැටියා…”
මහේලගේ අම්මා ගයාත්‍රීට නිදාගන්න උකුල හදලා දුන්නා. කැමැත්තෙන්ම ගෙදර වැඩ කටයුතු බලාගන්න දින කිහිපෙකට ගෙදර නැවතුණා. ඒත් ගයාත්‍රිව සනසන එක මේ වතාවේ අපහසු වුණා.
“වඳ ගෑණු මුලිච්චි වෙන එක අසුභයි…”
මිනිස්සු එහෙම කියාවි කියලා ගයාත්‍රිට හිතෙන්න ගත්තේ කොහෙදෝ තිබිලා කියවපු කතාවක් මතක් වෙලා. ඒ නිසාම කාමරෙන් එලියට නොයන්න ගයාත්‍රී වග බලා ගත්තා. මහේලට මුහුණ නොදී ඉන්න පරෙස්සම් වුණා. මහේල ඉවසීමෙන් බලාගෙන හිටියේ ගයාත්‍රීට තනියෙන් හිත හදාගන්න පුලුවන් සීමාවට පනින්න හදිසි නොවී. ඒත් සතියක් යනකල්ම නිහඬ පිළිවෙත් පුරන තමන්ගේ ප්‍රේමවන්තිය, බිරිඳ දිහා ඒ නිහඬ ස්වරයෙන්ම බලාගෙන ඉන්න එක මහේලට ලේසි වුණේ නැහැ.
ඒත්, මහේලට කලින් ගයාත්‍රී කතා කලා.
“මට දික්කසාද වෙන්න ඕනි..”
පරමාණු බෝම්බ කෑල්ලක් පපුව මැද පුපුරන කුඩුපට්ටම් වීම දැනි දැනීම මහේල ඒ වගක් නැති සැහැල්ලුවකින් ගයාත්‍රී ට ලං වෙලා ඉඳ ගත්තා.
“ඇයි..? ලස්සන කොල්ලෙක්වත් සෙට් වෙලාද ?”
ඉස්සර මනමාලකන් එක්කම ආයෙම ඇහුවා.
“මං ඇත්තටම කියන්නේ මහේල… ඔයා ඉස්සරහට යන්න… මට.. කවදාවත් බැරි වේවි…”
“ඉස්සරහට කියන්නේ, ? මෙහෙමම යන්නද? නැත්නම් හැරිලා අර දොරෙන් ඉස්සරහට යන්නද ?
මහේල එහෙම ඇහුවා. එතකොට නම් ගයාත්‍රී ගේ මූණට මලක් වැටුණා. හිනා මලක්.
“ගමනක් යමු …”
මහේල ගයාත්‍රී ව එක්කගෙන සඳුන් කීව ළමා නිවාසෙට ගියා. මාස දෙකේ ඉඳන් අවුරුදු පහ වෙනකල් පොඩි පැටවු හතලිහක්. එදා ඉඳන් සති අන්තේ දෙන්නට විවේකයක් තිබුණේ නැහැ. ගයාත්‍රී ජීවිතේ පුරවගන්න උත්සාහ කරමින් හිටියා.
මාස තුන හතරක් ගෙවුණා. ගයාත්‍රී ගේ හිතට බරක් නොවෙන බලාපොරොත්තු එක්ක, වෛද්‍ය උපදෙස් වලට අනුව මහේල ආයෙම හීන පාට කරන පාරට යන්න ගයාත්‍රී ට කතා කලා. මාස දෙකක් යනකොට ආයෙම ගයාත්‍රී ළඟ තව පණක් ගැහෙන්න ගත්තා.
මාසේ, දෙක, තුන ගෙවුණා. හිත් වල තිබුණ සැක සංකා ගැන හිතන්න වෙලා නොතිබෙන තරමට ළමා නිවාසේ වෙනුවෙන් සැලසුම් දෙන්නාටම තිබුණා
නව මාසයක් ඉවර වුණා. අන්තිමේදී, ජීවිතේ බලාපොරොත්තු පුරපු හීනේ මහේලගේ අත් දෙක උඩින් තියලා ගයාත්‍රී ඒ උරිස්සේ වෙහෙස නිවන්න හිස තියාගත්තා.
“මොකද්ද එයාගේ නම ?
“දේදුණු..”
මහේල හරි ආඩම්බරෙන් කියනවා. දේදුණු පාට අරගෙන ජීවිතේ ට පායපු දේදුන්න ඇය. අහිමිවෙලා ගියපු පාට කතන්දර දෙකකට පස්සේ අලු පාට ජීවිතේ පාට කරපු දේදුන්න ඇය.
“ඔයාගේ තාත්තා වගේ හස්බන්ඩ් කෙනෙක් තමා හැම වයිෆ් කෙනෙක්ම ලබන්න ඕනි.. එයා නොහිටින්න ඔයාගේ අම්මට පිස්සු හැදෙනවා දෝණී..”
දේදුණු ට දැනුම් තේරුම් තියෙන කාලේදී ගයාත්‍රී ඔය කතාව නොකීව දවසක් නැති තරම්.
| අපේක්ෂා ගුණරත්න |
ReplyForwardAdd reaction |