එකම එක හාදුවක් – 24

0
4896

නෙවින් එදා ක්ලබ් එකේ හිඳ ගෙදර ඉද්දී සුපුරුදු විදියටම රෑ වෙලා තිබුණේය. ශාර්වරී දැන් නිදාගෙන ඉන්න හන්දා මැසේජ් එකක් දාලා නින්ද කඩන්න අදහසක් හිතේ තිබ්බෙ නැති හන්දා නෙවින් තමන් ගෙදර යන බව කියන්න දුරකතනය අතට ගත්තේ නැත. අනෙක් අතට ශාර්වරී එක්ක හවස කල සංවාදය හිත අස්සේ හැන්දෑවේ සිට ගොඩනගා තිබ්බ සතුට අංශු මාත්‍රයක්වත් ඒ වනවිටත් මැකී ගොස් තිබුනේ නැත. තමන් අද ඇත්තටම මත් වී හිඳින්නෙ මත් පැන් නිසා නොව ශාර්වරී නිසා බව නෙවින් හිතුවේ ඒ හන්දාමය.

“නිදාගන්න. දැන් නිදාගන්න එකක් තමයි හැබැයි අන්තිමේ ඉතිරිවෙන්නෙ”

“ඇයි එහෙම කිව්වේ?”

“මං ඔයාව මගෙ ළඟට ගත්තට පස්සෙ ඔයාට රෑට නිදාගන්න දෙන්නෙ නෑ මං”

“ආහ් ඔයා මොකටද මාව ඔයාගෙ ලඟට ගන්නෙ? මට කාගෙවත් ලඟට එන්න ඕන නෑ. මට මෙහෙම ඉන්න එක හොඳයි”

“දැන් ඔහොම කිව්වට ලඟට ආවට පස්සෙ නම් යන්න බෑ කියල තමයි කියන්නෙ”

“ඒ මෙච්චර කල් ඔයා එක්ක ඉඳපු අනිත් කෙල්ලො කිව්ව කතා වෙන්නැති. මං එහෙම එක්කෙනෙක් නෙවෙයි”

“හරි මට කියන්නකො ඔයා කවදහරි සෙට්ල් වෙන්න කෙනෙක්ව තෝරගන්නවනම් ඔයා තෝරගන්නෙ මොන වගේ බෝයි කෙනෙක්ද කියලා”


“මං කවදාවත් කාවවත් තෝරගන්නෙ සෙට්ල් වෙන්න හිතාගෙන නෙවෙයි”

“එහෙනම්?”

“ආදරේ කරන්න. සෙට්ල් වෙන එක වෙන බව ඇත්ත. ඒ උනාට මට ඕන ආදරේ කරන්න. ඒ නිසා මම ආදරේ කරන්න කෙනෙක්ව තමයි හොයාගන්නෙ”


“හරි ඔයා කොයි වගේ කෙනෙක්ද කියන්නකො හොයාගන්නෙ ආදරේ කරන්න?”

“තාත්තා වගේ කෙනෙක්”

“තාත්තා වගේ කෙනෙක්? ඇයි එහෙම කිව්වෙ?”

“තාත්තට ආදරෙයි මං. එයා නැතිවෙච්ච වෙලා මට හරි අමාරු උනා දරාගන්න. තාත්තා කවදවත් හිත රිද්දුවෙ නෑනෙ. ආදරේ කරාට එයා කවදාවත් හිත රිද්දුවෙ නෑ. එයා නැතිවෙච්ච වෙලාවෙ තමයි මගෙ හිත ගොඩක් රිදුනෙ. තාත්තා නැතිවෙලා දැන් අවුරුදු ගාණක් වෙලත් ඒ දුක තාම අලුත්, තාත්තට ආයෙ එක පාරක් හරි ඇවිල්ල මට කතා කරන්න පුලුවන් නම්, මං ඒ වෙනුවෙන් ජීවිතේම උනත් දෙන්න ලෑස්තියි.”

“තාත්තා නැතිඋනේ කොහොමද?”

“හාට් ඇටෑක් එකකින් නැති උනේ තාත්තා. මං එතකොට ඒලෙවල් කරලා ඉවරයි. ඒ කාලෙ දැන් වගේ ලොකු කරදර අඩුපාඩු තිබ්බෙ නෑ. තාත්තා නැති උනාට පස්සෙ අම්මා ෆුල් ටයිම් මහන වැඩ කරන්න ගත්තා. අම්මට තනියෙන් කරන්න බැරි හන්දා තමා මම පාට් ටයිම් වැඩ හොයාගත්තෙ” ශාර්වරී එහෙම කියද්දී ඒ මනස්කාන්ත ඇස් දෙකට එහා පැත්තෙන් විශාල දුකක් හිරකරගත්ත පුංචි හිතක් තියෙන බව නොහිත ඉන්න පුලුවන්කමක් නෙවින්ට තිබ්බේ නැත. තමන් මේ හීන් සැරේ ලංවෙන්න පාර කපන්නේ එහෙම රිදිච්ච හිතක් තියෙන පුංචි කෙල්ලෙක් ලඟටය. තමන් වඩාත් පරිස්සම් විය යුත්තේ අන්න ඒ හන්දා බව නෙවින් ඒ වෙලාවේ වාහනය පදවන ගමනුත් හිතුවේය. 

නෙවින් ගෙදර ඉද්දී රෑ දෙක පහුවෙලාය. ඉක්මනට ඇඟ පත සෝදාගත් නෙවින් ඇඳට වැටුනේ නිදාගන්න හිතාගෙනය. හෙට උදේම ෆිට් මොඩ්ලින් වලට යන්න නැති හන්දා හොඳය, දවල් වෙලා බිස්නස් එක පැත්තේ ඔලුව දාන්නත් ඕනය. ඒ ඔක්කොටම යන්න කලින් රෙස්ටුරන්ට් එකට ගොස් ශාර්වරීට මොනවා හෝ කියා ඒ මූණ රතුවෙනවා බලා එන්න ඕනය.

නෙවින්ට නින්ද ගියේ ඔන්න ඔය සිතුවිලි එක්කය. 

ඒ නින්ද සුවබර ද නැද්ද කියා කියන්නවත් තේරුමක් නැතිවෙලාවක නෙවින් උඩ ගොස් ඇහැරුනේ ගෙදර දොර සීනුව නාද වනවා ඇසීය. ඇඳට එහා පැත්තේ තියෙන සයිඩ් කබඩ් එක උඩ තියෙන ඔරලෝසුව කියන්නෙ වෙලාව අට හමාර බවය. උදේ දෙක පහු වී ඇවිත් නිදාගන්න යද්දි තුනහමාර විතර වී තිබ්බ එකේ මෙච්චර වෙලාවක් නින්ද ගිය එක සාධාරණය. එහෙත් දොර සීනුව නාද කරන එකා කවුරු උනත් මෙච්චර උදයෙන් එයාට තමන් එක්ක තියෙන ගනුදෙනුව මොකද්ද කියන එක නෙවින්ට හිතාගන්න බැරිය. නෙවින් ඇඳෙන් නැගිට්ටේ ඔන්න ඕව හිතන ගමන් ය. අමාරුවෙන් වගේ ඇඳෙන් නැගිට ගත්තත් නෙවින් උනේ ඇවිදගෙන ගොස් දොර ඇරගන්න පණක් ඇතුව නොවේ. නිදිමත් බේරෙන්නෙ ඇස් දෙකෙන් විතරක් නොවේ මුලු ඇඟෙන්මය. කොහොම හරි අපහසුවෙන් වගේ ශරීරය ඇඳෙන් උස්සගත් නෙවින් සාලය දිගේ ඇවිද ගොස් දොර ඇරියේ ඒ දොරෙන් එහා පැත්තේ කිසිම විටක ආලියා හිඳීවි යැයි කියා සිතා නොවේ.

“ආලියා?” නිදිමත නැතිඋනේ ආලියා තමන්ගේ ගේ ඉස්සරහ හිටගෙන ඉන්නවා දැක්කමය. තමන් ඉන්නේ චූටිම චූටි බොක්සර් කලිසමක් පිටින් කියන එකවත් ඇත්තටම නෙවින්ට ඒ වෙලාවේ එච්චර මතක තිබ්බේ නැත.

කෙනෙක්ගේ ගෙදරකට ඇතුලුවෙන්නට නම් අවසරයක් තියෙන්න ඕන බව දැනගෙන උන්නත් මේ වෙලාවේ ආලියාට ඒ කිසි අවසරයක් උවමනා උනේ නැත. දොර ලඟ හිටගෙන උන්නු නෙවින් ව තල්ලු කරගෙන ගෙට ආ ආලියා දොර වසා නෙවින්ව බදා වැලඳගත්තේ හඬමින් ය.

“අනේ මට මෙහෙම කරන්න එපා නෙවින්. මට පිස්සු හැදිලා මැරිලා යනවා බලන්නද ඔයාට උවමනාව තියෙන්නෙ? ඇයි මට මෙහෙම කරන්නෙ? අඩුම ගාණෙ ක්ලබ් එකේදිවත් ඔයා මාත් එක්ක හොඳට කතා කරයි කියල හිතාගෙනයි මම ඊයෙ ක්ලබ් එකට ආවෙ.ඔයා අඩුම ගානෙ මාව ගෙදරින් ඩ්‍රොප් කරන්නම් කියල කියාවි කියලයි මම හිතුවෙ. මට ගෙදර ගියාට නින්ද ගියේ නෑ නෙවින්. මට දරාගන්න බැරිම තැනයි මම මේ ගමන ආවෙ. ඇයි මාව මෙහෙම පිස්සෙක් කරේ? අනේ නෙවින්? මට නින්ද යන්නෙ නෑ. මට කන්න බෑ. මට කිසිම දෙයක් ගැන කිසිම ඉන්ටරස්ට් එකක් නෑ” කියමින් තමන්ගේ ඇඟේ එල්ලි  හඬන ආලියාව අයින් කරන්න කොච්චර උත්සහ කරත් ආලියා උන්නේ කූඩැල්ලෙකු වගේ නෙවින්ගේ උරහිස් වල එල්ලී කඳුලු වක්කරමිනි. බොහොම අමාරුවෙන් ආලියාව තමන්ගේ සිරුරෙන් ඈත් කර සෙටිය වෙතට තල්ලු කර නෙවින් “ යූ වේට් හියර්” කියා කාමරේ ඇතුලට ගිහින් කලිසමක් ඇඟට දාගත්තද කමිසයක් හොයාගන්න පුලුවන්කමක් තිබ්බේ නැත. තමන් කමිසයක් හොයාගන්න මහන්සි වෙන වෙලාවේ ඔය ගෑණි කාමරේ ඇතුලට ඒවි කියා හිතපු හන්දාම නෙවින් ටක්ගාලා කාමරයෙන් එලියට යද්දිත් ආලියා සෙටියේ වාඩි වී බලාගත්ත අත බලාගෙන උන්නාය.

“නෙවින්…” කියාගෙන ආලියා ආයෙ වතාවක් තමන්ගේ ඇඟේ එල්ලෙන්න එනවා වගේ පෙනිච්ච හන්දා නෙවින් අත දික්කර ඔතනම වාඩිවෙලා ඉන්න කියා කියද්දී වෙන කරන්න දෙයක් නැති හන්දම ආලියා සෙටියෙන් වාඩි වුණාය.

“ආලියා මම ඔයාට හරිම පැහැදිලිව කිව්වා. මුල ඉඳලම මම කියන්නෙ ඔය රිලේශන්ශිප් වලට යන්න කැමති ජාතියෙ මිනිහෙක් නෙවෙයි කියන එක. අනික් එක එහෙම රිලේශන්ශිප් එකකට ගියත් මම තෝරගන්නෙ මම කැමති ජාතියෙ කෙල්ලෙක්. ඒකට බලපෑම් කරන්න ඔයාට තියා මේ ලෝකෙ ඉන්න කාටවත් බෑ. එක දවසක්, එකම එක දවසක් අපි බීලා උන්නු වෙලාවක වෙච්ච වන් නයිට් ස්ටෑන්ඩ් එකක් හන්දා මම ඔයාට ආදරෙයි කියලා හරි මම ඔයා එක්ක අෆෙයාර් එකකට ඒවි හරි කියල ඔයා හිතනවනම් ඔයාට හොඳටම වැරදිලා”

“ඔයා ඇයි මාව ඔච්චර රිජෙක්ට් කරන්නෙ? ඔයා කලින් අර කවුද කෙල්ලෙක් එක්ක ලිවින් ටුගෙදර් ඉඳියා. ඔයා රිලේශන්ශිප් වලට යන කෙනෙක් නෙවෙයිනම් ඔයා ඇයි එහෙම දේවල් කලේ?”

“ඔව් මං ලිවින් ටුගෙදර් ඉඳලා බැලුව මට එහෙම ඉන්න පුලුවන්කමක් තියෙනවද කියලා? එහෙම ඉන්න බැරි තැන තමයි අපි කතා බහ කරලා වෙන් වුනේ. ඊටපස්සෙ මම එහෙම සීරියස් රිලේශන්ශිප් එකකට ගියේම නෑ. දැන් අවුරුදු ගාණකට කලින් වෙච්ච දේවල් ඇදලා අරගෙන මගෙන් අහන්න එපා ආලියා ඇයි මම ඔයාට අකමැති. මගේ පර්සනල් ලයිෆ් එකේ ඩිසිශන්ස් මම ගන්නෙ මට ඕන විදියට මිසක් මම එක දවසක් නිදාගත්ත ගෑණූන්ට ඕන විදියට නෙවෙයි. මම හරිම අකමැති දෙයක් තමයි ඔය ගෑණු මගේ පස්සෙන් එන එකයි කරේ යන්න එන එකයි”

“කලින් වතාවෙ ලිවින් ටුගෙදර් ඉඳපු එක හරිගියේ නැත්තෙ ඔයාට ඒ මනුස්සය ගැලපුනේ නැති හන්දා වෙන්න බැරිද නෙවින්? ඇයි අපිට බැරි පොඩ්ඩක් විතර මේක කන්සිඩර් කරලා බලන්න. අනික ඔයා මට ආදරේ නොකලත් මම ඔයාට ආදරෙයි නෙවින්. ඔයාට ඒක තේරෙන්න තව කල් යාවි”

“මට ඒක තේරෙන්න තව කාලයක් යන්න ඕන නෑ ආලියා. අයි ඕල් රෙඩි නෝ දැට් යු ආ නොට් ද රයිට් වන් ෆො මී. ඔයා මං ගැන පොඩ්ඩක් හරි දන්නවනම් කීයටවත් මේ විදියට මගෙ පස්සෙන් එන්නෙ නෑ. සෝ ප්ලීස්, ආයෙ ඔයා මේ විදියට මගෙ ගෙදරට බලහත්කාරෙන් කඩං පනින්න හිතාගෙන ඉන්නවනම් ඔයා හිතන්න එපා මම ඒකට ඇක්ශන් එකක් ගන්න එකක් නෑ කියලා. මම සාමාන්‍යයෙන් මාත් එක්ක ඉඳිය උනත් නැති උනත් ගෑණුන්ට සලකන්න නොදන්න මිනිහෙක් නෙවෙයි. හැබැයි මගේ පර්සනල් ස්පේස් එක ඉන්වේඩ් කරනවනම් මම ප්‍රයෝරිටි එක දෙන්නෙ සහ දෙන්න වෙන්නෙ මගෙ මෙන්ටල් පීස් එකට කියන එක අමතක කරන්න එපා”

කොච්චර කරුණූ පහදා දුන්නත් ආලියා ඒ කිසිත් පිලිගත්තෙ නැති තැන ආලියාව ගෙදරින් පිටමං කරගන්න එක කරන්න උනේ බලහත්කාරයෙන් වගේය. දොර අරින්න යන වෙලාවෙත් ආලියා රතු කරගත්ත ඇස් දෙකකින් තමා දිහාම බලාගෙන උන්නේ තමන් ගේ අදහසේ සුලු හෝ වෙනස් කමක් වේවි යැයි කියා නමුත් එහෙම දෙයක් නොවන බව දන්න හන්දාම කිසිම හැඟීමක් නැති දෙනෙතකින් ආලියාගේ දෙනෙත දිහා එක එල්ලේ බලන්න බැරිකමක් නෙවින්ට තිබ්බේ නැත. ආලියා නික්ම යන්න තීරණය කලේ ඒ බැල්මේ වූ යම් කිසි විධානයක් හන්දාය. 

දොර විවර කරන්නට තමන් ඉක්මන් උනේ මේ වාත කරුමෙ ගෙයින් පිටමං කරගන්න තිබිච්ච උවමනාව හන්දා බව දන්නවා උනත් ඒ විවර වෙච්ච දොරෙන් එලියේ කිසිම වෙලාවක ශාර්වරී නැවතී හිඳිනු ඇතැයි නෙවින් කිසිම විටෙක බලාපොරොත්තු උනේ නැත.

“ඔය කරගත්තෙ. කෙලියා නේද තාප්පෙට” කියා හිත කියන්න ඇත්තේ ඒ හන්දාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here