නිබ්බුත ගීත -18

විෂමතා කෙතෙක් වී ද ප්‍රේමය හදවතේ මිහිරක් දනවන්නේ ය. නමුත් ඒ විෂමතා හිතේ සැනසීම ද අහිමි කරන්නේ ය. මගහැර යා නො හැකි ලෙස ලෝචන ගේ ප්‍රේමය නමැති මධු කෙමියෙහි ගිලීමෙන් ඉක්බිති මට මා සතුව තිබි සැනසිල්ල අහිමි වී ගිය බව පිළිගත යුතු ය. සඳනි මගේමිතුරිය ද ඔවුන් ගේ ඉහළ සමාජ තත්වය ද නිරන්තර මා ගැස්මක රඳවනා ලදී. ලෝචන ගේ කාමරය තුළ දී ඔහු මගේ අතින් අල්ලා ගෙන සිටිනු ද මා ඒ ග්‍රහණයෙන් මිදී නික්මෙන්නට හදනු ද මගේ ම දුප්පත් අම්මා ගේ ඇස් දෙකෙන් දුටු බව ප්‍රත්‍යක්ෂ වෙත්දී මම අලුතෙන් ම දැවී- පිළිස්සී- අළු වී ගියෙමි. කිසිත් වෙනස් කරන්නට හෝ ආපසු හරවන්නට මට හැකියාවක් තිබුණේ නැත.

“මෙ…හැලපයක් චූටි බබා”

යනුවෙන් පවසා හැලප එක ලෝචන අතට පත් කළ අම්මා ලහි ලහියේ කාමරයෙන් නික්මුණේ මා දවා ලන බැල්මක් ද සමගිනි.

“නිබ්බුතා මෙහෙට වරෙං”

ඇය ඉතා හෙමිහිට වී ද දැඩි ලෙස මා ආමන්ත්‍රණය කළා ය. අම්මා ගේ මුහුණ මත බලවත් නො සන්සුන්තාවක් කැරලි ගසන හැටි මම දුටිමි. ඇගේ උසාවියේ නඩු අසන්නට වෙලාවක් කලාවක් නැත්තේ ය. වරදක් සිදු වන්නේ යම් මොහොතක ද ඒ ඕනෑ ම මොහොතක ඇගේ උසාවියේ නඩුව විසඳෙන බව මම දැරියක දා සිට දන්නෙමි. අම්මා තාත්තාව අතැර ආවේත් එසේ ය. නඩු ඇසුවේත් ඇය ය. තීන්දු දුන්නේත් ඇය ය. නෛතික දික්කසාද ඇය ට ඕනෑ නො විණ. ඇය හදවතින් ම තාත්තා ව දික්කසාද කළා ය. අම්මා ගේ උසාවියේ තීන්දු බරපතල ය.

ඒ කලබල හා සෙනග අස්සේ නඩු විභාගයක් කරතැයි මා බලාපොරොත්තු නොවී ද අම්මා මා කැටිව කුස්සිය පැත්තේ කවුරුත් නැති ඈතකට ගියා ය.

“මොකද්ද වුණේ මට ඇත්ත කියපං”

එය බරපතල විධානයකි. මම වෙව්ලා ගියෙමි. අම්මා ගේ ඍජු හා තීක්ෂණ ඇස් ඉදිරියේ මගේ ඇස් පර වෙන මල් පෙති සේ බිමට හැරුණේ ය. ඇය ඔය වාගේ කතා කරන්නේ දැඩි කේන්තියෙන් වෙව්ළුම් කද්දී බව මම දනිමි.

“ඇයි අම්මෙ මේ…”

මා අසා ගත්තේ වෙව්ළුම් ස්වරයෙනි.

“හැයි අම්මෙ මේ නෙවෙයි…චූටි බබා උඹට කරදර කරන්න හැදුවද…”

“කරදර…අනේ මොනාද අම්මෙ කියන්නෙ…විහිළුවට…”

“මේ මහත්තුරුත් එක්ක අපිට මොන විහිළුද බොලං…මට ඇත්ත කිහාං…එහෙම නැත්තං මොකද්ද උඹල අතරෙ තියෙන්නෙ…”

“මුකුත් නෑ අම්මෙ”

“හ්ම්. යමංකො. මං අල්ල ගන්නංකො උඹව”

ඒ වෙලාවේ ඒ තරමින් මා මුදා හරින්නට අම්මා ට සිත් වීම ගැන මම දෙවියන්ට ස්තූති වන්ත වෙමි. මේ ගෙදර ලොකු දෙයක් සිදු වෙමින් පවතින නිසාත් මා මධාරා අක්කා ගේ දෙවන මනාලිය නිසාත් අම්මා ට මා ගෙදර ගෙන යාමට නො හැකි ය. ඒ නිසා වෙලාවේ හැටියට කර බා ගන්නට ඇය ට සිදු වන්නට ඇත.

මධාරා අක්කා ගේ කාමරයට වී නිදන්නට උත්සාහ කළ ද ඉන් පසු මට නින්ද ගියේ නැත. අළුයම අප දෙදෙනාව රූපලාවන්‍යාගාරය වෙත රියෙන් කැටිව ගියේ ලෝචන ය. ඔහු ගේ මූණේ පසුතැවීමක් තිබෙනු මම දුටිමි. රියෙහි යන තෙක් ම ඔහු කතා බහක් කළේ නැත. මධාරා අක්කා විසින් අසනා ලද අත්‍යාවශ්‍ය දේකට පිළිතුරු දුන්නා පමණකි. 

“මොකද මේ…”

මධාරා අක්කා රහසින් මගෙන් ඇසුවා ය. මට කළ හැකි වූයේ යන්තම් සිනහ වෙන එක පමණකි.

රිය නතර වූ ගමන් මධාරා අක්කා බැස ඇතුළට දිව ගිය අතර අවශ්‍ය කලමනා ද ගෙන මා බසිත්දී ලෝචන “සොරි” කියා කීවේ ය. හදවත ක්‍රියාකාරීත්වය නතර වූවා සේ මට දැනිණ.

“අම්ම බැන්නද…”

මම දෙතොල් තද කර ගෙන සිනහ වුණෙමි.

“නෑ”

වෙන යමක් පවසා මේ ලස්සන දවසේ ඔහු ගේ හිතට බරක් එකතු කරන්නට මට සිත් වූයේ නැත.

“මං මහ මෝඩ විදිහට හැසිරුණෙ. ආයෙ එහෙම වෙන්නෑ”

“මං යන්නං. මධාරක්කා බලං ඇති”

ඇයි දෝ මන්දා මට ඕනෑ වූයේ එතැනින් යන්නට ය. ඕනේ කියා හදවත කෑ ගසා කියනා දේවල් නෑසුණා සේ නික්ම යන්නට ඇතැම් විට අපි ගුප්ත කැමැත්තක් දක්වමු. කෙසේ වෙතත් රූපලාවන්‍යාගාරයේ දොරකඩට යන්නටත් පෙර,තව විනාඩියක් හෝ ඔහු ළඟ හිටියා නම් කියන සාංකා සිතිවිල්ල මා පෙළුවේ ය. එය මිශ්‍ර රසයක් දැනවූවා වූ මොහොතකි.

රූපලාවන්‍ය කියන්නේ විශ්මිත කලාවකි. මධාරා අක්කා කෙසේ වී ද මා ඒ තරම් නෙත්තාකර්ෂණීය කරන්නට රූපලාවන්‍යයේ සමත් වීම මට අදහා ගත නො හැකි ය. ලා දම් පැහැති ඔසරිය ද මල් කළඹ ද මගේ සිරුර හා මැනවින් මුහු වී තිබුණේ ය. යළි අප හෝටලය වෙත කැටිව යන්නට පැමිණ සිටි ලෝචන ද ඒ අදහා ගත නො හැකි වීම තුළ වූවා කියා සිතමි.

“මොකද නිබ්බුතා දිහා හොරෙං බලන්නෙ…හොඳට බලනව…මං කාටවත් කියන්නෑ”

මධාරා අක්කා කළ විහිළුව නිසා වඩාත් අපහසුතාවයට පත් වූයේ මා ය. ලෝචන ගේ මුහුණට ක්ෂණික ලස්සන සිනහවක් නැගියේ ය.

“වැඩේමයි බලන්න”

ඔහු එහෙම කීවේ සිනහ සිසී වී ද ඒ වෙලාවේත් ඇස් තිබුණේ මදෙස හැරී ය. මාත් එක්ක තනිව කතා කරන්නට ලැබුණ ඉසිඹුවක දී ඔහු “ඇත්තටම මාර ලස්සනයි” කියා කීවේ ය. 

“සඳනිට කැමති වෙන්නැතුව එක ගෑනු ළමයෙක් වෙනුවෙන් බලං හිටිය එක ගැන දැන් තමයි නියම ආඩම්බරේ දැනෙන්නෙ”

“සඳනිට කැමති නොවුණෙ මන් නිසාද…”

“ආ…දැන් ඒ වචනෙ එල්ලිල යාළුවට සාධාරණේ ඉෂ්ට කරන්නද හිතුවෙ…”

එය තනිකර ම සුරංගනා ලොවක් කියා සිතමි. එහි සුරඟනක කියා නොව මට දැනුණේ නිබ්බුතා කියන දුප්පත් කෙල්ල සුරංගනා ලෝකයක් සිහිනයෙන් දකිනවා කියා ය. ඒ තරම් ප්‍රභාමත් මංගල උළෙලක් ඊට පෙර මා දැක නැති බව විශ්වාස ය. අම්මා හා මල්ලී මෙහි නොපැමිණීම ගැන සන්තාපයක් ද හදිසියේ මා තුළ පහළ විය. ලෝකයේ යම් තැනක මේ වගේ උත්සව පැවැත්වෙන බව ඔවුන් හිතන්නේ හෝ නැති බව මම දැන සිටියෙමි.

“බෙස්ට්මන් වුණාට කමක් නෑ…ෆොටෝ එකකට හිටියයි කියල බ්‍රයිඩ්ස්මේඩ් දිහා බලන්න බෑ හරිද…”

මනාලයා ගේ මල්ලී යි කී දෙවන මනාලයා ට වරක් ලෝචන මුමුණා කීවේ ය. ඔහු හඬ නගා හිනැහුනේ මදෙස වඩා හොඳින් බලමිනි.

“හොඳ වෙලාවට කිව්වෙ”

එදා මංගල සභාවට මධාරා අක්කලාගේ අසල්වාසීන් බොහෝ දෙනෙක් පැමිණ සිටියහ. ඒ ඇතැමෙකු මදෙස බැලුවේ ‘මේ අර සර්වන්ට්ගෙ දුව නේද’ වැනි බැල්මකිනි. මදෙස බලමින් කාන්තාවන් දෙතුන් දෙනෙකු උනුන්ට මුමුණනු ද දැකිය හැකි විය. මධාරා අක්කා මාව සිය දෙවන මනාලිය ලෙස තෝරා ගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් වන්නට ඇත. බෝනික්කියක සේ පෙනුණ සඳනි නම් මගේ ලස්සන ගැන සැබවින් ම උද්දාම වූවා ය.

“මගෙ වෙඩින් එකේ ඔයාව බ්‍රයිඩ්ස්මේඩ්ට ගන්නකොට මං ලෝචනට කතා කරනව බෙස්ට්මන්ට. ඇත්තට ඔය දෙන්න අද මාර ලස්සනට මැච් වෙනව”

ඇය එසේ කීවේ ඔහු ලා දම් පැහැති කමිසයකට කළු කෝට් හැඳ සිටි නිසා විය යුතු ය.ලෝචන දම් පාට තෝරා ගත්තේ මා නිසා ද කියන්නට මම නො දනිමි. නමුත් අද ඔහු වෙනදාටත් වඩා කඩවසම් යයි ඔහු දෙස බලා සිටිත්දී මට සිතිණි.

“කොල්ලව ඇස් දෙකෙන් ගිලින්නෙපා ඉතින්”

එසේ කියමින් ඇය හඬ නගා සිනහ වූවා ය. එතකොට ම ලෝචන හැරී බැලුවේ ය. මම ලැජ්ජාවේ ඇස් වෙනතක හරවා ගතිමි.

මදුරාපුර මැතිණිය එදා කහ හා රන්වන් පැහැ මිශ්‍ර වූ චාම් සාරියකින් සැරසී සිටියා ය. ඇගේ පෞරුෂය සියල්ලන් අතරේ කදිමට කැපී පෙනෙතැයි මට සිතිණ. මගේ ඇස් නොයෙක වර ඇය ළඟ නතර වූවත් ඇයට නම් මා තවත් සාමාන්‍ය තැනැත්තියක පමණක් වන්නට ඇත. එක වරක් හෝ ඇය මදෙස බැලුවා කියා මම නො සිතමි.

මනාල යුවළ සමග මංගල කණ්ඩායම කෑමට හිඳ ගත්දී ලෝචන ද ඒ මේසයට පැමිණියේ මධාරා අක්කා ගේ තරවටු දෑස ද මනාලයා ගේ හා දෙවන මනාලයා ගේ උසුළු විසුළු ද මධ්‍යයේ ය. 

“අපේ අක්ක මාත් එක්ක එකට කෑම කන අන්තිම දවස…ඒකයි…”

“ඇයි මං ආයෙ ගෙදර එනවනෙ. එතකොට එකට කෑම කන්න පුළුවන්”

“හරි ඉතිං ඔයා බ්‍රයිඩ් කෙනෙක් වෙලා ඉන්න දවසෙ…මටනෙ ඔයා ළඟ ඉන්න වැඩිම අයිතිය තියෙන්නෙ”

ලෝචන එහෙම කියත්දී මට සිහි වූයේ මගේ මල්ලී ව ය. දවසක මා විවා පත් ව යන දාක ඔහු ට කොයි තරම් වියෝ දුකක් දැනෙනු ඇත්ද? බඩගින්න වතුර වලින් නිවා ගෙන අපි එකට වැටී හිටියේ එක රොත්තේ ය.

මා තව තවත් වේදනාවට පත් කරමින් මධාරා අක්කාව මනාලයාට භාර දී ඔවුන් සුබ මොහොතින් නික්මෙන්නට හදත්දී, ඒ මගුල් ගෙදර අවමගුල් ගෙදරක් කරමින් අක්කා මලෝ වැළඳගෙන හඬන්නට වූහ. සැබවින් මධාරා අක්කා ගේ මව් වුව ලෝචන අයියා වාගේ හැඬුවේ නැත.  අන්තිමට පිටත් වන නැකත ද පසු වී ගෙන යත්දී වැඩිහිටියෝ ඔවුන් ට ඒ බව සැල කර සිටියහ. දෙදෙනා කඳුළු පිසිමින් සන්සුන් වූයේ ඉනික්බිති ය.

මධාරා අක්කලාව එදා ඔවුන් නවාතැන් ගන්නට නියමිත වූ මීගමුවේ හෝටලය තෙක් ගෙන යාම ද පැවරී තිබුණේ ලෝචනට ය. සිය ඇඳුම් පැළඳුම් වලින් නිදහස් වීමට සහය කර ගන්නට මධාරා අක්කා මාව ද කැටිව යා යුතු යයි කීවා ය. ඒ අනුව ඒ ගමනට මට ද එකතු විය හැකි විය. 

මනාල යුවල වෙනුවෙන් මංගල රියෙහි පිටුපස අසුන වෙන් වූ නිසාවෙන් මා අසුන් ගත යුතුව තිබුණේ ලෝචන සමීපයේ ඉදිරි අසුනේ ය. සත්තකට මට දරා ගත නෙි හැකි වේදනාවක් දැනුණේ ඒ ගමන පිටත් වෙත්දී ය. මධාරා අක්කා ඉන් පසු ඒ ගෙදර නැත. ආයේ මට ඒ ගෙදරට යන්නට කිසිදු හේතුවක් නොවන්නේ ය. ළමා වියේ සිට ම මා එහි දිව ගියේ සුරඟනක බඳු ඇගේ දයා කරුණාව නිසා ය. අක්කා කෙනෙකු නොව අම්මා කෙනෙකු වාගේ ඕ මට ඉගෙනීමේ අගය කියා දුන්නා ය. ඉංග්‍රීසි භාෂාව ලෝකයෙහි දොරගුළු විවර කර ගන්නට කෙතරම් වැදගත් දැයි කියා දෙමින් එහි බෝ දුර කැටිව ගියා ය. මගේ ම කෙනෙකු වාගේ ඈ ඉපයූ මුදලින් මාව උසස් පෙළ උපකාරක පන්ති වලට යවා ඉහළ ම ප්‍රතිඵලයක් අත්පත් කොට දුන්නා ය. ඇය නොවන්නට අද වෛද්‍ය පීඨය ගැන බලාපොරොත්තු දල්වා සිටින නිබ්බුතා කෙනෙකු මෙහි නො වන්නට තිබිණ. ඒ සියල්ල පෙරහරක් සේ සිත ඉදිරියේ මැවෙත්දී මා හඬමින් සිටින්නට ඇත. මධාරා අක්කා පිටුපස සිට අත දිගු කොට මගේ කම්මුලක් පිරිමදින තෙක් මා හඬන බවක් මා දැන සිටියේ ද නැත.

“නිබ්බුතා…අනේ ඔහොම අඬල මාව ආයෙ අඬවන්න එපා කෙල්ලෙ. මේ දෙන්න මාරුවෙන් මාරුවට මාව අඬෝනවනෙ අනේ”

මම ඇගේ අත මගේ කම්මුලට තබා තද කොට ගතිමි.  

“මං එනවනෙ එහෙ…අපි හම්බ වෙනව නිබ්බු. ඔයා ෆැකල්ටි යන්න ගත්තට පස්සෙ වැඩ වැඩි වෙයි. එතකොට එච්චර පාළු දැනෙන එකක් නෑ. මගෙ ෆෝන් නම්බර් එක ඔයා ළඟ තියනවනෙ. මල්ලා නිබ්බුතාට කෝල්ස් අරං දෙන්න මට කතා කරන්න හොඳේ. ඔයාගෙ ඕනම දෙයක් ඕන වෙලාවක මට කතා කරල කියන්න. මං ඉතිං ඔයාගෙ අක්කනෙ පැටියො…අපිට අපි නැති වෙන්නෙ නෑනෙ…”

ඇය කෙතරම් දේ කියා මා සනසන්නට තැත් කළ ද ඔවුන් ගේ නවාතැන අසලට යන තුරුත් මා මුළුමනින් සන්සුන් වී සිටියේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles