සිහින අසපුව – 31 කොටස

ආයුෂ්ගේ නිවසෙහි විසිත්ත කාමරය බොහෝ සුන්දර නොවේදැයි එහි හිඳගෙන සිටින ආරාධ්‍යාට සිතිණ. එහි වූ අපූරු කැටයමින් යුත් පැරණි ගෘහ භාණ්ඩ නිවසෙහි පෞරාණික පෙනුම සමග කදිමට ගැලපිණ.

“ලස්සනයි නේද තාත්තෙ?”

ආයුෂ්, නිවස තුළට ගොස් සිටියෙන් ආරාධ්‍යා පියා සමග පැවසුවාය.

“හරිම ලස්සනයි. වෙනමම ලෝකෙකට ආවා වගෙයි.”

“ගිහාන් ඉස්සර ඉඳලම ආසා කළේ පැරණි දේවල් වලට. හොඳ කලාකාරයෙක්. මං හිතුවෙ පුතා දැන් මේ හැමදෙයක්ම වෙනස් කරලා ඇති කියලා.”

ආයුෂ් නිවස තුළ සිට පැමිණියේය.

“අම්මා නිදි අංකල්. නෑව්වට පස්සෙ නින්ද ගිහින්. මේ නින්ද පැයක්වත් නිදා ගනීවි.”

ආයුෂ්, කවීන් සහ ආරාධ්‍යා ඉදිරියෙහි හිඳ ගත්තේය.

“කවුද අම්මව බලාගන්නෙ?”

කවීන් ඇසුවේය.

“කෙනෙක් ඉන්නවා. ලේසි වැඩක් නෙමෙයි. අම්මාට ඇවිදින්න බැහැනෙ. වීල් චෙයාර් එකෙන් එහාට මෙහාට එක්ක යන්න ඕන. වාඩි කරවන්න ඕන. නැගිට්ටවන්න ඕන. අම්මා ඇඳටම වෙලා ඉන්න කැමති නෑ.”

“දැන් කෙනෙක්ව හොයා ගන්න එක ලේසි නෑ. විශේෂයෙන්ම අවංක කෙනෙක්. අසනීපෙන් ඉන්න කෙනෙකුට ආදරේ කරන කෙනෙක්.”

“කීපදෙනෙක්ම ආවා. ගියා අංකල්. ආව හැමෝටම ඕන වුනේ සල්ලි විතරයි. ඇවිත් මාසෙන් දෙකෙන් අම්මව බලාගන්න අමාරුයි කියලා යන්න ගියා. දැන් ඉන්න කෙනා නම් අම්මව තමන්ගෙ අම්මා වගේ ආදරෙන් බලා ගන්නවා.”

ආයුෂ් පැවසුවේය.

“කීයක් ගෙවනවද ඒ කෙනාට?”

“හැට දාහක්. කරන කැපවීමට ඒ මදියි අංකල්. ඉස්සර නම් උදේ ඇවිත් හැන්දෑවට ගියා. දැන් ගෙදරම නැවතිලා අම්මව බලාගන්නවනෙ.”

“ඒක හොඳයි.”

කවීන් එකඟ විය.

“අපි මේ කතා කර කර හිටියෙ පුතා මේ ගෙදර ලස්සන ගැන. මම ඒ කාලෙ ගිහාන් හමු වෙන්න එද්දිත් මේ ගෙදර තිබුනෙ මේ විදියටමයි. ඇත්තටම පරණ දේවල් කොච්චර ලස්සනද? මට දැනෙන්නෙ කලාගාරයකට ආවා වගෙයි.”

ආරාධ්‍යා දෙස බැලූ ආයුෂ් සිනාසුනේය.

“මමත් කැමති තාත්තා කැමති දේවල් වලටම තමයි අංකල්. ගෙදර පරණ පෙනුමත් එක්ක නවීන දේවල් ගැලපෙන්නෙ නෑ. ඒ නිසා කිසිම දෙයක් වෙනස් කරන්න මට හිත දුන්නෙ නෑ. අලුතින් දෙයක් ගත්තත් පැරණි පෙනුමට හරියන විදියට තමයි මම තෝර ගන්නෙ.”

“ආරාධ්‍යා…”

කවීන් අඩ සිනාවෙන් යුතුව පැවසුවේය. 

“මේ ගෙදරට ආවට පස්සෙ ජීවත් වෙන්න ඕන විදිය ගැන ඉගෙන ගන්න වේවි.”

ආරාධ්‍යා ලජ්ජාශීලී ලෙස සිනාසුනාය. ආයුෂ් හඬ නගා සිනාසුනේය.

“එහෙමම නෑ. මගේ කැමැත්ත කවදාවත් මගේ වයිෆ්ගෙ කැමැත්ත වෙන්න ඕන කියලා මං හිතන්නෙ නෑ. එන්න රශ්මි. මෙහාටම ගේන්න.”

ආරාධ්‍යාගේ දෙනෙත් ආයුෂ්ගේ දෙනෙත් යොමු වී ඇති දෙසට යොමු විය. රතු මල් සහිත චීත්ත ගවුමකින් සැරසී තේ බන්දේසියක් රැගෙන බිමට යොමු කර ගත් දෙනෙතින් යුතුව ඉදිරියට පැමිණෙන යුවතිය දුටු සැනින් තම හදවත නතර වූවාක් මෙන් ආරාධ්‍යාට දැනිණ.

“විහාරා…”

එක්වරම නැගී සිටි ආරාධ්‍යාට කෑගැසිණ. විහාරා හිස ඔසවා බැලුවාය. විසිත්ත කාමරයෙහි හිඳගෙන සිටින ආරාධ්‍යා සහ කවීන් දුටු සැනින් ඇය තේ බන්දේසිය අසළ වූ පුටුවක් මත තබා ගෙතුළට දිව ගියාය.

“රශ්මි…”

ආයුෂ් නැගිට්ටේය.

“තේ මග තියලා ගිහින් හරියනවද?”

“විහාරා…” යි හඬමින් දිව ගිය ආරාධ්‍යා දෙසත් සෝෆාව මත හිඳගත්වනම දෑතින්ම හිස බදාගෙන සිටින කවීන් දෙසත් බැලූ ආයුෂ්ට කිසිවක් සිතා ගත නොහැකි විය. 

“අක්කේ…”

ගෙතුළට දිව ගිය ද, ආපසු පැමිණි විහාරා, ආරාධ්‍යා වැළඳගෙන හඬා වැටෙන ආකාරය දුටු ඔහු කවීන් දෙස බැලුවේ කුතුහලයෙනි.

“මොකක්ද අංකල් මේ වෙන්නෙ?”

ආයුෂ් ඇසුවේ කැළඹුණු ස්වරයෙනි.

“ඒ තමයි මං හැමතිස්සේම පුතා එක්ක කියපු මගේ බාල දුව. විහාරා…”

“අංකල්… ඒ රශ්මි.”

“නම වෙනස් වෙන්න ඇති. ඒත් ඒ තමයි මගේ බාල දූ…”

දෙපා අප්‍රාණික වූවාක් මෙන් ආයුෂ් හිඳ ගත්තේය. තවමත් බදා වැළඳගෙන සිටින විහාරා සහ ආරාධ්‍යා ඔහු දුටුවේ බොඳ වූ දෙනෙත් අතරිනි.

“රශ්මි…”

මඳ වේලාවක් කල්පනා කරමින් සිටි ආයුෂ් විහාරා ඇමතුවේය. සොයුරියගේ අත් බැම්මෙන් මිදුනු විහාරා කඳුලු පිසිමින් ආයුෂ් අසළට පැමිණියාය.

“සර්…”

පියා දෙස අඩ බැල්මක් හෙලූ ඇය සෘජු ලෙසින් සිටගෙන සිටියාය. ආරාධ්‍යා පැමිණ පියා පසෙකින් හිඳගෙන ඔහුගේ උරහිස මත හිස තබා ඇති තාක් හැඬුවාය.

“මොකක්ද මේ වෙන්නෙ? ඇයි මේ හැමදෙයක්ම මට හැංගුවෙ? මෙතනින් වාඩිවෙන්න.”

ආයුෂ් ඔහු ඉදිරියෙහි වූ අසුන දෙසට අත දිගු කළේය.

“ඕන නෑ සර්. මම මෙහෙම ඉන්නම්.”

“ආයෙ සර් කියනවා. මෙහෙන් වාඩිවෙන්න නංගි.”

විහාරාගේ දෙඋරහිසින් අල්ලා හිඳ වූ ආයුෂ් පැවසුවේ තරවටු හඬිනි.

“දැන් කියන්න. ඇයි මේ වගේ ගමනක් ආවෙ? මම පවුලෙ විස්තර අහද්දි කිව්වෙ අම්මයි තාත්තයි දැන් වයසයි. ඉන්නෙ ලෙඩ ගානෙ. ඒ නිසා මේ රස්සාවට ආවා කියලනෙ.”

“ඔව් ඇත්ත.”

විහාරා නිර්භය ලෙසින් පැවසුවාය.

“මගේ අම්මයි තාත්තයි කියලා කිව්වට ඒ දෙන්නා සුහේල්ගෙ අම්මයි තාත්තයි. ඒ කාලෙත් ඒ දෙන්නා හිටියෙ ලෙඩ ගානෙලු. සුහේල් ආගිය අතක් නැති නිසා ඒ දෙන්නා අසරණ වෙලා ඇති කියලා මං හිතුවා සර්. මේක මගේ අතින් වෙන්න ඕන යුතුකමක් නිසා තමයි මං ගන්න සැලරි එක හැම මාසෙම ඒ දෙන්නට යැව්වෙ.”

ආයුෂ් දෑතින්ම හිස බදාගත්තේය. හමු වූ මුල්ම දිනයේ දියණියන් දෙදෙනෙකු සහ පුතකු පිළිබඳව කවීන් අංකල් පැවසු වදන් ඔහුට සිහිපත් විය. මව හා ගැටුම් ඇති කරගන්නා බාල දියණියගේ හිතුවක්කාරකම් පිළිබඳව ඔහු පවසා සිටියේ හද පිරි වේදනාවෙන් බව ද ඔහුට මතකයට නැගිණ.

“මෝඩයා…”

කවීන් ඇසෙන නෑසෙන හඬින් පැවසුවේය.

“සුහේල් නැති වුනා, අතුරුදහන් වුනා කියලා මුල ඉඳලම අම්මා එක්ක ගැටුම් ඇති කර ගත්තා මිසක් විචාර බුද්ධියෙන් කිසිම දෙයක් දිහා බැලුවද ඔයා? පැමිණිල්ලත් ඔයාගෙ. නඩු විභාගයත් ඔයාගෙ. දඬුවමත් ඔයාගෙ. දෙමාපියන් එක්ක කිසිම දෙයක් සාකච්ඡා කරන්න ඕනකමක් කවදාවත් තිබුණද ඔයාට?”

“මොන කතාද තාත්තෙ? මම සුහේල්ව හෙව්වා. සුහේල් ගිය තැනක් කිසිම කෙනෙක් දන්නෙ නෑ.  අපි දෙන්නා ගැන අම්මා හිටියෙ තරහෙන්. ඉතින් අම්මා සුහේල්ව අතුරුදහන් කරා කියන එක එතනින් පැහැදිලි වෙනවා. ආයෙ මොන කතාද?”

“පටු කල්පනාව…”

කවීන් පැවසුවේ කලකිරීමෙනි.

“තරුණ ළමයි වුනාම හැඟීම් වලට මුල් තැන දෙන්නෙ නැතිව බුද්ධියෙන් කටයුතු කරානම් මෙහෙම දෙයක් සිද්ද වෙන්නෙ නෑනෙ.”

“කෝ දැන් සුහේල්?”

විහාරා වේගයෙන් නැගී සිටියාය.

“සමාවෙන්න සර් මං මෙහෙම කතා කරනවට. කෝ සුහේල්? එයාට මොකද වුනේ?”

“ඉන්නවා පොඩ්ඩක්.”

කවීන්ගේ මුහුණෙහි මස් පිඬු සලිත වන්නට වූයේ කෝපය නිසාද එසේත් නැත්නම් ශෝකය නිසාදැයි ආයුෂ් කල්පනා කලේය. සැබවින්ම මෙය චිත්‍රපටයක ජවනිකා නොවේදැයි ඔහුට සිතිණ. ඔහු ආරාධ්‍යා දෙස බැලුවේය. ඇය කවීන්ගේ උරහිස මත හිස තබාගෙන තවමත් හඬමින් සිටියි. වහා ඇය අසළට ගොස් ඇය සනසන්නට වදනක් පවසන්නට සිතුණද, ඔහු ආයාසයෙන් තම සිතිවිලි මැඩ පවත්වා ගත්තේය.

කවීන් ජංගම දුරකතනය අතට ගත්තේය. යළිත් හිඳ ගත් විහාරා මුහුණ දෑතින් වසා ගත්තාය. ස්වල්ප වේලාවකින් ඇගේ ගවුමෙහි සාක්කුව තුළ වූ ජංගම දුරකතනයෙහි පණිවුඩ හඟවන සංඥාව ඇසිණ. දුරකතනය අතට ගත් විහාරා එදෙස බලන අයුරු ආයුෂ්, ආරාධ්‍යා මෙන්ම කවීන්ද සුපරික්ෂාකාරීව බලා සිටියහ. විහාරාගේ දෙනෙත් එක්වරම දීප්තිමත් වන අයුරුත් මුවග සිනාවක් මතු වන අයුරුත් ආරාධ්‍යා සහ ආයුෂ් බලා සිටියේ විස්මයෙනි.

“තෑන්ක් යූ තාත්තෙ. තෑන්ක් යූ.”

එක්වරම නැගිට හඬමින් කවීන් වෙත ගිය විහාරා ඔහුගේ දෙපා බදා ගත්තාය.

“මට මේ කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.”

ආයුෂ් පැවසුවේ පියාගේ දෙපා බදාගෙන හඬන විහාරා දැකීමෙන් උපන් කම්පාවෙනි.

“සුහේල්ගෙයි මෙයාගෙයි සම්බන්ධෙට විරුද්ධ වෙන්න උවමනාවක් අපට තිබුනෙ නෑ පුතා. ඒත් ඒ ළමයට ස්ථිර රස්සාවක් තිබුනෙත් නෑ. මේ දෙන්නා එහෙ මෙහේ ඇවිදින්න පටන් අරන් කියලා හැමතැනින්ම අපට ආරංචි වෙන්න පටන් ගත්තා. හරිහැටි රස්සාවක් නැති ළමයෙක් කසාද බැඳලා විහාරගෙ ජීවිතේ නාස්ති වෙනවා දකින්න අපට බැරි වුනා පුතා. අපි දෙන්නා දවසක් සුහේල්ව හම්බ වෙන්න ගියා. නෙදර්ලන්ඩ් වල ෆැක්ටරි එකක ටේ්‍රනින් එකකට යවන්න සුහර්ෂා ඒ ළමයව කැමති කර ගත්තා. හැබැයි එක කොන්දේසියක් පිට. ටේ්‍රනින් එක ඉවර වෙලා එනතුරු විහාරා එක්ක කිසිම විදියක සම්බන්ධයක් තියාගන්න බෑ කියලා පොරොන්දු කරවගෙන ඒ ළමයා ලංකාවෙන් පිට කරා.”

“ඇයි ඉතින් ඒ බව මට කිව්වෙ නැත්තෙ?”

විහාරා හඬමින් ඇසුවාය.

“කිව්වා නම් ඔයා එයාට යන්න දෙන්නෙ නෑ. අපි දන්නවා ආදරේ පිස්සුවක් කරගෙනනෙ ඔයා තවමත් ජීවත් වෙන්නෙ. මේ තියෙන්නෙ සුහේල් ෆැක්ටරි එකේ පුහුණු වීම් කරන වීඩියෝ එකක්. සුහර්ෂා ඊයෙ රෑයි මට වීඩියෝ එක එව්වෙ.”

ආරාධ්‍යා කඳුලු පිසගෙන සිනාසෙන අයුරු ආයුෂ් දුටුවේය.

“අම්මා සුහේල්ගෙ අම්මගෙ එකවුන්ට් එකට හැම මාසෙම සල්ලි දානවා. ඒගොල්ලන්ගෙ වියදමට. තමුන් කවදාවත් සුහේල්ගෙ දෙමාපියන් හමුවෙලා තියෙනවද? එහේ ගිහින් තියෙනවද?”

“නෑ.”

විහාරා හිස දෙපසට වැනුවාය.

“සුහේල් අතුරුදහන් වෙන්න කලින් දවසක මම එයාගෙ අම්මගෙ එකවුන්ට් එකට සල්ලි දැම්මා. මං මගේ සැලරි එක ඒ එකවුන්ට් එකටයි යවන්නෙ තාත්තෙ.”

“ඒකතමයි කියන්නෙ. වැඩි හරියක් තරුණ ළමයි තීන්දු තීරණ ගන්නෙ මතුපිටින් බලලා. මීටපස්සෙවත් සිහි බුද්ධියෙන් වැඩ කරනවා.”

“තේ නිවිලත් ඇති.”

ආයුෂ් නැගිට්ටේය.

“මං ගිහින් කමලානිට කියන්නම් ආයෙම තේ හදන්න කියලා.”

විහාරා නැගී සිටිත්ම සිනුවක් නාද වන හඬ ඇසිණ.

“මැඩම් නැගිටලා.”

ඇය කලබල වූවාය.

“මම මැඩම්ව බලලා එන්නම්.”

ඇය ගෙතුළට දිව ගියාය.

“නංගි අම්මා කෙනෙක් බලාගන්නවා වගේ අපේ අම්මව බලාගන්නෙ අංකල්. අම්මව උස්සන එක වාඩි කරවන එක පහසු දෙයක් නෙමෙයි. හැම දුකක්ම විඳගෙන මෙච්චර කාලයක් මේ ළමයා  සද්ද නැතිව හිටියනෙ.”

“අපිත් යමු අම්මව බලන්න.”

ආරාධ්‍යා නැගී සිටියාය.

“යමු. ඉන්න. මං තේ හදන්න කියන්නම්. තේ බීලම අපි අම්මව බලන්න යමු.”

ආයුෂ් පිටව ගියේය. ආරාධ්‍යා යළිත් හිඳ ගත්තාය.

“මට මේ හැමදෙයක්ම හීනයක් වගෙයි තාත්තෙ.”

“සතුටු වෙන්න පුතේ. මේ තරමින් හරි විසඳුනාට.”

කවීන් ආරාධ්‍යාගේ අත පිරිමදින්නට වූයේ සෙනෙහස පිරුණු හැඟීමෙන් යුතුවය. ආයුෂ් තේ බන්දේසිය රැගෙන පැමිණෙත්ම දිව ආ විහාරා ඔහු අතින් බන්දේසිය ගත්තාය.

“දැන් ඉතින් මොකක්ද කරන්නෙ පුතේ. විහාරා ගියාම අම්මව බලාගන්නෙ කවුද?”

තේ පානය අතරතුරදී කවීන් ඇසුවේය.

“කමලානි ඉන්නවා. ඒත් එයා කඩිසර නැහැ. වෙන කෙනෙක් හොයා ගන්න වේවි ඉක්මනටම. නැත්නම් පබ්ලිකේෂන් එකේ වැඩ කටයුතු එහෙමම නවතීවි.”

“නෑ සර්. එහෙම වෙන්නෙ නෑ.”

විහාරා පැවසුවාය.

“මම සර් නෙමෙයි අයියා.”

ආයුෂ් පැවසුවේ ලජ්ජාවෙනි.

“මම දිගටම අම්මව බලාගන්නවා අයියා. කෙනෙක්ව හම්බ වෙනතුරු. දැන් මට ඒ දේ ඉස්සරටත් වඩා හොඳට කරන්න පුලුවන් වේවි.”

ආයුෂ්ගේ මුවග පුලුල් සිනාවක් නැගිණ.

“දැන් අපි යමු අම්මව බලලා එන්න. අම්මා සතුටු වේවි මේ ආරාධ්‍යගෙ නංගි කියලා කිව්වම.”

විහාරා ආරාධ්‍යාගේ අත අල්ලා ගත්තාය.

“දැනගෙන හිටියෙ නෑ මෙච්චර දවසක් මං බලාගත්තෙ අක්කගෙ නැන්දම්මා කියලා.”

ඇය සෙමෙන් පැවසුවද, එය ඇසුනු ආයුෂ් ආරාධ්‍යා දෙස බලා දෙනෙතින් සිනාසුනේය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles