අනුකරණය.

හංසි සාලයේ පුටුවකට වැටුණේ මුහුණ හොඳටම ඇඹුල් කරගෙන.අවුල් වෙලා ගිය ගේ එක්ක හංසිගේ ඔලුවත් යකාගේ කම්මල වගේ.හොඳ නැටුමක් නටනට ඉඳලා චූටි පුතා නිදාගත්තේ දැන් ටික වෙලාවකට කලින්.

“මං කෑම ඕඩර් කරා හොඳේ..”

උදුල් එහෙම කියාගෙන හංසි ඉන්න තැනට ආවත් හංසි හිටියේ මුහුණ නරක් කරගෙන.ඇත්තටම හංසිට කේන්තියි.

“මට තිබ්බේ සුලාරිට එන්න එපා කියන්න..”

හංසි කියනකොට උදුල් මොකුත්ම නොකියා හිටියා.ගෙදරට කවුරුහරි එන්න හදනකොට එන්න හෝ එපා කියන්න අපිට අයිතිය තියන බව ඇත්ත.ඒත් කාලෙකින් එන්නේ හංසිගේ හොඳම යාළුවා.ඉස්කෝලේ යන කාලේ හංසිගේ දඟකාර ඇස් පිටිපස්සේ ලුහුබඳිනකොටත් ඒ ගැන මුලින්ම ඉව වැටුණේ සුලාරිට බව උදුල්ට මතකයි.

“එයා කාලෙකින්නෙ මේ පැත්තට එන්නේ හංසි.ඇවිල්ලා ගියාවේ..”

උදුල් හංසිගේ ඔලුව අත ගෑවා.බිත්ති පුරා චූටි පුතා චිත්‍ර ඇඳලා.එයාගේ කාර් පොඩ්ඩක් පෑගිලා හොම්බෙන් යන්න ගිය නිසා උදුල් බාස්කට් එකක් අරගෙන සෙල්ලම් බඩු අස් කළා.හංසි කියනවා වගේ මහා අපිලිවෙලක් ගේ ඇතුළේ පේන්න නෑ.

“කිචන් එකයි බාත් රූම් එකයි අස් කරගන්න පුතේ.අනිත්වාගෙ චූටි පුතාට ඕන නැටුමක් නටන්න ඉඩ තියලා ඉන්න..”

කවදාවත් හංසිට නැන්දම්මා නොවෙන උදුල්ගේ අම්මා එහෙම කියන්නේ හංසි අස් පස් කරන එක ගැන දුක් වෙවී නාහෙන් අඬන වෙලාවට.හංසි උයනකොට උදුල් මුළුතැන්ගෙය අස් කරනවා.නැත්නම් හංසි අස් කරනකොට උදුල් උයනවා. බාත් රූම් එකත් පාවිච්චියට පස්සේ පිරිසිදු වෙනවා.එතකොට අප්‍රසන්න ගෙයක් නොවී ගෙදර පරිස්සම් වෙන බව හංසිට මොනතරම් කියා දුන්නත් පලක් නෑ කියලා උදුල්ට හිතුණා.

“මට අවුල සුලාරි එනවට නෙවෙයි.නවීන් එන එකට…”

හංසි එහෙම කියලා ආයෙත් පුළුවන් වේගෙන් අස් කිරිල්ල පටන් ගත්තා.

“සුන්දර කැදැල්ල පේජ් එක කරන චමරි අක්කා කියන්නෙ නවීන්ගේ එකම අක්කා උදුල්..”

උදුල්ට කතාවේ මුල මැද අග පැහැදිලියි.දැන් කාලෙක ඉඳන් හංසි ෆේස්බුක් යන්නෙම සුන්දර කැදැල්ල ෆේස්බුක් පිටුව බලන්න.ඊටපස්සේ චමරි වගේ ගෘහණියක් වෙන්න හීන දකිනවා.

“ඔයා ඔය කරන වැඩෙන් මිනිස්සු හිතනව ඇති මං ඔයාගෙන් දාසියෙගෙන් වගේ වැඩ ගන්නව කියල.තුන් වේලම උයන්නයි, මෙච්චර නීට් එකට ගෙවල් අස් කරන්නයි වද වෙන්න එපා හංසි..”

උදුල් කොච්චර කෑගැහුවත් පිරිමියෙකු දිනාගන්න පිළිවෙල හා උයමන උදව් වෙන බව හංසි පුදුම විදියට විශ්වාසයට අරගෙන ඉවරයි.

“ඒ ක්‍රම සමහරුන්ට හරියනවා..සමහරුන්ට නෑ..ඔයා ඔයාගේ විදියට ඉන්න..”

උදුල් කොච්චරක් නම් කියලා ඇතිද?ඒත් හංසි ඉන්නේ ඒ ගැන ඒ තරම් විශ්වාසෙකින් නෙවෙයි.සුන්දර කැදැල්ලක් වෙනුවෙන් මහන්සි වෙන එක තමයි දැන් හංසිගේ එකම අරමුණ.

“අනේ. හරිම ලස්සනයි ඔයාලගෙ ගෙදර…”

කලින් වතාවේ කුලී ගෙවල් වලදි හංසිව මුණ ගැහුණත් හංසිගෙත් උදුල්ගෙත් කැදැල්ලට ඉස්සරලම අඩිය තියපු වතාව නිසා සුලාරි ගෙට ගොඩ වුණේම එහෙම කියාගෙන.

“ඉතිං කෙල්ලෙ..”

සුලාරි පුටුවක ඉඳගන්නකොටම කොහෙද හිටිය පීපී තාරාවෙන් සුලාරිගේ ඇඟට යට වෙලා චීස් ගෑවා.හංසිගේ මූණ ඇද වුණා.

“අනේ මට ගේ අස් කරගන්න බැරි උනා..”

හංසි එහෙම කිව්වේ සමාව අයදින තාලෙට.සුලාරි ගේ පුරා ඇස් යවලා හිනා වුණා.නින්දෙන් ඇහැරලා ආපු චූටි පුතාව අතට අරන් හුරතල් කරමින් හිටිය නවීනුත් ඒ හිනාවට එකතු වුණා.

“අපි නම් හැඩි වෙලා කියන්නේ මීට වඩා භයානක දේකට..”

සුලාරි එහෙම කිව්වට හංසිගේ හිත හරි නෑ.නවීන්ට නම් අපායක් වගේ පේනවා ඇති.

“චමරි අක්කා කියන විදියට මං අස් කරන්නෙ.ඒ වුණාට මේ දවස් වල පුතා හරි දඟයි..අස් කරන්න කරන්න හැඩි කරනව..”

හංසි නිදහසට හේතු කියන්න ගත්තේ තතනමින්.නවීන් එක පාරටම මහ සද්දෙට හිනා වෙන්න ගත්තා.මිනිත්තුවක් යන්නත් කලින් සුලාරිත් ඒ හිනාවට එකතු වුණා

“අපේ අක්කා වගේ ඉන්නවනම් ගෙවල් මෙහෙම තියෙන්න බෑ..”

නවීන් කියනකොට හංසිට පොළොව පලාගෙන ගිහින් හැංගෙන්න හිතුණා. හැඩි වුණු ගෙදර චමරි අක්කාගේ සුන්දර කැදැල්ලට සමාන කරාට නවීන්ට කේන්ති යන්න ඇති.

“අපේ අක්කට සර්වන්ට්ලා දෙන්නෙක් ඉන්නවා හංසි.එයාට තියෙන්නෙ අස් කරලා දුන්නම ෆොටෝස් ගන්න විතරයි.අරන් ඒවා එයාගෙ පේජ් එකට අප්ලෝඩ් කරන්න විතරයි..”

හංසි ඒ කතාව විශ්වාස කරන්න බැරි ගාණට සුලාරි දිහා බැලුවා.

“අක්කගේ සර්වන්ට් හරිම රසට උයනවා.එයාගේ කෑම තමයි අක්කා ඔය උගන්වන්නේ.ඒවා නම් හොඳ වැඩ..කඩ කෑම ගිනි ගාණට කනකන් අපි මොනවහරි හදාගන්න ඉගෙන ගන්න එක..හැබැයි ඉතින් කෙල්ලෙ හැමදාම ඒවට මහන්සි වෙන්නෙපා..මං වගේ ඉඳහිට ට්‍රයි කරන්න..”

තමන් ජීවිතේ සතුට පැත්තකින් තියලා චමරි වගේ වෙන්න හදනකොට ඇය ඒවා කරගෙන තියෙන්නේ තමන්ගේ අත් උදව් කාරියන්ගේ උදව්වෙන් බව හංසිට අදහන්නත් අමාරුයි.

“අක්කාගේ කන්සෙප්ට් හොඳයි.ගෙවල් අපායවල් වගේ තියා ගන් නැතුව ලස්සනට පිළිවෙලකට ඉන්න එයා කරන්නේ ලොකු උදව්වක්.ඒ වුණාට ඒවා එච්චර ලස්සනට අක්කා කරන්නේ උදව්වට ඉන්න අයගෙත් උදව් අරන්..ඔයා කෙල්ලේ ඔයාට පුලුවන් ගාණට මහන්සි නොදැනෙන්න ඒවා කරන්න..මාත් එහෙමයි..මහන්සි දැනෙන සීමාවෙදි වැඩී නවත්තන්න..”

සුලාරි එහෙම කියනකොට හංසි හුස්මක් පහතට දැම්මේ තමන් ගැනම දුකකින්.කෙළවරක් නැතුව දුවපු අනුකරණය කිරීමේ තරගයෙන් තමන් පැරදිලා.ඒත් හති ඇරලා තමන්ම වෙන්න ඉක්මනින්ම පටන් ගන්න ඕන කියලා ඇයට හිතුණා.

More Stories

Don't Miss


Latest Articles