සුළි සුළඟක සුසුමක් – 31 වන කොටස

අම්මා බලන්න ට සංකල්ප රෝහලට ආවේ ය. ඔහු දුටු අම්මා ගේ වත ලස්සන සිනහවකින් පිපිණි. ඔහු ආ එක ගැන ඇය සතුටු වන බවට ඒ සිනහව මැනවින් සාක්ෂි දැරුවේ ය. දින කිහිපයකින් ඔහු නොදුටු මගේ දෑස් කෙතරම් විඩා පත් ව සිටින්නට ඇත්ද කියා මා තේරුම් ගත්තේ ත් ඔහු දුටු මතින් ඇස් වලට දැනුණ සිහිලැල් හැඟීම නිසා ය.

“අනේ මෙච්චර දුර ඇවිත් කරදර වෙලානෙ පුතා”

අම්මා සංකල්ප ගේ අතකින් අල්ලා ගත්තා ය.

“මොන කරදරයක් ද අම්ම…නීලා ඇන්ටිගෙන් එදා විස්තරේ දැන ගත්ත වෙලාවෙ මං හොඳටම අප්සට් වුණා. ඇයි ඉතිං අපි සූරිය කන්දෙ ගිහිං එනකොටත් අම්ම හොඳට හිටියනෙ”

“ජීවිතේ කියන්නෙ එහෙම දෙයක් තමයි පුතා. ඊළඟ මොහොතෙ අපිට මොනව වෙන්න තියෙනවද කියල අපිම දන්නෑ”

“අම්මටත් වඩා ලෙඩ පාට උත්තරානෙ”

සංකල්ප මදෙස බැලුවේ අනුකම්පා සහගත දෑසකිනි. මම බිම බලා ගතිමි. මේ වගේ දැවීමක් මට ඉතා නුහුරු ය. අයියා මට ආයේ ඔහු දකින්නට හෝ අවස්ථාවක් නොදී ඉන්නට පුළුවන. නමුක් දැන් මා ඔහු අහිමි කර ගන්නේ කෙසේ ද? ඔහු ගෙන් මිදෙන්නේ කෙසේ ද?

“මේ දරුවා හොඳටම බය වෙලා ඉන්නෙ. මගෙ හිතේ වුණත් බයයි බරයි දෙකම දැං හරි වැඩියි පුතේ”

“අම්..ම…ඔය විකාර හිතන්න එපා අනේ. අපි ඉක්මන්ට සනීප වෙලා ඉමු”

මම අම්මා ගේ දෙපා අද්දර හිඳ, කකුල් පිරිමදිමින් කීවෙමි. සංකල්ප සුසුමක් හෙළුවේ ය. ඔහු මා ගැන අවංකව ම දුක් වන බව මම දනිමි.

ටික වෙලාවක් අම්මා ළඟට වී කතා කරමින් සිටි සංකල්ප නික්ම යන්නට සූදානම් වූයේ ය.

“අම්ම ඉක්මනට සනීප වෙලා ආයෙ රත්නපුරේ එන්න”

සමු ගන්නට පෙර ඔහු කීවේ ය. අම්මා සුසුමකින් මිදුණා ය.

“එනව පුතා. මට පුතත් එක්ක කතා කරන්නත් ගොඩක් දේවල් තියෙනව”

අම්මා අප ගැන යම් ඉවකින් පසු වනවාද කියන සැකය මුල් ම වතාවට මසිත් හි ඇති විය.

අප කොරිඩෝරය දිග පිය මැන්නේ ඉතා හෙමිහිට ය. පය ඉක්මන් කරන්නට බැරි තරම් බරක් හිතේ පැටවී තිබුණ සෙයකි. විදුලි සෝපානය තිබියදීත් මම පිය ගැට පෙළ දෙසට හැරුණෙමි. තව විනාඩි කිහිපයක් හෝ ඔහු සමගින් ගත කරන්නට යටි හිතෙහි ආශාවක් වන්නට ඇත.

“මට බයයි සංකල්ප”

ඉතා ලං ව පිය ගැට පෙළ බහිනා ගමන් මම මිමිණුවෙමි. මගේ මිමිණුම පවා බෙහෙවින් දුර්වල වූයේ ය. ඔහු මගේ අතැඟිලි වලින් සියුම් ලෙස අල්ලා ගත්තේ ය. මම ඒ ඇඟිලි වලින් ම තද කොට ඔහු ගේ අත අල්ලා ගතිමි.

“අයිය මොන විදිහකින් හරි මාව අර ඩොක්ටර්ට බන්දල සිංගප්පූරු යවන්න හදන්නෙ. අම්මා තවත් අසනීප වෙයි කියල මට ප්‍රශ්න ඇති කරන්න එපා කිව්ව”

“මං අයියට කතා කරන්න ද…”

“අම්මෝ එපා එපා”

මම ඉක්මන් කොට කීවෙමි. අයියා කියන්නේ ඒ විදිහට කතා කොට ප්‍රශ්න විසඳා ගත හැකි විදිහේ පුද්ගලයෙකු නොවේ. අනිත් අතට දැනටමත් ඔහු සංකල්ප ව සැක කරමින් ද ඔහු කෙරේ වෛර වඩමින් ද පසු වන්නේ ය.

“එයත් එක්ක කතා කරල වැඩක් වෙන්නෙ නෑ. මං එයාට බය නෑ සංකල්ප. මට පුළුවන් දමල ගහල එන්න. ඒත් අම්මා ඉන්න තත්වෙත් එක්ක මට මං ගැන විතරක් හිතන්න බෑ. ඒකයි මට බය. මේ…මං ඔයාව දකින අන්තිම දවස වෙයිද කියලත් මං දන්නෙ නෑ”

මම හැඬුම්බර ව සිටියෙමි.

“ළම..යො”

ඔහු මා නවතා ගෙන මගේ මුහුණ ට එබුණේ ය. මම කඳුළු සඟවා ගනු වස් මුහුණ වඩාත් බිමට හරවා ගතිමි.

“බැඳීම් කියන්නෙ අන්තිමට දුක ඉතුරු කරන දෙයක් කියල දැන දැනත් මං බැඳුනනෙ සංකල්ප”

මට ඉකි ගැසී හැඬිණි. මම රෝහල් කොරිඩෝරයේ බිත්තියට හේත්තු වී හඬන්නට වූයෙමි. සංකල්ප මහිස පිරිමැද්දේ ය. මේ රෝහලක් වන නිසාවෙන් කෙනෙකු ගේ හැඬුමක් දෙස දකිනා කෙනෙක් ඒ තරම් සැලකිල්ලකින් බලන්නේ නැත. රෝහලක් කියන්නේ ජීවිතය සේ ම මරණය ද නිතර සරනා ඉසව්වක් වන නිසාවෙනි.

“හිතෙං වැටෙන්න එපා. ඔයා වෙනුවෙන් මං අවුරුදු කීයක් බලං හිටියද…ආදරේ කියන්නෙ ලේසියෙං අතෑරෙන්න දීල අත පිහිද ගන්න පුළුවන් දෙයක් නෙවෙයි උත්තරා. මේ බලන්න. මගෙ දිහා හොඳට බලන්න”

ඔහු මගේ නිකටෙන් අල්ලා මා ඔහු වෙතට යොමු කොට ගත්තේ ය.

“අපිට යුතුකමක් තියෙනව ආදරේ වෙනුවෙන් ශක්තිමත් වෙන්න. ආදරේ වෙනුවෙන් සටන් කරන්න. ආදරේ වෙනුවෙන් ජීවත් වෙන්න. අපිට එහෙම ලේසියෙං පැරදෙන්න බෑ උත්තරා”

සංකල්ප සිය දෑසින් ඉතා තදින් මගේ දෑස් ග්‍රහණය කර ගෙන සිටියේ ය. ඒ ඇස් වල මහත් අරමුණු සහගත බවක් විය. ඒවා හිරු මඬල සේ ගිනියම් විය. පරාජයකට කිසි සේත් සූදානම් නොමැති බවක් එහි මොනවට සනිටුහන් වී තිබිණි.

“තේරුණා නේද…ම්…ඔයා ඒ මනුස්සයව මැරි කරන්නෙ නෑ. එච්චරයි…”

ඔහු මගේ කොපුලක් පිරිමැදගෙන රෝහලේ විසල් ආලින්ද කොටසේ දී මගෙන් සමු ගත්තේ ය. මම වීදුරු පව්ර ළඟට වී, ඈතට පිය නගා යන ඔහු දෙස බලා ගෙන සිටියෙමි.

යළි මා හැරුණේ ලොකු හුස්මකුත් එක්ක ය. කිසි සේත් අයියා ගේ අණට යටත් ව ඒ විවාහය කර නො ගන්නා බවට මම මට ම සපථ වුණෙමි.

මා යළි අම්මා සිටිනා කුටියට එන විට අයියා පැමිණ සිටියේ ය.

“කොහෙද තමුසෙ ගියේ…”

ඔහු ගේ සැර කිරීම ගැන කෝප නො වන්නටත් බිය නො වන්නටත් ක්ෂණික ව මම තීරණය කළෙමි.

“සංකල්ප එක්ක පහළට ගියා”

මගේ හඬ ඉතා සන්සුන් හා තැන්පත් වූයේ ය. ඔහු නිසා කිසිත් සඟවන්නට මා උත්සාහ නො කරන බවක් අයියා ට හඟවන්නට මට ඕනා විය.

“ඒ හිඟන්නව මෙතනටත් ගෙන්න ගත්තද…”

ඔහු දත් මිටි කමන් මට රැව්වේ ය. කෙසේ වෙතත් අම්මා ට ඒ තරවටුව නෑසිය යුතුයි කියා සිතා දෝ හඬ පහත් කොට කතා කළේ ය. නමුත් ඒ කුඩා කුටිය තුළ කියනා යමක් අම්මා ට නෑසී තියෙන්නට විදහක් නැත.

“මේ අයියෙ එයා හිඟන්නෙක් නෙවෙයි හරිද..”

මා ඒ අනතුරු ඇඟවීම කළේත් කිසිදු හැඟීම්බර වීමකින් තොර ව සාමාන්‍ය පහළ ස්වරයෙනි.

“අනිත් එක එයා ආවෙ අම්ම ව බලන්න”

“අම්මව බලන්නද දුවව බලන්නද කියල මට හිතා ගන්න පුළුවන්”

“අයියෙ මේ…අම්ම අසනීප වෙලා ඉන්නෙ…ඒ ගැන මීට වැඩිය ටිකක් හිතනවද….”

මා දවා හළු කරන බැල්මකින් අයියා නික්ම ගියේ ය. මගේ තොල් අතරට සිනහවක් ආවේ නිරායාසයෙනි. හිතට ජයග්‍රාහී හැඟීමක් දැනිණ. එතෙක් වෙලා හිත කීරි ගස්වමින් තිබි බයාදු දුක්බර බව පලා ගොස් ඇත්තා සේ මට දැනෙන්නට විය. මා සතුටෙන් ඉන්නා බව පෙනුණ නිසා ද මන්දා අම්මා ද සුව නින්දකට වැටුණා ය. සංකල්ප රත්නපුරයට යන තෙක් සිව් වතාවක් මම ඔහු ට කතා කරමින් පරිස්සමෙන් යන ලෙසට මතක් කළෙමි.

“පරිස්සමෙං යන්න බැරි වෙන්නෙ මෙහෙම කෙල්ලො කතා කර කර වද දෙනකොට තමයි”

මතු මහලට පෙනෙනා කොළඹ ජනාකීර්ණ වීදි දෙස බලා ගෙන මම සංකල්ප සමගින් රත්නපුරයේ නිල් කඳු නිම්න අතරේ කරක් ගැසුවෙමි.

පසු දින අම්මා ට රෝහලෙන් ගෙදර යා හැකි විය. ඒ ගිය ගමන් ම අයියා මාව ආලින්දය වෙත කැඳෙව්වේ ය.

“අම්මගෙ ජීවිතේ තීරණේ වෙන්නෙ ඔයා හැසිරෙන විදිහ අනුව තමයි නංගි. ඒක නිසා බොහොම කල්පනාවෙං මේ මං කියන දේ අහන්න”

මම අඩැසින් බැලුවෙමි. මේ වෙලාවේ ඉතා සියුම් ලෙස තත්වයට මුහුණ දිය යුතු බව යටි හිත විසින් මට මතක් කර දුන්නේ ය.

“අර රත්නපුරේ කොල්ලත් එක්ක තමුං යාළුද..”

“යාළුයි තමයි. සංකල්ප නර්සරි එකේ ඉඳලම මගෙ යාළුව. මට අවුරුදු හතේදි රත්නපුරෙං එනකල් මං සෙල්ලං කළේ එයත් එක්ක. මායි අක්කයි දෙන්නම. දැනුත් මට කම්මැළි හිතෙන වෙලාවට මං ගිහිං කතා කර කර ඉන්නෙ එයා එක්ක”

“මං අහන්නෙ තමුසෙ එ් යකා එක්ක වෙන සම්බන්දයක් තියනවද කියල…මැරි කරන අදහසකිං…”

මිදුලේ සයිප්‍රස් ගස් වල ගොරෝසු පත්‍රිකා සුළඟ වැද යන්තම් හෙළවෙනු මට පෙනුණේ ය. මේ කුඩා මිදුල සැලසුම් කළේ ප්‍රකට උද්‍යාන සැකසුම් කරුවෙකු වුණත් ඔහු මල් පිපෙන එකදු ගසක් හෝ මිදුලට එක් කර නැති බව මට සිහි වූයේ දැන් ය. ඒකටත් එක් රත්නපුරේ ගෙදර මිදුල! මල් යායකි.

“නෑ”

මිදුල වෙත නාභි ගත කළ දෑසින් යුතුව ම මම ස්ථිර සාර හඬකින් කීවෙමි. බොළඳ පෙම්වතියක වන්නට ගොස් සියල්ල අවුල් කර ගත යුතු නැතැයි සිත කොඳුරනු ඇසිණ.

“ගුඩ්”

අයියා මා විශ්වාස කළේ ය. ඇතැම් විට ප්‍රියංවදා මෙතැන සිටියා නම් අයියා ට එක හෙළා ඒ නිගමනයට එන්නට අසීරු වනු ඇත.

“හවසට ඩොක්ට අරවින්ද එනව. ටිකක් එයා එක්ක කතා කරනව. මෝඩ වෙන්න එපා. ඩොක්ට කෙනෙක්ව මැරි කළහම තියන සමාජ තත්වෙ ගැන හිතනව. අනික මේ රටේ දුක් විඳින්න ඕන නෑනෙ. සිංගපෝර් තව ටික දවසක් ඉඳල ඉංග්ලන්ඩ් යන්න කිව්ව ඉන්නෙ…ඉස්සරහ ගැන හිතනව. ඉස්සරහ ගැන”

මම සාවධාන ව සිටියෙමි. පොඩි කාලේ දී සමූහ වරදකට විදුහල්පති තුමිය වෙත ගොස් අගේ දේශනය අසා සිටියා මෙනි. මගේ හිස ද මේ වෙත්දී බිමට නැඹුරු වී තිබිණි. මා එසේ කළේ අයියා මගේ මුහුණේ ඉරියව් කියවා ගනු ඇත යන හැඟීමෙනි.

“දවසක් දෙකක් කතා කරල අඳුර ගත්තහම මදැයි. කොහොමත් හරියට ගෑනු මිනිස්සු අඳුර ගන්න පුළුවන් වෙන්නෙ කසාද බැන්දට තමයි හලෝ”

ඔහු සිය කතාව මහා හාස්‍යයක් සේ සලකා කොක් හඬලා සිනහ සෙන්නට වූයේ ය. මට නම් සිනහ පොදක් හෝ නැගුණා නොවේ. ප්‍රියංවදා වගේ ස්ත්‍රියක හැඳින ගන්නට ඔහු ට ජීවිත කාලය පුරා ම නොහැකි වනු ඇතැයි කියන්නට ඕනා වුණත්, මම එහෙම නො කියා සිටියෙමි.

“අම්මව ආයෙ අසනීප නොකර ඔයා අපි කියන විදිහට වැඩ කරන්න හිතපු එක හොඳයි. එහෙනං මං අරවින්දට හවස එන්න කියනව. වෙඩින් එක ගැන දෙන්නත් එක්ක කතා බහ කර ගන්නකො”

කියා ගෙන ඔහු මතු මහලට නැගුණේ ය. මම එතැන වූ පුටුවක් මතට වැටුණෙමි. මා බෙල්ල මුලින් ම හිර වී ඇති බව මට නොදැනෙනවා නොවේ. නමුත් මේ වෙලාවේ කිසිදු කලබලයක් සිදු කළ නො හැකි ය. අන් සියල්ලට වඩා මා මේ මොහොතේ අම්මා ගැන සිතිය යුතු වන නිසාවෙනි.

“අයිය මොකද කියන්නෙ…”

මා කාමරයට ගිය විට අම්මා ඇසුවා ය.

“විශේෂ දෙයක් නෑ. ඩොක්ට අරවින්ද හවසට එනව කිව්ව”

අම්මා කිසිත් නො පවසා කල්පනා කරන්නට වූවා ය. මම සංකල්ප කලින් එවා තිබූ මීදුම් දුමාරයේ දමා ගෙන ඉයර් ෆෝන් ගසා ගතිමි. ඒ බැඳීම දින කිහිපයකට අයිති එකක් නොව ආත්ම ගණනාවකට අයිති ව තිබූ එකක් බවට මතක කැබලි හිතේ තැන් තැන් වලින් මතු වන්නට පටන් ගත්තේ ය.

අරවින්ද මුණ ගැසී මා කුමක් නම් කතා කරන්න ද? අයියාට මෙය ගනු දෙනුවකි. නමුත් සංකල්ප සමගින් මට වන බැඳීම ගනු දෙනුවක් නොවේ. එය තනිකර ම ආත්මීය ප්‍රකාශනයකි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content