දයියා සැරට – ගමේ රසට – චිකන් වෑංජනය මේ විදියටත් හදල බලමු!

අපි කන්න කැමතිම වගේම අපේ ශරීරයට ඕන කරන ප්‍රෝටීන් යහගුණය පහසුවෙන්ම ලබාගන්න පුළුවන් ආහාරයක් තමයි කුකුල් මස් කියන්නේ. විශේෂයෙන්ම හැදෙන වයසේ ඉන්න අපේ දූ දරුවන්ට අවශ්‍ය පෝෂණය කුකුල් මස්වලින් ලැබෙන නිසා වැඩියෙන්ම පරිභෝජනය වන මස් වර්ගයක් බවට කුකුල් මස් පත්වෙලා තියෙනවා. 

ශ්‍රී ලංකාවේ අපි ඇමයිනෝ අම්ල ඇතුළත් වන පරිපූර්ණ පෝෂණය ලබා ගැනීම අතින් ඉන්නේ ඉතාම පහළ මට්ටමක. අපේ ජීවිතය හොඳින් ජීවත් වෙන්න, ඇඟට අවශ්‍ය පරිපූර්ණ ප්‍රෝටීන් පෝෂණය නොඅඩුව ලබා දෙන මාර්ගයක් විදියට කුකුල් මස්, බිත්තර, තාරා මස්, කළුකුම් මස් වගේ පෝල්ට්‍රි ගණයේ මාංශ ඉතාම වැදගත් වෙනවා. 

අද කාලෙ ගමේ රසට හදන කරි වර්ගවලට නාගරික සමාජය ඇතුලෙ ලොකු ඉල්ලුමක් තියෙනවා. හැබැයි මතක තියාගන්න ගමේ හොදි ටිකක් සැරයි. ඒ නිසා දයියා සැරට කැමති අයට වැඩියෙන්ම ගැලපෙන මේ කුකුල් මස් කරිය කොහොමද හදාගන්නෙ කියලා අපි දැන් බලමු. 

ගමේ රසට දයියා මස් වෑංජනේ හදන්න අපිට මේ ජාති ටික ඕනෙ කරනවා. 

  • සෝදා පිරිසිදු කර කපාගත් කටු සහිත චිකන් 400g
  • හීනියට කපාගත් ලොකු ළූණු ගෙඩියක්
  • තලාගත් ඉඟුරු, සුදුළූණු
  • රම්පෙ, කරපිංචා
  • සේර කෑල්ලක්
  • මහදුරු ඇට තේ හැඳි 1/2, කොත්තමල්ලි ඇට තේ හැඳි 1/2
  • කරදමුංගු 2
  • කරාබුනැටි 5
  • පොඩි කුරුඳු කෑල්ලක්
  • මිරිස් කුඩු තේ හැඳි 2
  • බැදපු පහේ තේ හැඳි 1 1/2
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1
  • ලුණු රස අනුව
  • විනාකිරි මේස හැන්දක්
  • සීනි තේ හැඳි ½

දැං අපි මේ විදියට කුකුල් මස් වෑංජනේ හදාගමු

  • විනාකිරි, ගම්මිරිස්, ලුණු, මිරිස්, බැදපු පහේ මස් කැබලි එක්ක හොඳින් අනාගෙන විනාඩි 30ක් සීසන් කරගන්න. මහදුරු සහ කොත්තමල්ලි යන්තම් කබලේ බැදගෙන කුඩු කරගන්න.
  • මැටි වළඳක් රත් වෙන්න තියල ඒකට තෙල් මේස හැඳි තුනක් එකතු කරගෙන, තෙල් ටික රත් වෙන කොට පිළිවෙලින් රම්පෙ, කරපිංචා, සේර, කරදමුංගු, කරාබු නැටි, කුරුඳු එකතු කරන්න. ඒවා සුවඳ එන්න බැදෙන කොට ළූණු එක්ක ඉඟුරු සුදු ළූණු එකතු කරගෙන ළූණු රන්වන් පාට වෙනකම් තෙම්පරාදු කරගන්න.
  • ඒකට සීසන් කරගත්ත මස් කෑලි ටික එකතු කරගෙන කලවම් කරන් ලිපේ ගින්දර අඩුම කරල පියනකින් වහල මදගින්නෙ පිසෙන්න අරින්න. විටින් විට කලවම් කරගන්න.
  • මස් තැම්බෙන්න පටන් ගත්තම කබලෙ බැදල එකට කුඩු කරගත්ත මහදුරුයි කොත්තමල්ලියි එකතු කරන් කලවම් කරගෙන වතුර හෝ මිටි කිරි (කැමැත්ත අනුව අරගෙන) මස් එකෙන් භාගයක් වැහෙන ගාණට දාල මද ගින්දරේම හිඳෙන්න තියන්න.

ගමේ රසට හදාගත්තු දයියා කුකුල් මස් වෑංජනේ දැං කට්ටියට පිළිගන්වන්නයි තියෙන්නෙ. 

හායි …… හූයි ගගා රස බලන්න කට්ටියම එහෙනම් කෑම මේසෙ පැත්තට යමු.

කුකුල් මස් ඇතුළු පෝල්ට්‍රි කාණ්ඩයේ මාංශවලින් ඉතා ලේසියෙන් පහසුවෙන් අපේ ශරීරයට ලැබෙන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ගැන වැදගත් තොරතුරු ටිකක් කෙටියන්.

ඇමයිනෝ අම්ල ඔබගේ ශරීරයේ ඉටු කරන කාර්යයන්

මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල වර්ග නවය ඔබගේ ශරීරයේ වැදගත් හා විවිධ කාර්යය රැසක් ඉටු කරනවා.

1. Phenylalanine –  ප්‍රෝටීන හා එන්සයිම නිර්මාණය සහ කෘත්‍යයන් ඉටු කිරීම වගේම අනෙකුත් ඇමයිනෝ අම්ල නිපදවීමේදී ද ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.

2. Valine –  මාංශපේෂී වර්ධනය උත්තේජනය කිරීම හා යළි ප්‍රකෘතිමත් කිරීම වගේම ශක්තිය නිපදවීමත් සිදු කරනවා.

3. Theoronine – සම සහ බන්ධන පටකවල වැදගත් සංඝටක වන කොලැජන් හා ඉලාස්ටින් වැනි ව්‍යුහාත්මක ප්‍රෝටීනවල මූලිකාංගයක් වේ. එමෙන්ම, මේද පරිවෘත්තීය ක්‍රියාවලියට හා සිරුරේ ප්‍රතිශක්තිය පවත්වා ගැනීමට ද අවශ්‍යයි. 

4. Tryptophan – නිසි නයිට්‍රජන් සංතුලිතතාවය පවත්වා ගැනීමට උපකාරී වන අතරම, ඔබගේ ආහාර රුචිය, නින්ද සහ මනෝභාවය නියාමනය කරන සෙරොටොනින් නමැති නියුරොට්‍රාන්ස්මිටර් වර්ගයට පුරෝගාමී වේ.

5. Methionine – සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය පවත්වාගෙන යෑමේදී සහ විෂ බැහැර කිරීමේ දී වැදගත් භූමිකාවක් ඉටු කරයි. පටක වර්ධනය වගේම සින්ක් හා සෙලනියම් වැනි ඔබගේ නීරෝගීභාවයට අත්‍යවශ්‍ය ඛණිජ ලවණ ශරීරයට උරා ගැනීමට මේ ඇමයිනෝ අම්ලය අවශ්‍යයි.

6. Leucine – ප්‍රෝටීන සංස්ලේෂණය සහ මාංශපේෂී අළුත්වැඩියාවට අත්‍යවශ්‍ය වේ. රුධිර සීනි මට්ටම නියාමනය කිරීමටත්, තුවාල සුව කිරීමටත්, වර්ධක හෝමෝන නිපදවීමටත් එය අවශ්‍යයි.

7. Isoleucine – මාංශපේෂීවල පරිවෘත්තීය ක්‍රියාවලියට වැදගත් වන මෙය මාංශපේෂී පටකවල බෙහෙවින් අඩංගු වේ. සිරුරේ ප්‍රතිශක්තිය පවත්වා ගැනීම, හිමොග්ලොබින් නිෂ්පාදනය හා ශක්තිය නියාමනය කිරීමේදී ද මෙම ඇමයිනෝ අම්ලය වැදගත් ය.

#PoultryPower #PoultryForLife #HealthyLiving #PoultrySL  

 #ProteinSriLanka #PoultryMagic #ChickenProtein

Related Articles

Don't Miss


Latest Articles