සුහදිනි -62

නිල් සහ කහ පැහැති නිල ඇඳුමකින් දැක පුරුදු යෞවනයා කහ පැහැති කමිසයකින් සැරසී සිටිය ද සකීගේ තාත්තාට හඳුනා ගැනීම අපහසු වූයේ නැත.ඔහු එන බව සකී දැනුම් දී පැය කිහිපයකි.සකීගේ අම්මා කිසිවක්ම නොපවසා ඉන්නට පිළිණ දුන්න ද ඈ අතින් යෞවනයාගේ හිත රිදෙන යමක් කියවේදැයි මහසෙන් ට සැකයක් නොතිබුණාම නොවේ.

“මේව ගැළපෙන වැඩ නෙවෙයි කියලා අපි කෙලින්ම කියමු.”

අහස් එන්නට විනාඩි කිහිපයක් තිබිය දී සකීගේ අම්මා අවසාන යෝජනාව ඉදිරිපත් කළා ය.ඇය කියන අන්දමට ඉඩමක් විකුණා අහස්ගේ ණය පියවන්නට හැකි ය.

“සල්ලි ගෙවන එක කරාමයි කියමු.අපේ දරුවගෙ හිත බිඳෙන එක පියවන්න අපිට පුළුවන් ද?”

සකීගේ තාත්තා පිළිතුරු දෙන්නට අසීරු ප්‍රශ්නයක් අම්මාගෙන් ඇසුවේ ය.දියණියකගේ හිත බිඳී යාම ගැන තාත්තා කෙනෙකු තරම් කිසි කෙනෙකු කම්පාවට පත් වන්නේ නැත.ඒ හන්දා සකීට ඕනෑ කරන දෙය සිදු වන්නට ඉඩ දෙන්නට තාත්තා දැනටමත් තීරණය කර හමාර ය.

“කාට වුණත් රවට්ටන්න පුලුවන්.රැවටෙන් නැතුව ඉන්න පුලුවන් දරුවෙක් තමයි අපි හැදුවේ.”

අහස් මෝටර් රථයෙන් බසිද්දී මහසෙන් සකීගේ අම්මාට පැවසුවේ එපමණකි.ඔහුගේ තීරණය මේ වතාවේදී ද පිළිගන්නට සිදු වන බව සකීගේ අම්මා තේරුම් ගත්තා ය.

“අම්මයි තාත්තයි මාත් එක්ක ආවේ නෑ තාත්තේ.මට ඉස්සරලම ඇවිල්ලා තාත්තව මුණ ගැහෙන්න ඕන වුණා.”

අහස් නිවසට අඩිය තියන්නට පෙර එසේ කියන්නට වග බලා ගත්තේ ය.සකීගේ තාත්තා ඔහුගේ උරහිසට අතක් තබා නිවසට ඇතුළු වන්නට ආරාධනා කළේ ය.

උභතෝකෝටිකයක පැටළුණේ අම්මා ය.සමහර ප්‍රවෘත්ති නිවේදකයන් කට රවුම් කරමින් කියන තරමට සෙල්ලක්කාරකමක් ඔහුගෙන් දකින්නට නැත.සකීගේ රූපයට සමාන රූපයක් ඇති අහස් කෙරෙහි ඇතිවන ආදරය වලක්වාගන්නට නොතේරෙන හන්දාම සකීගේ අම්මා කාලය ගනිමින් තේ පිළියෙළ කළා ය.රූපවාහිනී තිරයේ තරග අතර දකින දහදිය පෙරාගත් සගයන්ට අතපය විසි කරමින් කෑගසන යෞවනයාට කිසිම ආත්ම සංයමයක් නැති බවත් ගැටුම් ඇති කර ගැනීමට රුසියෙකු බවත් ඉතා නුදුරේදීම ඔහු විශාල කරදර ඇති කර ගැනීම ගැන කැට තැබිය හැකි බවත් පිළිණ දෙන්නේ ක්‍රීඩා ප්‍රවෘත්ති නිවේදකයන් ය.

එහෙත් ආලින්දයේ හිඳින්නේ වැදගත් සහ සන්සුන් තරුණයෙකි.

අහස්ට පහසුවක් වන්නට සිතා සකීගේ තාත්තා ඔහුගෙන් තරග ගැන ප්‍රශ්න කිහිපයක් අසමින් කතාබහ ඇරඹී ය.අහස් ඔහුගේ ජයග්‍රහණ ගැන ඕනෑවට වඩා උදම් වන බව අන් අය පැවසුව ද ඔහු ඒවා ගැන කතා කරන්නේ තාරබාර ඉවත් කර බව තාත්තාට සිතේ.අහස් කියන්නේ සකීගේ තාත්තා බලාපොරොත්තු වූ අන්දමේ තරුණයෙකු ද නොවේ.

තාත්තාටත් අහස්ටත් කතා කරන්නට ඉඩ හැර අම්මා තේ රැගෙන ආවා ය.දිවා ආහාරය සකසන්නටදැයි අසද්දී අහස් එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේ ය.මේ හදිසි ගමනකි.අම්මා සහ තාත්තා සමඟ නුදුරු දිනෙක පැමිණෙන්නට ඔහුට හැකි ය.

“ඉස්සරහට පුතාට ලොකු වැඩක් තියනවනෙ.ඒ කටයුතු ඉවර වෙලා අපි දේවල් පිළිවෙලකට කතා කරගමුකො.කාරණා දෙකක් එක පාර කරන්න අමාරුයිනෙ.”

අහස්ගේ තාත්තා ලෝක කුසලාන තරග ගැන සිහිපත් කළේ ය.අහස් මඳ සිනාවක් පමණක් දෙන්නට ප්‍රවේසම් වූයේ ය.

“අපිට මේ සමහර දේවල් විශ්වාස කරන්න අමාරුයි පුතේ.සකී එක්ක එකට ඉගෙන ගන්න කෙනෙකුට වඩා අපිට ඔයාව දැනෙන්නේ වෙනස් විදියට.ඔයාට සකී ගැන හිතුණු එකම මට නම් ප්‍රහේලිකාවක්.”

අම්මා එසේ කියද්දී ඇගේ දියණිය තමන් ගැන බියකරු සිහින ද සුන්දර සිහින ද දකින ආකාරය විස්තර කරන්නට තරම් උවමනාවක්  අහස්ට ඇති විණ.එහෙත් ඔහු එය දරා ගත්තේ ය.

“අපි අපේ ලයිෆ් පාට්නර් කරගන්න ඕන ගෙදරක් වගේ දැනෙන කෙනෙක් අම්මා.සකී එහෙම කෙනෙක් කියලා මට තේරුම් ගියා.ඉතින් මට එයා මඟ ඇර ගන්න ඕන නෑ.”

ඒ වචන අම්මා කෙනෙකුට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් ය.අන් අය ගැන ඉතා සැලකිලිමත් වන වඩා කාරුණික දියණියට යහපත් බිරිඳක විය හැකි බව අම්මා කොහොමටත් විශ්වාස කළා ය.සුන්දරම කාරණාව වන්නේ කෙටිකාලීන ප්‍රේමයකින්ම සකී ගැන අහස් වඩා හොඳින් තේරුම් ගැනීම ය.

“අපේ අම්මලා කැමතියි ඉක්මනින්ම අපි මැරි කරනවට.අම්මයි තාත්තයි අකමැතිනම් මට ඒ තීරණේ පහු කරන්න පුලුවන්.”

ජනප්‍රිය තරුණයෙකුට ආදරය කිරීම නිසා වසර ගණනාවක් පාවිච්චි වී විවාහය පවා කල් යාම නියතයක් යැයි සකීට දොස් කී අන්දම අම්මාට සිහි විය.එහෙත් අහස් ඉක්මන් විවාහයකට සැරසේ.ජනප්‍රිය කාණ්ඩයේ අයගේ විවාහය දික්කසාදයකින් කෙළවර වීමේ සම්භාවිතාවය ගැන අම්මා ඉන් අනතුරුව සිතා බලන්නට වූවා ය. 

“ඇත්තටම පුතා මම මාරාන්තික අසනීපයක් හැදුණු මිනිහෙක්.මම දන්නෙ නෑ මගේ ජීවිතයේ තව කොච්චරක් ඉතුරුවෙලා තියෙනවද කියලා. ඒ හින්ද මාත් ඇත්තටම කැමති මගේ දූ කාටහරි බාර දෙන්න.එතකොට මං දන්නව දුකක් නැතුව සැනසීමෙන් ජීවත් වෙයි කියලා මම නැතිවුනත්.”

තාත්තා එසේ කියද්දී කඳුළු ඉනුවේ අම්මාට ය.ඇයටත් දියණියටත් තිබූ සවිය දිය වෙමින් පැවතීම තරමට දරා ගැනීමට අපහසු වෙනත් දෙයක් ඇයට නොවේ.

“තාත්තෙ, මමයි තාත්තයි හිටියත් නැතත් සකී අසරණ වෙන්නේ නෑ.එයා හොඳට ඉගෙන ගත්තු ළමයෙක්.හිතේ හයිය තියන කෙල්ලක්.එහෙම හැදෙන ගෑනු ළමයින්ට ජීවත් වෙන්න හයියක් ඕනෙ නෑ.ඇත්තම කිව්වොත් අපිට තමයි එයාලගේ හයිය වැදගත්.මට තියෙන්නෙත් සකී එක්ක ඉක්මනින් ජීවිතය පටන් ගන්න ලෝබකමක් මිසක් වෙන දෙයක් නෙමෙයි.තාත්තාට අසනීප නිසා ඉක්මනින් මං ඔයාව මැරි කරන්න ඕනේ කියලා මට කිසිම වෙලාවක හිතෙන්නේ  නෑ.කාගෙවත් හයියක් තිබුණත් නැතත් සකී කවදාවත් වැටෙන්නේ නෑ.”

අහස් එසේ පැවසුවේ හිත දිනා ගන්නට නොවේ.ජීවිතය පවත්වා ගැනීම සඳහා ධනවත් තරුණයෙකු ඕනෑම බව සිතන සාරණ්‍යා වැන්නියන් සමඟ ඔහු ගනුදෙනු කර තිබේ.එවැනි තරුණියන් මැද සකී මැණිකක දිස්නයකින් අහස්ට පෙනෙන හන්දා ඔහු කළේ අවංක වර්ණනාවකි.

“ජීවිතේ මොන විදියට විසඳෙයිද කියන්න මම දන්නේ නෑ පුතා.ඒත් අපේ දූට සැනසීම තියෙන්නේ ඔයා ළඟ කියල හිතෙනවනම් මම ඒ සැනසීමට බාධා කරන්නේ නෑ.”

සකීගේ තාත්තා අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.සකී කියන්නේ අහිංසක සහ දමනය කළ හැකි දැරියක බව සිතා ඔහුගේ කෙළිලොල් ජීවිතය ඕනෑ අන්දමකින් ගත කරන්නට එවැනි සහකාරියක තෝරා ගන්නට අහස් සිතන්නට ඇති බව අම්මා මෙතෙක් වෙලාවක් සිතා සිටියා ය.නැත! එය වැරදි අදහසකි.ඔහු සොයන්නේ තාරකාවක් නොවේ.බැබළෙන හිරු රැස් දහරක් වැනි යුවතියකි.එවැනි දියණියකට උපත දීම ගැන අම්මාට දැනුණේ අප්‍රමාණ ප්‍රීතියකි.

(සකීගේ ආදරය වෙවෙනුවෙන් ඔබේ ආදරය තබා යන්න.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles