මල් තුහින – 05

මලිති තේ කෝප්පය ද රැගෙන කාමරයට ආවේ බර වුණු හිසකිනි. ඕනෑවට වඩා හිස රුදා ඇති වීම දරා ගැනීම අසීරු ය. විශාද නාශක ඔසු ගිල දැමීම නවතින දවස ගැන ඇය කල්පනා කළා ය. එය මේ යැයි නොපෙනෙන දුරකි.

“මලිති, අපි දුකට හුරු වෙලා දුක රස විඳින්න ගන්නවා කියන්නේ එතනින් ගොඩ ඒමක් නෑ.”

ඇගේ මනෝ වෛද්‍යවරිය කියන්නේ එහෙම කතාවකි. දුක් කසාදය කියන්නේ දික්කසාද රීති වලට පමණක් හසුවන විවාහ පමණක් නොවේ. ඇයට ඇත්තේ ද එවැනි වටහා ගත නොහැකි අන්දමේ විවාහයකි.

මලිති ජංගම දුරකථනයේ ඇති නෝට් පෑඩයට පිවිසුණා ය.ඇගේ හැම වේදනාවක්ම අකුරු වී එහි රැඳේ.

“මේක සේව් කරලා තියා ගන්නවද?”

රහස් අංකයක් ඊමේල් පණිවිඩයක් කර රුවිනිට යැවූ මොහොතක් සිහිව මලිතිට සිනා ඉපිදේ.

“උඹේ අක්කර ගණන් වතුපිටි සේප්පුවක දාලා හැංගුවද? මගෙ කේන්දරෙත් තියනව අනුන්ගෙ බූදලයක් හම්බ වෙනව කියලා.”

රුවිනි කියන්නේ උස් හඬින් හිනැහෙන අතර ය. ඒ සිනාව නොවූවා නම් ජීවිතය මීටත් වඩා අසීරු වන්නට තිබිණ. හොඳ මිතුරියක කියන්නේ සහන් එළියකට බව මලිති සිතුවේ පැරණි සටහන් නැවත කියවන අතර ය.

“රූ, මේ නෝට් පෑඩ් එකේ පාස්වර්ඩ් එක. මං මොනම හේතුවකට හරි මැරුණොත් ඔය හැම නෝට් එකම පෙන්නන්න පුලුවන්ද? කෙනෙකුට?”

මලිති එසේ අසද්දී රුවිනි මිතුරිය දෙස බලා සිටියේ ළතෙත් දෑසකිනි.නවීන් හන්දා අතොරක් නැති පීඩා උහුලන මලිතිට

 ජීවත් වන්නට කාරණාවක් ඇති බව රුවිනි දන්නී ය.නමුත් ඒ හේතුව ගැන මලිති කියන තුරු අසන්නට රුවිනි අකමැති ය. පෞද්ගලිකත්වය කියන්නේ එතරමට වටිනා දෙයක් බව ඇය විශ්වාස කරයි.

විදුලි බලය පැමිණ තිබුණ ද මලිති කාමරයේ විදුලි පහන නිවා දැම්මා ය. අන්ධකාරය ප්‍රිය කරන්නේ තනිකම තුරුළු කරගත් අය බව ඇය නොදන්නවා නොවේ. නමුත් අන්ධකාරය තරම් පහසු තැනක් ඇයට නැත. අන්ධකාරය කොන්දේසි විරහිතව ඇය වැළඳ ගනියි.එතැන ඇයට වඩා සුවපහසු ය.

වෙහෙස ඇසි පිය මත වැදී බිම වැටේ.අතිශය වෙහෙසකර බවටවත් නින්ද ගෙනවිත් දෙන්නට හැකියාවක් නැත.රිදෙන බිම වැටී කැබලි වන හදවත ඔබ සොයයි.රළු හදවතක හිමිකම දරා ගන්නට සිදු වූ එහෙත් ඔබේ එක් සෞම්‍ය වචනයකින් පිබිදෙන හදවත හිමිකමක් නැති නුඹේ සිනාවක් හදවතේ ඉසියුම් තැනක රඳවා ගනියි.

ඈතකින් රයිනිගේ ගී හඬ ඇසේ.

“කඳුලැල් සිඳෙන හීනේ – මාගේ නොවෙන දෑසේ

අඳුරකද මං නැවතුණේ”

ප්‍රේමයේ සළකුණු හඟින නොදන්නා මෙන් හිඳින නුඹට ය!”

මලිති ලියා තැබුවා ය. ඒ සටහනේ හැම අකුරකම ඔහු හිඳින බව දන්නේ ඇය පමණි.

සමහර කාරණා දරා ගැනීම පහසු වන්නේ එය තමන් පමණක් දැන හිඳින විට ය. මේ රහස ඔහුට ද නොදන්වා දරා ගැනීම තව මොනතරම් කාලයක් කරන්නට හැකිදැයි මලිති සිතුවා ය. ඒකපාර්ශවික ප්‍රේමයක් කියන්නේ වේදනාවකට ය. එය වඩා වැඩි වේදනාවක් වන්නේ නොසලකා හරින ලද විවාහයක කොටු වී හිඳින්නියක වීම නිසා ය.

දැන් නොසලකා හැරීම් දෙකකි.නවීන් හිතාමතාම ඇය නොසලකා හරිමින් හිඳියි. “ඔහු” ඇගේ ප්‍රේමය ගැන කිසිවක්ම නොදන්නා නිසා ඔහු අතින් ද ඒ ආදරය ඉවතට විසි වේ.

මලිතිගේ දරා ගැනීම අවසන් වී යන්නේ දිගු දුරට මේවා සිතද්දී ය.

“මට මැරෙන්න ඕනෑ.”

ඒ වචන රුවිනිට ලියා යවා ඇය බියට පත් කිරීම අශෝභන ය. කළ යුතු වන්නේ නවීන් වෙත කඩා පැන ඒ ගැන ඔහුට පැවසීම ය. නමුත් නවීන් දෑස් විසල් කරගෙන බලා සිටිනවා මිසක එවැනි මොහොතක කිසිවක්ම පවසන ඉඩක් නැත.

“මට කතා කරන්න ඕන.”

ඇය රුවිනිට ලියා යැව්වා ය. ඕනෑම මොහොතක කෙටි පණිවිඩයක දුර හිඳින්නිය වහා පිළිතුරු එවා තිබිණ.

“මං කෙනෙක්ට ආදරේ කරනව රූ.”

මලිති කියන්නේ ආවේගයෙනි. එහෙත් ඒ ආවේගය රුවිනිට නොවැටහේ. ඇය සිතන්නේ ඒ ආවේගය ප්‍රේමයේ ආවේශයක් බව ය.

“නියමයි. ආදරයක් නොදන්න මිනිහෙක් ළඟ හිටියා ඇති. ඔය ඇති.”

රුවිනි එසේ කියද්දී මලිතිට තවදුරටත් ඇගේ රහස සඟවා ගන්නට ඕනෑ වූයේ නැත. ඇය ඉතා වේදනාවෙන් ඊළඟ පණිවිඩය ලියන්නට වූවා ය.

“ඒ මනුස්සයා ඒක දන් නෑ.”

ආදරය මුලින්ම ප්‍රකාශ කළ යුත්තේ ගැහැනිය බව කොහේවත් සඳහන් නොවන බව කීවේ රුවිනි ය. එතරම් පසුගාමී වීම ම ආදරයක් නොලැබීමට හේතුවකි. ඕනෑවටත් වඩා දුක් කන්දක් උහුලන මලිති මේ වතාවේවත් මොළය පාවිච්චි කිරීම කළ යුතුම දෙයකි.

“කියමු.”

බහු වචනය වඩාත් සාර්ථක වන්නේ මෙවැනි මොහොතක පෙරට එන්නට රුවිනිට සිදු වන නිසා ය.

“වැඩක් වෙන් නෑ.”

හේතුව අසන්නට රුවිනිට ඕනෑ විය. මලිති කියන අන්දමට ඇගේ ඒකපාර්ශ්වික ප්‍රේමය ඇගේ ප්‍රේමය පිළි ගන්නට කිසිම ඉඩක් නොවේ.

“ඇයි උඹ ඒ ගමන ලව් කරන්නේ හේමාල් රණසිංහට ද නැත්තං දිනේෂ් ගමගේටද? ඒ ඔක්කොමත් හරි දීපිකාගෙන් ගුටි කන්න හිතන් රන්වීර්ටද මොකාටද?”

මලිතිට සිහින තාරකාමය ප්‍රේම ඕනෑතරමට ඇති බව රුවිනි දනියි. මෙලෝ රහක් නැති ගීත තොරතෝංචියක් නැතිව අසන්නට වෙන්නේ මලිතිගේ සිහින තාරකාමය ප්‍රේම කතන්දර නිසා බව ඇය අනන්ත වාරයක් දොස් නඟා තිබේ.

“ඔය සේරටම හපන්.”

මලිති එසේ කියා මඳ වෙලාවක් නිහඬව සිටියා ය.දෙඅත් වෙව්ලද්දී කිසිවක්ම ලියනය කරන්නට නොහැකි බව ඇය දනියි. ඇයට මෙහෙමම මේ රහස රැක ගන්නට පවා සිතේ.

“තුහින”

එවර ගල්ව ගියේ රුවිනි ය. කියන්නට ආ වචන ගිල ගනිමින් ඇය වඩා හොඳ විසඳුම සිතන්නට වූවා ය.වඩා හොඳ විසඳුම තෝරා ගන්නට නොහැකි තරම් ය.

(මලිති කියන්නේ අපේ SmartLady සමූහයේ නිර්නාමික ගැටළු අතර නිතරම දකින්නට ලැබෙන ආකාරයේ චරිතයක්. ඇගේ ඉදිරිය ගැටළු සහගත බව ඇත්ත.එහෙත් රුවිනි සමඟ එකතු වී මලිතිට ඇගේ මාර්ගය පෙන්වා දෙන්න ඔබටත් හැකි බව මට විශ්වාසයි. ඔබ රුවිනි නම් මලිති වෙනුවෙන් කරන්නේ මොනවද? නවීන් සමඟ කෙසේ හෝ සමාදාන වී ජීවිතය ඉදිරියට ගෙන යන්නට උදව් දීම, වේදනාවෙන් මිදී තනි ජීවිතයක් අරඹන්නට උදව් දීම, ඇගේ ඒකපාර්ශවික ප්‍රේමය හිතේම තබා ගන්නට උපදෙස් දීම, මලිති වෙනුවෙන් තුහින සමඟ කතා කිරීම. ඔබේ අදහස කමෙන්ට් එකකින් තබා යන්න.❤️)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles