කදෝකිමි ඇස් -41

0
3171
කදෝකිමි ඇස්

ආරණ්‍යා මේඝ වෙත ආවේ කැළඹුණු සිතකිනි.මෝක්ෂගේ අතකින් අල්ලාගෙන සෑම තැනකම රස්තියාදු ගැසූ දවස් ඕනෑතරම් ය.නමුත් ඒ බොහෝ ගමන් රහස් ගමන් නොවේ.සමහර වෙලාවට ආරණ්‍යා විභාග භීතිකාවකින් හෝ කුමක් හෝ කාරණාවකට හොස්ස පෙරළාගෙන සිටියදී ඇය කොහේ හෝ රවුමක් රැගෙන යන්නැයි මෝක්ෂට ආරාධනා කරේ ද මේකලා ය.ඒ හැරුණු විට මෝක්ෂටත් ආරණ්‍යාටත් තිබුණු රහස් ගමන් වූයේ මෝක්ෂගේ පෙම්වතියක බලන්නට ගිය ගමනක් පමණි.

හිතට ආ සංකාව නිසාම ආරණ්‍යා මෝක්ෂට ඇමතුවා ය.තමන් යන්නේ කොහේදැයි ඇය සොයුරාට පැවසුවේ ලැජ්ජාවෙනි.මෝක්ෂගේ හඬ දුරකථනය දිග ගලා ආයේ සැහැල්ලුවෙන් ය.

“තමුසෙ ලොකු ළමයෙක් නංගි.යන ගමනක් යනවකො.ඕක මට කිව්වෙ මේඝ මරලා හංගයි කියලා බයේද?”

ඔහු එසේ අසද්දී ආරණ්‍යා බනින්නට පටන් ගත්තා ය.ඇගේ කලබල බැනුම් මේඝට නුහුරු නොවේ.ඇය බනිමින්ම දුරකථනය විසන්ධි කරද්දී මෝක්ෂ ඇයට කියන්නට අමතක වූ පණිවිඩය ලියා යැවී ය.

“අද මුණ ගැහුණා කියලා අදම ආදරේ කියන මෝඩයෙක් නෙවෙයි බං මේඝ.ගිහින් කතාබහ කරලා එනවා..”

ආරණ්‍යා සිනා මල් කිනිත්තක් මෙන් පිපී අවන්හලට ඇතුළු වන අන්දම බලා සිටි මේඝට නම් සිතුණේ එහි විලෝමය ය.මේ සුන්දර තරුණිය වෙනත් අතක පැටලෙන්නට පෙර හිමි කරගන්නට ඔහුට ඕනෑ විය.එහෙත් ආරණ්‍යා පහසුවෙන් දිනා ගත නොහැකි යුවතියක බව ඔහු නොදන්නවා නොවේ.

“මේකලා ආන්ටිත් ඉස්සර ඔයා තරම්ම ලස්සන ඇති නේද?”

ආරණ්‍යා සුන්දර බව ඔහු පැවසුවේ එහෙම ය.ආරණ්‍යා ලා සිනාවක් තොල් මත මවා ගත්තා ය

“මහේන් අංකලුත් ඉස්සර ඔයා වගේමද?”

සිනාව ඉතිර ගියේ ය.මේඝ ආරණ්‍යා දෙස බලා සිටියදී ආරණ්‍යා ඒ බැල්මෙන් මිදෙන්නට තැත් දැරුවා ය.ඒ සහස්ගේ මෙන් දියාරු බැල්මක් නොවේ.

“සහස් කරපු දේ නිසා නේහා අවුලින්ද?’

ඇය ප්‍රශ්නයක් නැඟුවා ය.නේහාගේ අම්මා අතීතයේ කළ වරදකට වර්තමාන දඬුවම නේහාට බව කියන්නට මේඝ සිතී ය.එහෙත් ඔහු කිසිත් නොකියා මොහොතක් හුන්නේ ය.

“ඒ වැඩේ හරි කැතයි අයියා..මට සමා වෙන්න.”

ආරණ්‍යා එසේ කියද්දී මේඝ මුදු සිනාවක් නඟා ගත්තේ ය.නේහා සහ ඔහු අතර සම්බන්ධය නැවතීමෙන් පසු එවැනි කතාවක් අසන්නට වීම නේහා ගැටලුවක් කර ගත යුතු නැතැයි ආරණ්‍යාට කියන්නට ඔහු අනතුරුව ක්‍රියා කළේ ය.

“මම හරි බයයි තව කෙනෙකුගෙ හිත රිදෙනවට.අනික මං එහෙම කරන්න නොහිතා ඉද්දී..”

එසේ පැවසූ ආරණ්‍යා ඒ කතාවට ඌණපූර්ණයක් ද එක් කළා ය.

“ආදරයක් හින්දා ගොඩ ගන්න බැරිතරමට වැටෙන ගෑනු ළමයි ගොඩ ගන්න හරි අමාරුයි.එයාලා ජීවිත කාලෙම ඒ වේදනාව කරපින්නන් යන්නෙ..”

ආරණ්‍යා එසේ කීවේ ඇගේ අම්මා ගැන බව මේඝ දනියි.වේදනාත්මක කාරණාව එසේ වන්නට හේතුව ඔහු පියා වීම ය.

“අපේ අම්මට අදටවත් ලොකුවට ස්ට්‍රෙස් ගන්න දෙන්නෙ නෑ අප්පච්චි.අපිත් හරීම හොඳ ළමයි වෙලා නරක වැඩ නොකර හොඳට ඉන්නෙ අම්මා ලෙඩ වෙයි කියන බයට වෙන්නත් පුලුවන්.අයියාට කියන්න මමයි මල්ලියි ඉස්කෝලෙදි එහෙම නරක වැඩ නොකරෙත් අම්මව පේරන්ට්ස් මීටින් ගෙන්නයි කියන බයට.මම එක්සෑම් රිසල්ට්ස් එහෙම අම්මට කිව්වෙත් එයාව ලොකුවට සර්ප්‍රයිස් නොකර හෙමින්.අම්මව අවෝඩ්ස් වලට නොමිනේට් වුණාම එයාට වඩා අපි තුන්දෙනා බය වුණා.අපිට හිතා ගන්න බෑනේ ඒක ලැබෙන එක හරි නැති වෙන එක හරි අම්මට කොහොම බලපායිද කියලා.’

ආරණ්‍යා එසේ කියවාගෙන යද්දී මේඝට ඔහුව දහවලේ ඇමතූ වැදගත් මහත්මයා සිහියට ආවේ ය.ඔහු මේඝගේ තාත්තා තරමට ගර්වයෙන් ඔද වැඩී ගිය කෙනෙකු නොවේ.නමුත් ඔහු ආදරණීය තාත්තා කෙනෙකු බව මේඝ ඒ කෙටි දුරකථන සංවාදයෙන් තේරුම් ගත්තේ ය.දැන් ඔහුට කියන්නට ඇත්තේ වෙනත් කතාවකි.

” අපේ අම්මලා තාත්තලා ඔක්කොම ඉන්න කතාවේ වැඩිම කැපකිරීමක් අයිති ඔයාගෙ අප්පච්චිට.ආන්ටි ලියන සැබෑ ආදරේ එයා ඉගෙන ගන්න ඇත්තේ අප්පච්චිගෙන්.මගේ තාත්තගෙන් නෙවේ.”

ආරණ්‍යා සුසුමක් හෙළුවා ය.අනතුරුව දන්නා දෙයක් හෙළි කළා ය.

“ඒ වුණාට අම්මා තාමත් ආදරේ ඔයාගෙ තාත්තට.”

වතාවන් කිහිපයදී නව යොවුන් ප්‍රේමයන් හන්දා කැළඹීමෙන් සිටියදී තාත්තා පැවසූ වාක්‍යයක් මේඝට සිහි වේ.ආදරය ගැන ඔහු සිතන අන්දම මේඝ ඉන් වටහා ගෙන සිටියේ ය.

“ආදරේ කියල බම්බුවක් නෑ මේඝ.තමුන් තමුන්ගෙ ලයිෆ් ටාගට්ස් වලට ඉගෙන ගන්නවා.”

එසේ සිතන්නට තරම් ඔහුට ආදරය එපා වෙන්නට ඇත්තේ මේකලා මායාදුන්න හන්දා ය.මේඝ ජීවිතය කියන්නේ මොනතරමට අබිරහස් පිරුණු තැනක්දැයි සිතන්නට ගත්තේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here