අශ්විනී කාමරයේ තිර රෙද්ද මෑත් කොට බැලුවා ය. ආයු තුරුලු කරගෙන අමාගී හැන්දෑ නින්දට පිවිස තිබේ. සිදුහත් ගිහි ගෙය හැර යන තීරණය මත යශෝධරා ගේ සිරියහන් ගබඩාවට එබී බලන වෙලාවේ, ඕ රාහුල තුරුලු කරගෙන නිදා සිටින්නට ඇත්තේත් මේ ලෙස යයි අශ්විනී ට සිහි විය. ඇගෙන් ලොකු හුස්මක් ගිලිහුණේ නිරායාසයෙනි. ආයු ගේ ඉක්මන් හුස්ම හඬ අනුව ඔහු ගැඹුරු නින්දේ ය. එබැවින් අවදි වන්නට තව ටික වෙලාවක් ගත වනු ඇති බව අනුමාන කළ හැක. හෙමිහිට තිර රෙද්ද අත්හළ අශ්විනී ඉක්මන් ගමනින් මහානාම ගෙදර දෙසට ගියා ය. ඇය ගේට්ටුව ඇරියේ වැහුවේ පවා හඬක් ඇති නොවන සේ ඉතා හෙමිහිට ය. මේ වෙලාවේ අමාගී අවදි කරගන්නට ඇයට උවමනා නැත.
මණී සිටියේ ආලින්දයේ සෝෆාව මත ම කෙටි නින්දකට වැටී ය. ඇගේ හවස නින්ද එවැනි අවිධිමත් එකකි. ඇතැම් විට පුටුවෙහි හිඳගත් වන බෙල්ල කඩාගෙන ඇය ස්වල්ප නින්දකට වැටේ. දිවා දවසේ විඩා නිවාගෙන අලුතෙන් නැගී සිටින්නට ඇයට ඒ ප්‍රමාණවත් ය. නමුත් සුළු ශබ්ධයකින් පවා ඒ නින්ද බිඳේ. අශ්විනී ගෙදොරකඩ සිටගෙන ඇදෙස බලා හිඳිනා සෙවනැල්ල දැනී ඕ තොමෝ නෙතු විවර කළා ය.
මණී එහෙම නිදා සිටිනවා දකිත්දී අශ්විනී හිතුවේ හැරී යන්නට ය. ඇය අවදි කරන්නට අශ්විනි ට ලෝභ සිතිණ. දවස පුරා ගෙදර වැඩ එක්ක ඔට්ටු වෙන වැඩිහිටි ගැහැනියකට දවස මැදදී විවේකයක් අවැසි ම බව අශ්විනී දනී.
“අනේ… මණී ආන්ටි ඇහැරුණාද… නිදි නිසා මං යන්නයි හැදුවෙ”
“මගෙ හවස කුකුල් නින්ද ඉතිං ඔහොම තමයි ආශ්. එන්න පුතේ. ඉඳගන්න”
මණී එක්ක කතා කළ යුතුයි කියා සිතුවාට කොහොම මොනවා කියන්න ද කෙසේ කතාවට මුල පුරන්න ද කියා ඇයට වැටහුණේ නැත. අම්මා කෙනෙකු වාගේ ඇයට ජීවිතය කියා දුන් ගැහැනිය මණී ය. ගෑනු ළමයෙකු වශයෙන් ඈ පිළිවෙළට හැදුණේ වැඩුණේ මව්වත්කම් ඇති මණී ගේ ඇල්ම බැල්ම නිසා බව අශ්විනි ට කිසි දා අමතක කළ නොහේ.
“එක්කො යංකො කුස්සියට. තේ එකක් හදාගමු අපි දෙන්නට බොන්න”
කියමින් මණී නැගී සිටියේ අශ්විනී පැමිණ සිටින්නේ නිකං කල් මැරීමකට නොවන බව දැනුණ හෙයිනි. සාමාන්‍යයෙන් අමාගී වාගේ ඒ ගෙදර අනිත් ගෑනු ළමයින් දෙදෙනා මෙහි ගැවසෙන්නේ නැත. ඔවුන් පැමිණෙනවා නම් ඒ හේතුවක් හෝ අවශ්‍යතාවයක් ඇතිව ය.
“ඉතිං ඉතිං ආශ් පුතා. වෙඩින් එකත් අත ළඟටම ආව නේද”
යයි විමසමින් මණී වතුර කේතලය ගෑස් ලිප මතින් තැබුවා ය.
“අනේ ඔව් මණී ආන්ටි. මට ඒකටවත් හිතේ නිදහසෙන් ලෑස්ති වෙන්න විදිහක් නෑ මේ අපේ සුදූ නිසා”
මණී ගේ පපුව මැද බෝම්බ පිපිරීමක් සිදු විය.
“මාගි නිසා… ඒ මොකද ආශ්…”
“කසුන්ගෙ යාළුවෙක් සුදූ ගැන අහල. ඒ ළමයත් කසුන් එක්කම ලංකාවට එන්නලු ඉන්නෙ. හොඳ ප්‍රපෝසල් එකක්නෙ මණී ආන්ටි. මෙයා ඒ ළමයට කතා කරන්නවත් බෑ කියනව. මං මේ ආවෙ සුදූට පොඩ්ඩක් අවවාද කරන්න කියල මණී ආන්ටිට කියන්න”
පැන්ට්‍රී මේසයට පිට දීගෙන මණී මඳක් කල්පනා කළා ය.
“තාත්තිට වුණත් හිත නිදහස්නෙ මණී ආන්ටි එක එක්කෙනා හරි පිළිවෙළක් වුණානං”
“ඉතිං ආශ් සාන්වි ඉද්දි මාගිට කටයුතු හොයන එක තේරුමක් නෑ නේද… අමාගිට කලින් පිළිවෙළක් වෙන්න ඕනෙ සාන්විනෙ. ඉතිං ඒ ළමයව සාන්විට කතා කළොත් මොකද…”
“එහෙම බෑනෙ මණී ආන්ටි. ඒ ළමය අපේ පින්තූර වල දැකල අහල තියෙන්නෙ සුදූ ගැනනෙ. මෙයාට ඉතිං අකමැති වෙන්නනං හේතුවක් නෑ. දැං මේ ආයුට ඇලී ගැලී ඉන්න නිසා තමයි ඔය බෑ කියන්නෙ. ජොබ් එකට යන්නත් බෑ කිව්වෙ ඒකනෙ. අනේ චුට්ටක් මෙයාට තේරුං කරල දෙන්න මණී ආන්ටි. බැන්දට පස්සෙ මොකද එයාටමයි කියල ළමයි හම්බවෙන්නෙ නැතුව නෙවේනෙ. ආයුගෙ හුරතල් නිසා තමයි ඔය. බැඳල ඉංග්ලන්ඩ් ගියත් වීඩියෝ කෝල් එකක් අරං හරි ආයුව බලන්න බැරිකමක් නෑනෙ”
මහ කන්දක් නාය ගියා සේ හදවතින් පදාසයක් කඩා වැටුණ සෙයක් මණී ට දැනිණ. ඇය අසීරුවෙන් කෙළ බිඳක් ගිලගත්තා ය.
“සුදූ මණී ආන්ටි කියන දේ අහනවනෙ ඉතිං. අපේ තාත්තිට හුරතල් වෙලා ශේප් වෙනව එයා ඒක නිසා ආන්ටි පොඩ්ඩක් තදින් කියන්න”
“මං කියන්නංකො”
තේ හැදුවාට උගුරක් බොන්නටවත් මණී ට හිතක් වූයේ නැත. නමුත් අශ්විනී ට පේන්නට ඕ තේ බිඳක් දිව ගෑවා ය. ඇගේ ම දියණිය විවාපත් කොට ගෙදරින් පිටත් කරන්නට හදනවා වන් සංකා හැඟීමකි එය. අශ්විනී ගෙදර ගිය පසු ද මණී කුස්සියේ පුටුවක් මතට වී බලාගත් අත බලාගෙන සිටියා ය. මණී අමාගී ව හැදුවේ ඇගේ ම යන හැඟීමෙනි. දුවක් නැති ඈ ට දුවක ගේ සුවඳ දුන්නේ අමාගී ය. කෙල්ලක නැති ගෙදර පිළිරැව් දුන් කෙළි කවට සිනා කතා හඬ ඇගේ ය. මණී ට යන්තම් උණක් සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳුණත් කොත්තමල්ලි හට්ටිය ලිප තැබුණේ අමාගී අතිනි. මණී ට වතුර පොදක් අල්ලන්නට නොදී එවැනි දින වල ගෙදර වැඩ කළේ ඈ ය. අමාගී ගොඩ නො වැදුණු දිනයක් මහානාම ගෙදරට උදා වී ඇතැයි සිහි කරගන්නට මණී අපොහොසත් ය.
ඇය සිතාගෙන සිටියේ ශාක්‍ය හෝ පූජන සමගින් දිනෙක අමාගී පෙම් පලහිලව්වක් ඇති කරගනු ඇත කියා ය. නමුත් ඔවුන් අතරේ සහෝදරත්වය ඉක්මවූ එහෙව් ඇසුරක් ගැන ඉවක් නම් වැටුණේ ම නැත. නමුත් ආයු සමගින් තනි වූ ආර්ය පිළිබඳව අමාගී ගේ හැඟීම යන්තම් හෝ වෙනස් බව අම්මා වශයෙන් මණී ට දැනී තිබේ. කෙසේ වෙතත් දැන් ඉතින් ඈ මේ ගෙදර ලේලියක වනු ඇතැයි සිතීමත් මුලාවකි.
රාත්‍රියේ අමාගී ආයු ට කෑම කවන අතරේ කුස්සියේ දී වචනයෙන් දෙකෙන් මණී අලුත් ආරංචිය පුතුන් සිව් දෙනාත් තාත්තාත් ඇති තැන කීවා ය. කවුරුවත් හ්ම් කීවේ නැත. ආර්ය මේස ලෑල්ල දෙස බලාගත්වන සිටියේ ය. ඔය එංගලන්ත විශ්ව විද්‍යාල සිසුවා ගැන අමාගී ඔහු ට යන්තමින් කියා තිබුණ ද එය මේ තරම් බරපතල අතට හැරෙතැයි ඔහු ට සිතුණේ නැති තරමි.
“යකෝ මාගිව බන්දන්න ආශ්ට ඔච්චර හදිස්සියක් ආවෙ මොකද… එහෙනං සාන්විත් ඉන්නෙ”
පූජන අන්තිමට කීවේ පරාජිත සරකිනි. සාන්වී හා ශාක්‍ය අතරේ අලුත් ඉඟි බිඟියක් ඇති වී තිබෙන බව පූජන ට ඉව වැටී තියේ. අන්තිමට, කාලයක් බලාගෙන උන් අමාගී ව සේ ම හදිසියේ පුරප්පාඩු වූ සාන්වි ව ද ගිලිහී ගියේ ඔහුගෙනි.
පරිමි ළමයින් විසිර ගිය පසු මණී අමාගී ව කුස්සියේ තනිකර ගත්තා ය.
“ලොකූ හවස මාත් එක්ක කතා කළා මාගි පුතේ”
මණී ගේ විලාශයෙන් ම අමාගී ට වෙනසක් දැනිණ. ඇගේ හදවත දඩස් ගා සැළුණේ ය.
“මට කිව්ව කසුන් පුතාගෙ යාළුවෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ඇවිත් කියල. ආශ් ටිකක් කලබල වෙලා ඉන්නෙ ආයු නිසා ඔයා ඒකට අකමැති වෙයි කියල. අක්ක කියනව වගේ ඔයාට දවසක ඔයාගෙම කියල දරුවොනං හම්බවෙයි පුතේ. මට තමයි ඉතිං ඔයා නැතිවෙන්නෙ. ඒකට කමන්නෑ. අක්කල.කියන දේකට කැමති වෙන්න. එයා ඔයාට වරදක් කරන්න නෙවෙයිනෙ හදන්නෙ. හොඳම දේ දෙන්න. පොඩි කාලෙ ඉඳන්ම එයා හිතුවෙ ඔය තුන්දෙනා ගැන. අපේ ගෙදරදි මොනාහරි රස කැවිල්ලක් දුන්නත් ඒක මිට මොලවගෙන නංගිලටයි මල්ලිටයි ගෙනියපු කෙල්ල. මල්ලිටයි නංගිලටයි හොඳ ඒව දෙන්න කියල පරණ බඩු පාවිච්චි කරපු කෙල්ල. එයාට හැමදාම ඕන වුණේ ඕගොල්ලොන්ට හොඳම දේවල් දෙන්න. එයාට වැඩිය හොඳ තැනක ඔය තුන්දෙනාව තියන්න. එහෙම අක්ක නෙනෙක්ගෙ හිත රිද්දන්න එපා. මාගි අක්ක කියන දේ ගැන හිතල බලන්න”
එදා ඇය ආයු නිදි ගැන්වූයේ ඇවිලෙනා හිතක් දරාගෙන ය. එපමණ දුකක් ඇතිව කඳුලක් නො හෙළා ඉන්නවා කියන්නේ පහසු දෙයක් නොවේ. පුළුන් රොදක් තරම් සැහැල්ලුවට පාව ගිය ඇගේ ජීවිතයට මේ තරම් අහඹු නිමේශයක මෙහෙව් බරක් පැටවෙනු ඇතැයි අමාගී සිතා තිබුණේ ම නැත. මණී ඉදිරියේ නිදහසට කාරණා වශයෙන් පවසන්නට වචනයක් හෝ ඇයට සිහි කරගත හැකි නොවිණ. ඕ කඳුලු බරක් දරාගෙන බිම බලා සිටියා ය.
“මං දුරේ අංකල් එක්ක කතා කරන්නං”
ආයු ව යහනේ තබන්නට කාමරයට ගිය විට ආර්ය සන්සුන් ස්වරයකින් මිමිණුවේ ය. අමාගී මඳහසක් පෑවා ය. ඒ මඳහස කීවේ ඉකිළුමක් ගැන කතාවකි.
“ඩිවෝස් එක ඉවර වෙලාම කතා කරන්නයි මං හිටියෙ. ඒත් ඉතිං…”
“මං දන්නෑ ලොකයියෙ. මෙච්චර කාලයක් මනමාලයෙක් තියා නාකි මිනිහෙක්වත් මං දිහා බැලුවෙ නෑ. ඒත් මේ හිටපු ගමං…”
“ආශ්ට මං ගැන සැකයක් ඇති. අක්ක විදිහට එයා හරි ඉතිං”
“මාව වෙන කාටවත් අයිති වෙන්න අරින්නෙපා ලොකයියෙ”
“අවුල් නොවී ඉන්න ඕනෙ හොඳේ”
ආර්ය අමාගි ගේ හිස් මුදුන සිපගෙන ඇගේ මුහුණ සිය පපුතුර රුවාගත්තේ ය. කල්පයක් කල් ඒ සුව යහනේ එහෙම සිටිය හැකි වී ද ඕ තත්පරයකින් සිහි එලවාගත්තා ය.
“මං යන්නං”
“දුරේ අංකල් මාව තේරුං ගත්තෙ නැත්තං ආශ් එක්ක ෆයිට් කරන්න වුණත් මං ලෑස්තියි. හරිද…”
ඇය ඇස් තටු සලා ‘ඔව්’ කීවා ය. එදා අමාගී ට කුස ගින්නක් දැනුණේ නැත. ඇය මේසය ළඟ හිඳ බත් පත අත පත ගාමින් කල්පනා කළා ය. වෙනදා තොරතෝංචියක් නැතිව නැගෙනා කිචි බිචි ගොලු ගැහී තිබිණ. ඉක්මනට මේසයෙන් නැගිටගෙන මිදුලට බට අමාගී සේපාලිකා ගහ යට බංකුව වෙත ගොස් හිඳගත්තා ය. හිත මේ තරම් රිදෙන්නේ කොහොමද?
“සුදූ”
කියාගෙන එතැන හිඳගත්තේ දුරේශ් ය. අඳුරට දුක්බර මඳහසක් පෑ ඕ තාත්තා ගේ අත් ගොබයෙහි කම්මුලක් තවරාගත්තා ය. හැඬේවී යන බිය ඇයට දැනෙමින් තිබිණ.