විශාකාව

“කෙල්ලෙක් වුනාම හිමින් ඇවිදින්න ඕන. දණිහෙන් පල්ලෙහට අඳින්න ඕන. මං කවදහරි යාලුවෙනවනම්‍ යාලුවෙන්නෙ මචං ඒ වගේ හැදිච්ච කෙල්ලෙක් එක්ක තමයි” කියලා තමයි මධුරංග ඉස්කෝලේ යන කාලෙ ආදරේ ගැන හිතුවිලි පුංචියට හරි හිතට ආවම තමන්ගෙ යාලුවො එක්ක බෙදාගත්ත. අඩි හයක් උස ලස්සන ශරීරෙයි, තලෙලු පාට හමයි, දුල්කර් සල්මාන් ලුක් එකයි, ඊටත් එහා ඉස්කෝලේ ක්‍රිකට් ටීම් එකේ උන්නු එකයි ඔක්කොම එක්කහු වෙලා මධුරංග රාමනායක කියන්නෙ සම වයස් ඉස්කෝලෙ යන කෙල්ලෙ අතරෙ “හොඳ කැච්” එකක් කරන්න ඕනතරම් හේතු කාරණා මැව්වා.

තමන් ලස්සන බව දන්න හන්දයි, තමන්ගෙ පස්සෙන් කෙල්ලො එන විත්තිය දන්න හන්දයි මධුරංගත් ඉතින් අඩියක් දෙකක් උඩින් තමයි ඇවිද්දෙ කරේ.

“අනේ බං තාත්තා දොස්තර, අම්මා ඇඩ් ඒජන්සි එකක වැඩ කරන්නෙ. එහෙම වෙලත් උඹ මේ තාම හිතන්නෙ හැටේ දශකෙ අංකල්ලා හිතපු ලෙවල් එකකින්නෙ” කියලා හොඳම යාලුවො විහිලු කරද්දිත් මධුරංග හිතුවෙම තැන්පත් කමක් ඉන්න කෙල්ලෙක් තමයි තමන්ට ගැලපෙන්නෙ කියලා.

ඩෙනිම් ගහන, කොන්ඩෙට වෛවර්ණ විකාර කරන, හයියෙන් කෑගහලා හිනාවෙන කෙල්ලො කියන්නේ යාලුවෙන්න හොඳ නැති ලෙවල් එකේ කෙල්ලො බව හිතපු මධුරංගගෙ ඇහේ සමුදිතාව පැටලුනේ ඔන්න ඔය අස්සෙ. සමුදිතා මධුරංගලගෙ ඉස්කෝලේ කිට්ටුව තියෙන කාන්තා පාසලක උසස් පෙළ පංතිවලට ආවෙ පොලිසියෙ වැඩ කල තාත්තට ලැබිච්ච පත්වීම් මාරුවක් එක්ක. ඉස්කෝලේ ළඟඳි දැක්ක, බිම බලාගෙන යන, හයියෙන් හිනාවෙන යාලුවො අතරෙ හීන් හිනා විසුරුවන, ඉණට ටිකක් උඩින් දිගට කොණ්ඩෙ තියන සමුදිතා කියන්නේ “මෙච්චර දවසක් මං හොය හොය හිටි කෙනා” වෙන්න මධුරංගට අමතර පංති දෙක තුනකදි සමුදිතා පාට ඇඳුමෙන් ඉන්නවා දැක්ක එකත් හේතුවක් වුනා.

එයාගෙ තාත්තලගෙ ගෙවල් ගාල්ලෙ බවත්, ගාල්ලෙ කිව්වට ගාල්ලෙ ඇතුලට වෙන්න තියෙන ගමක බවත්, පවුලෙ ඉන්නෙ තව අයියලා දෙන්නෙක් විතරක් බවත් හොයාගන්න මධුරංගටයි මධුරංගගෙ යාලුවන්‍ටයි මහ වෙලාවක් ගියේ නෑ,

“තාත්තා පොලිසියෙ හන්දයි, අයියල දෙන්න ඉන්න හන්දයිද දන්නෙ නෑ කෙල්ලට ගාල්ලෙ ඉස්කෝලේ යද්දිත් කොල්ලෙක් එහෙම ඉඳලා නෑ. උඹ කැමති නම් වචනෙ දාලා බලපං” කියලා යාලුවො දිරිගන්වද්දි මධුරංගත් ඒකට හදිස්සි උනේ “මේ ලස්සන, දුලබ මල තමන් නෙලාගන්න කලින් වෙන මොකෙක් හරි එකෙක් ඇවිත් නෙලාගනිවි” කියන බය හන්දමයි.

“මං ඔයාට කැමතියි” කියන වචන පේළිය මධුරංගගෙ පැත්තෙන් ආවෙ සමුදිතාගෙ යාලුවෙක්ගෙ කණට. “මධුරංගට ට්‍රයි කලේ නැති කෙල්ලෙක් නෑ. අනිත් උන්ට ඉරිසියා හිතෙන්නත් එක්ක උඹට තියෙන්නෙ ඌට කැමතිවෙන්න” කියලා යාලුවා වෙච්ච අශ්විනී කියද්දි නම් සමුදිතා කිව්වෙ “අනේ කොල්ලෙක් එක්ක යාලුවෙන්නෙ අනිත් අයට ඉරිසියා කරන්න නෙවෙයි. අනික එහෙම මේ අහල එව්ව පලියට කැමති වෙන්න බෑනෙ. අනික අපි මේ ඒලෙවල් කරන කාලෙ. ඕව කරන්න ගිහින්  අන්තිමේ ඉගෙනීමත් කඩාකප්පල් වෙයි” කියන සම්ප්‍රදායික කතාව.

කට කොච්චර නෑ කිව්වත් ඇස් දෙක නම් කිව්වෙම හා කියන එක ඔප්පු වුනේ දෙන්නට දෙන්න ඉන්න පුලුවන් කියල හිතෙන තැන්වල අනික් කෙනාව හොයන්න වගේ සෙනග අස්සෙ ඇස් උස්සල පීර පීර බලද්දි. කටෙන් කොච්චර හා නොකිව්වත් ඇස් දෙක මදි පාඩුවටත් එක්ක ඕනවටත් වඩා කතා කලා.

ඔය විදියට තමයි අඩි හයක් උස මධුරංගගෙයි අඩි පහක්වත් උස නැති කොණ්ඩෙ දිග ගවුම අඳින සමුදිතාගෙයි ආදර කතාව පටන් ගත්තෙ. අල්ලපු ඉස්කෝලේ ක්‍රිකට් ටීම් එකේ ඉන්න, ලස්සන, දක්ශ කොල්ලෙක් එක්ක යාලු වුනා කියන එකම පංතිවල කෙල්ලො අතරෙ, ගුරුවරු, මව් දෙමව්පියන්ට හොරෙන් සමුදිතාගේ තත්ත්වෙ ටිකක් උස් කරන්නත් හේතුවක් වුනා.

ඔය අතරෙ තමයි ඒ පළාතෙ ප්‍රසිද්ධ පාසලක බිග් මැච් කාලෙ ආවෙ. එක ඉස්කෝලෙක කැප්ටන් උනේ සමුදිතාගෙ ප්‍රේමවන්තයා වෙච්ච මධුරංග. බිග් මැච් එක දවසෙ සමුදිතාලගෙ ඉස්කෝලෙ ළඟිනුත් පැරඩ් එක අරගෙන යන්න හේතු උනේ අන්න ඒ කාරණාව.

ඉස්කෝලේ ඇරිලා සමුදිතා ගේට්ටුවෙන් එළියට එනවා දැක්කම එක එක විකාර විදි වලට ඇඳගෙන ඉස්කෝලෙ කොඩිය ඇඟ වටේ දාගෙන උන්නු කොල්ලො සෙට් එක, පැරඩ් එකේ වාහන වල උඩ ඉඳගෙනම “මධුරංග……” කියල කෑගහද්දි කම්මුල් රතු කරගත්ත සමුදිතා දුවගෙන දුවගෙන යාලුවො එක්ක පාර දිගේ හිනා වෙවී ගියේ ලැජ්ජාවයි, ආදරේ හන්දා හිතේ ඇතිවෙච්ච කිතිකැවිල්ලයි දෙකම හන්දා.

 ඒ විතරක් නෙවෙයි වාහනවලින් බැස්ස කොල්ලො සෙට් එකක් යාලුවො එක්ක පාරෙ දුවගෙන යන සමුදිතා වටේට නට නට යද්දිත් සමුදිතා කලේ හිනා වෙවී “අනේ පිස්සු නැතුව යන්න අයියෝ” කිව්ව එක.

සමුදිතා නොදැක්කට සමුදිතාව බලාගන්න ඉස්කෝලෙ ලඟ කඩයක් අස්සෙ උන්නු මධුරංගගෙ මූණ අඳුරු උනේ අන්න ඒක දැකලා.

“ඔයාට ලැජ්ජ නැද්ද අර පැරඩ් එක යන ගමන් උන්නු කොල්ලො එක්ක හිනා වෙවී කතා කලේ? චික් මගෙ යාලුවොත් බලාගෙන හිටියෙ ඔයා උන් එක්ක හිනාවෙවී කතාකරනවා. ඒ විතරක් නම් මදිද අර අනික් කෙල්ලො එක්ක පාරෙ දුව දුව, කවදාවත් පැරඩ් එකක් දැක්කෙ නැති කෙල්ලෙක් වගේ. මොකද්ද සමූ ඔයාට එවෙලෙ හැදිච්ච ඒ පිස්සුව?” කියලා මධුරංග ෆෝන් එකෙන් උනත් කට හඬ උස් කරලා ඇහුවෙ ඒ ගෙවිච්ච මාස දෙක තුනට සමුදිතාව සීයට සීයක්ම අයිති තමන්ට කියලා හිතාගෙන ඉන්න ගමන්.

තාත්තා පොලිසියෙ, අයියල දෙන්නෙක් උන්නු පවුලක වෙලත් සමුදිතාට කවදාවත් කවුරුවත් ඒ තාලෙට සැර දාලා තිබ්බෙ නෑ. හිත පොඩ්ඩක් ගැස්සුණාට සමුදිතා හිතුවෙ “මං මොකෝ වරදක් කරාද?” කියලමයි.

“ඉතින් ඒ අපේ ක්ලාස් එන ළමයිනෙ? හිනා උනාට මොකද වෙන්නෙ? අනික මං හිනා උනේ එයාලා ඔයාගෙ නම කිය කිය මං පස්සෙන් දුවගෙන ආව හන්දනෙ. එහෙම විහිලුවක් කරද්දි ඔයා කියන්නෙ මට බුම්මං ඉන්න කියලද?”

“මං කැමති නෑ මගෙ කෙල්ල එහෙම පාරෙ දුවන, හයියෙන් හිනාවෙන කෙල්ලෙක් වෙනවට. කෙල්ලෙක් උනාම තැන්පත් උනාමයි ලස්සන. ඔය දුවන කරන ඒව හරියන්නෙ නෑ. කෙල්ලෙක් උනාම හැදෙන්න ඕන විශාකාවක් වගේ” කියලා මධුරංග කියද්දි තමන් කරන්න ඕන සමාව ඉල්ලල ආයෙ එහෙම වෙන්නෙ නෑ කියල කියන එකද කියලත් සමුදිතා හිතුවා.

“මේ තරුණ වයසෙදි මං නිකන් ආච්චියෙක් වගේ ඉන්න ඕන නෑනෙ මධුරංග. ඔයාට ඔය තියෙන්නෙ ගෑණු ළමයෙක් මෙහෙම වෙන්න ඕන කියන අදහසට වඩා මං ගැන තියෙන අවිශ්වාසයක්”

“මට ඔයාව අවිශ්වාස නෑ. මට අවිශ්වාස ඔයාව නෙවෙයි අනික් කොල්ලන්ව. ඕකුන් බලාගෙන ඉන්නෙ ලස්සන කෙල්ලෙක් දැක්කම ඩැහැගන්න”

“ඒකට ඉතින් ඔයා මාත් එක්ක රණ්ඩු වෙලා හරියන්නෙ නෑනෙ මධුරංග. අනික ඔය ඔයා කිව්ව වගේ දුවන්නෙ, හිනාවෙන්නෙ නැති, ෆැශන් කරන්නෙ නැති කෙල්ලෙක් වෙන්න මං හිතන්නෙ මට නම් පුලුවන් වෙන එකක් නෑ.

ඒ නිසා ඔයාට කොච්චර උවමනා වුනත් මට බෑ මධුරංග මගේ විදිය වෙනස් කරගෙන බොරු විශාකාවක් වගේ රඟපාන්න. ඒ නිසා සමුදිතා කියන මාව අතෑරලා ඔයා විශාකාව වගේ කෙනෙක් හොයාගන්න”

කියන ගමන් තමයි සමුදිතා ෆෝන් එක කට් කලේ.

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles