එකම එක හාදුවක් – 26

0
4377

ශාර්වරී එදා රෑ දහයට පමණ කාල්ටන් එකෙන් එලියට යද්දිත් නෙවින් උන්නේ වාහනේ වාහන පාකින් එකෙන් එලියට දාන ගමන් ය. ශාර්වරී එලියට ඇවිත් හිඳින්න පුලුවන් බව හිතපු හන්දාම නෙවින් ඇගේ දුරකතනයට ඇමතුමක් දුන්නෙ ඉන්නෙ කොතනද කියා අහන්න බලාගෙනය.

“ඔයා එලියට ආවද?”

“ඔව්”

“හරි කොතනද ඉන්නෙ? කීල්ස් එක ලඟට ගියාද නැත්තම් යන ගමන් ද?”

“යන ගමන්”

“හරි කොතනද?”

“මෙතන මල් කඩේ ලඟ ඉන්නෙ”

“ආහ් හරි, ඉන්න ඔහොමම ඉන්න මම එන්නම්, තව ඇවිදන් යන්න එපා,කකුල් දෙක කොටයිනෙ. තව ඇවිද්දොත් තව ගෙවෙයි” කියා නෙවින් හිනා උනාට ශාර්වරී උන්නේ හිනාවෙන්න පුලුවන් අවසරයක නොවේ. හිත තිබුනේ කොච්චර හයියෙන් ගැහෙමින්ද කියන එක දැනගෙන උන්නේ ශාර්වරී පමණකි.  

“මට තාම පේන්නේ නෑනේ  ඔයාව” කියා ශාර්වරී වටපිට බැලුවත් වෙන වාහන පාරේ තිබුණද නෙවින් ගේ යැයි කියා හිතන්නට හැකි අන්දමේ වාහනයක් ශාර්වරී ගේ නෙත ගැටුනේ නැත.

“මාව පේන්න ඉස්සෙල්ලා කියන්නකො ඔය ළමයා දන්නවද කියලා මගෙ වාහනේ මොන පාටද කියල, නෑනෙ. මට ඔයාව පේනවා. ඔතනම ඔහොමම ඉන්න. එක අඩියක් ඉස්සරහට යන්න එපා” කියා නෙවින් කියද්දි උනත් එවෙලේ පාරෙ යමින් තිබ්බ වාහන අතරින් නෙවින් ගේ වාහනේ කුමක් වෙන්නට හැකිද කියන එක ඇත්තටම ශාර්වරීට හිතාගන්න පුලුවන් උනේ නැත.

“කෝ” කියා ඇහුවේ ඒ නිසාය.

“හරි නගින්න දැන්” කියා කලු පාට බී එම් වී රියක් දෙපා මුල නතර කරනතුරුත් නෙවින්ගේ වාහනය මේක බව ශාර්වරී දැනගෙන උන්නේ නැත. එවෙලේ වාහන පාරෙ යමින් තිබ්බ හන්දා නගින්න ඕන කොහෙන්ද කියා අහන්නෙ නැතුවම ශාර්වරී ඉස්සරහ අසුනට නැග්ගාය. කාරෙක ඇතුලේ තිබුනේ හිත කූල් කරන අන්දමේ සීතලකට මුසු වෙච්ච කුරුඳු වගේ සුවඳකි. ඒ සුවඳ එන්නේ නෙවින් ලඟින්ද එහෙම නැත්තම් කාරෙකේ ස්ටියරින් වීල් එක ලඟ ගැටගසා තිබෙන ස්පා සිලෝන් වෙතින් මිල දී ගත්ත සුවඳ පැකට් එකෙන්ද කියා හිතාගන්නට බැරි උනත් ශාර්වරී ඒ කුරුඳු සුවඳ මිශ්‍ර සීතල සුලඟට පපුව පුරා විහිදෙන්න හැකි අයුරින් හොඳ හුස්මක් ගත්තාය. නෙවින් එහා පැත්තේ වාඩි වී කාරෙක පදවන අතරේම තමන් දිහා බලාගෙන ඉන්නවා කියා දැනුනත් එක එල්ලේ ඔහු දිහා බලන්න බැරි සබකෝලයක් හිතේ පිරි තිබෙන බව ශාර්වරීට තේරුම් ගියාය.

“ඉතින්” කියා නෙවින් කතාව පටන්ගත්තේ වෙන තැන්වලදි කොච්චර කතාකරත් මේ අවකාශයේ තනිවි සිටින්නේ තමන් සහ ඇය පමණක් හන්දා මේ කෙල්ල ලැජ්ජාවට කටක් අරින්නේ නැති බව තේරිච්ච හන්දාය. අනෙක් අතට කතාව පටන් ගන්න කොහේ හෝ කෙලවරක් අල්ලගන්න ඕනය.

“හොඳයි” කියා යාන්තම් ඇහැ උස්සා නෙවින් දිහා බැලුව ශාර්වරී හීන් මදහසක් ඔහු වෙත පා කර හැරියාය. 

“ඔයා කෑවද?” නෙවින් අහන්නේ ද මන්දස්මිතයක් දෙතොල උඩ ඇඳගෙන ය. ඒ මන්දස්මිතය හිත විලිබර කරන්නක් වුනත් නෙත් ඇද බැඳ තබාගන්න එකක් බව යටැසින් ඒ දිහාම බලාගෙන ඉන්න ගමන් ශාර්වරී හිතුවාය.

“මං කෑවා. කොහොමත් රෑට කාලා තමා එන්නෙ. ඔයා කාලද?”

“ම්ම්ම් ඔව් කෑවා කියන්න පුලුවන්”

“ඒ කිව්වේ?”

“මම ඊයෙ රෑ මැරිනේට් කරපු චිකන් එකක් තිබ්බා. ඒක එයා ෆ්‍රයි කරගත්තා”

“මං දැනගෙන හිටියෙ නෑ ඔයා කෑම හදාගන්නවා කියලා” 

“කෑම හදාගන්නවම කියලා කියන්න බෑ ඉතින්. මට උයන්න පුලුවන්. ඒ උනාට ඉතින් ජිම් එහෙම යන නිසා මම ඔය බත් වගේ ජාති කන්නෙම නැති තරම්. එලවලුත් මට මාර අඩුයි අනේ කැවෙනවා. මීට් වර්ග නම් ගොඩක්ම කනවා” කියා නෙවින් කියද්දී ශාර්වරී ඉස්සරහ වින්ඩ්ස්‍ර්කීන් එකෙන් එලියෙ පෙනෙන විදුලි ආලෝකයෙන් වැහිච්ච කොළඹ නගරය දිහා බලාගෙන උන්නාය.

“ම්ම්ම් අපි දැන් කොහෙද යන්නෙ?” කියා ස්ටියරින් වීල් එක කරකවන ගමන්ම නෙවින් කියාගත්තේ තමන්ටමය.

“ඔයාට ගෙදර යන්න වෙලාවක් තියෙනවද?”

“මම සාමාන්‍යයෙන් වෙනද වැඩ ඉවරවෙලා යද්දි ඉතින් එකොලහයි හතලිස් පහ දොලහා වගෙ වෙනව. අම්මා දන්නවා ඒ වෙලාවට විතර තමයි එන්නෙ කියලා”

“අම්මා ඔයා එනකම් ඇහැරගෙන ඉන්නවද ඉතින්?”

“අම්මා රෑ වෙනකම් මහනවනෙ ඇඳුම්. ඉතින් කොහොමත් ඒ වගේ වෙලාව වෙනකම් ඇහැරගෙන ඉන්නව. මම ගෙදර ගිහින් වොශ් දාලා නිදාගන්න ආවට පස්සෙ තමා අම්මා නිදාගන්න යන්නෙ”

“ගෙදර තව කවුද ඉතින් ඉන්නේ?”

“මායි නංගියි අම්මයි”

“නංගි මොනවද කරන්නෙ එයා ස්ටඩි කරනවද ජොබ් එකක් කරනවද?”

“එයා කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්නෙ. තව මාසයක් විතර තියෙනව පටන් ගන්න ඉතින් මේ ටිකේ ගෙදරට වෙලා ඉන්නවා”

“එයා ජොබ් එකක් කරන්නෙ නෑද?”

“නෑ එයා පොඩියිනෙ තාම”

“එතකොට ඔයා ජොබ් එකක් කරන්නෙ? ඔයා පොඩි නැද්ද ම්ම්ම්?” කියා ශාර්වරී දිහාවට හැරෙන අතරම නෙවින් කාරෙක ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එක ලඟ උද්‍යානයේ නා ගස් යටින් නතර කලාය. ඒ වෙලාවේ ඒ පරිශ්‍රය තිබුනේ සම්පූර්ණයෙන්ම අඳුරේ ගිලීය. අතරින් පතර පාර අයිනේ තිබූ විදුලි පහනකින් ආ එලියක් හෝ එතන පසුකර ගිය වාහනයකින් නිකුත් වූ විදුලි එලියක් හැරෙන්න වෙන කිසිම ආලෝකයක් ඒ අන්ධකාරයට බාධාවක් කරේ නැත.

“ඔයාට අවුල්ද මාත් එක්ක මෙතන මෙහෙම ඉන්න එක?” වාහනය නවතා පහසුවෙන් ඉඳගන්න පුලුවන් විදියට සීට් බෙල්ට් එක ගලවා සීට් එක පොඩ්ඩක් පස්සට කර, ඇලකර සීට් එකේ හාන්සිවෙන ගමන් නෙවින් ඇසුවේ ශාර්වරීගේ මූණ දිහාම බලාගෙනය. ඒ මූණට වැටී තිබිච්ච හඳ එලිය පවා තමන් වගේම අර මනස්කාන්ත ඇස් දෙකට වශී වෙන්න පුලුවන් බව ඒ මූණ දිහාම බලාගෙන ඉද්දී නෙවින්ට හිතුණේය.

“නෑ”

“බයකුත් නෑනෙ”

“නෑ ඔයා ඉන්නවනෙ” කියා ශාර්වරී යාන්තමට හිනා වෙවී කියද්දී පිරිමියෙක්ට තමන් ආදරේ කරන ගැහැණියකගෙන් අහන්න පුලුවන් උපරිමම විශ්වාසය රැඳිච්ච වචන පේළිය ඒක නේද කියා නෙවින් එවෙලෙත් හිතුවේය. එහෙත් මේ හැඟීම් තාම එකිනෙකාට රහසකි. 

නෙවින් මදක් ඉස්සී ශාර්වරී වටා අත දමා ඇය වාඩි වී උන් සීට් එකත් හාන්සි වී ඉන්න පුලුවන් විදියට ඇඩ්ජස්ට් කර දුන්නේය. ඒ ළංවිම ශාර්වරී දරාගත්තා හරි අමාරුවෙන් උනත් හිත පුරා විඳගන්නට ලැබුණ නෙවින් සේනාරත්නගේ මුදු පිරිමි සුවඳත් ලඟටම දකින්න ලැබුණ ඔහුගේ සුන්දර මුහුණත් ඒ දරාගැනීම වඩා සුන්දර කරන්නට හේතු වෙච්ච බව ඇත්තකි.

“කකුල් දෙක රිදෙනවද දවස පුරාම අතන හිටගෙන ඉඳලා?”

“නෑ දැන් පුරුදුයිනෙ”

“මං අහන්න හිටියෙ ඔයාට අමාරු නැද්ද කියලා ස්ටඩීසුයි ජොබ් එකයි දෙකම බැලන්ස් කරගන්න එක? ඔයා කරන ජොබ් එකත් එහෙම ලේසි දෙයක් නෙවෙයිනෙ”

“වෙන ඉතින් කරන්න දෙයක් නෑනෙ. අම්මට තනියෙන් හැමදේම කරගන්න බෑනෙ. අනික දැන් ඉතින් පුරුදුවෙලා ගාණක් නෑ. ඕනම දෙයක් ඉතින් පුරුදු වුණාම ඉතින් ගාණක් නැති වෙනවනෙ”

“දෙයක් පුරුදු වුණාම ඒ පුරුද්දෙන් ගැලවෙන එක අමාරු දෙයක් කියලා ඔයා හිතනවද ශාර්වරී?” නෙවින් ඇහුවේ මෙච්චර වෙලා මූණෙ තිබ්බ හිනාව මකාගෙන වඩා ගැඹුරු, බරපතල ස්වරයකිනි.

නෙවින් සම්ප්‍රාප්ත වෙන්නට යන්නේ වඩා ගැඹුරු කතාවකට බව ශාර්වරී තේරුම් ගත්තේ ඒ හඬේ තැවරී තිබිච්ච් හැඟීම හන්දාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here