“මෙහෙමයි ඉතින් හැම වැඩේම මටම කරන්න බෑනෙ. අනික මම ඔයාලගෙ ටීම් ලීඩ් උනා කියලා මට බෑනෙ හැමතිස්සෙම ඔයාලගෙ වැඩ බල බල ඉන්න. මම කොච්චර වැඩ කරන්න ඕනද? මම හැමදාම ඔයාලට කියනවනෙ, I am here just to overlook” කියලා මේධාවි කෑගහද්දි ජූනියර්ස් ටීම් එකම උන්නෙ කිසිම සද්දයක් නොකර බිම බලාගෙන. ඇත්තටම තමන්ගෙ අතේ ඔච්චර කෑගහන්න තරම් දෙයක් නොවුණට මේධාවි ඉතින් ඔහොම කෑනොගැහුවනම් එයා මේධාවී වෙන්නෙ නෑනෙ කියලා හිතෙන තරමට ජූනියර් ටීම් එකට දැන් මේ මේධාවිගෙ කෑගැහිල්ල පුරුද්දකට ගිහින්. ඇඟටත් පත්තියන් වෙලා.
“මම ඔය ලංකාවෙන් කිසිම දෙයක් ගන්නෙ නෑනෙ. හැමෝම අඳින ඒව අඳින්න මම කැමති නෑ. මම ආස නෑ අනිත් අය වගේ වෙන්න. මම හස්බන්ඩ් එක්ක ඩුබායි වගේ ගිහිල්ල තමයි ඔක්කොම දේවල් අරගන්නෙ” කියල තමන්ගෙ ලොකුකමයි හැමතිස්සෙම කියන මේධාවිට ඔච්චර උඩ යන්න තිබ්බ හේතුව වුනේ එයා ගිය ඉස්කෝලේ. ලංකාවෙම නම ප්රසිද්ධ, ඉහළම තලයේ ඉස්කෝලයකට තමයි තමන් ගියේ කියන හන්දා, ඒ මාන්නෙන් මේධාවි කලේ වෙන ඉස්කෝලවලට ගියපු, ඔෆිස් එකේ ඉන්න පොඩි ළමයින්ට අනං මනං දේවල් කිව්ව එක. ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු ගාණක් වෙච්ච තලස්තානි කාන්තාවක් වෙලත් මේධාවි තාම උන්නෙ ඉස්කෝලෙ ලොකුකම ඔලුවෙන් අහක් කරගන්න බැරුව.
“ඔයාලට මේ හරියට පිලිවෙලට වැඩක් කරගන්න බැරි ඉතින් ඉස්කෝලවල වරද හන්දා” කියල හැමදාම වගේ කතාව ඒ විදියටම ඉවර කරාම ජූනියර් ටීම් එකේ ලමයි සුපුරුදු විදියට තමන්ගෙ ඩෙස්ක් වලට ඇවිල්ලා වෙනදා කරනවා වගේම මේධාවිට හොරෙන් එයාට හිනාවෙච්ච එක තමයි කරේ.
මේක තමයි මෙච්චර දවසක් වුණේ. මේධාවිගෙ තිබ්බ සීනියොරිටි එකයි, එයාගෙ ඉස්කෝලෙයි, ආදායම් තත්ත්වයි, කොහොමත් හැමෝටම සීන් දාගෙන ඉඳපු එකයි එක්ක එයාට විරුද්ධව මුකුත් කියන්න කවුරුවත් උන්නෙ නැති හන්දා බය නැතුව දේවල් කියන්න මේධාවිට ප්රශ්නයක් තිබ්බෙ නෑ.
හැබැයි ඕක වෙනස් උනේ රංගනා ඔෆිස් එකට ආවයින් පස්සෙ. මේධාවි තරමටම ඉගෙන ගත්ත රංගනා ආවෙත් මේධාවිට සමානම ඩෙසිග්නේශන් එකකට නිසා මේධාවි ලොකුවට රංගනාට නම් සද්ද බද්ද දාන්න ආවෙ නෑ.
රංගනා කියන්නෙ මේධාවි වගේ මහ ලොකුවට සල්ලි තියෙන, ලොකු ලොකු ඉස්කෝලවලට ගිය කෙල්ලෙක් නොවුනට හොඳට ඉගෙනගත්ත කෙල්ලෙක්. ඊටත් එහා මනුස්සකම දන්න, ප්රශ්නයක් වුනාම ඕනම කෙනෙක්ට උදව් කරනව, වරදක් දැක්කත් හිත නොරිදෙන විදියට කියලා දෙන, ඕනම දේකට උදව් කරන මනුස්සයෙක් හන්දම මේධාවිට විරුද්ධව අතන මෙතන කියව කියව උන්නු සෙට් එක ටිකෙන් ටික රංගනාට ලං වුනා.
“රංගනාගෙන් ඕන දෙයක් අහගන්න පුලුවන් කියලා කට්ටියම කියනව. ආවෙ ලඟදි උනාට ඔයා ටක්ගාලා කට්ටියව හොඳට සෙට් කරගත්තා නේද? වෙරි ගුඩ්” කියලා සෙක්ශන් හෙඩ් දවසක් කිව්වයින් පස්සෙ තමයි මේධාවි රංගනා එක්ක පැටලෙන්න බැලුවෙ.
“මෙහෙමයි ඔය අලුතෙන් ආව අයගෙන් දේවල් අහගෙන වැඩ කරනවනම් එයාලටම කියන්න ඔයාලගෙ වැඩවල රෙස්පොන්සිබිලිටි එක ගන්න කියලා. එයාලගෙන් දේවල් අහගන්නයි මට කියලා ෆීඩ්බැක් ගන්නයි දෙකක් ඕන නෑනෙ” කියලා තමයි වලිය පටන් ගත්තෙ. ඒ උනාට වලියක් කිව්වට මේධාවි මොක කිව්වත් රංගනා නෙවෙයි කටක් ඇරලා දෙයක් කිව්වෙ.
“ඔයා හරියට ඉගෙන ගෙනත් නෑ. ගිහින් තියෙන්නෙත් පොඩි ඉස්කෝලෙකට. කැම්පස් ඩිග්රි එකට ෆස්ට් ක්ලාස් එකක් තිබුනට ඒකත් හොර කරලා පාස් වෙන්න ඇත්තෙ”කියලා මේධාවි තමන් ගැන කතා පතුරනවා කියල දන්නවා උනත්, “ඔයා කටවහගෙන ඉන්න එපා” කියල කට්ටිය ඇවිල්ල කිව්වත් රංගනා නෙවෙයි ඕවට උත්තර දෙන්න ගියේ.
ඒත් ඉතින් ඉවසනවා කියල කොච්චර ඉවසන්නද?
අන්න එහෙම වැඩ පිරිච්ච දවසක තමයි මේක වුණේ.
රංගනාට මේධාවිගෙ ඩිවිශන් එකට යන්න උනේ හදිස්සිම වැඩකට ඕන වෙලා තිබුණ ප්රින්ට් අවුට් එකක් ගන්න. ප්රින්ටර් එක තිබ්බෙ ඒ ඩිවිශන් එකේ හන්දා. එදා රංගනා හිටියෙ හීන් හෙම්බිරිස්සාවක් එක්ක. අනිත් අයට බෝවෙයි කියන බයටම ෆේස් මාස්ක් දාගෙන, උණුවතුර බිබී රංගනා ඔෆිස් ආවෙ නත්තලට කලින් භාරගත්ත වැඩ ගොඩක් ඉවර කරන්න තිබ්බ නිසා.
මේධාවිගෙ ඩිවිශන් එකේදි හචිමක් දෙකක් යද්දි රංගනා හිතුවෙ නෑ කීයටවත් මේධාවි ඔහොම කතාවක් කියාවි කියලා. අනික් එක පහුගිය මාසෙක මේධාවි උණ හදාගෙන ඔෆිස් ඇවිල්ල මෙලෝ වැඩක් කරගන්න බැරුව ඉද්දි ඒ ඔක්කොම වැඩවලට උදව් කල තමන්ට මේධාවි ඔහොම කියාවි කියල රංගනා හිතුවෙ නෑ.
“ලෙඩ තියාගෙන ඔෆිස් එනවා. අපෝ අපිටත් වැඩ කරන්න බැරිවෙයි අන්තිමේ බෝ වුණොත්” කියලා මේධාවි කුඩුකේඩු කමට කියද්දි නම් රංගනා හිතුව කලගුණ සලකන්න නොදන්න මනුස්සයෙක්ට තමන් තවදුරටත් මනුස්සකමෙන් සලකන්න ඕන නෑ කියලා. අන්න ඒ හින්දමයි ඊලඟ වචන ටික රංගනා කිසි දුකක් නැතුව කිව්වෙ.
“අනේ ඔව් මේධාවි, ඔයාටනම් බෝ වෙන්නත් බැරි නෑ තමා, මොකද වයසට යද්දි ප්රතිශක්තිය අඩුයිනේ”
ReplyForwardAdd reaction |