ලස්සන වෙන්න කැමතිනම්, ඔබ දැනගත යුතුම කරුණක්

Beauty කියන්නේ මොකද්ද? SmartLady තුලින් අප අද සිට ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී  නයනා  කුමාරි  මහත්මිය සමග එක්ව  ලස්සනට ඉන්නේ කොහොමද කියල ඔබව දැනුවත් කිරීමේ ලිපි පෙළක් ගෙන ඒමට සුදානම්. ලස්සන වීමේ රහස් දැනගන්න අපි  ගියා නයනා  කුමාරි  මහත්මියව මුණ ගැහන්න.

ඔබ “ ලස්සන” කියන දේ විග්‍රහ කරන්නේ කොහොම ද?

nayanaබොහෝදෙනා ලස්සන කියන දේ විවිධ විදියට විග්‍රහ කරනවා. මම හිතන්නේ කාන්තාවෝ විදියට ඉපදෙනකොටම ස්වාභාවිකවම  ගෙන එන දේවල් තියනවා. එනම්,  අපිට උපතේදී ලැබී ඇති සම, කේශ, නියපොතු, දත්, මාංශ පේශීන් ඇතුළු ශරීරය වැනි අපේ සමිපත් විනාශ නොවී නිරෝගිව පවත්වා ගැනීමයි  ලස්සන කියල කියන්නේ.

නමුත් අප වයසට යත්ම මේ දේවල් වෙනස් වෙමින් විනාශයට පත් වෙනවා. අද සමාජයේ බොහෝදෙනා ස්වභාවික ලස්සන තමන්ගෙන් ගිලිහී ගියාට පසුවදුක් වෙනවා.

ඊට පසුව විශාල ලෙස මුදල් වැයකරමින් තමන්ට නැතිවුන රූපය නැවත  ලබාගන්න උත්සාහ කරනවා. නැති නම් තවත් සමහර අය තමන්ට නැති රූපයක්,ලස්සනක් බලෙන් ආරෝපණය කරගන්න යනවා නමුත් ඉපදෙනවිට රැගෙන පැමිණි  ස්වභාවික ලස්සන  විනාශ වීමට පෙර රැකගැනීම ලස්සනට ඉන්නනම් කරන්න අත්‍යවශ්‍ය දෙයක්. ඇත්තටම සරළව කිව්වොත්  අපේ ලස්සන රැක ගැනීම එතරම් අමාරු දෙයක් නෙමෙයි.

ලස්සනට ඉන්නවා කියන්නේ ඒ තරම් අමාරු හිතට බරක් ගත යුතු දෙයක් නොවෙයි කියන්නේ ඇයි ?

ඇත්තටම මෙය එතරම් අපහසු දෙයක් නොවෙයි. මේ පිලිබඳ බොහෝ කාන්තාවන්ට තියෙන්නේ අඩු දැනුමක්. එනිසා ලස්සන වෙන්න ලොකු දේවල් කරන්න ඕනේ,  ඕවා අපිට ගැලපෙන්නේ නෑ, අපි මොනා කලත් වයසට යනවා, ලස්සන ගැන හිතන්න අපට කොහෙද වෙලාවක් ?, ලස්සන කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි, ලස්සනට ඉන්න නම් විශාල මුදලක් වැය කරන්න වෙනවා, කියන වැරදි වැටහීම්වල ඉන්නේ. නමුත් ඇත්තටම ලස්සනට ජීවත් වෙනවා කියන්නේ අපි අප ගැන හිතන්න වෙලාවක් වෙන්කරගන්නවා කියන එක. බාහිරින් කරන සත්කාර වගේම අභ්‍යන්තර සත්කාරයත් මේ සඳහා අවශ්‍ය වෙනවා. කාන්තාවන්ට ඇති ප්‍රධාන ගැටලුව, කාලය වුවද තමා ගැන නොසලකා සිටීම, තමන්ටම කරගන්න අසාධාරණයක්.

ලස්සන වීම “ කාටද වැදගත්  ”වෙන්නේ ? “ කොහොමද ” වැදගත් වෙන්නේ ?

ලස්සන රූපයක් හැම දෙනාටම වැදගත්. ගෘහණියකටත් කාර්යාලයක සේවය කරන කාන්තාවකටත් ඕනෑම තත්වයක සිටින කාන්තාවකට එක සමානව මෙය අත්‍යවශ්‍යයි.

කාන්තාවකට බාහිර රූපය වැදගත් වෙන්නේ සිය පෞරුෂය ගොඩනැංවා ගැනීමට ත් තරඟකාරී සමාජය තුල සිය අනන්‍යතාවය තහවුරු කරමින් රැකගැනීම ත් මෙය අවශ්‍යයි. එමෙන්ම කෙනෙකුගේ වයස නිර්ණය කිරීමේ හැකියාවත් බාහිර පෙනුමට, රූපයට තියනවා. රැකියාවක් කිරීමේදී එහි සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමේ අවස්ථාවේ සිටම “ ලස්සන පෙනුම “ කියන දේ සලකා  බැලෙනවා.

බිරිඳක් වශයෙන් ද සිය ස්වාමිපුරුෂයාට ප්‍රසන්න හැඟීමක් ඇතිවන අයුරින් සිටිය යුතුයි. ශරීරය තරබාරු බවට පත් නොකරගනිමින් තමා වෙත ස්වභාවික ආකර්ශනයක් ඇතිවන අයුරින්  සිය රුපය පවත්වා ගැනීම, අඹු සැමි සම්බන්දතාව ද ශක්තිමත් කිරීමට බලපාන ප්‍රධාන සාධකයක්.

එමෙන්ම, තරුණියකට වගේම අම්ම කෙනෙක්ට ත් එක හා සමානවම ලස්සන වැදගත්. මෙහි දී පිරිසිදුකම, පිළිවෙල,ධනාත්මක සිතිවිලි යන  කරුණු ත් ලස්සන වෙන්න අදාල වෙනවා.

සුන්දර ප්‍රියමනාප රූපයක් තිබෙන කාන්තාවකට අභිමානයක්, ආත්ම තෘප්තියක් තිබෙනවා. තමා ගැන සතුටක් තිබෙන කෙනෙක්ට ජිවත් වෙන්න ආස හිතෙනවා.එවැනි කාන්තාවක් සිය පවුල තුල, රැකියාව තුල ඕනෑම අංශයක සාර්ථක වෙනවා. මේ නිසාම සාර්ථක කාන්තාවක් ලෙස ඉදිරියට යන ඕනෑම කාන්තාවකට ඇයගේ සුන්දරත්වය ඉතා වැදගත්. බොහෝ කාන්තාවන් කන්නාඩිය ඉදිරියට ගියාම දුක් වෙනවා තමන්ව වැහැරිලා, කැත වෙලා කියල. ඇත්තෙන්ම එවැනි කාන්තාවන්ගේ ජිවිත දුක්ඛිත තත්වයක තියෙන්නේ. තමන්ගේ සුන්දරත්වය ආරක්ෂා කරගන්න අවධානයක් යොමු නොකරන කාන්තාවන්, තමාගැන සැලකිලිමත් නැති , අලස කාන්තාවන් විදියට සමාජය තුලදී හඳුන්වා දෙන අවස්ථා අපට අසන්නට, දකින්නට  ලැබෙන නිසා, සිය පෙනුම රැකගැනීම ඕනෑම කාන්තාවකට අද අත්‍යවශ්‍ය දෙයක්.

Smart Lady අපි, නයනා  කුමාරි මහත්මියගෙන් අපගේ ඊලඟ  ලිපියෙන් විමසන්න බලාපොරොත්තු වන්නේ, කාන්තාවක්  ලස්සනට ඉන්නේ කොහොමද? ලස්සන වෙන්න මොනවද කරන්න පුළුවන්? මෙය සරළව කරගන්නේ කොහොමද? යන කරුණු පිළිබඳව. smart විදියට ලස්සන වෙන්න කැමති ඔබත්  එක්  වන්න අප සමග. ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී  නයනා  කුමාරි  මහත්මියගෙන් අසා දැනගැනීමට අවශ්‍ය හැමදෙයක්ම අපවෙත යොමු කරන්න. ඔබව smart විදියට ලස්සන කරන්න අප සුදානම්.

– නිලක්ෂි වීරවර්ණ –

Nayanart

Related Articles

Don't Miss


Latest Articles