ඔෆිස් එකට අලුතින් ආව සන්දීපනීට දරුවෙක් ලැබෙන්න බව ඉස්සෙල්ලාම දැනගත්තේ ගයා. ආරංචිය දැනගත්ත ගමන් ගයා ඉරිසියාවෙන් පුපුරන්න ගත්තා. සල්ලිකාරයෙක් එක්ක විවාහ වෙන බලාපොරොත්තුව නිසා ඇයට මුන ගැහුණු තරුණයක් කිහිප දෙනෙක්ම තාවකාලික පෙම්වතුන් විදියට ආශ්‍රය කරලා මඟ හැරපු ගයා මේ දවස් ගෙවන්නේ ඇගේ නෑනාගේ සහෝදරියගේ විවාහය නිසා හිත රිද්දගෙන. විශ්ව විද්‍යාලයේදි මුණ ගැහුණු තරුණයෙක් එක්ක වුනත්, ඉතා වත් පොහොසත්කම් තියෙන පවුලක තරුණයෙක් එක්ක නෑනාගේ නැගණිය විවාහ වීම ගැන ගයාට තියෙන්නේ නොපහන් බවක්.
” නූලක්වත් පන්නලා ඔය කොල්ලාව අල්ලගන්න ඇත්තේ .. නැත්නම් අර දැළි අඟුර වගේ ඉන්න එකීට කොහෙන්ද ඔහොම කොල්ලෝ කැමති වෙන්නේ …”
ගයා නෑනාට නෑහෙන්න ඔය කතාව දෙතුන් තැනකම කිව්වේ අහගෙන ඉන්න කෙනෙක් හරි ගිහිල්ලා කියාවි කියලා හිතලා. ඒ සිදුවීම එක්ක හිත රිදවගෙන, විස්සෝප වෙවී ඉන්න අතරේ තමයි ඇයට සන්දීපනී ගැන ආරංචි වුනේ.
” අන්න … වැඩේ හරිලු …”
ඇය පිරිස අතරට ඇවිල්ලා එහෙම කිව්වේ, මහ විනාසයක් වෙන්න යන ඉඟි අනෙක් අයට දැනෙන්න දීලා. ගයා වටේට ඉඳගෙන, ගයා වගේම සිතුවිලි දරාගෙන ඉන්න කිහිප දෙනෙක්ම කාර්යාලයේ පිරිසේ උන්නා.
” මොකද වෙලා තියෙන්නේ කියනවකෝ ගයා ..”
“: අර අලුතින් ආව සන්දීපනී ….”
ගයා කට උල් කර කර, රස කර කර කියන්න ගත්තා.
” ඔව් ..ඉතින් ….”
” ආං ..බබෙක් ලැබෙන්නලු …. “
” අඩේ ..ශෝක්නේ …”
කිහිප දෙනෙක්ටම එහෙම කියැවුණා. විවාහ වෙලා අවුරුදු පහක් තිස්සේ සන්දීපනී දරුවෙක් වෙනුවෙන් මඟ බලන බව දැනගෙන උන්න සමහර අය ඇත්තටම සන්දීපනීට හිත ඇතුලෙන් ආශිර්වාද කලා.
” කොහෙද අනේ ශෝක් .. අන්න ආව වෙලාවේ ඉඳන්ම අකවුන්ට්ස් එකට වෙලා ඔලුව ගහගෙනලු … වමනේ දාන්න ඕනි කියලා සැරෙන් සැරේ වොශ් රූම් එකට දුවනවලු …”
” ඉතින් මුල් මාස කිහිපය එහෙම තමයි ගයා .. අනෙක සන්දීපනී දැන් ටිකක් වයසත් ගිහිල්ලානේ.. එතකොට හෝර්මෝන් ප්‍රශ්නත් ටිකක් වැඩියි නේ ….”
එක්කෙනෙක් එහෙම කියන ගමන් සන්දීපනීව බලන්න යන්න නැගිට්ටේ, ඒ වෙනකොට කාර්යාල කටයුතු ආරම්භ වෙලා නොතිබුන නිසා.
” එයා නම් කියයි .. දැන් ඉතින් සන්දීපනීගේ වැඩත් අදින්න වෙන්නේ වටේ අයට… එයා රඟපාන්නේ මේ ලෝකේ ළමයෙක් ලැබෙන්න ඉන්න පලවෙනි ගෑණි එයා ගානටද කොහේද?..”
ගයා එහෙම කියාගෙන ඇයට හිතවත්ව උන්න දෙතුන් දෙනා එක්ක ආපනශාලාව දිහාවට ඇවිදගෙන ගියා.
” අනෙක් උන් ඔලුව උඩ තියාගත්ත දෙන් .. මම නම් වැඩිය කරට ගන්නේ නෑ … මගේ වැඩ ටික පාඩුවේ ඉවර කරලා මම යනවා ගෙදර …උන් ළමයි හදාගත්තාට අපි පලිද…”
ගයාගේ වචන වල වගේම හැසිරීම් වල තියෙන්නේත් කෝපයමයි.
ගයා එහෙම හිතුවාට කාර්යාලයේ බොහෝ දෙනා සන්දීපනීට උදව් කරා. ඒ නිසාම සන්දීපනී අපහ්සු මාස කිහිපය ගෙවාගෙන, නීරෝගී දරුවෙක් බිහි කලා.
ඒ අතරේ විවාහ යෝජනාවකින් ගයා විවාහ වුණා. ඒ ගයාගේ අයියාගේ මිතුරෙක් එක්ක. සෑහෙන තරමට නොවුනත්, ව්‍යාපාරික වත් පොහොසත්කම් දරපු ඒ තරුණයා එක්ක ගයා විවාහ වුනේ කැමැත්තෙන්. සන්දීපනී ප්‍රසූත නිවාඩු ලබලා උන්න නිසා ඇය ගයාගේ විවාහයට සහභාගී වුනේ නැහැ. ඒත් ගයාට තෑග්ගක් නම් එවලා තිබුනා.
ගයා සන්දීපනීගේ සුබ පැතුම එක්ක තෑග්ග දැක්කෙ දවස් දෙක තුනක් ගිහින්. ඇයට තමන් ගැන යම් ලැජ්ජාවක් ඇති වුනත්, ඇය ඒ ගැන හිතුවේ නැහැ.
කල් ගත වෙනකොට, සන්දීපනී ආයෙම රාජකාරියට වාර්තා කලා. ඒ අතරේදී ගයා ගර්භණී වුනා.
ඇයට තිබුනෙත් සන්දීපනීට වගේම අපහසුතා. ආහාරයක් මුවින් ඇතුලට දාගන්න පරක්කුවට පෙරළා වමනය කරන්න අවශ්‍ය වුණා. බස් රියක් දකිනකොටම අපහසුතා දැනෙන්න ගත්තා. මුදල් භාවිතය අපහසුම වුනා. ඒ තියා කාර්යාලයේ පිටපත් ගමන යන්ත්‍රය අසලින්වත් යන්න ට නොහැකි තරම් අපහසුතා තිබුනා.
කෙතරම් අපුල තිබුනත්, විටින් විට ඇයට දැඩි කුසගිනිත් දැනුනා. ඇගේ ගතිගුණ නිසාම ඇයට උදව් කරන්නට උන්නේ කිහිප දෙනෙක් විතරයි. අනෙක් අය කලේ යන්තම් ඇය ගැන හොයලා බලපු එක. ඒත් ගයා ඇත්තටම උන්නේ ඉතා තද මිතුරු හදක අවශ්‍යතාවය එක්ක.
” මම ඔයාටත් එක්ක කෑම එකක් ගෙනාවා.. රස්නෙන් තියෙන්නේ .. චුට්ටක් කමු ..”
” අද ඔයාට එක්ක කොල කැඳ ගෙනාවා…”
” ඔයා ආස වෙයි හිතලා මම පැටිස් ගෙන්නුවා …”
සන්දීපනී ගයාගේ අපහසුතාවය තේරුම් අරගෙන ඉතා ඉක්මනින් ඇයට සමීප වුනා. ගයා තමාට සැලකුවේ කොහොමද කියලා සන්දීපනීට අම්තක නොතිබූනා නොවෙයි. ඒත් ඇය විශ්වාස කලා, ජීව්තේ ඕනෑම අයෙකුට දෙවෙනි අවස්තාවක් ලැබෙන්න අවශ්‍ය බව.
සමහර දවස් වල ගයාව එක්කගෙන යන්න ඇගේ ස්වාමිපුරුෂයා එනකල් සන්දීපනී ඇයට තනි රකින්නත් ඉදිරිපත් වුනා.
ඒ විතරක් නෙවෙයි, මුල් මාස කිහිපයෙන් පස්සේ මේ හැමදේම සාමාන්‍ය වෙන බව ඇයට හඟවලා ගයාගේ මානසික තත්වය ස්තාවර මට්ටමක තියාගන්නත් විනාඩි කිහිපයක් හරි වැය කරන්න ගයා අමතක කලේ නැහැ.
” ගයාට දැන්වත් තේරෙනවා ඇති මනුස්සකම කොච්චර වටිනවද කියලා.. ඔයා ඔය කලාට , එයා ඔයාට කල දේ මට කලා නම් ඇත්තමයි සන්දීපනී මම නම් පැත්ත බලන්නේ නැහැ… ඇයි අනේ ඔයාට කොච්චර නම් හින්ට් ගැහුවද ?..”
දවල් කෑම වෙලාවේදි සන්දීපනීගේ මිතුරිය එහෙම කිවා. සන්දීපනී හිනා වෙලා ඇයට පිළිතුරු දුන්නා.
” ගයා නරක කෙනෙක් නෙවෙයි .. ඒත් ජීවිතේ සසඳ සසඳ ඉස්සරහට යන්න උත්සාහ කරලාම එයා උමතු වෙලා ඉන්න ඇත්තේ .. ඒ හින්දාම අනෙක් මිනිස්සුන්ගේ සතුටු තත්පර එයාට විඳින්න බැරුව ගියා.. එයා හැම තැනකින්ම හෙව්වේ අඩුපාඩු ..හිනාවෙලා සරදම් කරන්න පුලුවන් තැන් … ඒකට් හේතුව පොඩි කාලේ ඉඳන්ම හැදුණු ආකල්ප …”
සන්දීපනී මිතුරියට පැහැදිළි කරනකොට මිතුරියත් ඒකට එකඟ වූනා.
‘
” අපේ එහා ගෙදර නැන්දා රසට වෙරළු අච්කාරු දානවා… හෙට එනකොට ගයාට ගෙනල්ලා දෙන්නම් …”:’
මිතුරිය සන්දීපනීට සතුටු හිනාවක් දෙන ගමන් කිව්වා.
” ඔව් චායා … මේ ලෝකෙට ඕනි අනෙක් අයට උදව් කරන ආදරණීයම මිනිස්සු .. එතකොට ලෝකේ ලස්සන වෙනවා…”
සන්දීපනී කෑම පෙට්ටියත් අරගෙන්ව් නැගිටින ගමන් මිතුරියට එහෙම කිව්වා.
” ඔව් .. අපි ගයාට ආදරණීය වුනොත්, ගයා ආයෙම වෙන කෙනෙක්ට ඒ තරමට ආදරණීය වේවි …”
සන්දීපනී මිතුරිය එක්ක එකඟ වුණා.
ReplyForwardAdd reaction |