නෙවින් ඔස්ට්‍රේලියා ගියා කියා ශාර්වරීට ලොකු පාලුවක් නොදැනුනේ ඉඩ ලැබිච්ච හැම වෙලාවකම කෙටි පණිවිඩයක් හෝ දුරකතන ඇමතුමක් දී දුක සැප විමසන්නටත් ආදරේ වස්සවන්නටත් නෙවින් කටයුතු කල නිසාවෙන් ය. වෙලාවේ වෙනස නිසා එක දිගට බොහෝ වෙලා කතා බහක නිරත වී ඉන්න බැරි උනත් යන එන තැන්වලද, අක්කා ඇතුලු පවුලේද පින්තූර එවමින් නෙවින් එතනත් මෙතනත් අපූරුවට යා කලේය.
ආදරේ යනු මෙය බවත්, බැඳීමක් නම් මෙය බවත් ශාර්වරී ඉගෙන ගත්තේ ඒ අනුවය. එදා වැසි වැටුන ඒ රැයේ තමන් සහ නෙවින් අතර තිබූ කුඩා පරතරයත් බිඳී ගියායින් පස්සේ නෙවින්ගෙන් මෙසේ ඈත්වී හිඳීම මෙපමන වේදනාවක් ගෙන ඒයැයි ශාර්වරී ඇත්තටම හිතා තිබ්බේ නැත. නෙවින්ව ඉල්ලමින් උන්නේ හිත පමනක් නොවේ. කවදාවත් විඳ පුරුදු නැති විලසකින් ශරීරයද ඔහුගේ උණුසුම ඉල්ලමින් ඉද්දී කාලය ගෙවුනේ වෙනදාට වඩා හෙමින් ය යන හැඟීම හිත පුරාත් ගත පුරාත් ඉඳිකටු තුඩු මෙන් ප්‍රේමය ඈත්වීමේ වේදනාව පතිත කරන්නට කටයුතු කළාය.
“ඔයාට නිදහසේ පාඩම් කරන්න එහෙම උවමනා නම් බබා මගෙ අපාට්මන්ට් එකට යන්න මම පාස්කෝඩ් එක දෙන්නම දොරේ” කියා නෙවින් කිව්වද “ඔයා නැතුව මට බෑ තනියෙන් යන්න. මට ඇඬේවි” කියා ශාර්වරී කිව්වේ ඇත්තටම ඒ හැඟීම එච්චරටම හිත රිදවන්නට හේතු වෙච්ච හන්දාය.
“ම්ම්ම්, මට වෙලාවකට පුදුමයි”
“ඇයි මොකක් ගැනද?”
“මං කවදාවත් හිතුවෙ නැ මම එහෙම රිලේශන්ශිප් එකක් වගේ දේකට යාවි කියල. අනික ඔයා වගේ පොඩි කෙල්ලෙක් එක්ක. සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් එක්ක”
“ඔයා දුක්වෙනවද මං වගේ කෙනෙක් එක්ක යාලුවෙච්ච එක ගැන?”
“පිස්සුද ඔයාට? ඔයා දන්නෙ නෑ මං කොච්චර සන්තෝසෙන්ද ඉන්නෙ කියල ඔයා හන්දා. මං ඉස්සර උනානම් විහිලුවට හරි ඔව් අනේ දුක්වෙනව කියල කියනවා. ඒ උනාට මං දැන් විහිලුවටවත් එහෙම ඒවා කියන්නෙ නෑ”
“ඇයි ඒ?”
“එදා වෙච්ච දේ ඔයාට තාම අලුත් කියල මම දන්නවා බබා. ඔයා හිතනව ඇති මම නම් ඕන තරම් ගෑණු එක්ක ඉඳලා තියෙන හන්දා මට ඒක ලොකු දෙයක් නෙවෙයි කියලා. ඒ උනාට මගේ විතරක් වෙච්ච ගෑණියෙක්ට මට ඉන්නෙ ඔයා විතරයි. කොච්චර ඔය පොත්වලයි, මං පොර වෙන්නයි පිරිමි කිව්වට මට ආදරෙයි නම් එච්චරයි කියලා, ඕන පිරිමියෙක් කැමතියි බබා තමන්ගෙ විතරක් වෙන ගෑණියෙක්ට.
මොන වන්නම නටම, මොන කස්තිරම අල්ලල තිබ්බත් මගෙ ළඟත් ඒ සම්ප්‍රදායික් පිරිමියා ඉන්නවා. ඉතින් මගෙ පැත්තෙ දාහක් අඩුපාඩු තියාගෙන මං වෙනුවෙන් විතරක් උන්නු ඔයාට විහිලුවටත් හිත රිද්දන දෙයක් කියන්න මට ඕන නෑ. ඔයා දැන් මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙවෙයි. ඔයා මගෙ සම්පූර්ණයෙන්ම මගේ. ඔය කෙස් වල ඉඳල කකුලෙ නියපොත්තක් වෙනකම්ම මගේ. ඔයාගෙ වර්තමානයයි අනාගතයිත් මගේ. හැමදේම මගේ. මං ආඩම්බරයි ඒ ගැන”
“මට ඔයා නැතුව හරි පාලුයි”
“මේ වතාවෙ විතරයි, ආයෙ කවදාවත් මං ඔයාව තනිකරන්නෙ නැ. ආයෙ මං කොහේ ගියත් ඔයාව එක්කරගෙන තමයි යන්නෙ”
“ඉතින් කියන්නකො, ඔයාගෙ වැඩ කොහොමද?”
“ම්ම් වැඩ කියන්නෙ, මට අද යන්න තියෙනවා මීටින් එකකට. හෙට අක්කගෙ බබාගේ ඉස්කෝලෙ ෆන්ක්ශන් එකකට පොඩි එකා කියනවා මටත් එන්න කියල, ඒකට යන්න ඕන. ඔයා දැක්ක නේ එයාගෙ ෆොටෝ? මාර හුරතල් අනේ. ආදරේ හිතෙනවා”
“ඔයා ආසද පොඩි අයට?”
“ඉස්සර එහෙම ලොකු ආසාවක් තිබ්බෙ නෑ, ඒ උනාට දැන් එයාලව දකිද්දි මට හිතෙනව ඔයාටයි මටයිත් කවදහරි එහෙම දවසක් ඒවිනෙ කියල.පොඩි එකෙක්ව වඩාගෙන ඌව ඉස්කෝලෙ අරන් යන්න එහෙම? ශෝක්නේ?”
“ම්ම්ම්ම්”
“ඔයා ආස දුවෙක්ටද පුතෙක්ටද?”
“ම්ම් මං ආසයි ඔයාගෙ වගේ ඇස් තියෙන පුතෙක්ට. ලස්සන රවුම් ඇස් දෙකක් තියෙන”
“ම්ම්ම්, ඔයාට තව ඩිග්‍රි එක එහෙම ඉවර කරන්න කොච්චර කල් තියෙනවද?”
“තව අවුරුදු එකහමාරක් වගේ, ඇයි එහෙම ඇහුවෙ?”
“මට දැන් ඉක්මනට ඕන ඔයාව මගෙ ළඟට කරලා තියාගන්න. මට කවදාවත් එහෙම හිතිලා නෑ. මට දැන් බයයි මට ඔයාව නැතිවෙලා යාවි කියලා”
“එහෙම වෙන්නෙ නෑ. ඔයාගෙ විකාරනෙ. මම දැන් තියන්නම් ඔයාට මීටින් එකකට යන්න තියෙනවා කිව්වනේ”
“ඔව් ඔයත් දැන් නිදාගන්න. හෙට ආයෙ කතාකරන්නම්. පරිස්සමෙන් ඉන්න. ආදරෙයි”
“මාත් ගොඩක්” කියා ශාර්වරී ඒක රහසින් කිව්වේ එහා පැත්තෙ ඉන්න නංගිට ඕක ඇහෙන හන්දා බව දන්න හන්දා නෙවින් ඒක ගැන දිගින් දිගටම ඇහුවේ නැත.
“ජීවිතේ කිසිම දවසක කිසිම මනුස්සයෙක් නොකල විදියට ඔයා මාව සම්පූර්ණ පිරිමියෙක් කරලා තියෙන්නෙ. මට දැන් ඔයා නැති ජීවිතයක් ගැන හිතාගන්න බෑ. මං ඉක්මනට එනකම් පරිස්සමෙන් ඉන්න. මේ වතාවෙ මං ඔයාව තනියම ඔහෙ දාලා මෙහෙ ආව එකට මට සමාවෙන්න.එහෙම වෙන්නෙ මේ වතාවෙ විතරයි, ආයෙ කවදාවත් මම ඔයාව තනි කරන්නෙ නෑ. මේ වතාවට විතරක් මට සමාව දෙන්න බබා.
මුලු ලෝකෙ මොන දේ වෙනස් වුණත් මමවත් මගෙ ආදරේවත් වෙනස් වෙන්නෙ නැති බව අමතක කරන්න එපා.
මං ආදරෙයි. Till we meet again I love you and I am all yours and yours only”
——————————————————————————————————————————–
තමන් ආයෙ ආයෙම ශරීරය වර්තමානයේ රඳවා හිත ආයෙමත් නොඑන අතීතයකට අරගෙන ගොස් තිබෙන විත්තිය ශාර්වරීට තේරුනේ නංගි ඇවිත් කතා කරද්දිය.
“අක්කේ, අක්කේ” කියා කීප වරක් කතාකරත් අක්කාට සුපුරුදු විදියටම ආයෙම වර්තමානයට එන්නට වෙලාව යන බව දන්න හන්දා අයේශ්වරී තරහා ගත්තෙවත් වෙනදා වගේ එක එක දේවල් කිව්වෙවත් නැත. “එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එකපාර ගෝස්ට් කරපු එකයි, අම්මා නැතිවෙච්ච එකයි කියන දෙකම එයාගෙ ඔලුවට තදින් බලපාලා තියෙන්නෙ. එයාට රිකවර් වෙන්න අපිට කාලය දෙන්න වෙයි” කියා වෛද්‍යවරයා කිව් හන්දාම අයේශ්වරී අක්කා විෂයෙහි බල පැවැත්වුවේ වඩා ඉවසිලිවන්ත හැසිරීමකි.
නෙවින් සේනාරත්න වනාහී විශ්වාස කරන්න බැරි පුද්ගලයෙකු විය හැකි බව දැනගෙන උන්නත් අක්කා මේ විදියට මනසින් පිරිහෙන්නට තරම් ඔහුට ආලය කර තිබෙන බව අයේශ්වරී පවා දැනගත්තේ මේ සියල්ල වුණයින් පස්සේය.
ඒ සියල්ලටම වඩා මෙපමණ දවසක් තමන්ගේ ජිවිතය වඩා පහසු, සුවබර එකක් කරන්නට අම්මාත් අක්කාත් අසීමිතව කැප වී තිබෙන බව අයේශ්වරීට තේරුම් ගියේ අක්කා අසනීප වී අම්මා මිය ගියයින් පස්සේය. මහන මැශිම උඩම ජීවිතයේ බොහෝ කාලයක් දිය කර හැරි අම්මා ජීවිතයේ අවසන් හුස්ම පොදත් මහන මැශිම උඩ යැවූ මොහොතේත් තමා උන්නේ සුව නින්දක බව කියන හැඟීම වඩා වේදනාබර මතකයක් ලෙස හිත පත්ලේ තැවරී ඇත.
“දුකෙන් ඉන්න එපා අක්කෙ, අපි දෙන්නට දැන් ඉන්නෙ අපි දෙන්නා විතරනෙ. මං වෙනුවෙන්වත් ඔයා ඉක්මනට සනීප වෙන්නයි ඕන. නැතිවෙච්ච තමන්ව රවට්ටපු මිනිස්සු ගැන අපි මොකටද අක්කෙ දුක් වෙන්නෙ? ඔයාට කවුරු නැතත් තාම මම ඉන්නවා. මාමා කිව්ව විදියට අපිට නුවර ආච්චිලහ යන්න පුලුවන්. මම කැම්පස් එකටයි යු ජී සී එකටයි කතා කරා අක්කෙ පේරාදෙණියට මාරුවෙන්න. ඒක හරි ගියොත් අපිට ප්‍රශ්නයක් ඇත්තෙම නෑනෙ. එහෙ ගියයින් පස්සෙ මම කොහොමහරි මොකක් හරි වැඩක් හොයාගන්නම් අපිට සල්ලි හොයාගන්න” කියා තමන් අක්කාගේ අත පිරිමදිමින් කිව්වත් අක්කා ඉන්නේ තමන් කියන දේට වඩා ෆෝන් එකේ ලියවී තිබෙන නෙවින් සේනාරත්නගෙන් ආ අවසන් වට්සැප් පණිවිඩය කියවමින් බව අයේශ්වරී දැක්කාය.
ආදරය මිනිස්සුන්ව සතුටේ ඉහලම තලයට අරගෙන ගොස් අවසානයේ වේදනාවේ අන්තය දක්වාම බිම හෙලන බව අයේශ්වරී අඳුරගත්තේ අක්කාගේ බොඳ වෙච්ච, බොර වෙච්ච ඇස් අස්සේ ලියවුණ හැඟීම කියවාය.