නිම්නාවී සහ ඩයස් රෝහලට ගියේ දිලුම්ට නොපවසාය. දිලුම් උදෑසන වරුවේ රාජකාරී අවසන් කර රන්දුලා සමඟ ආපනශාලාව වෙත ඇවිද යනු ඩයස් සහ නිම්නාවී දුටුවේ අහම්බයෙනි. ඩයස් නිම්නාවී දෙස බැලුවේ සිනාසෙමින් ය.
” මල්ලිගේද ?…”
ඩයස් නිම්නාවීගෙන් විමසද්දී නිම්නාවී සිනාසුණාය. හිස සැලුවාය.
” රන්දුලා අක්කා …. මල්ලිගේ ජීවිතේට ලැබුන හොඳම කෙනා ….”
දිලුම් විශ්ව විද්‍යාලයට සුදුසුමක් ලබන්නටද, ඉන් පසුව කටයුතු වෙනුවෙන්ද රන්දුලා සහාය වු බව නිම්නාවී පැවසුයේ ඉතිරි විස්තර පසුව පවසන්නට පොරොන්දු වෙමිනි.
ඉන් පසුව දෙදෙනාද ආපනශාලාව තුලට ඇතුලු වූවෝය. නිම්නාවී එක් බැල්මෙන්ම රන්දුලා සහ දිලුම් හිඳගෙන උන් මේසය සොයාගත්තාය. දෙදෙනාම ඒ වෙත ඇවිද ගියෝය.
” දිලුම් මහත්තයා ..අපිත් මෙහෙන් වාඩිවෙන්නද ?…”
ඩයස් දිලුම් පසු කරන අතරේ එලෙසින් විමසමින්, මේසයේ අනෙක් පසින් හිඳගත්තේය. නිම්නාවීද පියා අසලින්ම හිඳ ගත්තාය. දිලුම් සහ රන්දුලා අසුන් වලින් නැගිටුණේ ඉබේමය. ඩයස් දෙදෙනාම දෙස බලා සිනාසෙමින් හිඳ ගන්නා ලෙස ඉඟි කලේය. එහෙත් දෙදෙනාම උන්නේ ගල් ගැසීගෙනය. නිම්නාවී මදක් ඉදිරියට නැවී රන්දුලාගේ අතින් ඇද හිඳගන්නා ලෙස කීවාය.
” ඉඳගන්නවකෝ …”
නිම්නාවී දිලුම්ගේ අතටද පහරක් ගැසුවාය. දිලුම් පියවි සිහියට එලැඹ වහා හිඳගෙන රන්දුලාවද හිඳුවා ගත්තේය. රන්දුලා උන්නේ දෙසවන් රත් වී, හුස්ම හිරවීගෙනය. මේ සිදුවන්නේ කුමක්දැයි ඇයට සිතාගන්නට හැකි වූයේ නැත.
” කොහේ .. යන .. ගමන්ද මේ ?….”
දිලුම් විමසුවේ නිම්නාවීගෙන් ය. නිම්නාවී සිනාසෙමින්ම පිළිතුරු දුන්නාය.
” අපි දෙන්නා රෝඩ් රයිඩ් එකක් … ගමන පටන් ගන්න කලින් මේ සුදු මූණු දෙක බලලා යන්න ආවා …. අවුලක් නෑනේ …”
නිම්නාවී රඟපාමින් විමසුවාය. දිලුම් උන්නේ අපහසු බැල්මක් මුහුණේ සකසාගෙනය. නිම්නාවී ගේ සැහැල්ලුව වටහා ගන්නට නොහැකිවය.
” මොන සුදු මූණුද?… මේ මෙහෙ මිස් කෙනෙක් …”
දිලුම් රන්දුලා පෙන්වමින් පවසද්දී නිම්නාවී ඔහුට සමච්චල් කරමින් සිනාසුණාය.
” අනේ අනේ යන්න ඩොක්ටර් …”
රන්දුලා එකඳු වචනයක්වත් කතා කලේ නැත. ඩයස් උන්නේ රන්දුලාගේ අපහසුව සහ බියපත් වීම වටහාගෙනය. එනිසා ඔවුන් දෙදෙනා වැඩි වෙලා කලබල කරන්නට ඩයස්ට අවශ්‍ය වූයේ නැත.
” කලබල වෙන්න එපා පුතේ … වටේ කාරණා කොහොම වුනත්, ඔය දෙන්නට ඕනි විදියට හැම දේක වෙයි … කලබල නොවි අවශ්‍ය දේවල් කරගන්න … “
ඩයස් එලෙසින් පවසද්දී දිලුම්ගේ දෑස් විසල් වූයේය. අක්කා තාත්තාට කුමක් පවසා ඇතිදැයි නොදන්නවා නමුත්, තාත්තාගේ හඬෙහි වන විශ්වසනීය බව ඔහුට මොනවට වැටහුනේය.
” අපි යනවා…”
රන්දුලා ඩයස් වෙත පහත්වී වැන්දාය. ඩයස් ඇගේ හිස් මුදුන සිම්බේය.
” නිවාඩු පාඩුවේ එලියෙදි මුන ගැහිලා අපි කතා බහ කරමු .. අක්කා එක්කත් කතා කරලා දවසක් දාගන්න ….’
දිලුම්ට කීවේය. දිලුම් හිස සැලුවේය. ඩයස් සහ නිම්නාවී පිටත්ව ගොස් විනාඩි කිහිපයක් යන තුරුම රන්දුලා උන්නේ ගල් ගැසීගෙනය. කුමක් සිදුවීදැයි සිතා ගන්නට නොහැකිවය.
” දිලුම් ….”
ඕ අවසන දිලුම් දෙස හැරී සෙමින් කීවාය. ඊළඟ තත්පරයේ පටන් තමාට දිලුම් අහිමිව යනවාය යන හැඟීම ඕ තුළින්ම නැඟෙමින් ඇයව මරා දමමින් තිබුණි, කෙදිනක හෝ තමාට දිලුම් අතැර යන්නට වේයැයි ඕ වරින් වර නොසිතා තිබුණා නොවේය. එහෙත් ඒ සඳහා සිතන්නටවත් ඉඩක් නොලැබීම මෙලෙස දේවල් සිදුවීම දරාගන්නට රන්දුලාට පහසු වූයේ නැත.
” රන්දූ ….”
“අනේ … මොකක්ද ඒ වුනේ ?…”
දිලුම් රන්දුලාගේ ඇස් වලම එල්ලුනේය. ඇයට ගැලවෙන්නට නොදීම එල්ලුණේය.
” වෙන්න තියෙන හොඳම දේ වුනේ රන්දු .. කිසි දේකට බය වෙන්න එපා.. තාත්තා අපි දෙන්නාට ආශිර්වාද කරනවා… ඒ ගැන කිසිම සැකයක් තියාගන්නත් එපා….”
එහෙත් රන්දුලා එය විශ්වාස කරන්නට අකමැති සෙයින් හිස සැලුවාය. ඩයස් අලහකෝන් තමා වැන්නෙකුට මෙතරම් ඉක්මනින්, කිසිඳු සටනක් වෙනුවෙන් තමා පොළඹවන්නේද නැතිව කැමැත්ත දෙන්නේ නැති බව රන්දුලාට වැටහේ.
” ඔක්කොම හරි යනවා… මේ හැමදේම ජිනේන්ද්රයා නිසා .. ඌ මන්දාරම් කාරයාට ඇත්ත සීන් එක කීව නිසා.. මන්දාරම් කාරයා පොලිසි ගිය නිසා …. තාත්තාට අක්කවයි, මාවයි කොච්චර මඟෑරිලාද කියලා එයා තේරුම් අරගෙන රන්දු … ඔයාට හතට නේද ඕෆ් .. බෝඩිමට ගිහින් රෙඩි වෙලා එහෙමම යමු ජිනේන්ද්රයා හොයාගෙන .. අද රෑට බොමු පැලෙන්න … ඊට පස්සේ මන්දාරම්ව හම්බෙන්න විදියක් හදාගමු …. ඌ අක්කට ආදරේ කරනවාද හොයාගන්නෝනි රන්දු .. එහෙම ආදරයක් නැත්නම්, අක්කා අවුරුදු ගානක් තිස්සේ ඌට ආදරේ කරලා තියෙන්නේ කියලා ඌට කියන්න ඕනි රන්දු … සෙත් මන්දාරම් වර්ණකුලට මගේ අක්කා අවුරුදු ගානක් ආදරේ කරලා බව කියන්නෝනා…”
රන්දුලාගේ ස්වරූපය වෙනස් විය.
” කලබල වෙන්නෙපා දිලුම් ..ඔයාගේ මතකේ විදියට සෙත් කියන නමක් තිබුණ පලියට, මේ දෙන්නම එක්කෙනා කියලා අපි දන්නේ නැහැනේ.. එහෙම සිද්දියක් එකපාරටම අක්කගෙන් අහන්නේ නැතුව ඔය මන්දාරම් කියන කෙනාට කියන එක එච්චර යුතු නෑ ….
ඔක්කොමත් හරි, අක්කා ඔය තරමට ආදරේ කලා නම්, එයා සෙත්ව අඳුනගන්න එපැයි … ඒ නැතත් සෙත් හරි නිම්නාවීව දැනගන්න ඕනිනේ දිලුම් .. ඒ සෙත් බව දැනගත්තා නම්, මම දන්න නිම්නාවී කවදාවත් එච්චර දවස් එහෙ යන්න එන්න තියාගන්නේ නැහැ…. ඒකේ කිසිම සැකයක් නෑ මට නම් … අනිවාර්යෙන් ඔතන මොකක්ම හරි මඟ හැරුණ දෙයක් ඇති ….”
එහෙත් දිලුම් එයට එකඟ නොවන බව පෙන්වූවේය.
” මඟ හැරුණ දෙයක් තියෙනවා රන්දූ .. අද ජිනේන්ද්රයා එක්ක සෙට් වෙලා ඒක හොයාගන්න ඕනි .. අනිවාර්යෙන්ම ඒක හොයාගන්න ඕනි .. ජිනේන්ද්රය මන්දාරම් ගැන දන්න විස්තර ටික අහගත්තා නම්, එක්කෝ ඌ ලවා මන්දාරම්ගෙන් අපි දන්න දේවල් ශේප් එකේ කන්ෆර්ම් කරගත්තා නම් මේක ඉබේම ලෙහෙනවා …”
” හරි .. ඒ මොක වුනත් , අද කලබල වෙලා මුකුත් කරන්න බෑ … චුට්ටක් ඉවසමු මහත්තයෝ …”
රන්දුලා දිලුම්ගේ සංවේදීම නිලය අල්ලා ගත්තාය. පණ නැති වචන වලටද එහෙම දේවල් කල හැක. දිලුම් රන්දුලා හා එකඟ වූවේය.
” හරි .. එහෙනම් අද රෑ මා එක්ක ඉන්නවාද ?..”
” පිස්සුද ඔයාට ?.. හොඳට තියේවි .. තාත්තාට අතටම මාට්ටු වුනාට පස්සේ …”
” මම කියන්නේ ඉතින් නයිට් කියලා …”
” බෑ බෑ .. අද ඔයා ගෙදර ඉන්න .. තාත්තා එක්ක කතා කරන්න ..නිම්නාවී එක්ක කතා කරන්න ….මේ ඔයාලගේ පවුලේ ගෝල්ඩන් නයිට් එක .. ඒක එකට ඉන්න දිලුම් …”
රන්දුලා පරිණතව සිතමින් කීවාය. දිලුම්ට එවෙලෙහිම රන්දුලා සිපගන්නට අවැසි විය. එහෙත් යන්තමින් පාවෙන හාදුවකින් සැනහෙන්නට සිදු විය.
” කාලා යමු …”
ඔහු කීවේ පසුවය.
” බඩ පිරිලා මගේ …”
රන්දුලා කීවාය
” අක්කට මැසේජ් එකක් දාලා නිකමට තත්වේ සෝදිසි කරන්න රන්දූ ..”
දෙදෙනා වාට්ටු බලා සමුගනිද්දී දිලුම් කීවේය. හිතේ වූ අංශුමාත්‍රික සැකයට එහෙම කීවාට් සියල්ල යහපත් ලෙසින් සිදු වන බව දිලුම්ගේ අභ්‍යන්තරයට දැනෙන්නේය.
අපේක්ෂා ගුණරත්න