අරවින්ද උපාධි හීනය මඟින් අතෑරියා. උසස් පෙළට පෙනී ඉන්නේවත් නැතුවම පාසැල් ගමන නැවැත්තුවා. තාත්තා නොහිතපු වෙලාවක ඔත්පල වුනාට පස්සේ, රෝගී අම්මාවයි, නංගිලා තුන්දෙනාවයි බලාගන්න අරවින්දට පොළව එක්ක හැප්පෙන්න සිද්ද වුනා. අරවින්දගේ අම්මටයි, තාත්තාටයි අරවින්දගේ පාසැල් ගමන නොනවත්වා ඉන්න කිසිම දෙයක් කරගන්න පුලුවන් වුනේ නැහැ.
කාලය හෙමි හෙමින් ගත වුණා. අරවින්දගේ තුන් නිවුන් නැගණියන් විශ්ව විද්‍යාල වරම් ලැබුවේ කොලඹ සහ රාගම වෛද්‍ය පීඨයට.
” හරියට එග්සෑම් කරානම් අයියා මෙලෙහකට ඩොක්ටර් කෙනෙක් ….”
චූටි නංගී එහෙම කිය කියා ඉකි ගහලා ඇඬුවේ ප්‍රතිපල ආව දවසේ හවස. අනෙක් නංගිලා දෙන්නා කලේ කඳුළු නවත්තගන්න බැරිකමට මිදුලේ කොනකට වෙලා උන්න එක. ඒ වෙනකොට යන්තම් ඇවිදින්න පුලුවන් තරමින් සුවය ලබලා උන්න අරවින්දගේ තාත්තා වගේම හොඳින්ම සුවය ලබලා උන්න අරවින්දගේ අම්මත් ඉස්තෝප්පුවේ කොනකට වෙලා කඳුළු හංගගන්න උත්සාහ කරමින් උන්නා.
” මම එවෙලේ ඩොක්ටර් වුනානම්, අපේ පවුලට එක ඩොක්ටර් කෙනයි .. දැන් මේ ඒකට ඉන්නේ ඩොක්ටර්ස්ලා තුනක්ම.. දැන් ඉස්සරහට ලේසි වෙන්නේ නෑ….”
අරවින්ද හිත පුරා වාන් දාන සන්තෝසෙත් එක්ක එහෙම කියලා ආයේම හේනට යන්න පිටත් වුනා. ඒ යන අතරමඟ අරවින්දට පහුගිය අවුරුදු හත ගෙවපු විදිය සිහි වුණා.
උදේම නැගිටලා, උයලා, නංගිලාට කෑම බෙදලා, තාත්තාවයි, අම්මාවයි පිරිසිදු කරලා හේනට ගියාම ආයේ එන්නේ හවස් වෙලා. ඒ අතරවාරයේ අහල පහල හේන් වලත් අරවින්දට කුලියට වැඩ ලැබුනා. ගොවියාට වඩා වාසි ලබන්නේ අතරමැදියෝ නිසා අරවින්දලා කොච්චර වෙහෙසුනත් ඉතිරියක් නම් තිබුනේ නැහැ.
” එහෙම ඉතිරි නැති වුනාට මොකෝ, නංගිලා තුන්දෙනාගේම ජීවිත ගොඩට ඇදුනානේ… ඒකම මැදෑ ඉදිරියට … මහපොළ, ශිෂ්‍යාධාර එක්ක තව මොනවාම හරි මාසික ශිෂ්යාධාරයකුත් ලැබේවි කියලා ප්‍රින්සිපල් සරුත් කියලා තිබුනේ… එතකොට මේ හම්බ කරන එව්වයි, ඒවයි එක්ක ඉස්සරහ අවුරුදු හය නංගිලට අමාරුකම් එක්ක වුනත් ගොඩ දාගන්න බැරි වෙන එකක් නැහැ….”
අරවින්ද එහෙම හිතලා සැනසුම් සුසුමක් හෙලුවා. මේ ගෙවෙන්නේ අරවින්දගේ ජීවිතේ විසි හතරවෙනි අවුරුද්ද. ඒත් අරවින්දට දැනෙන්නේ තමන් අවුරුදු හතලිස් අටකට තරම් දේවල් උපයාගෙන බව.
නංගිලා තුන්දෙනාම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුනා. චූටි නංගි රාගම වෛද්‍ය විද්‍යාලයට. අනෙක් දෙන්නාම කොලඹ වෛද්‍ය විද්‍යාලයට. නංගිලාව ඇරලවන්න විශ්ව විද්‍යාල භූමියට ගියපු අරවින්දගේ ජීවිතේ මියැදුණු හීන එහෙන් මෙහෙන් ආයෙම එබුණේ නැතිව නෙවෙයි. ඒත් අරවින්ද ජීවිතේ වෙනම පාරක ඇවිදින්න පටන් අරගෙන තිබුනේ.
වෙසක් නිවාඩුවට චූටි නංගීගේ යාලුවෝ කිහිප දෙනෙකුත් ගෙදර එන බව කිව්ව නිසා අරවින්ද අම්මා එක්ක එකතු වෙලා මුලු ගෙදරම පිළිවෙල කරා. යාලුවෙක් ගෙන්නගෙන මිදුලත් පිරිසිදු කරලා දැම්මා.
” ඔය කොළඹ ළමයින්ට මේවාගේ ඇවිල්ලා ඉන්න පුලුවන් වේවිද දන්නේ නෑ අම්මේ …”
අරවින්ද දෙතුන් වතාවක්ම එහෙම කිව්වා.
,”ඒ ළමයින්ට පුලුවන් හින්දානේ එන්නේ ..උඹ නහින්නේ නැතුව හිටහංකෝ …”
අරවින්දගේ අම්මා අරවින්දට කිහිප වතාවක්ම සැර දැම්මා.
පරම්පරාවේ කෙල්ලෝ කියන්නේ ලේසියෙන් සෑහීමකට පත් වෙන්නේ නැති අය බව අරවින්ද දැනගෙන උන්නේ. ඒ ගමේ උන්න කෙල්ලෝ, කොල්ලාන්ගේ අත්දැකීම් එක්කම හැප්පිලා.
” අම්මලා ඔය කිව්වට චූටි මේ කරන්නේ මෝඩම වැඩක් .. මේකෙන් වෙන්නේ චූටිට එහෙ උන්න යාලුවෝ ටික නැති වෙන එක වෙන්නත් පුලුවන් …. කිව්වට අහන්නේ නැති ගුරු ඉහලින් ගියත් එකයි, පහලින් ගියත් එකයි …”
අරවින්ද අන්තිමේදි එහෙම හිතුවා. හවස කෝච්චියෙන් කට්ටියම ගෙදර ආවා. චූටිලා ආව කෝච්චියටම අනෙක් නංගිලා දෙන්නත් නැගලා තිබුන නිසා ඔක්කොමලා ආවේ එකට.
” මේ පසිඳු, මේ චාරුක, මේ මෙත්මල්, මේ පවනි, මේ සාරණ්‍යා, මේ මිහිලි… මේ අපේ අයියා … මේ අම්මා.. මේ තාත්තා ….. මේ දෙන්නාව ආයේ අඳුන්වලා දෙන්න දෙයක් නෑනේ ….”
චූටි නංගී කට්ටියවම අඳුන්වලා දුන්නා. කොල්ලෝ තුන් දෙනා ඉක්මනටම අරවින්ද පස්සේ වැටුණා. ඔවුන්ගේ මිතුරිය වුන ආදිත්‍යාගෙන් අරවින්ද පවුල වෙනුවෙන් කරපු කැපකිරීම අහලා දැනගෙන උන්න නිසාම, ඔවුන්ට අරවින්දව පෙනුනේ වීරයෙක් වගේ. කට්ටිය ඇලෙන් නාලා ඇවිල්ලා රෑට කෑවා. නිදාගන්න සූදානම් කරලා තිබුනත් කට්ටියට ඕනේ වුනේ මිදුලට වෙලා සින්දු කියන්න.
පසිඳු ගෙනල්ලා තිබුන ගිටාර් එක අරවින්දගේ අතේ නැවතුණා.
” අයියා කොහෙන්ද ගිටාර් ගහන්න ඉගෙනගත්තේ ?…”
නංගිලා තුන් දෙනාම අරවින්ද දිහා පුදුමෙන් බලාගෙන හිටියා. නිවාඩුපාඩු වෙලාවට ඉස්කෝලේ සංගීත සර්ගේ ආශ්‍රය එක්ක හිත සැනසීම හොයාගත්ත විදිය මේකයි කියලා අරවින්ද යන්තමට කියනකොට, නංගිලා තුන් දෙනාගේ ඇස් වලට වඩා මිහිලිගේ ඇස් රතුවුණා.
දවස් තුනක් තිස්සේ කට්ටිය ගෙව්වේ ජීවිතේ අමතක නොවෙන තත්පර. යන්න සූදානම් වුනෙත් නොගිහින් බැරි කමට. ඒත්, අනෙක් හැමෝටම වැඩියෙන් ගමන අවසාන වෙන එක ගැන වද වුන කෙනෙක් උන්නා. ඒ මිහිලි.
” ආදිත්‍යා .. ඇයි ඔයා ආයේ අයියාට එග්සෑම් කරන්න කියන්නේ නැත්තේ … මම ඔන්ලයින් ක්ලාසස් ඔක්කොම සෙට් කරලා දෙන්නම් . අපේ අයියලා ටියුශන් නේ කරන්නේ බයෝ… ..ඔයාලා තුන් දෙනාටත් ස්කොලර්ශිප් තුනක් ලැබුන එකේ අයියාට දැන් ලොකු බරකුත් නෑනේ…. අම්මලාගේ වියදම් බලන ගමන් අයියාට එග්සෑම් කරගන්න පුලුවන් වේවි …. ….”
“ඒ කියන්නේ?…”
” අයියාට ආයේ එග්සෑම් කරන්න කියලා කියන්නේ ..”
” ඒලෙවල් ..?…”
” ඔව් .. අයියාට ආයේ එග්සෑම් කරොත් මෙඩිසින් යන්න බැරි වෙන එකක් නෑ ආදිත්‍යා… අයියා ඔයාලා තුන්දෙනා වෙනුවෙන් සෑහෙන්න කැපකිරීමක් කරලා..ඔයාලා තුන් දෙනාට දැන් පුලුවන් ඒ කැපකිරීම අයියා වෙනුවෙන් කරන්න …”
ආදිත්‍යා මිහිලි දෙස බලා උන්නේ විමතියෙනි. අයියා පිළිබඳව තමන් තිදෙනාට කිසිදිනෙක එලෙසින් නොසිතුණේ කෙලෙසදැයි ඕ බර වූ හදින් කල්පනා කලාය. සැබැවින්ම අයියාට ජීවිතයේ අහිමිවිම් තවත් සිදුවන්නට ඉඩ දිය නොයුතු නොවේදැයි ඕ අනෙක් දෙදෙනාද සමඟ හරි හරියට කතා බස් කලාය.
අරවින්දව ඒ සඳහා කැමති කරගැනීම පහසු වූයේ නැත. ඔහු එය දුටුවේ පලකට නොවන උත්සාහයක් ලෙසිනි.
අවසානයේ මිහිලිද අරවින්දගේ සොයුරියන් තිදෙනා සමග අරවින්ද උසස් පෙළ විභාගයට සූදානම් කරවීමේ මෙහෙයුමට එක් වූවාය.
” ඔයා ට තවම විසි හතරයි අයියේ … විසි හයෙන් එග්සෑම් කරන්න .. විසි හතෙන් කැම්පස් එන්න … ඉතුරුවා ලස්සනට වේවි ..හාද ??..”
මිහිලි බලෙන්ම අරවින්දගේ කාමරේට ඇතුළු වෙලා, අරවින්දගේ ඇස් ඉස්සරහටත් පැනලා කියනකොට අරවින්ද ගැස්සුණා.
” හා …”
අරවින්දට එහෙම කියවුනා. මිහිලිගේ හිනාව එදා අරවින්දගේ හිතේ ඉතිහාසනය වුණා.
.
.
.
අද අරවින්දගේ උපාධි ප්‍රධානෝත්සවය. නංගිලා තුන්දෙනයි, අම්මයි,තාත්තයි එක්ක අරවින්දගේ එක පැත්තකින් මිහිලිත් ඉන්නවා. අවුරුදු තිස් පහේදී අරවින්ද වෛද්‍යවරයෙක් විදියට පත්වීම් ගත්තා. නංගිලාට පවා මඟ හැරුණු අරවින්දගේ ජීවිතේට පියාඹලා ආව සුරංගනාවිය හින්දා, අරවින්ද ජීවිතේ හීන හොයාගෙන අඩියෙන් අඩිය ඉස්සරහටම ගියා.