අවසානයේ මන්දාරම් ඇමතුමක් ගැනීම සඳහා සිත හදා ගත්තේය. ඒ අතරේ ඔහු චානක සිටින්නේ කොහෙදැයි විමසා බලන්නටද උත්සුක වූයේය. චානක උන්නේ මිදුලෙහි කවුරුන් හෝ සමඟ ඇමතුමකය. ඒ ඇමතුම අවසන් වන්නේ නැති බව මන්දාරම් චානකගේ ඉරියව්වෙන් වටහා ගත්තේය.
ඔහු පුස්තකාල කාමරයට ගොස් එහි වූ සෙටියේ හිඳගත්තේය. නිම්නාවී පුස්තකාල කාමරය තුළ එහි මෙහි ඇවිදින අයුරු මවාගෙන මොහොතක් බලා උන්නේය. සැබැවින්ම ඇය මෙම නිවසේ ජීවත් වූයේ එතරම් ධනවත් පවුලක යුවතියක් ලෙසින් නොවෙයි නොවේද? ඕ ඉතා සුවපහසුව මේ අවකාශය තුළ පාවුනා නොවේද ?
ඇය ඉතා පහසුවෙන් තම නිවස තුළ වූ සියලු තත්ත්වයන්ට හැඩගැසුනා ය. එපමණක් නොව තමා දරා ගන්නට හුරු වූවාය. ඇතැම් විට තම කෝප බැල්මන් ඇය මතින් පිට වෙද්දී පවා ඇය ඒ සියල්ල ඉසිලුවාය. නිම්නාවී එක්වරම තමාට ප්‍රේම කරන්නට හේතුවක් නොමැති බව මන්දාරම් දනී. එහෙත් නිම්නාවී ගේ සිතෙහි තමා පිළිබඳව කිසිදු හැඟීමක් නොතිබුණා යැයි සිතන්නට තරම් මන්දාරම්ට හැකියාවක් නැත. ඔහු දැන් ඒ බව ඉතා තහවුරු ලෙසින් සිතන්නේය. එක් එක් අවස්තා සිහි කරමින් මන්දාරම් ඒ බව තහවුරු කරගන්නට උත්සාහද කලේය.
එය කෙසේ වුවත් දැන් නිම්නාවී අත් නොහැර සිටීමට තරම් වන බැඳීමක් තම සිත තුළින් ඉහළට නැගෙන බව මන්දාරම් පිළිගන්නේය. ඇය විසින් තම මව අනතුරට පත්කර ඇති බව දැනගත් මොහොතේ නැගි කෝපය දැන් හිතට දැනෙන්නේ නැත. එවේලෙහි ඇය පත්ව ඇති කම්පනය දැන් මන්දාරම්ට වැටහෙන්නේය. කලබලයට පත්ව ක්ෂණිකව ගත් තීරණය නිසා මව හැර මව එතැන හැර දමා ගියා වුවද ඇය එම වරද නිවැරදි කරගන්නට තවමත් වෙහෙසෙන බව මන්දාරම් දන්නේය.
මන්දාරම් මිතුරා ඒවා තිබූ ජංගම දුරකථන අංකය දෙස මොහොතක් බලා සිටියේය. ඉන් පසුව දෙවරක් නොසිතා එය අංකනය කළේය.
නිම්නාවී උන්නේ ගංගාධාරගේ ගීත කිහිපයක් එක දිගට වාදනය වන්නට හැර ඒවාට සවන් දෙමිනි. ඇය විඳිමින් සිටින්නේ විරහව බව ඇයට අමතක වන තරමට වන යම් හැඟීමක් ඇගේ සිත තුළින් කැලැත්තෙමින් තිබිණි. සෙත් ගේ අහිමිවීම, මන්දාරම්ගේ පැමිණීම, යළි සෙත්ගේ හිමිවීම, මන්දාරම් සහ සෙත් යන දෙදෙනාගේම අහිමිවීම ඇගේ ජීවිතය තුළ ප්‍රේමණීය සහ විරහව යන කාරණා දෙකම ස්පර්ශ කරමින් තිබුණි
ඒ කෙසේ වුවත් සෙත් තමා සමග කෝපයෙන් නොසිටින බව දැන ගැනීම නිම්නාවී ට සැනසීමකි. පසන්ගෙන් තමාට අනතුරක් වේ යැයි සැකය නිසා නිවසටම පැමිණ ඒ ගැන අනතුරු අඟවා යන්නට තරම් සෙත් තුළ සිහියක් සහ සිතක් පහළ වීම නිම්නාවී ගේ කුස තුළ සමනළුන් රංචි පිටින් පියාඹවමින් තිබිණි.
සෙත් සෙත් කියා තමා සිතුවාට මේ මන්දාරම් බවද නිම්නාවී ඊලඟ තත්පරයේම සිතුවාය . එසේම දිලුම් සෙත් සහ මන්දාරම් යන දෙදෙනාම එක් අයකු බව දන්නා බව නිම්නාවී දැන සිටියේේ නැත. එනිසා ඕ සිතා උන්නේ සෙත් මන්දාරම් යන දෙදෙනාම එක් අයෙකු බව තමා පමණක් දන්නා බවය. ජීවිතයේ වැඩි කාලයක් තනිව පෙම් කෙරු ඒ තරුණයා මන්දාරම් තුල සැඟව සිටිනා රහස තමා සමගින්ම යටපත්ව යන්න යටපත්ව යන්නට දෙන්නට නිම්නාවී තීරණය කරේ පහසුවෙන් නොවේ.
අවේලාවේ නාද වූ ජංගම දුරකථනය නිම්නාවී අතට ගත්තේ එතරම් බලාපොරොත්තුවකින් නොවේය. එහෙත් ඇගේ ජංගම දුරකථනයේ හිතුවක්කාර ලෙසින් සුරක්ෂිත කර තිබූ මන්දාරම්ගේ අංකයෙන් පැමිණෙන ඇමතුම දුටු වූ ඇඳෙන් බිමට පැන්නාය. ජංගම දුරකථනයක් දෙස බලාගෙන කුමක් කරන්නට දැයි සිතාගත නොහැකිව මෙන් බලා උන්නාය. ඇඟිලි අග්ගිසි දැනුනේ සීතලක ගල්ගැසී ගොස් ඇතිව මෙනි.
ඕ අවසාන තත්පරයට මිලි තත්පරයකට පෙර කිහිපයකට පෙර ඇමතුමට සම්බන්ධ වූවාය.
දෙපසෙහිම වූයේ සීතල නිහඬ බවකි. මන්දාරම්ගේ කිසිත් පැවසුවේ නැත. නිම්නාවී ද කිසිත් විමසුවේ නැත.
ඇමතුම විසන්ධිව ඇතිවාදැයි බියෙන් මෙන් නිම්නාවී යලි ජංගම දුරකථනය යළිත් ඇස් මානයට ගෙන බැලුවාය. එහෙත් එහි තත්පර ගමන් කරමින් තිබුණි. මන්දාරම් ද කිසිත් නො පවසා ඇගේ හුස්ම ස්වරය හෝ ඇසේය යන බලාපොරොත්තුවෙන් මෙන් ජංගම දුරකථනය සහ වලට වඩාත් තදින් ලං කරගෙන උන්නේය.
අවසානයේ මන්දාරම් ඉස්සර විය.
“මිස් නිම්නාවී … ! මේ වෙලාවේ කරදරකලාද මම ? “
මන්දාරම්ගේ හඬෙහි තිබුණේ අතිශය දුරස්ථ බවකි. එය ඔහු සිතා මතාව පාලනය කරන ලද්දක් බව නොදැන උන් නිම්නාවී සිත රිදවා ගත්තාය. බලාපොරොත්තු බිඳ ගත්තාය. සමනලුන් මැරී වැටෙන්නට හැරියාය..
“හෙලෝ……හෙලෝ නිම්නාවී ….මම මන්දාරම් කතා කරන්නේ…”
මන්දාරම් යලි ජංගම දුරකථනයට ඇමතුවේය. නිම්නාවී පියවි සිහියට එළඹියේ ඒ හඬිනි. ඕ කුස තුල පියඹමින් උන් සමනළුන් යම් මට්ටමකින් හෝ පාලනය කරගන්නට උත්සාහ කලාය. එක්වරම මන්දාරම් යලි අමතද්දී මළ සමනල පියාපත්ද පණ ගසන්නට ගෙන තිබුණි. ඒ පියාපත් හඬ මන්දාරම්ට ඇසේයැයි ඕ බිය වූවාය.
කුස තුළින් සමනල්ලු රංචු තව තවත් නැගෙමින් උන්හ
නිම්නාවී ගේ නිහඬ බව මන්දාරම්ට තවදුරටත් ඉවසාගන්නට හැකි වුවේ නැත. විනාඩි එකහමාරක්ද ඉක්මවමින් තිබිණි. එතරම් වෙලාවක් ඇයට නිහඬව හිටින්නට තරම් හේතුවක් මන්දාරම්ට වැටහුනේ නැත.
“ඕකේ දෙන්.. සොරි මේ වෙලාවේ ඩිස්ටර්බ් කලා නම්…. බායි ……….”
මන්දාරම් ඇමතුම විසන්ධි කරන්නට සූදානම් වූයේය. තමා හදිසි වූවා යයි යන පසුතැවීමද සමඟ නිම්නාවී ගේ උඩඟුකම ගැන මන්දාරම්ට යම් සියුම් කෝපයක් හටගනිමින් තිබුණේය.
“එක අතකට මගේ හිතේ එහෙම දෙයක් තිබුණට ඒකි මොනවා කරන්නද ඒකිගේ හිතේ කිසි එහෙම දෙයක් තිබුණේ නැහැනේ….”
මන්දාරම් ඇමතුම විසන්ධි කරන්නට සිතන අතරේ එලෙසින්ද සිතුවේය. නිම්නාවී සැණින් මතුවිය..
“නෑ නෑ කට් කරන්න එපා ප්ලීස් ……”
යලි ජංගම දුරකථනය මන්දාරම්ගේ සවනට තදවිය.
“එකපාරටම කෝල් එක ආවහම මම චුට්ටක් කලබල වුණා..”
නිම්නාවී වාක්‍ය පිටුපසින් එලෙසද එල්ලුවාය. මන්දාරම්ගේ මුව අග්ගිස්සෙන් මද සිනහවක් වැගිරෙමින් තිබුණි. එහෙත් නිම්නාවී එය දැක්කේ නැත. ඒ වෙනුවට ඇයට දැනුනේ මන්දාරම්ගේ නිහැඩියාවය.
ඕ ඉතා අපහසුවෙන් මන්දාරම්ගේ ඊළඟ වචනය ඇසෙන තෙක් අසා උන්නාය.
“මම නිකං ගත්තේ. පසන්ගෙන් මොකුත් කරදරයක් හෙම උනේ නැහැනේ..?”
මන්දාරම් ඉන් පසුව කීවේය. නිම්නාවී යළි සයනයේ එරමිණියා ගොතා ගෙන හිඳ ගත්තාය කොට්ටයක් උකුල මැදට වන සේ තබාගෙන සුවපහසු ඉරියව්වක් සකසා ගත්තාය.
“අද දවසම මම තාත්තා එක්ක හිටියේ එහෙම විශේෂ දෙයක් වුණේ නැහැ…”
නිම්නාවී එයට පිළිතුරු දුන්නාය. වචන මෙතරම් පැටලෙන්නේ මන්ද ?
“ඒක හොඳයි. ගෙදර ඉන්නව නං උනත් ටිකක් පරිස්සමෙන් ඉන්න එක හොඳයි. ආරංචි කරලා බැලුවහම කියන්නේ ඒ තරම් හොඳ මිනිහෙක් නෙවෙයි..”
මන්දාරම් ඌන පූරණ තැබුවේය. අයිතියක් නැතිවම වුනත් ඇය පිලිබඳව අයිතියක් ඇතිවා මෙන් හැසිරීමේ ප්‍රහර්ෂණීය බව ඔහු විඳිමින් උන්නේය.
” හ්හ්ම්ම්ම්ම්ම්…..”
නිම්නාවී ගේ නෙත් තෙත් වෙමින් තිබුණි. අම්මා අනතුරට පත්කර දමා ගියාට, හෙරක සේ නොවසට රිංගා ගත්තාට් සමාව ඉල්ලීම වෙනුවෙන් ඕ වචන ගල්පාගන්නට උත්සාහ කලේ, පළමු ශ්‍රේණියේ දරුවෙකු උදෑසන රැස්වීමේ කතාවක් පවත්වන්නට වචන ගලපන හදිසියෙනි.
“එදා …. මම …. ඔයාගේ අම්මාව …. හැප්පුනාට … පස්සේ දාලා …. ගියාට…. මට …. සමාවෙන්න …. මගේ අතින් … කවදාවත්ම … එහෙම දෙයක් වෙලා නෑ…. මම .. කලබල වුණා… බය වුණා ….. “
නිම්නාවී ට හැඬුණාය. ඕ ඒ සිදුවීම මේ දැන් වූවාක් මෙන් සිතා යලි කලබලව උන්නාය
මන්දාරම් පත් වූයේද කලබලයටය. නිම්නාවී එලෙස හඬන්නට පටන් ගනිවීයැයි ඔහු සිතා තිබුනේද නැත.
” …….. මම … හරි වැරදියි … එදා එහෙම කලාට….. මං .. ඒ ගැන … කවදාවත්ම …මට…සමාව දෙන්නේ නෑ….”
ඕ එලෙසින් කීවේද හැඬුම් අතරිනි.
අපේක්ෂා ගුණරත්න